අනාදිමත් සංසාරයේ සිට අපි ආවෙ එක එක විදිහෙ පැතුම් පොදි බැඳගෙන. වරෙක මහේශාක්‍ය රජෙක් වෙන්න ආශා කරන්න ඇති. එහෙම නැත්තම් සුරූපී රැජිණක් වෙන්න ආශා කරන්න ඇති. නැත්නම් බොහෝ සැප සම්පත් ඇති සිටුවරයෙක් වෙන්න ආශා කරන්න ඇති. මහේශාක්‍යව දෙව්ලොව උපදින්නත් සිහින මවන්න ඇති.

ගෙවාගෙන ආ අති දීර්ඝ සසර ගමනේ අපට අනන්තවත් මේ වගේ අවස්ථා ලැබෙන්න ඇති. එච්චර විතරක් නො වෙයි……. මනුස්ස ලෝකෙට ආපු අනේක වාරවල කොරු….
අබ්බගාතයෝ…. අන්ධයෝ…. ගොළුවෝ…. බිහිරෝ වෙලා උපදින්න ඇති. තවත් කෙනෙකුට බලන්න බැරි විදිහට පිළිකුල හිතෙන, බය හිතෙන, සිනහව උපදවන විකෘති රූප ඇති ව උපදින්න ඇති. සල්ලාල වැඩ කරන, පහත් ම පහත් දුසිරිතේ හැසිරෙන උදවිය වෙලත් උපදින්න ඇති. එ් විතරක් නො වෙයි, ලෝ දිය ගිනි ගුලි ගිලින, අප‍්‍රමාණ පීඩා විඳින නිරයෙ නිරිසතුන් වෙලා, අසූචි බුදින, තණකොළ බුදින, මස් මාංශ බුදින, නොයෙකුත් ජරාව බුදින තිරිසන් ලෝකයේ තිරිසන් සතුන් වෙලා, අසූචි, මළ, මුත‍්‍රා, සෙම, සොටු, ලේ, සැරව ආහාරයට ගන්න පේ‍්‍රතයන් වෙලා අප‍්‍රමාණව උපදින්න ඇති. මේ විදිහට සතර අපායෙ උපන්න අවස්ථා මෙතෙකැයි කියල නිමකරන්න බැරි තරම්.

එ්ත් එක්කම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් සෝභමාන, පින්වත් ශරීරයක් ඇති, මේ මහා පෘථිවි තලය ම දැහැමෙන් සෙමෙන් පාලනය කරන, මහා අනර්ඝ රත්න හතක් සමඟ මේ මනුලොව පහළවන කෙලෙස් සහිත පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨතම පුරුෂයා වන සක්විති රජුන් වෙලත් උපදින්න ඇති. එහෙත් අද වෙනකොට එ් එකක්වත් නැති සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්ත්වය තමයි අප ලබල තියෙන්නේ.

මෙන්න මේ විදිහට අප මේ සත්ව ලෝකයේ අනේක ප‍්‍රකාර ජීවිත ලබමින් මේ දක්වා විඳව විඳවා ආපු ගමනක් නේද මේ? මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනි වතාවට…… දෙව් මිනිස් ලෝකයාගේ වාසනාවට ලොව පහළ වී වදාළ ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් සහිත වූ….. මරුන් සහිත වූ…. බඹුන් සහිත වූ….. ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප‍්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි කිසි දෙවියෙකුට…. කිසි මාරයෙකුට…. කිසි බ‍්‍රහ්මයෙකුට…. කිසි ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙකුට….. ලෝකයේ වෙන කවරෙකුට හෝ ආපසු හැරවිය නො හැකි වූ එ් උතුම් දහම් සක ප‍්‍රවර්ථනය නොකරන්නට ඔබත්, මමත් මේ වන විටත් එ් පිළිබඳ ව නො දන්නවුන් පමණ ම යි. සැප, දුක් වේදනා විඳවමින් මේ ගෙවූ සසර පුරාවට අවිද්‍යාවේ කළු තිමිර පට අපේ දෙඇස් යුගලයන් කිටි කිටියේ තද කොට වසා තිබුණා නේ ද?

