ළහිරු රැසින් පරිසරය වසාගෙන කෙමෙන් කෙමෙන් හිරු කුමරු දවස ගෙවන්නට සූදානම් වේ. ගේට්ටුවෙන් ඇතුළු වූ සුදු පැහැති වෑන් රිය ආලින්දය ඉදිරිපස නතර විය. ඉදිරිපස දොර විවෘත කර නවීන පන්නයේ විලාසිතාවට හැඳ පැලඳි කාන්තාවක් බැස්සා ය. ඇය කැටුව ආවේ දුවක යැයි සිතිය හැකි අවුරුදු හතක අටක පෙනුමැති කුඩා දැරියකි. කාන්තාව පසුපස පැති දොර විවෘත කළා ය.

‘‘hurry up අම්මි, hurry up….. මට Late වෙලා තියෙන්නේ”
ඒත් සමඟ අවුරුදු හැටකට (60) එහා පෙනුමැති කාන්තාවක් තම පාදයේ කලවයට සහ තරුණ කාන්තාව දුන් අත්වාරුවේ උපකාරයෙන් බිමට බැසගත්තා ය. ආලින්දය දිගේ තිදෙනා ම ඇවිදගෙන මා සිටි මේසය දෙසට පැමිණෙන හෙයින් ඔවුන් පිළිගැනීම සඳහා මම වාඩිවී සිටි ආසනයෙන් නැඟිට්ටෙමි.

‘‘වාඩිවෙන්න මිස්” මම කීවෙමි. මඳ සිනාවක් පෑ තරුණ කාන්තාව,
‘‘අම්මි වාඩිවෙන්න…..” යැයි තමා අසල සිටි වයසක කාන්තාව පුටුවේ ඉතා ආදරයෙන් වාඩි කළා ය.
‘‘මට warden Mr. Samaranayake meet වෙන්න පුළුවන් ද?”
‘‘මිස් ඒ මං තමයි.”
‘‘ආ Mister මං තමයි අද උදේ මෙහාට phone කළේ. ලේඩි කෙනෙක් ඉන්නව නවත්වන්න පුළුවන් ද? ඉඩ තියෙනව ද? කියලා ඇහුවෙ.”
‘‘ආ.. මට මතකයි. මේ ඒ මිස් ද?”
‘‘මේ තමයි අපේ අම්මි. මෙයා Retired school teacher කෙනෙක්. pension එකත් තියෙනවා. මටයි husbandටයි work කරන තැන්වල හරි busy ගෙදර ඉන්න time එකත් හරි අඩුයි. Day care centre එකෙන් දෝණිවත් අරගෙන ගෙදර එන්නේ රෑ වෙලා. අම්මි ව බලාගන්න අමාරුයි. අපි කල්පනා කළා මෙහේ විවේකයත් හොඳට තියෙන නිසා, rest කරන්නත් පුළුවන් නිසා අම්මි ව මෙහේ නවත්වන්න” යැයි බිමට නෙත් යොමා සිටි තම මවගේ හිස පිරිමදිමින් ඕ මා හට පැවසුවා ය.

මේ විස්තරයට සවන් දුන් මා හට කිසිදු විශේෂත්වයක් නො දැනුණි. අවුරුදු 20ක වැඩිහිටි නිවාසයේ සේවා කාලය තුළ සිදු වූ මෙවැනි සිදුවීම්වල ගණනය දක්වන ප‍්‍රස්තාරය සිත විසින් දැනටමත් ඇඳ අවසන් ය. එය ක්ෂණයකින් සිදුවන්නේ මෙවැනි සිදුවීම්වලට මුහුණ දී ලබා ඇති අත්දැකීම් සමුදාය හේතුවෙනි.

අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගත් මම හදිසියක දී දැනුම් දීමට ලිපිනය සහ දුරකතන අංකය ද සටහන් කර ගතිමි.

