රමණීය වූ රජගහනුවර පිහිටි පිප්ඵලී ගුහාද්වාරය අසල බොහෝ දෙවිදේවතාවෝ රැස්ව සිටිති. ඔවුන් සැමදෙන තරමක නො ඉවසිලි සිතකින් එනමුදු මහත් ප්‍රමෝදයකින් අහස් ගැබට වී බලා සිටී. නොයෙකුත් විසිතුරු බඳුන් තුළ බහාලූ දිව්‍ය භෝජන ෙදා්තෙහි තබාගෙන පිප්ඵලී ගුහාවේ දොරටුව වෙත නෙත් හෙළමිනුයි මේ පන්සියයක් පමණ වූ දිව්‍ය පිරිස සිටින්නේ. එ් හැමදෙනගේ සිත් එක ම උත්තමයාණන් වහන්සේනමකට දන් පුදනා අපේක්ෂාවෙන් පසුවෙති. කාර්යබහුල ජීවිත ඇති, අතිශයින් ම සුඛභෝගී ජීවිත ඇති මේ තව්තිසාවැසි දෙවිවරු එ් සියලූ කටයුතු පසෙකලා දන්පැන් පිදීමට සැරසෙන එ් මහෝත්තමයාණෝ කවරෙක් ද?

උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ සතරවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දායාදයකි. රූපයෙන් ද ගෞතම බුදුරජාණෝ හා බොහෝ සෙයින් සම වූවෝ ය. අග්‍ර ධුතාංගධාරී ශ්‍රාවකයාණෝ ය. ශාස්තෘන් වහන්සේ විසින් නිතර නිතර ගුණ වර්ණනා කළ සම්බුදු පුත්‍ර රත්නයකි. සැදැහැ සිතැති සියල්ලෝ ම එ් මහා කස්සප මහ රහතන් වහන්සේ යන නාමය සිත සිතා නිරතුරු වන්දනා කරත් ම ය. එ් සොඳුරු සම්බුදු පුත්‍රයාණන් වහන්සේ බොහෝ කාලයක සිට වැඩ වාසය කරන සෙනසුන අසලයි මේ දිව්‍ය පිරිස මඟ බලා සිටින්නේ.

මහා කස්සප මහ රහතන් වහන්සේ මීට දින සතකට පෙර නිරෝධ සමාපත්තියට සම වැදුණු සේක. අද එ් උතුම් සමවතින් නැඟී සිටිනා දිනය යි. සතියක් ම නිරාහාරව වැඩ සිටි උන්වහන්සේට අද පූජා කෙරෙන දානය එ්කාන්තයෙන් ම මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේ ම ය. එ් බැව් දැනගෙනයි පිනට ආශා කරනා මේ දෙවිවරු සිියලූ කටයුතු අතහැර පිප්ඵලී ගුහාව අබියසට පැමිණියේ. එ් මොහොතේ මහා කස්සපයන් වහන්සේ සමාධියෙන් නැගිට වදාළ සේක.

‘මම අද අසරණයෙකුට පිහිටක් වීමට ගමට පිණ්ඩපාතයේ වැඩම කළ යුතුයි’ යන අදහසයි එ් මහා කස්සපයන් වහන්සේගේ නිකෙලෙස් සිතෙහි ඇති වූයේ. මනා කොට සිවුරු පොරොවා ගත් උන්වහන්සේ පාත‍්‍රයත් රැගෙන ගුහාද්වාරය වෙත වැඩම කළ සේක. හණි හණිකට මහා කස්සපයන් වහන්සේව වටකරගත් පන්සියයක් පමණ දිව්‍ය පිරිස එක හඬින් මෙසේ ඉල්ලා සිටින්නට විය.

‘‘අනේ ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දානය පිළිගෙන වදාරණ සේක්වා!”

