ජීවිතයට වටිනාකමක් දීම වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් දේවල් මොනතරම් ප‍්‍රමාණයක් ඔබ සතු ද?

මිනිසුන් ස්වකීය පැවැත්ම උදෙසා බොහෝ දේවල් වියදම් කරනවා. එ් වැය කරන දේවල් අතරේ ධනය, බලය වගේ ම කුලයත් තියෙනවා. එ්වායින් එකක් හරි ඔබත් ඔබ වෙනුවෙන් යොදා ගෙන ඇති බව නිසැක යි.
එ් සමහර දේවල් වියදම් කරද්දී ප‍්‍රමාණයෙන් අඩු වෙනවා. සමහර දේවල් යොදා ගනිද්දී එ්වගේ ගුණාත්මක වටිනාකම අඩුවෙනවා. එ් මොන දේ වුණත් වියදමට අදාළ ව ‘ආදායමක්’ හැමෝටම ලැබෙනවා. අන්න එ් ‘ආදායම’ තමයි භව පැවැත්ම සකස් කරන්නේ. වියදම හොඳ නම් ආදායමත් හොඳයි. ආදායම හොඳ නම් පැවැත්ම යහපත් සහ සුවපහසුයි. වියදම නරක නම් ආදායමත් එනිසා ම පැවැත්මත් දුක් සහගත යි. මේක අනවරත න්‍යායක්. අප මෙතැන ‘වියදම’ ගැන කතා කරන්නේ එහි තියෙන භෞතික වටිනාකමේ මිම්මෙන් නෙමෙයි, ආධ්‍යාත්මික වටිනාකමේ මිම්මෙනුයි.

සියලූ මිනිසුන් එක ම මිනිස් කුලයකට අයිතියි. එ්ත් ලෝකයේ ඇතැම් රටවල්වල, විශේෂයෙන් ම දකුණු ආසියාතික සමාජයේ, මිනිසුන් විවිධ සමාජ තරාතිරම්වලට ඇද දමන කුලවාදයක් පවතිනවා. බටහිර සමාජයේ මෙය දැකිය හැක්කේ වෙනස් මුහුණුවරකින්. එනම් වර්ණ භේදවාදය ලෙසින්. එකරුණු එසේ වෙද්දී අද කතිකාවත දිගහැරෙන්නේ මිනිසුන් නො මිනිසුන් බවට පත්කිරීමට තරම් දරුණු වූත්, හීන වූත්, දීන වූත් කුලවාදය පිළිබඳවයි.

කි‍්‍ර.පූ. 06 වන සියවස වෙද්දී ඉන්දියාවේ මහා පිළිලයක් විදියට කුලවාදය පැතිර ගියා. ‘මහා බ‍්‍රහ්මයා විසින් ලෝකය මවන ලදි’ යනුවෙන් කල්පිතයක් ඉදිරිපත් කළ බමුණන් එයට මුවා වී මහා බ‍්‍රහ්මයාගේ මුවින් බ‍්‍රාහ්මණයන් ද, දෙඋරෙන් ක්ෂත‍්‍රීයන් ද, දෙකලවයෙන් වෛශ්‍යයන් ද, යටි පතුලෙත් ශුද්‍රයන් ද මවන ලද බව කියා සිටියා. එ් අනුව බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන පිළිවෙළට සමාජ තරාතිරම, පිළිගැනීම හා වටිනාකම අවරෝහණය වෙන බව පවසා ඔවුන් නීච කුලවාදය භාරතය තුළ තහවුරු කළා. පසු කාලීන ව ශ‍්‍රී ලංකාවට පැතිර ආවේ භාරතය මව්බිම කර ගත් කුලවාදයේ ගුරු හරුකම් ලද කුල ක‍්‍රමයක්.

