highlights of the week
Home » Archives » දන්න දවසක් ගැන නො දන්න කථාවක්

දන්න දවසක් ගැන නො දන්න කථාවක්

කාලෙකට ඉස්සර කියවන්න ලැබුණ ලස්සන කවි පන්තියක් මතක් වුණා. මේ කවි පෙළේ රචකයා ‘වැල්ලම්පිටියේ කිවිඳු’ කියලයි සඳහන් වන්නේ.

‘‘උපන් දිනය අළලා කවි ලියන පොරොන්දුව
අදත් ඔන්න ඉටු කරන්න ගනිමි උනන්දුව”

මේ දෙපදෙන් අරඹපු කවි කිහිපය තමන්ගේ දුවණියගේ උපන් දිනය වෙනුවෙන් තමයි ලියලා තියෙන්නේ. ඔබ වෙනුවෙනුත් ඇතැම් විට මේ වගේ ම කවි ලියැවිලා ඇති. එහෙම නො වුණත් සුබ පැතුමක් හරි අනිවාර්යයෙන් ලැබෙන උපන් දිනයක් ඔබටත් තියෙනවානේ.

ඉතිං ඔබෙන් බොහෝ දෙනෙක් අහලා තියෙන ප‍්‍රශ්නයක් අපි ආයෙත් අහනවා.

‘උපන් දිනේ කවද්ද?’

උපන් දිනය විතරක් නෙමෙයි; උපන් වෙලාව, උපන් ස්ථානය හැම දේමත් ඔබට කට පාඩම් නේ ද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරෙනවා කියන එකත් ඔබේ මතකයට ආව නේද?

හැම කෙනෙකුට ම තමන්ගේ උපන් දිනය බොහොම සුවිශේෂ යි. තප්පරෙන් තප්පරේ වයස ගෙවුණට, විනාඩියෙන්, දවසෙන්, සතියෙන් සහ මාසෙනුත් වයස ගෙවුණට, එ් කිසි ම මොහොතක නො විඳින අමුතු විදිහේ ළෙන්ගතුකමක් අපිට අවුරුද්දකට පාරක් එන උපන් දිනේ දවසේ තියෙනවා. එ් නිසානේ හැමෝම උපන් දිනය විශේෂ කොට සලකන්නේ.
මේ විශේෂත්වය හින්ද ම උපන් දිනේ සමරන්න ප‍්‍රිය සාද, කේක් ගෙඩි, ඉටිපන්දම් එහෙමත් ලහි ලහියේ සූදානම් කර ගන්නවා. ඉටිපන්දම, කේක් ගෙඩිය පෙරටු කර ගත්ත ‘හැපි බර්ත්ඩේ’ (Happy Birthday) සංකල්පය අපේ රටට ලැබුණෙ විජාතික ආක‍්‍රමණවලින් පස්සෙ. එ් යටගියාවේ අල ගිය – මුල ගිය – වැල ගිය තැන් නො දන්නවා වුණාට ප‍්‍රිය සම්භාෂණයකින් උපන් දිනය සමරන්න අපේ රටේ බහුතරය කැමතියි.

උපන් දිනය සමරන්නේ රටේ නමගිය කීර්තිමත් අයෙක් නම් එය මාධ්‍යවලටත් බොහොම වටිනා ආරංචියක් වෙනවා. එ් කෙනා තමන්ගේ රටේ ම වෙන්න වුවමනත් නෑ. ප‍්‍රසිද්ධිය, ජනප‍්‍රිය බව ලෝකෙ පුරා ම පැතිරිලා ගිහින් තියෙනව නම් ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය හැමෝම කථා බහ කරන දෙයක් බවට පත් වෙන්නේ ඉබේට ම යි.

උත්සවාකාරයෙන් උපන්දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය එ් දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව එ් දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑ ම තෘප්තියක් ලබනවා.

අද අපි කථා කරන්නෙත් උපන් දිනය ගැන. කවුරු නමුත් ‘අද මගේ උපන් දිනය’ කියලා සතුටු වෙන එක වළක්වන්න හෝ එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන් දිනය සැමරීම වළක්වන්න හෝ උවමනාවක් අපිට නැහැ. එ් වෙනුවට අපි මේ හදන්නේ ‘දන්න උපන් දිනේ ගැන බොහෝ දෙනා නො දන්න කථාව’ කියල දෙන්න යි.