තමා හට වඳින විට
– කිසිවිට උඩඟු නොම වන
අපහාස කරන විට
– කිසිවිට වෛර නො කරන
අනුන්ගෙන් බොජුන් ලැබ
– එ් තුළින් මත් නොමවන
එ් සමණා ය ලොව
– මනා ලෙස සැරිසරා යන්නේ
(සුත්ත නිපාතය)

දෙවියන්ගේ ආරාධනාවෙන් උන්වහන්සේ උඩඟු වූයේ නැත. දිව්‍ය බොජුන් කෙරෙහි ආශාවක් උපන්නේ ද නැත. ‘මේ දානය නො පිළිගතහොත් දෙවිවරු මා හා අමනාප වේවි වත් ද’ කියා සිතුණේත් නැත. ‘දින හතකට පසු ලැබෙන ආහාරය නිසා දිව්‍ය භෝජන හොඳයි’ කියා සිතුණේ ද නැත. ‘අසරණයෙකු හට මේ දානය පූජා කර ගන්නට ලැබේ නම් හොඳ ය’ කියායි උන්වහන්සේට සිතුණේ.

‘‘පින්වත් දෙවිවරුනි, ඔබලාට පින් තිබෙනවා නෙව. එ්ත් මේ මනුලොව දුගී දුප්පත් පිරිස දෙස බලන්න. ඔවුන් හටයි පින් ඇවැසි වන්නේ. අප අනුකම්පා කළ යුත්තේ් ඔවුන් හටයි. එනිසා මා ඔවුන් වෙත පිඬු පිණිස යාමටයි අදහස් කළේ.” යි පවසමින් මිහිරි රසැති දිව්‍ය භෝජන ප‍්‍රතික්ෂේප කළ මහා කස්සපයන් වහන්සේ දුගියෙකුගේ නිවසක් සොයා ගම්මානය දෙසට වැඩම කරන්නට විය.

අතිශයින් ම කණගාටුවට පත් එ් දෙවිවරු පිරිස පිප්ඵලී ගුහාව අසලින් නො පෙනී ගොස් සක් දෙවිඳු අසල පහළ වූහ.

‘‘අහෝ දේවේන්ද්‍රය, ආර්ය වූ මහා කස්සපයන් වහන්සේ අපගේ දානය ප‍්‍රතික්ෂේප කළා.” යි පවසමින් පන්සියයක් පමණ දෙවිදේවතාවෝ සක් දෙවිඳු අබියස වැළපෙන්නට වූහ. ‘‘කිමෙක්ද නිදුක්වරුනි, ඔබලා එ් ආර්යයන් වහන්සේ වෙත දන්පැන් පුදන්නට ගියේ ඔය දිව්‍ය වේශයෙන් ම ද?” යි දෙදෙව්ලෝකාධිපති තෙමේ විමසන්නට විය. ‘‘එසේ ය දේවේන්ද්‍රය.” යි එ් දෙවිවරු පිළිතුරු දුන්නෝ ය.

‘‘එසේ නම් සුජාවෙනි, අපටත් මහානිසංස දානයක් පූජා කර ගන්නට අවස්ථාවක්. ඉක්මන් කරමු… ඉක්මන් කරමු.” යි සතුටින් ඝෝෂා කරමින් සමීපයේ සිටි සුජා දෙවඟනත් සමඟින් ශක‍්‍ර දේවේන්ද්‍රයා නො පෙනී ගියහ. ක්ෂණයෙකින් රජගහනුවර රෙදි වියන්නන්ගේ වීදියෙහි ඔවුන් පහළ වූහ. මවාගත් කුඩා පැල්පතක සක්දෙවිඳු රෙදි වියන්නෙකුගේ වෙස් අරගෙන නූල් කටින්නට විය. සුජා නම් වූ කන්‍යාවත් ලී දණ්ඩෙහි නූල් ඔතමින් ඔහු සමීපයෙහි ම සිටී.

