highlights of the week
Home » Archives » උත්තරීතර හුදෙකලාව…

උත්තරීතර හුදෙකලාව…

ඔබ කවදා හෝ දිනක මිනිසුන්ගෙන් ඈත්ව ඉතා නිහඬ නිස්කලංක සුන්දර වන පියසක හුදෙකලාවේ අසිරිය විඳලා තියනව ද? නිරාමිස සිතුවිලි හදේ ජනිත වන එවන් සොඳුරු හුදෙකලාවක නිරාමිස සැපයක් ස්පර්ශ කළ බවට සිහිනෙකින් හෝ මතක නැතිව ඇති. නමුත් මිනිස් ක‍්‍රියාකාරකම්වලින් පිරුණු, තොරතෝංචියක් නැතිව මනස උමතු වන තරමට උස්ව ඇසෙන මිනිස් හා යන්ත‍්‍ර හඬින් දෙසවන් පිරී යන සමාජයක ජීවිත ගෙවන ඔබට එවන් ශාන්ත බවින් පිරුණු නිහඬත්වයක උපදින නිරාමිස සැපයක් පිළිබඳ සිතීමෙන් පවා සිත්හි අමුතු ප‍්‍රීතියක් හටගන්නවා නේ ද? මිනිසුන් අතරේ ඇතැම් මිනිසුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පරිවර්තනය වූයේ නිහැඬියාව තුළ යි. මුළු ලෝකයට ම යහපත උදා කරන උතුම් සංකල්පනාවන් මිනිසුන් තුළ බිහි වූයේ නිහඬ හුදෙකලාව තුළ යි.

ඇත්තෙන් ම එවන් නිසල හුදෙකලාවේ ජීවත්ව උත්තම සැපය අත්විඳි උතුම් පුරුෂයන්ගේ යුගයක් පැවතුණා. එ් බුද්ධාදි රහතුන්ගේ යුගය යි. එ් උත්තම පුරුෂයන් නිහඬත්වයෙන් අලංකාර වූ එ් සොඳුරු හුදෙකලාව තුළ හිඳිමින් මිනිසෙකුට ආධ්‍යාත්මිකව ලැබිය හැකි උත්තම ඵලය ලබා ගත්තා. මිනිසුන්ගෙන් වෙන් වී හුදෙකලාවේ දිවි ගෙවූ එ් උතුමන්ට ඔවුන් ඇලූම් කළ නිහඬත්වය වීරාගී සිතුවිල්ලටත්, නිකෙලෙස් හැගීම්වලටත් රිසිසේ වැඩෙන තෝතැන්නක් වුණා. එ් පිනැතියන්ගේ ලෝකයෙන් අද ලෝකය බොහෝ සේ වෙනස්. නිරන්තර ව කෙලෙසුන්ගෙන් පීඩා විඳින, ගුණ ධර්මයන්ගෙන් දුර්වල, මහ පුණ්‍ය බලයක් නො මැති වත්මන් ලෝකයා එවන් ආධ්‍යාත්මික සුවයක් පිණිස එකලා වුවහොත් ඔවුන්ට බොහෝ පීඩා විඳිනට සිදු වෙනවා නො අනුමාන යි. ගැඹුරු හුදෙකලාව සාමාන්‍ය මිනිසෙකුට දරාගත නො හැකියි. ඔවුන් බිය තැති ගැනීම්වලට පත්වෙනවා. වික්ෂිප්ත භාවයට හෝ උමතු භාවයට හෝ කෙලෙසුන්ගේ හෝ අමනුෂ්‍යයින්ගේ ග‍්‍රහණයට හෝ ලක්වෙන්නත් පුළුවන්.

