‘මාක් සකර්බර්ග්’ කියන නම නො දන්න කෙනෙක් වුණත් ‘ෆේස්බුක්’ කියන අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාලය ගැන දන්නවා. කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාධ්‍ය ජාලයේ සාමාජිකයන්. අන්තර්ජාල භාවිතයේ විප්ලවීය නාමයක් බවට පත් වුණ ෆේස්බුක්හි නිර්මාතෘවරයා තමයි සකර්බර්ග්.

ෆේස්බුක් නිසා සිදු වුණ සියදිවි හානි කර ගැනීම්, අපරාධ, අපචාර, දේශපාලන විප්ලව, සදාචාර විරෝධී අපහාස ආදිය ගැන ලෝකයේ නොයෙක් දෙසින් වාර්තා වුණා. මිත‍්‍රත්වය හා දැනුම හුවමාරු කර ගත හැකි මාධ්‍යයක් ලෙසින් ෆේස්බුක් නිර්මාණය කරපු සකර්බර්ග් මේ කිසිවකට වග කිව යුතු නො වන්නේ එය ඔහුගේ වරදක් නො ව මේ සමාජ මාධ්‍ය ජාලය අවභාවිතයේ යොදවන මිනිසුන්ගේ සිතුවිලි දහරාවන්ගේ වරදක් වන නිසයි.

31 හැවිරිදි මේ කෝටිපතියා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පියෙකු බවට පත් වුණා. ඔහුට දා ව උපන් මැක්සිමා චෑන් සකර්බර්ග් නම් වූ කුළුඳුල් දියණිය වෙනුවෙන් ඔහුත්, බිරිඳත් අපූරු ත්‍යාගයක් වෙන් කළා. එ් ත්‍යාගය එදා මෙදාතුර ඇමෙරිකාවෙන් ලෝකයට පිදුනු පරහිතකාමී ම ත්‍යාගය ලෙස ලෝක මාධ්‍යය හඳුන්වා දී තිබුණා. සකර්බර්ග් යුවළ තම දියණියගේ උපත වෙනුවෙන් ලෝකයට දුන් තෑග්ග වුණේ ෆේස්බුක් අඩවියේ ඔවුන්ට හිමි කොටස්වලින් 99%ක් සුබසාධක කටයුතු උදෙසා වෙන් කිරීම. එහි අගය ඇමෙරිකානු ඩොලර්වලින් බිලියන 46ක් පමණ වනවා.

මේ සා විශාල අත්හැරීමක් කරන්නට කෙනෙකුගේ සිත නැඹුරු වීම ලෝකයේ දුර්ලභ සිදුවීමක්. අත්නොහැර, ලද සැපත අල්ලා ගන්නා සමාජයක සකර්බර්ගේ මේ කාර්යභාරය ප‍්‍රශංසනීය යි.

කෙනෙකුට දෙයක් අත්හැරීම පහසුවෙන්නේ වැඩියෙන් තිබෙනකොට ද? අඩුවෙන් තිබෙනකොට ද? නිසැකව ම වැඩියෙන් තිබෙනකොටයි. වැඩිපුර තිබෙන කෑමක් බීමක්, ඇඳුමක් පැලඳුමක් වුණත් අත්හැරීම අපහසුවක් නැතිව කර ගන්නට පුළුවනි. නමුත් ඉතා ම සීමිත ව තිබිය දී දෙයක් පරාර්ථය සලකා අත්හැරීම කරන්නට දක්ෂ වෙන්නේ ඉතාමත් ම සුළු පිරිසක් පමණයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙර භවයක එ්කසාටක බමුණා ලෙස ඉපිද සිටිය දී තමන්ගේත්, බිරිඳගේත් පරිහරණයට තිබූ එක ම සළුව අත්හැරියේ එවන් දුෂ්කර ම අත්හැරීමක් සිදු කරමින්. අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙරභවයක උයන්පල්ලෙකු ව ඉපිද තමන් සතු වූ එක ම බත්පත පසේබුදුරජාණන් වහන්සේනමකට පූජා කළේ එවැනි ම අති දුෂ්කර අත්හැරීමක යෙදෙමින්.

ස්වල්පයක් ඇති කල්හි දෙන්නා වූ එ් දානයන්, දහසකින් දුන්නා වූ දානය හා සමාන වන්නේ යැයි වශයෙන් එක්තරා දෙවියෙකු විසින් කළ ප‍්‍රකාශය, මැනවින් පවසන ලද්දක් ලෙසින් අපගේ ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ බව සංයුත්ත නිකායේ මච්ඡුරී සූත‍්‍රයේ දැක්වෙනවා.

ඇති කල්හීත්, නැති කල්හීත් දෙන දානය සත්පුරුෂයන්ගේ ප‍්‍රශංසාවට ලක් වනවා. එ් නිසා, සෑම කල්හි ම දන් දීම ම යි වටින්නේ… ඇතත්, නැතත්…!