‘‘මලේ සුන්දරත්වයත්, සුවඳත් නො නසා ම යි
බඹරා මල් පැණි රැුගෙන පියඹා යන්නේ
මුනිවරයාත් එ් අයුරින් ම යි
ගමේ පිඬුසිඟා වඩින්නෙ….”
(ධම්මපදය)

එවේලෙහි මහා කස්සපයන් වහන්සේ රජගහ නුවර ගෙපිළිවෙළින් පිණ්ඩපාතේ වඩිමින් වෙස් වලා ගෙන සිටි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පැල්පතටත් වැඩම කළ සේක. ශක්‍ර දේවේන්ද්‍රයා දුරින් ම වඩිනා මහා කස්සප තෙරුන්ව දැක පැල්පතෙන් එළියට විත් පෙර ගමන් යන්නට විය. මහලූ ස්වරයෙන් ”අනේ මේ අපගේ ආර්ය වූ මහා කස්සපයන් වහන්සේ නොවැ. කෝ.. කෝ ස්වාමීනී මා හට පාත්‍රය දෙන සේක්වා! මා වැළඳීමට යමක් රැගෙන එන්නම්.” යැයි කියමින් පාත‍්‍රය අතින් ඉල්ලා ගෙන පැල තුළට රැගෙන ගියේ ය. හැළියෙන් බත් වෑංජන ගෙන පාත‍්‍රය පුරවා මහා කස්සපයන් වහන්සේට පිළිගැන්වී ය.

එ් පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ව්‍යංජන ඇතිව, නොයෙක් සූප ව්‍යංජන රසයෙන් රසවත් වූවකි. රජගහනුවර පුරා එහි සුගන්ධය පැතිරෙන්නට පටන් ගති. එවිට මහා කස්සප මහ රහතන් වහන්සේ එම භෝජනය ගැන හිතින් විමසූ සේක. ‘කවුද මේ තැනැත්තා? මේ විදිහේ ඉර්ධිබල ආනුභාවයක් තියෙන කෙනා කවුද?’ එකෙණෙහි ම මහා කස්සප මහ රහතන් වහන්සේට මේ ශක්‍ර දේවේන්ද්‍රයා බව වැටහිණි. උන්වහන්සේ අනුකම්පා ස්වරයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාට මෙසේ පැවසූහ.

‘‘පින්වත් දේවේන්ද්‍රය, ඔබ තමයි මේ වැඩේ කළේ. ආයෙ නම් ඔය විදිහේ දේවල් කරන්න එපා!”

‘‘ස්වාමීනී, ආර්ය වූ කස්සපයන් වහන්ස, අපටත් පින්වලින් යහපතක් වෙනවා නෙව. අපටත් පින්වලින් කළ යුතු දේ තියෙනවා නෙව.” කියා ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය වේශය මවා ගත්තේ ය. මහා කස්සපයන් වහන්සේට වන්දනා කොට, ප්‍රදක්ෂිණා කොට අහසට පැන නැග්ගේ ය. අහස් තලයේ සිටිමින් තුන් වරක් තම සතුට ප‍්‍රකාශ කළේ මේ අයුරිනි.

‘‘ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කර ගත්තු දානය තමයි උතුම් ම දානය. ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කර ගත්තු දානය තමයි උතුම් ම දානය.”

එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේත් රජගහ නගරයේ ම ය. මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය ශ‍්‍රවණයෙන් අහසට පැන නැගී, අහස් තලයේ දී තුන් වරක් උදම් අනන ශක්‍ර දේවේන්ද්‍රයාගේ මේ බස වේළුවනාරාමයෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රවණය කොට වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ හේතුකරගෙන එ් වෙලාවේ මේ උදානය පහළ කළ සේක.

‘‘පිණ්ඩපාතිකස්ස භික්ඛුණෝ – අත්තභරස්ස අනඤ්ඤපෝසිනෝ
දේවා පිහයන්ති තාදිනෝ – උපසන්තස්ස සදා සතීමතෝ”

‘‘පිණ්ඩපාතෙ කරගන්න භික්ෂුව, යන්තමින් තමන්ට යැපීමට විතරයි මොකවත් හොයාගන්නෙ. අනුන්ව පෝෂණය කරන්නෙ නෑ.
අට ලෝ දහමෙන් නො සැලෙන, උපශාන්ත වූ, හැම තිස්සේ ම සිහියෙන් වාසය කරන භික්ෂුවට දෙවියෝ පවා සෙනෙහෙවන්තයි.”

මහාමේඝ 2015 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.