highlights of the week
Home » Archives » පොදු ජන හද සුපහන් කළ නව අරහාදී බුදු ගුණ කවි

පොදු ජන හද සුපහන් කළ නව අරහාදී බුදු ගුණ කවි

සිංහල දීපය වූ කලි බුදු ගුණ කවි ගැයුමට ම නැඹුරු වූ සිත් සතන් ඇති ජනකායක් පහළ වූ දේශයක් වැන්න. වංශ කථා, අටුවා ග‍්‍රන්ථ ඇතුළු ඉපැරණි පොත පත පරිශීලනය කිරීමේ දී ද සෙල් ටැම් පුවරු හා ලෙන් කටාරම් මත කෙටු වැකි පරීක්ෂා කර බැලීමේ දී ද පෙනී යන්නේ අතීත යුගයේ සිට ම බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය මෙනෙහි කොට උපහාර පුද සත්කාර පැවැත්වූ ගී කවි පෙළහරක අසිරිය ආස්වාදනය කරමින් එ්වා ලියැවී ඇති බවකි. ඇල්කෙත්වල පැල් රැුකි කාන්තාවන් (සස්සං රක්ඛන්තියා ඉත්ථියා) ගැන කියැවෙන පරමත්ථ ජෝතිකා අටුවාවේ සිංහල ග‍්‍රන්ථය ලියවී ඇත්තේ ව්‍යවහාර වර්ෂ පූර්ව පළමුවැනි සියවසේ දී හෙවත් බුද්ධ වර්ෂ පස්වැනි සියවසේ දී ය. එම කාලය වනවිට බුදු ගුණ ගායනා කවි ලක්දිව හැම තරාතිරමක ම ජනතාව අතර පැතිර පවතින්නට ඇත. එතැන් සිට දෙදහස් වසරක් මුළුල්ලේ ලක් දනන් තුඩ තුඩ රැුව් දුන් බුදු ගුණ කවි, ඔවුන් තුළ බුද්ධාලම්භන ප‍්‍රසාද සංවේගයක් දැනවූවා පමණක් නොව බොදු පිළිවෙත් සුරකින පුණ්‍යවන්ත ජනකායක් ලක් දෙරණ මත බිහිකිරීමට ද උපස්ථම්භක විය.

මීට අවුරුදු හැට හැත්තෑවකට ඉහත දී අප රටේ ජනතාව අතර, විශේෂයෙන් ම ගැමි ජනතාව අතර බුදු ගුණ ඇතුළත් කවි හා තාලයකට අනුව ගායනා කිරීමේ සිරිත පැවතුණි. එය වූ කලී අතීත යුගයෙන් ඔවුන් උරුමකොට ගත් සෞන්දර්යාත්මක අභ්‍යාසයක් විය. හේනේ, කුඹුරේ, ගොවිපළේ, කමතේ, තොවිල් පළේ දී පමණක් නොව වන්දනා ගමන්වල දී ද බුදු ගුණ කවි ගායනා කරමින් බුද්ධානුස්සතිය වැඩූ වැඩිහිටියෝ බාලයන්ට ද එම කවි ගායනා හුරු කරවුහ. ගෙදර දොරේ දී ද වැඩිහිටියන්ගේ මුවග නිබඳ රැුඳුණේ යසෝදරාවත, තුන්සරණේ කවි, වෙසතුරු දා කව ආදී පොත්වල කවිය. සෑම රාත‍්‍රියක ම නින්දට පෙර අප මෑණියන් යසෝදරාවතේ කවි තාලයට ගායනා කළ අයුරුත් පියාණන් නව අරහාදී බුදු ගුණ කවි කටපාඩමින් කියූ අයුරුත් මට සිහිපත් වෙයි. එදවස විසු දරුවන්ගේ හද මනස බුදු පුදට සැරසුණ පුදසුනක් වූයේ වැඩිහිටියන්ගෙන් ලද ආභාසය නිසාය.

මෙහි පහත දැක්වෙන පැදිපෙළ මපියාණන් අප කුඩා අවදියේ නිදි පැදුරේ හොවාගෙන අපට නින්ද යනතුරු මිහිරි හඬින් ගායනා කළ උතුම් පබැඳුමකි.

