boru-kiwwe

*    තථාගතයන් වහන්සේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි ලෙසත්, සිදුවිය නො හැකි දේ සිදුවිය නො හැකි ලෙසත් අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින පළමුවැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ….?

*    තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලය ගැනත්,  ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැනත්, එ් එ් හේතු වශයෙන් ද තැන් වශයෙන් ද ඉතාමත් නිවැරදි ලෙස අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින දෙවැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ….?

*    තථාගතයන් වහන්සේ ලෝකයේ  ඕනෑම කෙනෙකුගේ උපත සිදුවන ආකාරයත්, එයට හේතු වන්නා වූ සියලූ කරුණුත් සම්පූර්ණයෙන් ම අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින තුන්වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ….?

*    තථාගතයන් වහන්සේ ලෝක සත්වයා එ් එ් ධාතු ස්වභාවයන් අනුව ගැළපී යන ආකාරය ගැනත්, සත්පුරුෂයන් සත්පුරුෂයන් සමඟ එකතු වීම ගැනත්, අසත්පුරුෂයන් අසත්පුරුෂයන් සමඟ එකතු වීම ගැනත්, හොඳ හොඳ සමඟ එකතු වීම – නරක නරක සමග එකතුවීම ආදි ධාතු ස්වභාවයන් ගැනත්, නා නා ධාතු ස්වභාවයන් ගැනත් අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින සිව්වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ….?

*    තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයේ ජීවිතවලට මෙම සත්වයා සකස් වෙවී යන ආකාරය ගැනත්, මේ සත්වයන් තුළ පවතින විවිධත්වයත් මනා කොට අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින පස් වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ….?

