highlights of the week
Home » Archives » දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

දේවාතිදේව වූ ද බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ ද දෙව් මිනිසුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ වූ ද එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සම්බුද්ධ රාජ්‍යයක් ලෝකයේ බිහි වන්නේ අතිශය කලාතුරකින්. එවන් විරල සම්බුද්ධ රාජ්‍යයක උරුමය ලබන වාසනාවන්ත ම පිරිස සම්බුදුරජුන්ගේ ළය මඬලේ උපදිනවා. සියලූ කෙලෙස් ලෙඩ නසන අමා මහ නිවන සාක්ෂාත් කරනවා. එ් සම්බුද්ධ රාජ්‍යය ගැන ශ‍්‍රද්ධා මාත‍්‍රයක් හෝ උපදවා ගන්නා කෙනා ඊ ළඟ භවයෙ දී සුගති උපතක් ලබනවා.

මේ සා අසිරිමත් ගුණ ශෝභාවන්ගෙන් විරාජමාන වන සම්බුදු සසුන රැුක ගන්නට උර දෙන්නේ සැදැහැ සිත් ඇති මිනිසුන් පමණයි නෙවෙයිත සැදැහැති දෙවියන් බඹුන් යන දෙපිිරිසත් සසුන් මල පර වන්නට නො දී රැුක ගන්නවා. සසුන රකින මේ දෙව් නර බඹ සේනා අතර පෙරටුවෙන් ම සිටින, ගෞතම සම්බුදු සසුනේ දී සතර අපායේ දොරටු සදහට ම වසා දමපු අභිමානවත් ශ‍්‍රාවකයෙක් තමයි සක් දෙවිඳු කියන්නේ..

ඔහු ම නමින් පුරින්දද ය…

ගෞතම සම්බුදු සසුනේ අභිමානවත් ශ‍්‍රාවකත්වයක් උරුම වුණු සක් දෙවිඳු ‘පුරින්දද’ කියන නමිනුත් හැඳින්වෙනවා. භාග්‍යවතුන් වහන්සේට ‘පුරින්දද’ කියන නාමය යෙදෙන්නේ ‘හැමට පළමු ව ධර්ම දානය බෙදුා දුන් නිසයි’. සක් දෙවිඳුන්ට පුරින්දද කියන්නේ මනුෂ්‍ය ජීවිත ගත කරන විට හැම තැනක දී මුලින් ම දන් දෙන්නේ ඔහු නිසයි….

එවැනි ම වූ උතුම් ගුණධර්ම රාශියක් මනුෂ්‍ය ජීවිතයේ දී පුරුදු පුහුණු කිරීම නිසාවෙන් ම සක් දෙවිඳුන්ට උරුම වූ නාමයන් පිළිබඳ ව සම්බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. එ් විතරක් නෙමෙයි; සක් දෙවිඳුන් නිසාවෙන් ම ලෝකයට අහන්නට ලැබුණ අති උත්තම සම්බුද්ධ භාෂිතයන් ගණනාවක් ම තිබෙනවා. එ් වගේ ම සම්බුදු සසුනේ සොඳුරු ශ‍්‍රාවකත්වය ලද සක් දෙවිඳුන් අපගේ ශාස්තෘන් වහන්සේටත්, සම්බුදු හද මඬලෙහි උපන් ඛීණාස‍්‍රවයන් වහන්සේලාටත්, ශ්‍රී සද්ධර්මයටත්, සම්බුද්ධ ශාසනයටත් මොන තරම් ගෞරවාදරයක් දැක්වූවා ද කියන කාරණය සූත‍්‍ර පිටකයේ දේශනා ගණනාවකින් ම පෙනී යනවා.

ඔහු පින් ඵල නෙළන්නෙකි ය…

‘‘පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ම පුණ්‍ය විපාකයෙන් ජීවත් වෙන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර ඉසුරුමත් බවින් හා අධිපති බවින් රජ කරන කෙනෙක්. ඔහු පවා උත්සාහයෙන් නැගී සිටීම ගැනයි ගුණ කියන්නේ.”
(සුවීර සූත‍්‍රය, සුසීම සූත‍්‍රය – සං. නි.)

පින් මහිමයෙන් ම සැප විපාක විඳිනා, දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් එ් ආනුභාව සම්පන්න දිව්‍යරාජ පදවිය පිණිස සුදුසුකම් ලබමින් ඊට පෙර භවයේ මඝ මාණවක ලෙස සප්ත වත පද සුරැකි අන්දම උතුම් සම්බුද්ධ දේශනාවල දී හෙළිදරව් වී තිබෙනවා. මනුෂ්‍ය ජීවිතවල එසේ රැුස් කළ පින් දහම්වලට අනුරූපව සක් දෙවිඳුන්ට නොයෙක් නම් යෙදුණ හැටි ධර්මයේ පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන්.