කෙසේ වෙතත් සසර දුකින් නිදහස් වීමට කැමති ආර්ය ශ‍්‍රාවකයා තමන් ජීවත් වන පරිසරය තුළ ම යම් හුදෙකලාවක්, යම් විවේකයක් ඇතිකර ගත යුතු යි. ඔබ ජීවත් වන්නේ අතිශය සංකීර්ණ, ඝෝෂාකාරී නගරයක වෙන්න පුළුවන්. නැත්නම් කාර්යබහුල දුම්රිය ස්ථානයක හෝ බස්රථ නැවතුම්පළක් අසල හෝ වෙන්න පුළුවන්. නමුත් හුදෙකලාවෙන් ලැබෙන ආධ්‍යාත්මික සැපයට කැමති කෙනෙක් නම් ඔබ, සිටින තැන සිහිල් සුළං රැුල්ලෙන් නැහැවුණ විසිතුරු අතුපතර පැතිරුණ නුග රුක් සෙවණක් බවට පත් කර ගත හැකියි.
නිහඬ බව අපට ආධ්‍යාත්මික සුවයක් උදාකර ගැනීමට බෙහෙවින් උපකාර කරන ගුණාංගයක්. උතුම් මිනිස් ගුණ දහම්වල පිහිටා සමථ විදර්ශනා භාවනාවන්ගෙන් යම් සැපයක්, යම් අර්ථයක් සලසා ගැනීම කැමති ආර්ය ශ‍්‍රාවකයා හට වචන අඩුවෙන් කථා කිරීම එ් සඳහා බොහෝ සේ උපකාර වෙනවා. ගොළුවකු සේ හිඳීම මින් අදහස් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකු හැටියට වැදගත්, අදාළ, අවශ්‍ය දෙයක් පමණක් කථා කිරීම කළ යුතු යි. අනවශ්‍ය දෙයක්, පමණ නො දැන කථා කිරීමට යාමෙන් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, මරණින් මතු දුගතිගාමී වීම යන දුර්විපාකයන් සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

එම නිසා සසර දුකින් නිදහස් වීමට කැමති කෙනෙක් වශයෙන් අනවශ්‍ය දේ කථා නො කොට, හැකිතාක් නිහඬව සීටීම උතුම් දෙයක්. එ් නිහඬ බව තුළ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීම, මෙත් පැතිරවීම, ඇසූ දහම් කරුණක් සිහි කිරීම හෝ වෙන යම් කුසල් අරමුණක සිත පිහිටුවා ගැනීම කළ හැකියි. එවිට එය අර්ථවත් නිහඬ බවක් බවට පත්වෙනවා මෙයින් ජීවිතයට පිනක් උපද්දවනවා. සිහිය දියුණු වෙනවා. චිත්ත සමාධියක් පිණිස අවශ්‍ය, සුදුසු පසුබිමක් මෙයින් සිත තුළ ගොඩනැගෙනවා.

කෙසේ කථා කළ ද සෑම මිනිසකුගේ ම ආධ්‍යාත්මය තුළ නිහඬ බවට, නිහඬ පරිසරයට ස්වාභාවික කැමැත්තක් නිබඳව පවතිනවා. යමෙක් හෝ යම් පිරිසක් ඉතා ඝෝෂාකාරී ලෙස කථා කොට නික්ම ගිය විටෙක ‘‘අපෝ… වැස්සක් වැහැලා පෑව්වා වගෙයි…” කියලා කියවෙන්නේ එ් නිහඬ බව නිසා තිබෙන සැහැල්ලූවට අප තුළ තිබෙන උපන් කැමැත්ත නිසයි. අර්ථවත් නිහඬ බව තුළින් ලැබෙන මානසික සැපය කිසිදු වැදගැන්මකට නැති වචන දහසකින් ලැබෙන ළාමක ආස්වාදයට වඩා බොහෝ උතුම් බව අත්දකින්න පුළුවන්.

පමණ නො දැන කථා කිරීම බවුන් වඩන අයෙකුට ඇති කරන්නේ විශාල බාධාවක්. වචන කථාකිරීමෙන් ලැබෙන ආස්වාදයට යට වූ විට සිහිය ද මුළා වන අතර යම් වෙලාවක භාවනා මනසිකාරයක යෙදෙන්නට ගිය විටක කථා කළ දෑ සිත්හි දෝංකාර දෙනවා. සිත යමකින් ඇවිස්සී ඇති බවක්, පාලනය කළ නො හැකි සිතුවිලි සමුදායකින් පිරී ඇති බවක් දැනෙනවා. කී දෑ ද නො කී දෑ ද සිහිවෙනවා. සිත එ් මේ අත විසිරෙනවා. මේ නිසා භාවනාවකට සිත එකඟ කර ගැනීමට බෙහෙවින් දුෂ්කර වෙනවා. එම නිසා පමණ දැන අර්ථවත් දෙයක් පමණක් ම කථා කොට නිහඬ බව පුරුදු කිරීම ආර්ය ශ‍්‍රාවකයකු හට කොතරම් උතුම් දෙයක් ද?

ආර්ය නිහඬ බව පුරුදු කිරීමට මහත් පිටු බලයක් ලැබෙන දෙයක් තමයි පිරිස සමඟ ඇලී ගැලී නො සිටීම. අනවශ්‍ය ලෙස පිරිස සමඟ ඇලී ගැලී සිටීමෙන් නො දැනී ම අනවශ්‍ය වචන කථා කිරිමට පටලැවී අසංවර වීම සිදු වන දෙයක්. එයින් භාග්‍යවතුන් වහන්සේ වදාළ කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් ආර්ය ශ‍්‍රාවකයා ව ඈත් කර තබනවා. මේ ධර්මය පිරිස සමඟ ඇලී නො සිටින කෙනාට මිස පිරිස සමඟ ඇලී ගැලී සිටින කෙනාට නො වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළේ එම නිසයි. එකිනෙකා හමු වූ විට කරුණු දෙකක් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එනම් (ධම්මී වා කථා) ධර්ම කථා කරන්න ඕන, (අරියෝ වා තුන්හීභාවෝ) එහෙම නැති නම් ආර්ය නිශ්ශබ්දතාවය වශයෙන් ඉන්න ඕන.