මෙයයි ප‍්‍රශ්නය…. තව දුරටත් මේ ‘විඳීම’ අවබෝධ නො කොට අනාගතය පුරාවට එවන් ගමනක් යන්නට අර අඳිනවා ද? එහෙම නැත්නම් මේ දුක්ඛිත සංසාර ගමනට සදහට ම තිත තබනවා ද? බුද්ධිමත් අය නම් කලාතුරකින් ලැබුණු මේ දුර්ලභ වූ මිනිස් ජීවිතය උපයෝගී කර ගෙන ප‍්‍රඥාවේ නැණ පහන දල්වනු එ්කාන්තයි. එ් සඳහා ඔබටත්, මටත් ගෞතම බුදු සසුනේ අමා රැකවරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ මනා කොට දැක ගෙන, මනා කොට දැනගෙන, මනා කොට ප‍්‍රත්‍යක්‍ෂ කරගෙන, දේශනා කරන ලද අකාලික ධර්මය ඉතා නිවැරදිව, ඉතා පැහැදිලිව, ඉතා ලිහිල්ව අසන්න ලැබී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ විඳීම අවබෝධ කරන ආකාරය දුතිය ගෙලඤ්ඤ සූත‍්‍රයේ දී (සං.නි. 04) බොහොම ලස්සනට දේශනා කොට වදාළා. සාමාන්‍ය ලෝක ස්වභාවය විඳීම මම… විඳීම මගේ… විඳීම මගේ වස`ගයේ පවත්වන් පුළුවන්… කියන අදහසේ පැවතීමයි. එ් කියන්නේ මට ඕනෑ හැටියට විඳීම ලබන්න… පවත්වන්න… වෙනස් කරන්න… හැකියාව ඇත කියලා සිතනවා. භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රථම වරට මේ මනු පියස තුළ නිකෙලෙස් ස`ග පිරිසක් බිහිකළ අනන්ත ලක්ඛණ සූත‍්‍ර දේශනාවේ දී ම එම කාරණාව මනාව දේශනා කළා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විඳීම අනිත්‍යයයි… සංඛතයි… පටිච්ච සමුප්පන්නයි… කියලා දේශනා කළා. එහෙම දේශනා කළේ අප කෙරෙහි උපන් මහා කරුණාවෙන් ම යි.

උන්වහන්සේ වදාළා, ‘‘එ්තානි භික්ඛවේ රුක්ඛ මූලානි…. එ්තානි සුඤ්ඤාගාරානි… ඣායත…. මා පමාදත්ථ… මා පච්ඡුා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං ඛෝ අම්හාකං අනුශාසනී.”
‘‘ඔය තියෙන්නේ ගස් මුල්. ඔය තියෙන්නේ නිහඬ සෙනසුන්. ධ්‍යාන වඩන්න ප‍්‍රමාද වෙන්න එපා. ප‍්‍රමාද වී පසු තැවෙන්න එපා. මෙයයි අපගේ අනුශාසනාව” කියල. බලන්න සම්බුදු හදමඬලක ගලා හැලෙන කරුණාව.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ, ‘‘මා කෙරෙහි වෛරී ප‍්‍රතිපත්තියෙන් තොරව මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් යුතු ව වාසය කරන්න” කියලා. එ් කියන්නේ සුවඳ කරඬුවක් දිග හැරියා වගේ මේ දෙව් මිනිස් ලෝකයා වෙත පතුරුවා හළ අසිරිමත් සිරි සදහම් පිළිවෙත කඩ නො කොට, එ් වූ පරිද්දෙන් ම දහමේ හැසිරීම තමයි අප කළ යුත්තේ.

සාමාන්‍යයෙන් අප එදිනෙදා ජීවිතය පවත්වද්දී ඇස…. කන… නාසය…. දිව…. කය….. මනසට නිතර නිතර විඳීම් ලැබෙනවා. දිව සම්බන්ධයෙන් විඳීම් සැලකූවිට එ්වා ලැබෙන්නේ යමක් කන බොන වෙලාවට පමණයි. දැන් අපි හිතමු අපට රසවත් ආහාර වේලක් ලැබුණා කියලා. එතකොට අපට ලැබෙන්නේ සැප සහගත විඳීමක්. මේ සැප විඳීම හේතු සහිතවයි ලැබුණේ. හේතු රහිතව නො වේ. මොකක් ද හේතුව? එ්කට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය ඇති වුණේ කරුණු තුනක් එක් වෙලා. මොනව ද එ් කරුණු? දිවයි… රසයි… දිවේ විඤ්ඤණයයි.

මේ රසය ඇති වුණේ සතර මහා ධාතුවලින්නේ. පඨවි ධාතු (පොළොවට පස් වෙලා යන ගතිය)… ආපෝ ධාතු (දිය වී යන වැගිරෙන ස්වභාවය)… තේජෝ ධාතු (සිසිල් වී යන උණුසුම් වන ස්වභාවය)… වායෝ ධාතු (හමා යන වායු ස්වභාවය)… මේ සතර මහ ධාතු අනිත්‍යයිනේ… එහෙනම් රසයත් අනිත්‍යයි.

මේ අනිත්‍ය වූ සතර මහ ධාතු ඇතුළත් නාමරූප ප‍්‍රත්‍යයෙන් ආයතන හයත්, ආයතන හය නිසා ස්පර්ශයත් හට ගන්නවා. ස්පර්ශය නිසා විඳිනවා. එ් විඳීම හඳුනා ගන්නවා. හඳුනාගත් දේ ගැන සිතිවිලි පහළ කර ගන්නවා. එහෙනම් අනිත්‍ය වූ නාමරූපවලින් හටගන්නා දිවත් අනිත්‍යයයි. දිවේ විඤ්ඤාණයත් අනිත්‍යයි. අනිත්‍යවූ දිවත්… රසයත්… දිවේ විඤ්ඤාණයත් එකතු වීමෙන් සැදෙන දිවේ ස්පර්ශය අනිත්‍යයි. එයින් ඇතිවන විඳීම කොහොමවත් නිත්‍ය වෙන්නේ නැහැ.