උපන් දිනේ කියන්නෙ මොකක් ද? කියන ප‍්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන් දිනයක අර්ථය මොකක් ද? කියලා මුලින් අහන්න සිදු වෙනවා. උපන් දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියල ද ඔබ හිතන්නේ?

මේ ලෝකය සතුටු සාද තුළින් උපන් දිනය සමරන්නේ එ් දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසා ද? නැති නම් එ් දවස තමන් සැබැවින් ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසා ද? එහෙමත් නැති නම් මෙවන් ලොවක ඉපදුණ එක ගැන ඔවුන් සතුටු වෙන නිසා ද?

අවුරුද්දකින් නෙමෙයි තප්පරේකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑ ම තේරුම තමයි තමන් මොහොතින් මොහොත මහලූ වෙනවා කියන එක; ජරාවට පත් වෙනවා කියන එක; මරණයට යම් තරමකින් හෝ ළං වුණා කියන එක. එ්ක සතුටට කාරණාවක් ද?

අනෙක එ් දවස කොහොම ද තමන් සැබැවින් ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අඳුරු මව්කුසේ, අතපය දිග හැරගන්නවත් ක‍්‍රමයක් නැතිව, කරකියා ගන්න දෙයක් නැතිව, අන්ත අසරණව ඉඳලා, ලේ ගංගාවක් සහ මල මුත‍්‍ර අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් තමන් කුසේ හොවාගෙන උන්නු අම්මට විඳින්න සලස්වලා, තෙරපීම්, තැලීම්, ඇදීම් ආදි දුක් කන්දරාවක් තමනුත් විඳගෙන, අඬාගෙන ලෝකෙට ආපු විලාසය ගැන කල්පනා කරලා බලන්න. එ් දවස ගැන ඔබට සතුටක් ද ඇති වෙන්නේ?

මේ ලෝකය අතිශයින් විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇද වැටෙයි ද කියන එක කාටවත් ම හිතා ගන්න බෑ. අනෙක පුංචි ම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනෙ ද? අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. රස්සාවක් හොයන්න ඕනේ. එ් වෙනකොට විවාහයකට කල වයස හරි. ඊට පස්සේ ගෙයක් දොරක් හදාගෙන, දරු මල්ලෝ පෝෂණය කරවමින්, දෙමව්පියෝ, නෑදෑයෝ විෂයෙහි සංග‍්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනව ද? එ් දේවල් එ් ආකාරයෙන් ම ඉටු කර ගැනීම නේ ද අපි මේ ලෝකේ සතුටින් ජීවත් වීම කියන්නේ? එ් වෙනුවෙන් අපමණ වෙහෙසක් හැම කෙනෙකුට ම තම තමන්ගේ ජීවිත තුළ විඳ දරා ගන්න වෙනවා ම යි. එ්කත්, ‘කන්දක් විළිලා මී පැටියෙක් වදනවා’ කියන කථාවට බොහෝ සෙයින් සමාන යි. ඉතිං අල්ප මාත‍්‍ර සැපතක් වෙනුවෙනුත් අනන්ත වෙහෙසක් දරන්න සිදු වන ලොවක ඉපදීම ඔබට සතුටක් ද?

එ්වත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නො වී ඉන්නව ද? වයසට නො ගිහින් ඉන්නව ද? නො මැරී ඉන්නව ද? පි‍්‍රයයන්ගෙන් වෙන් නො වී, අපි‍්‍රයයන් හා එක් නො වී ඉන්නව ද? දුක්, සුසුම් හෙළීම්, හඬා වැළපීම්වලින් බැහැර වෙලා ඉන්නව ද? ඔන්න ඔය වගේ ඉරණමකට අපව ගෙන ආපු දිනය නේ ද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් එ් දේ ගැන ඔබට ප‍්‍රිය සාද පවත්වලා, නටලා, ගයලා සතුටු වෙන්න පුළුවන් ද?

එ් හැමදේමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත්? ඔබ බලයි මීටත් වඩා මොන පරහක් ද කියලා. එ්ත් ඇත්තට ම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවට ම ඔබේ උපන් දිනේට ම ද? එහෙමත් නැති නම් අඳුරු මව් කුසට සමුදීලා ඔබ මේ ලෝකෙට ආපු දිනේට ද? එ් කියන්නේ ඔබව මෙලොවට උපද්දවපු දිනේට ද?