ලොව බිහි වූ අසම සම අසහාය මනුෂ්‍යරත්නය වුණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වර්ණ වාදය සෘජු ව ම ප‍්‍රතික්‍ෂේප කළා. බමුණන්ගේ චතුර්වර්ණ සංකල්පයේ පදනම් විරහිත බව දක්වමින් තථාගතයන් වහන්සේ ‘වාසෙට්ඨ’ මානවකයාට දේශනා කොට වදාළේ:
‘‘යම් සත්ත්ව වර්ග අතර ජාතින් කෙරෙහි ජාතියෙන් හටගත් සටහන් බොහෝ ඇත. එහෙත් මනුෂ්‍යයන් හට කෙස්වලින්, හිසින්, කන්වලින්, ඇස්වලින්, මුඛයෙන්, නාසයෙන්, දෙතොල්වලින්, ඇහිබැම වලින්, බෙල්ලෙන්, දෙඋරෙන්, බඩෙන්, පිටෙන්, ඉඟටියෙන්, පපුවෙන්, මෛථුන සම්බාධ ස්ථානයෙන්, අත්වලින්, පාවලින්, ඇඟිලිවලින්, නියවලින්, කෙණ්ඩ වලින්, කලවාවලින්, වර්ණයෙන්, කටහඬෙන්, ජාතියෙන් හටගත් වෙනසක් දක්නා නො ලැබේ” කියල යි.
(වාසෙට්ඨ සූත‍්‍රය – මජ්ඣිම නිකාය)

විවිධ නම් කුලගොත් අතැර එ් බුදු සසුන තුළ නිවී සැනසෙන්නට ප‍්‍රඥාවන්තයින් සමත් වුණා. කුලවාදය බිඳහෙලා එවැනි අසිරිමත් දෙයක් ඉස්මතු වුණේ බුදු සසුන තුළ පමණ යි. එ් වගේ ම උපතින් කිසිවෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයකු නො වන බවත් ක‍්‍රියාවෙන් ම බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වෙන බවත් තථාගතයන් වහන්සේ වසල සූත‍්‍රයේ දී පෙන්වා වදාළා.

අනුත්තර මනුෂ්‍යරත්නය පහළ වූ භාරතයේ තවමත් එ් නීච කුලවාදය දරුණුවට ක‍්‍රියාත්මක වෙනවා. මෑතක දී මාධ්‍ය හරහා වාර්තා වුණේ ඉන්දියානු ගමක කුලවත් දරුවන්ගේ නමක් වන ‘නීරජ්’ යන්න කුලහීන යැයි සම්මත වූ දරුවෙකු හට සිය පියා විසින් යෙදීමේ වරදට කුලවන්තයන් විසින් මේ අහිංසක දරුවා කෲර ලෙසින් මරා දැමු බවයි. අන්ධ, මිථ්‍යා මත විසින් මිනිසුන් කෙතරම් දරුණු ප‍්‍රපාතයකට ඇද දමනවා ද?

ඉන්දියානු ආභාසය ලද ශ‍්‍රී ලාංකික කුලවාදය නම් දැන් ක‍්‍රමයෙන් බැහැර ව යන්නක්. සිිංහල රාජ්‍ය තන්ත‍්‍රයත්, කුල ව්‍යුහයත් යම් යම් යුගවල දී දැඩි ව සම්බන්ධ ව තිබුණා. ද`ඩුවමක් ලෙස ඇතැම් විට කුලය පහත හෙලීම රජුගේ මැදිහත්වීමෙන් සිදු වූ බව ඓතිහාසික මූලාශ‍්‍ර පෙන්වා දෙනවා. එ් අතීත කුලවාදයේ දරුණු බලපෑමෙන් බොහෝ දුරට නිදහස් වෙලා කුලය වෙනුවට ධනය, අධ්‍යාපනය, පාලන බලය වැනි සාධක මුල් කරගෙන සමාජීය වටිනාකම් තීරණය කෙරෙන ක‍්‍රමයකුයි දැන් තිබෙන්නේ.

මේ ප‍්‍රවණතාවයේ ආදීනව වෙනස්. කුලවාදය තුළ උපතින් ම කුලය තීරණය කෙරෙන නිසා එය වෙනස් කරන්න බැහැ. එහෙත් එකිනෙකා සතු ධනය, අධ්‍යාපනය, පිරිස් බලය වැනි සාධක ජීවිත කාලය තුළ දී වර්ධනය කරගන්න පුළුවන්.

අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමයත් සම`ග ඕනෑ ම පුද්ගලයෙකුට උගතෙකු බවට පත් විමටත්, එ් තුළින් විවිධ අංශවලට යොමු වීමෙන් ධනය ඉපැයීමටත් සමාන අවස්ථාවක් ලැබී තිබෙනවා. කුලවාදය පරයමින් ඉස්මතු වුන ධනවාදය තුළ සිය උත්සහයෙන්, හැකියාවෙන් සමාජයේ පිළිගත් ඉහළ ස්ථරයකට පිවිසීමට ඉඩ සැලසෙනවා. එනිසා ම මේ වන විට අපේ රටේ විවාහය ආදි නොයෙකුත් කටයුතුවල දී කුල සංස්කෘතිය ඉක්මවා මූල්‍යමය තත්වය, අධ්‍යාපනය යන සාධක වටිනාකමක් ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලාංකික සමාජ ක‍්‍රමයත්, අධ්‍යාපන රටාවත් සකස් වී තිබෙන්නේ ඕනෑ ම පුද්ගලයෙකුට ස්වෝත්සාහයෙන් ධනවතෙකු වීමේ අවස්ථාව සහිත ව. එ් අතින් අපේ රට අපට බොහෝ දෑ දායාද කළ ඉන්දියාවට වඩා අපි බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා. එය සතුටට කාරණයක්.

කුලය, ධනය වගේ ම බලය කියන්නෙත් වියදම් කෙරෙන දෙයක්. ධනයත්, කුලයත් නිසා බලය තහවුරු කෙරෙන අවස්ථා ලොව බහුල යි. මේ දේවල් එකිනෙක සමඟත්, එකිනෙක පරයමිනුත් නොයෙක් විට ඉස්මතු වෙනවා. එ් ඉස්මතු වීම අවශේෂ සමාජයට පීඩනයක් ගෙනෙද්දී කුලවාදය, ධනවාදය හා බලවාදය ලෙස විවිධ සමාජ මතවාද ගොඩ නැඟෙනවා.

එකිනෙකාගේ ධනයත්, බලයත් උපතේ දී තීරණය නො වන නිසාත්, එ් දේවල් වෙන්වෙන් ව උපයා ගත හැකි නිසාත් එ් පිළිබඳ ව ස්වාධිපත්‍යයක් එකිනෙකා සතුයි. එ්ත් බලයත්, ධනයත් කුලය සේ ම අන්‍යයන් අපහසුවට පත් කරවන ආයුධ බවට පත් කරගැනීම නම් අතිශයින් ම අයහපත්. එ් දේවල් ආයුධ විදිහට භාවිත වෙන්නේ සත්චේතනාවෙන් නෙමෙයි. එ් සියල්ල ම ආයුධ ලෙස නො ගෙන, ආභරණයන් ලෙස ගනිමින් යහපතට යොදවන්න පුළුවනි. එ් ආකාරයට මේ සියලූ වාදයන් තමාටත්, අනුන්ටත් යහපත පිණිස යොදවන්න නම් මේ සියල්ල ඉක්මවා යන උත්තරීතර අංගයක් අප සතු විය යුතු ම යි.

එ් අතිශය උත්තරීතර දේ තමයි ගුණධර්ම වගාව. කුලයත්, ධනයත්, බලයත් යහපතට වගේ ම අයහපතටත් එක සේ ම වියදම් කරන්න පුළුවන්. එලෙස දෙයාකාර යෙදවීමක් තිබෙන නිසා ම යි එ් තුළින් කුලවාදය, ධනවාදය හා බලවාදය ලෙස වාදයන් ඉස්මතු වෙන්නේ. එ්ත් ගුණධර්ම තුළ අයහපත් යෙදවීම් නෑ. තිබෙන්නේ යහපත් යෙදවීම්, යහපත් වියදම් කිරීම් පමණයි. එ් නිසා ගුණධර්ම හරහා වාදයන් ඉස්මතු වෙන්නේ නෑ. අවිවාදයෙන් ම සියලූ කුලවාදයන්, ධනවාදයන් හා බලවාදයන් ඉක්මවා යන එක ම දේ තමයි ගුණධර්ම.

කුල සංස්කෘතිය යල් පැන යන මේ යුගයේ ඉතිරි වෙන ධනය හා බලය තහවුරු කිරීමේ ක‍්‍රියාවලිය ගුණධර්ම තුළින් පාලනය කරන්න පුළුවන් නම්, අපේ රට යහපැවැත්ම තහවුරු කෙරුණ, භාග්‍යවන්ත දේශයක් කරන්නට නිසැකයෙන් ම පුළුවන්. ඉන්දියාව අදටත් බැට කන්නේ සම්ප‍්‍රදායික කුල ක‍්‍රමයෙන්, එ් වගේ ම අධ්‍යාපනය තුළින් ඉදිරියට එන්න බැරිකමින් සහ බටහිර ජාතිීන් විසින් ඇවිලූ කාම ගින්නට හසුවී ගුණධර්ම නැසීමෙන්. නමුත් ශ‍්‍රී ලාංකේය සමාජය වෙතින් එ් දරුණු අනතුර බොහෝ සෙයින් පහව ගොසිනුයි තිබෙන්නේ.

