නැගෙන හිරු බැස යන, පිපෙන මල පරවෙන ආදි වූ එ්කාන්ත සංසිද්ධීන් අතරෙහි ඉපදෙන සත්ත්වයා මරණයට පත් වීම ද එ්කාන්ත වූ සංසිද්ධියකි. වැහි බිඳුවක් වලාවකින් ගිලිහුණු කල එය පොළවට පතිත වනු ඇත. නමුදු වලාවෙන් ගිලිහුණු එම වැහි බිඳුව හමන සුළඟට අනුව, සූර්ය රශ්මියට අනුව දිශාව වෙනස් වන්නට පුළුවන, හැඩය වෙනස් වන්නට පුළුවන. වලා ගැබත්, පොලෝ තලයත් අතර කාලය තුළ කුමක් සිදු වුව ද වැහි බිඳුවේ පොදු ඉරණම පොළවට පතිත වීම ම ය.

උපන් සත්වයාගේ එ් ජීවිතයේ කෙළවර මරණය යි. උත්පත්තියෙහි සිට එම කෙළවර දක්වා වූ අන්තරයේ දී කුමන සැප සම්පත් වින්ද ද එ් අතරතුර ලෙඩ රෝගවලට පත් වීම, වයසට යාම, ජරාවට පත් වීම ආදි වූ සංසිද්ධීන්ට මුහුණ දෙමින් අවසන මරණය නම් වූ ඛේදවාචකයට මුහුණ දීමට අපට සැමට සිදුව ඇත.

වසර ගණනාවක් පුරාවට අකුරු හරඹ කර ජීවිතයේ වැඩි කොටසක් එම හරඹයන්ගෙන් ශිල්ප පෙන්වූයේ මේ කාමයන්ගේ ආස්වාදයන් හමුවේ අප අසරණ වූ නිසා ම ය. ඇතමෙක් කැරකෙන පුටුවකට වාරු දී සිසිල් වූ කාමරයකට වැදී සොයන මිල මුදල් ම තවකෙක් දහඩිය වගුරුවමින් ගිනි අව්වේ තැවෙමින් සොයති. එ් කෙසේ නමුදු සිත, කය දුර්වල ව කල් පැන ගිය පසු සමාජය විසින් මේ කවර පුද්ගලයෙක් වුව ද ‘‘ඔබේ කාලය අවසන්.. තව පුද්ගලයෙකුට අවස්ථාව දිය යුතු ය. දැන් ඔබ විවේක ගන්න.” යැයි ඔබ ව නිවසට කොටු කරනු ඇත. එය විශ‍්‍රාම දිවිය යැයි ඔබ පවසන විට එම දිවියට සැලසුම් සදන්නට බොහෝ දෙනෙක් සූදානම් වෙති. එම සැලසුම් කොතරම් දුරට සාර්ථක දැයි නො සිතා ම ඔබ බොහෝ විට එම සැලසුම්කරුවන් හා ගිවිසුම්ගත වෙයි. සිතන්න. සමාජය විසින් කිසිවක් කිරීමට අපහසු යැයි තිරණය කර නිවසට සීමා කළ ඔබ ඉන් ඔබ්බට සැලසුම් කළ යුත්තේ කුමක් ද?

ඉදින් මගේ ඇස් දැන් නො පෙනී යනු මිසක පෙනි පෙනී නො යන බැවින් ඇස් දෙකෙන් උපරිම ඵල ගත යුතු ය. කන් දෙක දිනෙන් දින බිහිරි වී යන බැවින් ඇසිය යුතු ධර්මයන් මේ දෙසවනින් වහ වහා ඇසිය යුතු ය. අස්ථින් දුර්වල වී ගොස් දෙපා වාරු නැති වී යන්නට ඉඩ ඇති හෙයින් වැඳ පුදා ගත යුතු තැන් වහ වහා වැඳ පුදා ගත යුතු ය. මාගේ දෑත් වලංගු නැති වී යන බැවින් මේ දෑතින් දන් බෙදිය යුතු ය.. සිහි නුවණ දුර්වල වී යන බැවින් ඉක්මනින් දහම් කරුණු නුවණින් විමසා ධාරණය කර ගත යුතු ය. ඔබ සැබෑවට ම සැලසුම්ගත විය යුත්තේ මේ අයුරින් ය.

නමුත් බහුතරයක් වු දෙනාගේ සැලසුම මෙයට හාත්පසින් ම වෙනස් වූවකි. ‘මගේ විශ‍්‍රාම වැටුප ප‍්‍රවේශම් කර ගන්නේ කෙසේ ද? විශ‍්‍රාම වැටුප ඇපයට තබා ණයක් ලබාගෙන ජීවත් වන නිවස අලූත්වැඩියා කර ගන්නේ කෙසේ ද? දරුවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමඟ සැපසේ ජීවත් වන්නේ කෙසේ ද?’ ඔබ මෙවන් සිහින මවන අතරේ ඔබේ දරුවන් ඔබේ විශ‍්‍රාම දිවිය සැලසුම් කරමින් සිටින බව ඔබ දන්නවා ද? ඔවුන්ගේ දරුවන් රැක බලා ගැනීම ඔබට පැවරෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ ඔබේ සැලසුම් සියල්ල පසෙක තබා ඔබ ක‍්‍රියාත්මක කරනුයේ දරුවන් ඔබ වෙනුවෙන් කෙටුම්පත් කළ විශ‍්‍රාම සැලැස්මයි.

ඔබ ජීවත් වන ප‍්‍රදේශයෙහි මිය ගිය අයෙකුගේ දැන්වීමක් ඇස ගැටුන විට ඔබේ අවධානය බොහෝ විට යොමුවන්නේ එහි සඳහන් උපත හා විපත දෙස ය. මිය ගොස් ඇත්තේ ඔබගේ සම වයසේ හෝ ආසන්න වයසේ කෙනෙක් නම් ඔබේ සිත ‘‘ඊ ළඟට ඔබ සූදානමින් සිටින්න.” යැයි නො කියනු ඇත්ද? ඔබේ සිත කලබලයට පත් නො වී තිබේවි ද? ‘‘මාරය, මා බිය නැත. කුමන වේලාවක හෝ මා කරා පැමිණෙන්න.” යැයි කියාවි ද? නැත. ඔබට දහඩිය දමනු ඇත. දමා යන්නට ඇති සියලූ දේ සිහිපත් වනු ඇත. බැංකු ගිණුමෙහි තැන්පත් කර තිබූ මුදල් අන් අය අතට පත් වන බව සිහි වනු ඇත. ඔබෙන් ණය ලබා ගත්තවුන් ඔබේ මරණය දැනගෙන සතුටු වන බව සිහිපත් වනු ඇත. ඔබගේ රක්ෂණ මුදල ඔබේ පසු උරුමක්කරුවන් සිත්සේ පරිහරණය කරන බව සිහියට නැගෙනු ඇත. එසේ නම් ඔබ ගෙවන දිවියෙහි අරුතක් තිබේ ද? මරණය අබියස මෙතරම් ම අසරණ ඔබට මින් ඔබ්බට ගිය විශ‍්‍රාම සැලසුමක් අවශ්‍ය නො වේ ද?

දිනක් මම, බොහෝ කලකට පෙර හිතවත්ව සිටි අයෙක් රෝගාතුරව සිටින බව දැනගෙන ඇය බැලීමට එම නිවස වෙත ගියෙමි. මාගේ නෙත ගැටුන දසුන මා සිත කීරි ගැස්සවූ තරම කොතෙක් ද යත් විදුලි සැරයක් වැනි යමක් මාගේ හිස් මුදුනින් පටන් ගෙන මහපට ඇඟිල්ලෙන් පිටවී පොළවට කිඳා බැස ගිය බවක් මට දැණිනි. ඇගේ ඇට සැකිල්ල නො පෙණුනේ.. සමකින් එය වැසී තිබුණ නිසා බව මිසක එම ශරීරයෙහි මස් තිබුණ බවක් මට නො පෙණිනි. වාරු තිබුණේ එක් අතකට සහ එක් පාදයකට පමණි. දිව කටෙහි එක් පැත්තකට බර වී තරමක් එළියට විත් තිබුණි. මුත‍්‍රා සහ අසුචි බැහැර කිරීමටවත් ඇයට වාඩි ගත් අසුනින් බැහැරට නො යා හැකිව තිබූණ හෙයින් එම කාමරයෙන් දැණුනේ දුර්ගන්ධයකි. ඇය අංශභාග රෝගයේ උත්සන්න ම අවස්ථාවේ සිටින බව මම තේරුම් ගතිමි. ඛේදවාචකය මෙය නො ව; ඇගේ ඇඳට ඉතා ආසන්නයේ දමා ඇති රූපවාහිනියේ මා යන විටත් රඟමින් සිටි හිංදුස්ථානි නළු නිළියන්ගේ රංගනයක් දෙස ඇය ඉතා ඕනෑකමින් බලා සිටීම ය.