‘‘අනේ Mr. Samaranayake අපට මේ help කරන එකට thank you very much හොඳ ද?” ලිපි ගොනුවේ අත්සන් තබමින් ඇය මා දෙස බලා පැවසුවා ය.
‘‘අම්මි, එහෙනම් අපි යන්නම්. ඩොනල්ඞ් අද කලින් ගෙදර එනවා කීව්වා.” රෙදි බෑගය මේසය මත තබමින් තම සිඟිති දියණිය ළඟට කැඳවා ගත්තා ය.
‘‘දෝණි, ආච්චිට good bye කියන්න.”
‘‘good bye ආච්චි” මෙතෙක් හිස බිමට නවාගෙන කල්පනා සයුරේ ගිලී සිටි ආච්චි තම මිනිබිරිය දෙස බලා කිසිවක් නො පැවසුවත් දෙනෙතින් රූරා වැටෙන උණු කඳුළු දහරා තවත් දුක්ඛිත කතාන්තරයක සාරාංශය කියා පායි. ඒත් සමඟ ම වෑන් රිය ගේට්ටුව පසුකොට පියැඹුවේ ය. එතෙක් ඒ දෙස රඳවාගෙන සිටි දෙනෙත් ‘‘අම්මා..” යැයි මගේ වචනය අසත් ම තිගැස්සී කඳුළු පිරි දෙනෙතින් ම මා දෙස බැලූවා ය. ”අම්මා ඔය ගැන හිතන්න එපා. අම්මට අපි ඉන්නේ, බොහෝ ම හොඳට කාලා – බීලා විනෝදයෙන් ඉන්න පුළුවන්.” මේ පුටුවේ සිට කාටත් මුලින් ම කියවන එම වැකි පෙළ මා මුවගට නිරායාසයෙන් ම ගලා එයි. මෙතෙක් වේලා වචනයකුදු නො දෙඩූ අම්මා යමක් කීමට තැත් කරයි. මෙවැනි කථා කොතෙකුත් අසා පළපුරුද්දක් තිබූ නමුත් ඉවසීමෙන් අසා සිටීමෙන් මේ අසරණ දෙමාපියන්ගේ හිතේ තිබෙන දුකින් ටිකක් හෝ සැහැල්ලූ වී යයි.

‘‘මහත්තයෝ මේ මගේ වරදින් සිදුවුණ දෙයක්…” ඈ සුසුමක් හෙළමින් දිගු කථාවකට මුල පුරයි. ‘‘මං ඉස්කෝල ගුරුවරියක්. විවාහ වෙලා සිටියේ හොඳ ව්‍යාපාරික පරම්පරාවක කෙනෙක් එක්ක. අපිට එක ම දුවයි හිටියේ. අපට ඕන වුණේ දරුව ව වැදගත් කෙනෙක් කරන්න. මහත්තයයි මමයි හැම දෙයක් ම සැලසුම් කළේ ඒ වෙනුවෙන් ම යි. ඉස්කෝලෙ එක්කරගෙන යනවා, එතනින් ම ටියුෂන්වලට අරගෙන යනවා, තරගකාරී විභාගවලට ඉලක්ක කරමින් දරුවා සූදානම් කිරීමක් හැර ගුණධර්ම පැත්තට යොමු කරන්න වේලාවක් ඉතුරු කරගත්තේ නැහැ. සමහර දවස්වලට උදේ රැයින් පිටත්වුණා ම එන්නේ රෑ වෙලා. මට දැන් තේරෙනවා යුතුකම් වගකීම් එහෙමත් පැහැර හැරුණු වග. අපට අග හිඟකම් තිබුණේ නැහැ. අපට හොඳට සල්ලි තිබුණ නිසා දරුවා උසස් අධ්‍යාපනයට පිටරටත් යවලා වෛද්‍ය උපාධියකුත් අරන් දෙන්න පුළුවන් වුණා. ලංකාවට ආවට පස්සේ මහත්තයා බොහෝ ම මහන්සිවෙලා වියදම් කරලා දොස්තර රස්සාවක් හොයලා දුන්නා. මහත්තයත් මමත් කල්පනා කරලා අපට ඉන්න එක ම දරුව නිසා දුව විවාහ වූ පසු දා සියලූ බූදලය ඇයට පැවරුවා. ඊට ටික කලකට පස්සේ අපේ මහත්තයා අප ව අත්හැර මෙලොවින් සමුගත්තා.” ඇය කඳුළු සලමින් දිගට ම කියාගෙන ගියා ය.