‘‘පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්න කොට ඔහුගෙ නම ‘මඝ’. එ් නිසයි ශක‍්‍ර දෙවියන්ට ‘මඝවා’ කියන්නේ. පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරන කොට හැම තැනක දී ම මුලින් ම දන් දෙන්නේ ඔහු තමයි. එ් නිසා ඔහුට ‘පුරින්දද’ කියලා කියනවා. පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරන කොට, පිළිවෙළකට සකස් කරලයි දන් දුන්නේ. එ් නිසයි ඔහුට ‘ශක‍්‍රයා’ කියන්නේ. පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරන කොට වාසස්ථාන දන් දුන්නා. එ් නිසා ඔහුට ‘වාසව’ කියලා කියනවා. පින්වත් මහණෙනි, ශක‍්‍ර දෙවියන්ට එක මොහොතකින් කරුණු දාහක් ගැන හිතන්න පුළුවන්. එ් නිසයි ‘සහස්ස නෙත්ත’ කියන්නේ. පින්වත් මහණෙනි, ශක‍්‍ර දෙවියන්ට බිරිඳ හැටියට ඉන්නෙ සුජා කියලා අසුර කන්‍යාවක්. එ් නිසයි ‘සුජම්පති’ කියන්නේ. පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර සැප සම්පත්වලිනුත්, අධිපති භාවයෙනුත් යුක්තව රජ කරන්නේ. එ් නිසයි ඔහුට ‘දේවානමින්ද’ කියන්නේ.”‍්
(දුතිය දේවා සත්තවතපද සූත‍්‍රය – සං. නි.)

වසු නම් වූ දෙවිවරුන්ට නායක වාසව දෙවියෝ

වාසව නමිනුත් හැඳින්වෙන සක් දෙවිඳුන්ට එ් නාමය යෙදුණ ආකාරය දුතිය දේවා සත්තවතපද සූත‍්‍ර අටුවාවේ (සාරත්ථදීපනී – සංයුත්ත නිකායට්ඨකථා) විස්තර කෙරෙනවා. සක් දෙවිඳුන් මගධ රටේ මචල ගමේ මිනිසෙකු වී ඉපිද සිටිය දී සිව් මං සල්හි මහජනයාට ආවාසයක් කරවා දුන් බවත්, එනිසා වාසව නම ලද බවත් එහි සඳහන්.

රහතන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර මහා වනයෙහි වැඩ වාසය කරද්දී ලොව පහළ වන සියලූ බුදුරජාණන් වහන්සේලා වෙත එළඹෙන දේව සමාගමය ගැන විස්තර වද්දීත් සක් දෙවිඳුට උරුම මේ වාසව නාමය ගැන කියැවෙනවා.

‘‘වසු නම් වූ දෙවිවරුන්ට – නායක වාසව දෙවියෝ
ඔහු ම නමින් පුරින්දද ය – ඔහු නම් සක් දිව්‍ය රජ ය
සඟ පිරිසේ රැස්වීමට – සතුටු සිතින් පැමිණියෝ ය…”
(මහා සමය සූත‍්‍රය)

මනුෂ්‍ය ජීවිත ගත කරද්දී ද මහා ගුණයෙන් යුතු වුණ, බල සම්පන්න දිව්‍යරාජයෙකුව ඉපැදී සම්බුදු සසුන් කෙත සුරකින සක් දෙවිඳුන් ගෞතම සම්බුදුරජාණන් වහන්සේටත්, මහරහතන් වහන්සේලාටත් පුද දෙනු ලබන්නා වූ සියලූ පූජෝපහාරයන් දැක අතිශයින් සතුටු වන බව නිසැකයි… සම්බුදු සසුනේ පුණ්‍ය කර්මයන් සැදැහැ සිතින් ම අනුමෝදන් වන එ් උතුම් දිව්‍යරාජයා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට මොන තරම් සමීප ද කියන කාරණය සිහි කර ගන්නටයි අප මේ සටහන තබන්නේ. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තය පුරා සක් දෙවිඳුන්ගේ ගුණ ශෝභාවන් සම්බුදු මුව මඬලින් විවරණය වෙනවා.

මහා මුනිරජුන්ගෙන් පැසසුම් ලබන්නෙකි හේ…

‘‘පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දෙවියන් ඉස්සර මිනිස් ජීවිතේ ගෙවන කාලෙ උතුම් ව‍්‍රත හතක් සමාදන් වෙලා හිටියා. එ් ව‍්‍රත සමාදන් වීම නිසයි ශක‍්‍රයාට ඔය පදවිය ලැබුණේ.”
(දේවා සත්තවතපද සූත‍්‍රය, දුතිය දේවා සත්තවතපද සූත‍්‍රය, මහාලී සත්තවතපද සූත‍්‍රය – සං. නි.)