*    තථාගතයන් වහන්සේ  ඕනෑම පුද්ගලයෙකු තුළ කුසලතා දියුණු වී යන ආකාරයත්, පිරිහී යන ආකාරයත් මනා කොට අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින හය වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    තථාගතයන් වහන්සේ ලෝක සත්වයා විසින් දියුණු කරන්නා වූ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්ති ආදියත්, එ්වා දියුණු වන ආකාරයත්, එ්වා පිරිහීමට හේතු වන කරුණුත්, එයින් අත් මිදෙන ආකාරයත් මනා කොට අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින හත් වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    තථාගතයන් වහන්සේ අතීත ජීවිත එකක් දෙකක් සිය ගණනක් දහස් ගණනක් පමණක් නොව ලක්ෂ කෝටි ගණන් කල්ප ගණන් ගෙවා ඇති අයුරු එ් ආකාරයෙන් ම අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින අට වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    තථාගතයන් වහන්සේ පව් කළ උදවිය එම පව් හේතුවෙන් දුගතිය කරා යන ආකාරයත්, පින් කළ අය එම පින් හේතුවෙන් සුගතිය කරා යන ආකාරයත් එ් ආකාරයෙන් ම මනා කොට අවබෝධ කොට වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින නව වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් උපදවා ගත් අතිවිශිෂ්ට ඤාණයෙන් සියලූ කෙලෙසුන්ගෙන් මිදී උතුම් අරහත්වයට පත්වී වදාළා. මේක තථාගතයන් වහන්සේ තුළ පවතින දස වැනි ඤාණ බලය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ‘‘ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ කියා ප‍්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ ධර්මයන් අවබෝධ කර නැත” කියා ලෝකයේ කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයක්. එහි නිමිති මාත‍්‍රයක්වත් නැහැ. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ. මේ තථාගතයන් වහන්සේ තුළ පවතින පළමු විශාරද ඤාණය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ‘‘ඔබ වහන්සේ නිකෙලෙස් වූ රහතන් වහන්සේනමක් කියා ප‍්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ කෙලෙසුන් ප‍්‍රහාණය කළේ නැත” කියා ලෝකයේ කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයක්. එහි නිමිති මාත‍්‍රයක්වත් නැහැ. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළයි. මේ තථාගතයන් වහන්සේ තුළ පවතින දෙවන විශාරද ඤාණය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ‘‘ඔබ වහන්සේ නිවන් මඟට අනතුරු දේ වශයෙන් යම් යම් දේ පෙන්වා දී තිබෙනවා ද එ් දේ සේවනය කළාට කිසිදු අනතුරක් නැත” කියා ලෝකයේ කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයක්. එහි නිමිති මාත‍්‍රයක්වත් නැහැ. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළයි. මේ තථාගතයන් වහන්සේ තුළ පවතින තෙවන විශාරද ඤාණය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*   ‘‘ඔබ වහන්සේ යම් ජීවිත අවබෝධයක් ඉලක්ක කොට ධර්මය දේශනා කරන නමුත්, එම ධර්මය පුරුදු පුහුණු කරන කෙනෙකුට දුකින් නිදහස් වීම කළ නො හැකි ය” කියා ලෝකයේ කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නොවන දෙයක්. එහි නිමිති මාත‍්‍රයක්වත් නැහැ. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළයි. මේ තථාගතයන් වහන්සේ තුළ පවතින සිව්වන විශාරද ඤාණය යි. එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ‘‘පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහික වූ මේ ලෝකයා විසින් ද දෙව් මිනිස් ප‍්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද අසනා ලද යමක් ඇද්ද ආඝ‍්‍රාණය කරන ලද යමක් ඇද්ද රස විඳින ලද යමක් ඇද්ද පහස ලැබුවා වූ යමක් ඇද්ද සිතින් විමසන ලද යමක් ඇද්ද සොයාගත් යමක් ඇද්ද ලබාගත් යමක් ඇද්ද එ් සියල්ලක් ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ වෙයි ද එ් නිසා තථාගත යයි කියනු ලබන්නේ ය.” එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ‘‘පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහික වූ මේ ලෝකයේ සෑම දෙයක් ම තථාගතයන් වහන්සේ මැඩපවත්වන්නාහු ය. අනභිබවනීය වන්නේ ය. එ්කාන්තයෙන් ම සියලූ දේ අවබෝධ කළාහු ය. සියලූ දෙය තම වසඟයට පමුණුවා ගත්තාහු ය. එ් නිසා තථාගත යයි කියනු ලබන්නේ ය.” එහෙම එකක් නෑ, උන්වහන්සේගේ අවබෝධය හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    මෙවැනි වූ අසමසම වූ අනභිභවනීය  වූ දසබල ඤාණයන්ගෙන් සමන්විත වූ සිව් විශාරද ඤාණයන්ගෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය නිය පිටට ගත්ත පස් චුට්ටක් වගේ හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    භාග්‍යවතුන් වහන්සේත් ලෝකෙ ගැන ගොඩාක් දේවල් දන්නෙ නෑ, දන්නෙ හරිම ඇබිත්තක් ය කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    දන්නෙ නැතිකම කියන්නෙ හරිම හපන්කමක් ය කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    ලෝකෙ දන්නෙ නැතිකම ගැන උදාහරණ ගන්නව නම් බුදුරජාණන් වහන්සේ හැර එ්කට ගන්න වෙන කිසිම උපමාවක් ඇත්තෙ ම නෑ කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

*    මේ ලෝකෙ සිනමාපටවලින් හරි, ටෙලි නාට්‍යවලින් හරි, පොත්පත්වලින් හරි එ් දේවාතිදේව බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ මහෝත්තම වු බුදුරජාණන් වහන්සේගේ අසමසම වූ අනභිභවනීය වූ අවබෝධය හෑල්ලූවට ලක් කරමින් කතා කරද්දි එ්වට අත්පොළසන් දිදී හිනාවෙවී බලනකොට එ් බලන අයටත්, එ්වා හදන අයටත් පවු රැස්වෙන්නෙ නෑ කියල කවුද ඔයාලට බොරු කිව්වේ…?

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