‘‘දැන් ඇවිත් ගිය මිනිබිරීට මාස දෙකක් වෙනකොට මට පෙන්ෂන් යන්න අවුරුදු 03ක් තිබුණා. මං කලින් පෙන්ෂන් ගිහිල්ලා දුවට රස්සාවට යන්න මිනිබිරී බලා ගත්තා. මාස දෙකකට කලින් මගේ හන්දි අමාරුව වැඩිවෙන කල් ම ගෙදර දොරේ, පවුලේ හැම දෙයක් ම කළේ මගේ අතින් ම යි. කොටින් ම කියනවා නම් මගේ දුවගේ බත් එක පාර්සල් කරලා බෑග් එකට දාන්නෙත් මං. අසනීප වුණු මං එයාලට කරදරයක් වුණා, ගෙදර වැඩ අතපසු වුණා, ඒ අයගේ නිදහස අඩු වුණා. ඒ නිසා මට මෙහාට එන්න සිද්ධ වුණා. දරුවන්ගේ සැපය වෙනුවෙන් මං මේකත් ඉවසනවා. නමුත් මට දැන් තේරෙනවා දෙමව්පියන් විසින් දරුවන් පෝෂණය කරන විට ඉගෙනීම, දේපළ ලබා දීම පමණක් නො වෙයි දරුවන්ට හොඳ ගුණධර්මත් කියලා දෙමින්, තමන් දෙමාපියන් විදියට විඳින දුකත් ටිකක් දැනෙන්න අරින්න ඕනැ කියලා. නමුත් දැන් මං ඒකට පමා වුණා වැඩියි…”
ඉන් එහාට ඇයගේ වචන එළියට නො ආවත් වැහැරී ගිය දෙකොපුල් මතින් වේගයෙන් කඳුළු දහරා රූරා වැටෙයි.

මේ අප අතරට එන අලූත් කතාවක් නො වේ. අලූත් කෙනෙක් පමණි. වේගවත් ආර්ථික ප‍්‍රවාහයක ගසාගෙන යන, තාක්‍ෂණික දියුණුවේ ඉහළ ම කොම්පියුටර් යුගයේ ජීවත් වන අපට ගුණ දහමින් පිරි, දෙමව්පියන් පණ මෙන් රැක ගන්නා වූ දූදරුවන් දැක ගන්නට ලැබෙන්නේ ඉතා ම විරලව ය. දැන් තිබෙන්නා වූ පහසුකම් යැයි කියාගන්නා දේ නො තිබුණත් අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආභරණයක් කරගෙන අප ශී‍්‍ර ලංකා ද්වීපයෙහි කිරුළු පලන් අග‍්‍රබෝධි (අග්බෝ) රජතුමා ගැන මෙහිදී සිහි විය.