මේ විඳීම සංඛතයි. හටගැනීමත් පේනවා… වැනසීමත් පේනවා… පවතින දෙය තුළ වෙනස් වෙමින් පවතිනවා. මේ දිවේ විඳීම පටිච්ච සමුප්පන්නයි. ස්පර්ශය ඇති කල්හි විඳීම තිබෙනවා. ස්පර්ශය උපදින විට විඳීම උපදිනවා…. ස්පර්ශය නැති කල්හි විඳීම නැහැ. ස්පර්ශය නිරුද්ධ වූ කල්හි විඳීම නිරුද්ධ වෙනවා…. අනිත්‍ය වූ හේතුඵල දහමක පැවැත්මක් තුළ නිත්‍ය වූ, සාර වූ යමක් කෙසේ නම් බලාපොරොත්තු වෙන්න ද?

භාග්‍යවතුන් වහන්සේ මේ විඳීම දිය බුබුළකටනේ උපමා කළේ…. වැස්ස වෙලාවට අහසින් වැටෙන දිය බිඳු වැසි ජලය මතට පතිත වන විට බුබුළක් මතු වෙනවා. හදිසියේ මතුවන මේ බුබුළ ආකර්ෂණීය අයුරින් දිය මත පාවෙනවා…. ඉතා ම සුළු මොහොතයි…. හදිසියේ ම බිඳී යනවා… බුබුළක සේයාවක්වත් දිය මත පෙනෙන්නේ නැහැ. යළි යළිත් ජල බිඳු පතිත වෙනවා. එ් සැණින් බුබුළු මතු වෙනවා. ඇති වෙනවා… පවතිනවා… නැති වෙනවා…. මේකම නේද අපේ ජීවිතයත්?

අප නිත්‍යයයි කියා සිතාගෙන සිටින දේ අනිත්‍ය වෙනවා. සැපයි කියලා හිතාගෙන ඉන්න දේ දුක් සහිත වෙනවා. ආත්මයි කියලා හිතාගෙන ඉන්න දේ අනාත්ම වෙනවා. අනිත්‍යයි…. දුකයි…. අනාත්මයි….

අපි මේ විදිහට හිමිහිට හිමිහිට පුරුදු කරමු. අපි මේ විදිහට හිමින් හිමින් නිතර නිතර මනසිකාර කරන්න ගත්තම අපට පුළුවන් ආයතන හයේ ම විඳීම නුවණින් මනසිකාර කරන්න. එ් වගේ ම අපි මේ විඳීම අතීත.. අනාගත….. වර්තමාන…. අධ්‍යාත්මික… බාහිර…. සියුම්…. ගොරෝසු…. හීන…. ප‍්‍රණීත… දුර…ළ`ග වශයෙන් එකොලොස් ආකාරයට සිහි කරන්නත් පුරුදු වෙමු. එ් වගේ ම අනිත්‍යය වශයෙන්… දුක් වශයෙන්… රෝගයක් වශයෙන්….. උලක් වශයෙන්… සැරව ගෙඩියක් වශයෙන්්… පීඩාවක් වශයෙන්…. ආබාධයක් වශයෙන්…. අනුන්ගේ දෙයක් වශයෙන්…. වැනසෙන දෙයක් වශයෙන්… හිස් දෙයක් වශයෙන්……. අනාත්ම දෙයක් වශයෙන් සමාධිමත් ව මනසිකාර කරන්න පුරුදු වෙමු.
අප සරණ ගිය අපගේ එකම ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අනුදැන වදාළ පරිද්දෙන් මේ උතුම් අසිරිමත් සිරි සදහම් අප අපගේ ජීවිතවලට ගළපා ගනිමින්, මුළාවෙන් යුතු ව විඳින ලද මේ සියලූ ම විඳීම් මනාකොට අවබෝධ කොට ගෙන අවිද්‍යාවේ කිළිටි කඩමාලූ ඉරා සුණු විසුණු කර දමන්නට…. සියලූ කෙලෙස් සෝදා හරින්නට…. සියලූ දුක් නිමා කරන්නට…….. සැනසිල්ල උදා කර ගන්නට….ශාස්තෘන් වහන්සේගේ ළයෙහි උපන් දරුවන් වන්නට……. එ් අමා නිවන සාක්‍ෂාත් කරන්නට අප සියලූ දෙනාට ම ශක්තිය, ධෛර්යය හා වාසනාව උදා වේවා!

මහාමේඝ 2013 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සටහන ඊරියකැලේ උත්තරා මෙහෙණින් වහන්සේ