උතුම් සම්බුද්ධ දර්ශනය අනුව යමින් ගුණගරුක සමාජයක් බිහි කරන්න අපට පුළුවන්. සම්බුදු මුව ම`ඩලින් වදාළ සුභාෂිතයන්ට අනුව ගුණවත්, සිල්වත්, නැණවත් සහ හරවත් සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කරන්න, දෙලොව යහපත උදෙසා යහපත් දේ යොදවලා වියදම් කරලා අතිශයින් යහපත් දේ උපයා ගන්න උතුම් අවස්ථාවකුයි අපට ලැබිල තියෙන්නෙ. විය පැහැදම් කරන විට ප‍්‍රමාණාත්මක ව අඩු වෙන්නේ මිල මුදල්. එහෙත් ගුණධර්මවලින් පොහොසත් මිනිසුන් එ්වා යහපත වෙනුවෙන් යොදවද්දී ප‍්‍රමාණාත්මක ව අඩු නො වෙනවා පමණක් නෙමෙයි, එ් වත්කම්වල ගුණාත්මක භාවයන් තව තවත් තීව‍්‍ර වෙනවා. එය අසිරිමත් කාරණයක්.

සිතින්, කයින්, වචනයෙන් යහපතෙහි ම හැසිරෙමින්, ගුණ දහමින් පරිපූර්ණ බවට පත්වීම අග‍්‍රතම ලාභයක්. එය මෙලොවටත්, පරලොවටත් අග‍්‍රගණ්‍ය ආයෝජනයක්. මේ මිනිස් සනුහරයේ යම් කිසිවෙක් දැන උගත්කම්, මිල – මුදල් සියල්ල සමඟ ම එ්වාට පෙරමුණේ ගුණධර්ම දියුණු කර ගත්තොත් ඔහුයි, ජිවිතය අර්ථවත් කරන්නේ. ඔහුයි ජිවිතයේ සුව පහසුව තනා ගන්නේ. ඔහුයි ජීවිතයට විමුක්තිය ළඟාකර ගන්නේ. කුලය, ධනය, බලය මොන දේ යොදාගත්තත් ජාති, ජරා, ව්‍යාධි, මරණවලින්, හැඞීම්, වැලපීම්වලින්, දුක් දොම්නස් කිසිවකින් කිසිවෙක් ගැලවෙන්නේ නෑ. මරණය ඔය කිසිවක් මායිම් කරන්නෙත් නෑ. එ්ත් ගුණධර්ම යොදාගෙන සැපෙන් ජීවත්වෙන්න විතරක් නෙමෙයි, ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් සහ හැඬීම්, වැලපීම්, දුක් දොම්නස්වලින් සදහට ම නිදහස් වන්නටත් ප‍්‍රඥාවන්තයින්ට පුලූවන්. සම්බුදුරජුන්ගේ අමාදම් ග`ගුලෙන් සැනසීම ලබන්නේ එවැනි ප‍්‍රඥාවන්තයින්.

ලොව පහළ වුණ ගුණවන්ත ම, නැණවන්ත ම, සිල්වන්ත ම මනුෂ්‍ය රත්නය ශාස්තෲ කොටගත් අපටත් වඩා වෙන කවුරු නම් ගුණ දහම් දියුණු කරගෙන, සැමට යහපත සලසන පරම ශ්‍රේෂ්ටත්වයට පත් වෙන්න ද?
‘‘ඉපදුණ ජාතිය අහන්න එපා. අහන්න ඔහු ජීවත් වෙන ආකාරය. කුලය හීන වුණත් ඔහු වීරියවන්ත නම්, අවබෝධයක් ඇත්නම්, පවට ලැජ්ජා වෙලා පවින් වැළකිලා ඉන්නවා නම්, ඔහු ශ්‍රේෂ්ඨයෙක්!”
(සංයුක්ත නිකාය)

එ් මහා ඉසිවර බුදු සමිඳුන් සරණ ගිය ශ‍්‍රාවකයන් වූ අපටත් එ් උතුම් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට මේ ගෞතම බුදු සසුනේ දී ම භාග්‍යය උදා වේවා!

මහාමේඝ 2012 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

විශේෂ පුණ්‍යනුමෝනාව
ටනූෂා පෙරේරා සහ උදුලා පද්මාවතී