දිවා – රාතී‍්‍ර මව් උපස්ථානයේ යෙදුණු රජතුමා උදෑසනින් පිබිදී මෑණියන් සිටින සිරියහන් ගබඩාවට ඇතුළු වේ. පළමුවෙන් ම මෑණියන්ගේ හිස සෝදා ඇෙඟ් තැවරී ඇති කුණු දූවිලි උළා, හිස පිරිසිදු කර නහවයි. අලූත් වස්ත‍්‍ර පොරවයි. කිලිටි වස්ත‍්‍ර තමා විසින් ම සෝදයි. සේදූ වස්ත‍්‍රයේ ජලයෙන් ඔටුන්න සහිත තමන්ගේ හිස සෝදා, සුවඳ මලින් මෑණියන් ව පුදයි. තුන් වටයක් ප‍්‍රදක්‍ෂිණා කර තුන්වරක් වන්දනා කරනු ලබයි. රාජ භෝජනවලින් මෑණියන් ව වළඳවයි. වළඳා ඉතිරි භෝජන රජ තෙමේ අනුභව කරයි. තමන් විසින් ම සයනයක් සකස්කර මෑණියන් එහි සයනය කරවයි. පාවල තෙල් ගල්වා නිද්‍රාවට පත්වෙන තුරු පිරිමදියි. නිද්‍රාවට පත්වූ කල්හි ඇඳ වටා පැදකුණු කොට තුන් වරක් වන්දනා කොට සේවකයන්ට මෑණියන් ව භාර දී ඔවුන්ට ද රාජ භෝජනයන් ලබා දී මෑණියන්ට පිටු නො පා ගමන් කරයි. නො පෙනෙන තැන හිඳ නැවත තුන් වරක් වන්දනා කොට රාජ සභාවට පිටත් වේ. රාජ කාර්යය ඉන් අනතුරු ව අරඹයි. උපස්ථානය ගැන සිතමින් ම දවස සුවසේ ගත කරයි. රජු මෙසේ දිවි ඇති තෙක් මෑණියන්ට උපස්ථාන කළේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මව්පිය උපස්ථානය ගැන අපට මෙසේ දේශනා කොට වදාළ සේක:
‘‘පින්වත් මහණෙනි, යම් පවුල්වල දරුවන්ගේ මව්පියෝ තම නිවසේ දී ම පිදුම් ලබනවා නම් ඒ පවුල් සිටින්නේ බ‍්‍රහ්මයා සහිත ව යි, පූර්ව ආචාර්යවරු සහිත ව යි, එ් වගේ ම පූර්ව දේවතාවන් සහිතවයි, දුර සිට නමුත් රැගෙන එන ආහාර පානාදියෙන් උපස්ථාන ලැබීමට සුදුසු උතුමන් සමඟයි. ප‍්‍රජාවට අනුකම්පා කරන මව්පියවරු වනාහි බ‍්‍රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු, පූර්ව දේවතාවන් කියලා කියන්නෙත් ඔවුන්ට යි. පින්වත් මහණෙනි, ආහුනෙය්‍ය යනු දෙමව්පියන්ට නමකි. ඒ මව්පියෝ තම දූපුතුන් හට බොහෝ උපකාර කරන්නෝ ය. හදාවඩා ගන්නෝ ය. පෝෂණය කරන්නෝ ය. මෙලොව පෙන්වන්නාහු ය. දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසු ය. එ් නිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන් හට වඳිනවා. ආහාරපාන ආදියෙන්, ඇඳ පුටුවලින්, ඇඳුම් – පැළඳුම්වලින් උපස්ථාන කරන අතරේ ඇඟපත සේදීම, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා. මව්පිය උපස්ථානය කරනා නුවණැත්තා මෙලොව දී ප‍්‍රසංසාවට ලක්වෙනවා. ඒ අය මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ උපදිනවා.
(සබ‍්‍රහ්මක කුල සූත‍්‍රය – අංගුත්තර නිකාය)

ඒ අනුව අපට තේරුම් ගැනීමට තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන ශ‍්‍රද්ධාව ඇති කෙනා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව හැසිරීමට උත්සාහ කරන බවයි. සාමාන්‍ය නිවසක ජීවත් වීමේ දී එදිනෙදා මනුෂ්‍යයන්ට නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දීමට සිදුවේ. එසේනම් ධාර්මික රජෙකු රට වැසියා පිළිබඳ කටයුතු කිරීමේ දී ඉටු කළ යුතු වගකීම් ගැන කවර කතා ද? එසේ කාර්ය බහුල රජ කෙනෙක් ව සිටියදීත් අග‍්‍රබෝධි රජතුමා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය හිස් මුදුනේ තබා කි‍්‍රයාකරමින් අප හට උගන්වන ලද පාඩම අමිල ය. සියලූ දෙනාට ම තම හදවතට තට්ටුකර බලන්නට දැන් හොඳ ම කාලය යි, තමන්ගේ යුතුකම් කොටස ධර්මයට අනුව ඉෂ්ට වෙනවා ද? නැද්ද?
ධර්මයේ හැසිරෙමින් මව්පිය උපස්ථාන කරමින් සිටින ගිහි පැවිදි සියලූ දෙනාට ම මෙය තුටු පඬුරක් වේවා!

ඇසුර: අංගුත්තර නිකාය – තික නිපාතය සහ මහාවංශය