අප පොත් එකතුවේ පවත්නා කාව්‍ය ග‍්‍රන්ථ පරීක්ෂා කිරීමේදී පැරණි යශෝද්රාවත කවි පොත් අග පිටුවේ තිබී එම පදය පන්තිය අපට අහම්බයෙන් හමුවිය. වර්තමානයේ වෙසෙන දහමට ළැදි පින්වත් දරුවන් ඇතුළු වැඩිහිටි සැමගේ ප‍්‍රසාද සංවේගය උදෙසා මේ උතුම් පැදීපෙළ ඉදිරිපත් කරන්නේ, දහමට අනුව සිය අපිස් දිවිමඟ නිබඳ සකසා ගත් අපේ පැරණි සත්පුරුෂ ජනකායගේ පරිශ‍්‍රමයට පුණ්‍යානුමෝදනාව ද පුද කරමිනි.

කෙලෙසුන් සියල්ලම වනසා දැමු සේක
රුදුසන් සාර රෝදෙහි අර කැපු සේක
දෙන දන් පිළිගැනීමට නිති නිසි සේක
එබැවින් මහිමි ‘අරහත්’ නම් වන සේක

ඇදුරන් උවදෙසක් නොමැතිව කිසි දාක
දැනගන්නට තිබුණ හැම දැනගත් සේක
හැරලන්නට සුදුසු දෙය අත්හල සේක
එබැවින් මහිමි ‘සම්බුදු’ නම් වන සේක

ගණනින් අටක් විදු දම් සුපිහිටි සේක
එලෙසින් පසළොසක් චරණ ද ඇති සේක
මෙලෙසින් මහිමි තුන් ලොව ජයගත් සේක
එබැවින් ‘විදු සරණ සම්පන්න’ වූ සේක

දුටුවන් පහද වන ගමනින් යුතු සේක
ඇසුවන් සිත් නිවන සදහම් දෙසු සේක
අති සුන්දර නිවන් පුරයට වැඩි සේක
එබැවින් ‘සුගත’ යන නාමය ලැබූ සේක

උඩින් යටින් අවටින් ඇති මුළු ලෝක
ගණන් සමග එහි හැම තතු දත් සේක
එයින් මගේ හිමි සඳ ලෝකා ලෝක
නමින් ‘ලෝකවිදූ’ යයි පළවූ සේක

මනනන් දන දෙතිස් ලකුණින් හෙබි සේක
අනුවැන් ජන අසුවෙන් බබලන සේක
කෙලෙසින් නමුත් සම වන් සත නැති සේක
එබැවින් ‘අනුත්තර’ නමටම හිමි සේක

ලොව අන් කෙනෙකු හට නොනැමෙන කිසිදාක
දෙවියන් බඹුන් මිනිසුන් රකුසන් නේක
මහිමියන් වහන්සේ දමනය කළ සේක
එබැවින් මහිමි ‘නරදම් සැරි’ වන සේක

මෙලොවින් පරලොවින් වන උවදුරු නේක
වනසන්නට සුසිරි සපුරව් හැම දාක
මෙලෙසින් දෙව් මිනිස් කැල හික්මෙවූ සේක
එබැවින් ‘සතර’ නම මගේ හිමි ලද සේක

මෙලෙසින් කිසිම කෙනෙකුට නැති විදි නේක
යසපින් වාසනා ගුණයෙන් හෙබි සේක
මතු ජන්මයේ ඉපදුම නැති කළ සේක
එබැවින් මහිමි ‘භගවත්’ නම් වන සේක

‘යසෝදරාවත’ කාව්‍යය සේම එහි පැරණි පිටපතක අගට එකතු කොට තිබුණ මෙම නව අරහාදී බුදුගුණ කවි පෙළ රචනා කළ කවියා කවුරුන් දැයි සඳහන් නො වේ. පැරණි ගත්කරුවන් හා ජන කවියන් බුදු දහමට කීකරුව ජීවිතය හැඩගස්වා ගැනීමෙන් තමන් තුළ ඇතිවුණ අධ්‍යාත්මික ප‍්‍රමුදිත භාවය පළ කළේ නම ගම වගතුග සඳහන් කොට සමාජයෙන් කිත් පැසසුම් ලබා ගැනීමට නොවේ. සියලූ මිනිසුන් වෙත පතල දයා කරුණාවෙනි; ඔවුන් හැම දහමට නැඹුරු කොට සුසිරිත් මඟට යොමුකරවන අටියෙනි. ‘පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය’ රචනා කළ කවියා එය අවසන් කරන්නේ ‘සිත සතොසින් ඇසූ සත හට වෙයි සැපත’ යන සඳහනිනි. ‘යසෝදරාවත’ කවියා තම කාව්‍යය අවසන් කළේ ‘උපදිනු යසෝදරා බිසොවුන් ලෙස සොඳට’ යන උපදේශය ඉදිරිපත් කරමිනි.