අනවශ්‍ය දේ කථා නො කර සිටීම මාර්ගඵල අවබෝධයට වුවමනා, නො ලැබූ ප‍්‍රඥව ලැබීම පිණිසත්, ලැබූ ප‍්‍රඥව භාවනා වශයෙන් දියුණු පමුණු කර ගැනීම පිණිසත් මූලික වන්නා වූ කරුණක් ලෙස ආදිබ‍්‍රහ්මචරියපඤ්ඤ සූත‍්‍රයේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ධර්මයේ හැසිරෙන යම් පිරිසක් මැදට ගිය විට (අනානාකථිකෝ හෝති) වුවමනා නැති, අනං මනං වචන කථා කරන්නේ නෑ. එක එක විකාර දේවල් කථා කරන්න යන්නේ නෑ. (අතිරච්ඡානකථිකෝ) තිරිසන් කථාවල, දෙතිස් කථාවල යෙදෙන්නේ නැහැ. (සාමං වා ධම්මං භාසති* ඔහු විසින් දහම් කරුණක් ම යි කියන්නේ. (පරං වා අජ්ක්‍ධ්සෙති) එහෙම නැතිනම් තව කෙනෙකුට ධර්ම කරුණක් කීම සඳහා උනන්දු කරවනවා. එ් දෙක ම කෙරෙන්නේ නැතිනම් තමන්ගේ භාවනාවක් පිණිස ආර්ය නිහඬතාවය ඉක්මවා යන්නේ නැහැ.. නිවනට මුල් වන කරුණක් ලෙස අනවශ්‍ය කථාවෙන් වැළකී, උතුම් නිහඬතාවය සුරැකීම කෙතරම් වැදගත් ද? යන්න මින් පැහැදිලි වෙනවා. කථා බහ කිරීම මිනිස් සබඳතාවන්හි මූලික ලක්ෂණයක් නිසා මෙසේ අනුගමනය කිරීම ඉතා දුෂ්කර දෙයක් ලෙස පෙනේවි. නමුත් සසර දුකින් නිදහස් වීමට යන ගමනේ අකුසල්වලින් බේරා ගැනීම, ගුණ ධර්ම වැඞීම තම තමන් පෞද්ගලිකව කළ යුතු නිසා උපක‍්‍රමශීලීව, තැනට සුදුසු නුවණ (නිපක ගුණය) පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. කොහොම නමුත් සිතට එන එන දේ කථා කරමින් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න, එහි දියුණුවක් කරා යෑම නො හැකි දෙයක් ම යි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය නිශ්ශබ්දතාවය බෙහෙවින් අගය කොට වදාළා. එ් පිළිබඳ තම ශ‍්‍රාවකයන්ට බොහෝ සේ තදින් අවධාරණය කළ අවස්ථා නාගිත සූත‍්‍රය, චාතුම සූත‍්‍රය ආදි සුත‍්‍ර දේශනාවන් ගණනාවක දක්නට ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ නිහඬත්වය කෙතරම් අගය කළා ද මහ ඝෝෂාවන් කෙතරම් ප‍්‍රතික්ෂේප කළා ද යත් යම් පිරිසක් ඝෝෂාකාරී වුවහොත් එවැනි පිරිස් (ගිහි පැවිදි බේදයකින් තොරව) ප‍්‍රතික්ෂේප කරනවා. (ගච්ඡථ, භික්ඛවේ, පණාමමේමි වෝ; න වෝ මම සන්තිකේ වත්ථබ්බන්ති) ”මහණෙනි, ඔබලා ඉවත් ව යන්න. ඔබලාට මා ළඟ ඉන්න බැහැ.” යි වදාරා ඔවුන් බැහැර කර දමනවා. අල්ප ශබ්ද බව, එහෙම නැතිනම් වාචසික සංවරය භාග්‍යවතුන් වහන්සේ කෙතරම් අගය කළා ද යන්න මෙයින් අපට ගම්‍ය වෙනවා. එ් වෙන කිසිවක් නිසා නො ව මුනිවරයෙක් වීමට, මුනිවරියක් වීමට ශාන්ත වූ එ් මුනිවත ඍජු ව ම අවශ්‍ය සුදුසුකමක් වන නිසයි. ඇත්තෙන් ම කෙලෙසුන් සදහට ම නිහඬ කළ එ් නිකෙලෙස් මුනිවරුන්ගේ ලෝකය කෙතරම් සුන්දර ඇති ද? ආර්ය නිශ්ශබ්දතාවය නම් වූ උතුම් චිත්ත සමාධි සැපය අත්විඳින්න ඔවුන් කථා කළ වදන් කෙතරම් ශාන්ත, සුන්දර, අර්ථවත් වදන් වන්නට ඇති ද?

භාග්‍යවතුන් වහන්සේගේ සෑබෑ ශ‍්‍රාවකයෙකු නම් උන්වහන්සේ ප‍්‍රශංසා කළ එ් සංවරකම අප කෙසේ හෝ ඇති කරගත යුතු වෙනවා. සංවරශීලී දමනයක් ඇති කර ගතහොත් සෑබෑවට ම දමනය වූ කෙනෙකු බවට පත් වීමට හැකියාව ලැබෙනවා.

නිහඬ වන ගුහාවක
සොඳුරු හුදෙකලාවෙක
බුදු සිතක ඇති සුවය
මහදටත් දැනේවා…

මහාමේඝ 2013 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුරංග ප‍්‍රියදර්ශන

Leave a Reply

Your email address will not be published.

x

Check Also

බුදු මුවින් ගලා ගිය උතුම් සම්බුදු වදන්

එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන සිංහලයන් හට නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට පරාධීන මානසිකත්වයෙන් යුතුව ඒ මත හිස් මුදුනින් පිළිගැනීමට යාම තරම් නො වේ යැයි සිතේ.