මෙසේ තම ජීවිතයේ වටිනා ම, සුන්දර ම සැනසිලිදායී කාලය රූපවාහිනියට ම සින්න කර හිස් අතින් මිය යන තව කොතෙකුත් දෙනෙක් ඔබ මා අතර සිටිනු ඇති ද? එ් නිසාවෙන් ඔබේ විශ‍්‍රාම දිවිය ඔබ සාර්ථකව සැලසුම් කර ගත යුතු බව තරයේ සිතට ගන්න. දරුවන්ගේ මුණුපුරන්ගේ කටයුතුවලට ඔබේ ඉතිරි කාය ශක්ති ප‍්‍රමාණයෙන් හැකි අයුරින් පමණක් උපකාර කරන්න. එය පිනක් ලෙස දකිමින් ජීවිතයට පින් රැස් කර ගන්න. විශ‍්‍රාම දිවියක් ගෙවන ඔබට නිවාඩු ලබා ගැනීමට ආයතන ප‍්‍රධානීන් වෙත පෝරම හෝ හේතු ඉදිරිපත් කළ යුතු නැත. එබැවින් සතර පෝය ම සිල් සමාදන් වීමට ඔබේ සැලසුම් සකස් කර ගන්න. උදේ සවස දරු මුණුපුරන් සමඟ මල් පහන් සුවඳ දුම් පූජා කර භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සජ්ඣායනා කරන්න. ඔබ සතු දේ සෙමෙන් අත් හරිමින් ත්‍යාගය පුරුදු කර ගන්න. පළුදු නොවන සේ, පැල්ලම් නො වැටෙන සේ සිල් පද හොඳින් රකින්න. වෙහෙර විහාර ඉදි වන විට හැකි අයුරින් ඔබේ අතින් එක් ගඩොලක් හෝ දී එ් සදහා දායක වන්න. සුගතිය යැයි පවසන එ් තුසිතය, නිම්මානරතිය, චාතුම්මහාරාජිකය ආදි වූ දිව්‍ය විමානයක් ඔබේ සැලසුමෙහි යම් තැනක තිබේ නම්, ප‍්‍රමුඛ ඉලක්කය ලෙස නිර්වාණය තිබේ නම් ඊටත් වඩා සුන්දර විශ‍්‍රාම සැලසුමක් කොයින් ද?

ඔබේ සැලසුම ආරද්ධ විරියෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීමට තරම් ඔබ දක්ෂ නො වුණහොත් එය සතියෙන් දෙකෙන්, දවසින් දෙකෙන් අහෝසි වී යන සැලැස්මක් වනු ඇත. එසේ නො වුණහොත් බාහිර අයගේ අවශ්‍යතාවයන් ඔබේ කාලසටහනේ හිස් තැන් පිරවීමට පැමිණෙනු ඇත. ආසිවිසෝපම සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහත් වු කරුණාවෙන් දේශනා කොට වදාළේ නිරන්තරයෙන් අපගේ ශරීරය ඉතා සුළු වරදේ දී පවා කිපෙන සතරමහා ධාතූන් නමැති සර්පයන් සතර දෙනෙකුගෙන් පහර කන බව ය. රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤණ නමැති වධකයන් පස් දෙනෙක් කඩු අමෝරාගෙන අප පිටුපසින් පන්නන බව ය.

මේ බුදු වදන සිහියට නගා ගනිමින්.. ඔබගේ දිවියේ අවසාන භාගය සුන්දර ලෙස සැලසුම් කර ගන්නට ඔබට භාග්‍ය උදා වේවා…!

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
තේජා දිල්රුක්ෂි දයාරත්න