හතරබීරි කථාවක් කියල හිතන්න එපා. ඇත්තට ම ඔබට උපන් දිනේ කියලා මතක් වෙන දිනේ, ඔබේ උපන් දිනේ නෙමෙයි. එ් දිනේ හරියට ම කියන්න මේ ලෝකේ කිසි ම කෙනෙකුට බෑ. තුන්ලොව තුන්කල් මැනැවින් දුටු එ් නිදුකාණන් වහන්සේ පමණ ම යි ඕනෑ ම කෙනෙකුගේ උපන් දිනය හරියට ම දන්නේ. උන්වහන්සේ අවබෝධයෙන් ම දේශනා කොට වදාළා ‘ඉපදීම’ යනු කුමක් ද? කියලා.

‘‘රූප, වේදනා, සඤ්ඤ, සංඛාර, විඤ්ඤණ යන පංච උපාදානස්කන්ධයාගේ යම් පහළ වීමක් වේ ද ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගේ යම් ලැබීමක් වේ ද මෙයට ය ඉපදීම කියා කියන්නේ”
(විභංගසූත‍්‍රය – සංයුත්ත නිකාය)

උපන් දිනේ මොකක් ද? කියන ප‍්‍රශ්නෙට උත්තරේ එතැන තියෙනවා. දැන් කියනව ද බලන්න ඔබේ උපන් දිනේ කවද්ද කියලා?

මව් කුස තුළ අපේ විඤ්ඤණය පිහිටියේ යම් මොහොතක ද එ් මොහොතේ අපි ඉපදුණා. එ් මොහොතේ පටන් ම අපි වයසට ගියා, අපි මරණයට ළං වුණා, අපි දුක් විඳින එක පටන් ගත්තා.

මව් කුස කියන්නේ සුව පහසු යහනක් නෙමෙයි. එහෙම තැනක ඉඳලා ඇලීම්, බැඳීම්, ගැටීම් ගණනාවක් එක්ක තවත් ජීවිත කාලයක් ගෙවන්න මෙහෙම ලෝකයකට අපි එනවා. අන්න එ් දවස තමයි මේ ‘හැපි බර්ත්ඩේ’.

අපි ගෙවාගෙන ආව සංසාරේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මතක් කරලා බලද්දි, අපි උපන් දිනය ලෙස සලකන දිනේ හැරුණු කොට අනෙක් දවස් තුන්සිය හැට හතරෙත් අපි අනේක වාරයක් ඉපදුණු බව නිසැක යි. එහෙම ගත්තොත් හැම දා ම ‘හැපි බර්ත්ඩේ’ තමයි.

එ් වගේ ම සුවිශේෂී කොට සලකන ඔය දවසෙ අපි අනේක වාර ගණනින් මිය ගිය බවත් නිසැක යි. ඉතිං අපිට අමතක වුණ එ් සංසාරගත කඳුළු කථාව ගැන හැම දවසෙ ම සිහිබුද්ධියෙන් හිතලා බලන එක නේ ද වඩාත් යහපත්? එහෙම කල්පනා කෙරුවොත් නම් උපන් දිනයට සැබෑ ම අර්ථයක් ලබා දෙන්න අපිට පුළුවනි.

වැල්ලම්පිටි කිවිඳුන්ගේ කවි පන්තියෙන් උපුටා ගත්ත කවි දෙකකින් ම අපි මේ සටහන අවසන් කරනවා.

‘‘දිනෙන් දින ම දෙමාපියන් වයසට යන හැටී
හොඳින් බලා එයින් යමක් ඉගෙන ගැනුම වටී
ඉතිං දුවේ නවාතැනක කාලයකට කෙටී
ලැගුම් ගන්න අප අතරට ඔබත් පැමිණ සිටී
ගුණ දම් ඔබ රැුකිය යුතු ය බිය විය යුතු පවට
නැණවත් විය යුතු ය නො රැුවටෙණු මැන හැඩ රුවට
සැනසීමක් ලද දෙයකින් සැක නැහැ ලබනවට
වෙන සම්පත් නො තිබුණාට තුන් සරණයි දුවට”

දුවට විතරක් නෙමෙයි,
ඔබටත් තෙරුවන් සරණයි!

හැම දෙනාට ම සසර ගමනේ මේ පැමිණ සිටින කෙටි නවාතැන තුළ නුවණැස උපදවාගෙන, උතුම් තුනුරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සුවපත්ව, ඉපදෙන මැරෙන රෝගයෙන් නිදහස් වීමට වාසනාව උදා වේවා!

මහාමේඝ 2013 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

උපන් දිනේ සටහන
උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published.

x

Check Also

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා.