පසුගිය කලාප කිහිපය පුරා ම අප මේ ලිපිය හරහා ලෝකයේ තොරතුරු බහුල ව කථා බහට ලක් කළා. ලෝකෙ වටේ යන අතරෙ ම මේ පුංචි රටෙත් අපමණ අගයන් තිබෙනවා ද යන්න සොයා බලන්න අප අමතක කළේ නැහැ. එ් සොයා බැලීම නිසාවෙනුයි පසුගිය දෙසැම්බර් මාසයේ දී, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවයේ යෙදෙන රියදුරු මහතෙකුත්, කොන්ෙදාස්තර මහතෙකුත් ගැන අපට අසන්නට ලැබුණේ. මහත්මා ගුණයටත්, උතුම් මනුෂ්‍ය ගුණධර්මයන්ටත් තම සිත් සතන් වාසස්ථානයක් බව පෙන්වූ මේ දෙදෙනා තමයි කටුබැද්ද ඩිපෝවේ මාර්ග අංක 225/17 පානදුර – මහනුවර බස්රථයේ සේවයේ නිරත වන රියදුරු ඞී. එ්. ධම්මික තුෂාර මහතා සහ කොන්ෙදාස්තර ළහිරු දිල්ශාන් මහතා.

පාන්දර හතරහමාරට පානදුරෙන් පිටත් වෙලා උදෑසන නවයහමාර වෙනකොට මහනුවරට ළඟා වුණ බස් රථයේ සියලූ මගීන් බැස ගිය පසු මහනුවර දකුණු ඩිපෝවට මේ සේවක මහතුන් දෙදෙනා විසින් බස් රථය ගෙන ගොස් තිබුණා. ගමන් මලූ රඳවන රාක්කයේ අමතක ව ගිය ගමන් මල්ලක් ඔවුන්ගේ ඇස ගැටී තිබෙන්නේ එ් අවස්ථාවේ දී යි. එය හැර බැලූ ඔවුන් දැක තිබුණේ ඇඳුම් කිහිපයක්, බැංකු පොත් දෙකක් සමඟ මුදල් එහි තිබෙන බව. තිබුණු මුදල රුපියල් ලක්ෂ දාහතරහමාරක්. මේ සියල්ල සමඟ බෑගය නැවත වසා දැමූ ඔවුන් දෙදෙනා බෑගයක් නැති වූ බව කියමින් එහි පැමිණි පුද්ගලයෙකුට එ් ගැන පොලීසියට පැමිණිලි කරන ලෙස දන්වා ඔවුන් ද පොලිසියට ගොස් තිබුණා. එ් අනුව යි පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු අදාළ බෑගය අයිතිකරුට බාර කෙරුණේ. එ්, මහනුවර පොලිස් ස්ථානයේ දී.

එ් තරම් මුදලක් ආපසු දුන්නේ අපරාදේ කියන සියලූ දෙනාට ඔවුන්ගේ පිළිතුර වුණේ අනුන්ගේ කියන කිසි ම දෙයක් තමන්ට අයිති කර ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැති බවයි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් තමන් කළ දේ ගැන අපමණ සතුටු වන බවත්, එ් වෙනුවෙන් විශේෂ ඇගයීම් අනවශ්‍ය බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණා.

අන් සතු දේ තමන් සතු කර ගැනීමේ ආශාවෙන් දැවෙන, ඉඩ ලද ඇසිල්ලේ අන් සතු දෙය පැහැර ගන්නා මිනිසුන් ගැන නිතර අසන්නට ලැබෙන කාලයක මෙවන් දුලබ ගුණදහමින් යුතු මිනිසුන් ගැන අසන්නට ලැබීමත් වාසනාවක්. සෑම දෙයක ම අගය ඉලක්කම්වලින් මනින ලෝකයක අප කොහොම ද මෙවන් ගුණදහම්වලට මිලක් නියම කරන්නේ…

ඔවුන්ගේ අගය අපමණයි… අමිලයි… එපමණක් නො වෙයි; සමාජයට අභය, අවෛරය, නිදුක් බව දන් දෙමින් ඔවුන් මේ රැුස් කරන පුණ්‍ය සම්භාරය ඔවුනට මහත් වූ භෝග සම්පත් ලැබීම පිණිසත්, සසර සුවපත් භාවය පිණිසත් එ්කාන්තයෙන් ම උපකාර වනවා. ගුණදහමින් සුදිලෙන මේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයනුයි අපට ලොවක් තරමට ම හෝ ඊටත් වඩා හෝ වටින්නේ…