නව අරහාදී බුදු ගුණ ඉතා පැහැදිලි ලෙසත් නිරවුල් ලෙසත් තමන් වහරන බසින් තේරුම් ගත් ජනකායකගේ සද්ධා චේතනා ඉහත දැක්වූ පැදි පෙළ සපුරාම විහිදී යයි. එකද සකු අලංකාර යෙදුමක් එහි දක්නට නැත. ‘සංසාර රෝදය’, ‘අති සුන්දර නිවන් පුරය’, ‘අනුවැන්ජන’, ‘යසපින් වාසනා ගුණය’ වැනි ගැමි යෙදුම්, බුදු රජාණන් වහන්සේ උදෙසා පිදු වනපස මල් වැන්න. ‘සංසාර, අනුව්‍යංජන’ ආදී වදන් ගැමි කටබස් වහරින් යෙදු අයුරු අපුරුය. ජනකවියා මෙම පැදි පෙළ රචනා කොට ඇත්තේ එකල බෞද්ධ සමාජයේ සම්භාවිතාව පැවතුණ බුදු ගුණ නව්‍ය මෙනෙහි කිරීමෙන් විය හැකිය. ‘අනුත්තරෝ පුරිස ධම්ම සාරථී’ ගුණය එහි සඳහන්ව ඇත්තේ ‘අනුත්තර’, ‘නරදම් සැරි’ යනුවෙන් ගුණ ද්වයක් පරිද්දෙනි. එසේ ම ‘බුද්ධ’ යන බුදු ගුණය ඇතුලත් වන ලෙසින් ‘භගවා’ යන්න යොදා ඇත්තේ නවවැනි බුදු ගුණය වශයෙනි. ‘බුද්ධෝ භගවා’ වන දෙවදන, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෙස සැලකිය හැකි බැවින් එහි අඩුවක් නොපෙනේ. උතුම් බුදු ගුණ නවයම එහි අරුත් විවරණය කරමින් සරල කවි බසින් දක්වා තිබීම අගනේය.

ගුණ පිහිට වූ අලංකාර සකු මඟ පැරණි සිංහල කවියන් බැහැර කළේ අනුන් හැඳි පිරුවටයක් පිළිකුලින් ඉවත දමන්නාක් මෙනි. සම්බුද්ධ දේශනා ගැමි ජනකායට තේරෙන බසින් සිංහලයට නඟා පළමුවෙන් ම ඉදිරිපත් කරන ලද්දේ දඹදෙණි රාජධානි සමයේ දී ධර්මසේන යතිවරයාණන් විසිනි. එතැන් සිට කුරුණෑගල, ගම්පොල හා කෝට්ටේ යුගයන්හි වැඩ සිටි විල්ගම්මුල, වීදාගම, වෑත්තෑවේ ආදී යතිවරයන් වහන්සේලා විසින් බුද්ධ ධර්මය පොදු ජනයාට තේරුම් ගත හැකි වන පරිද්දෙන් කවියට නඟා ග‍්‍රන්ථාරූඪ කරනු ලැබිණ. යසෝදරාවත, දෙව්දත් කතාව, පුරාණ තුන්සරණය ආදී ජන කාව්‍යවලින් ලියු ගැමි කවියන් අනුගමනය කළේ ඒ කවි මඟයි.

එදවස දහම් පොතපත සරල බසින් ඉදිරිපත් කිරීම වූ කලී, සියවස් ගණනාවක් පොදු ජන අධ්‍යාත්මය හික්මවා බුදු වදනට අනුකූලව දිවිමඟ හැඩ ගසාගත් දැහැමි ජනතාවක් මෙරට බිහිකිරීමට අනුබල දෙන්නක් විය. ඉහතින් දැක්වූ නව අරහාදී බුදුගුණ කාව්‍යාවලිය එදවස විසු ඒ දැහැමි ජනකායගේ අධ්‍යාත්මය සුපෝෂණය කළ අනුත්තර බුද්ධ වන්දනාවක් ලෙස අගතැන් ගන්නේය.

‘පරසතු මලින් පුද
ලද මුනිසඳුට දිය නද
වනපස මලින් පුද
කළැයි පවසනු කවර වරදද’

මහාමේඝ 2013 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති

Leave a Reply

Your email address will not be published.

x

Check Also

සාදු සාදු අපිත් වඳිමු ඒ සම්බුදු සිරිපා!

ස්වකීය වාසභවනයේ වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මත සම්බුදුරජුන්ගේ සිරිපා සටහන් පිහිටුවා වදාරන්නට කියා සුමන සමන් දෙවිඳුන් ආරාධනා කළේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පවතින තාක් කල් දෙව් මිනිසුන්ට වන්දනාමාන කොට පින් රැස්කර ගන්නට ඉඩ ලබා දීමේ අරමුණින්.