මේ ව‍්‍රත හත සුරැකි සක් දෙවිඳුන්ගේ සොඳුරු ගුණයෙන් සතුටු වන දෙවිවරු එ් ව‍්‍රත හත රකින මනුෂ්‍යයන් සැබෑ ම සත්පුරුෂයන් සේ සලකන බව මේ දේශනාවන්ගේ කියැවෙනවා.
‘‘මව්පියන්ට සලකනවා නම්, කුල දෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන – ප‍්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නේ නැත්නම්, මසුරු මල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, ක්‍රෝධය පාලනය කරනවා නම් අන්න එ් මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවේ දෙවියෝ කියන්නේ.”
(දේවා සත්තවතපද සූත‍්‍රය, දුතිය දේවා සත්තවතපද සූත‍්‍රය, මහාලී සත්තවතපද සූත‍්‍රය – සං. නි.)

ශාස්තෘන් වහන්සේගෙන් පැසසුම් ලබන්නට තරම් සොඳුරු ගුණයෙන් යුතු වුණ සක් දෙවිඳුන් සැබෑ ම සත්පුරුෂයෙක්. උතුම් ගුණයෙන් ම බබළන කෙනෙක්. සුන්දර සම්බුද්ධ ශාසනයක විපුල ඵල නෙළන එවන් ශ‍්‍රාවකයෙක්ගේ ගුණ ශෝභාවනුත් සැබැවින් ම සුන්දරයි…

ඉවසීමේ ගුණ කියන්නෙකි හේ

සක් දෙවිඳුන් උතුම් ගුණයන්ගෙන් යුතු වනවා වගේ ම එ් ගුණයන් අගය කරමින් අන්‍යයන් ද එ් ගුණයන්ගේ සමාදන් කරවනවා. කල්‍යාණ මිත‍්‍රයෙක් ලෙසින් ගුණ දහම් දියුණු කරන්නට උපකාර වෙනවා.

සක් දෙවිඳුන් ඉවසීමේ ගුණ වර්ණනා කළ අයුර සම්බුදුරජාණන් වහන්සේ සංඝාවවාදයන් ලෙසින් හෙළිදරව් කොට වදාළා. කලෙක සුර අසුර යුද්ධයක් ඇති වුණා. පරදින පාර්ශවයේ නායකයාව දෑත්, දෙපා එක් කොට බෙල්ල පස් වෙනි කොට බන්ධනයෙන් ගැට ගසා ජයග‍්‍රාහකයන්ගේ පුරවරයට ගෙන ආ යුතු බවට දෙපසින් ම උපදෙස් ලැබුණා. ජයග‍්‍රහණය කළේ සුර පිරිස. බන්ධනයෙන් ගැට ගැසූ වේපචිත්ති අසුරයා ව සුධර්මා දිව්‍ය සභාවේ සිටි සක් දෙවිඳු හමුවට ගෙන ගියා.

බන්ධනයෙන් බැඳී සිටින අසුරයා සුධර්මා දිව්‍ය සභාවට ඇතුළු වෙනකොටත්, පිට වෙනකොටත් අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින් බැණ වදින්නට වුණා. එ් වෙලාවේ මාතලී රථාචාර්යවරයා මෙහෙම කිව්වා.

‘‘පින්වත් සක් දෙවිඳුනි, වේපචිත්තිගේ නපුරු වචන ඉදිරියේ, එ්වා අසමින් ඉවසගෙන ඉන්නේ මොකද? භයට ද? බැරිකමට ද?”

සක් දෙවිඳුන් මෙසේ පිළිතුරු දුන්නා.

‘‘මං වේපචිත්තිට භයෙන් ඉවසනවා නෙමෙයි. බැරිකමකට ඉවසනවාත් නො වෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක්, මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද?

අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුක්තව සන්සිඳෙනවා නම්, මං හිතන්නේ බාලයා ව පාලනය කරන්න එ්ක තමයි හොඳ කියලා.”
මාතලී රථාචාර්යවරයා මෙහෙම ප‍්‍රතිචාර දැක්වුවා.

‘‘සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටක ඉවසන කොට, මෝඩයා හිතන්නේ මෙයා මේ මට භයෙන් ඉවසනවා කියලා…”
ඉවසීමේ ගුණය ම අගය කරන සක් දෙවිඳුගේ පිළිතුර මෙය යි.

‘‘මෙයා මේ ඉවසන්නේ මට භයෙන් ය කියලා කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීම යි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ…”

මේ පුවත වදාරමින් සම්බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙසේ අවවාද කොට වදාළා.

‘‘පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර සැප සම්පත්වලිනුත්, අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා ඉවසීමේ, කීකරු බවේ ගුණ කියනවා නෙව. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු ඉතා පිරිසිදු ව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනයේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕන. කීකරු වෙන්න ඕන. මේ ශාසනය ශෝභමාන කරන්න ඕන.”
(වේපචිත්ති සූත‍්‍රය – සං. නි.)

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සම්බුදු ශ‍්‍රාවකයන් විසින් ආදර්ශයට ගැනීමට තරම් සුවිශේෂී වූ සොඳුරු තපසින් යුතු උතුමෙක් ම යි…!

මෙත් සිතින් වසන්නෙකි හේ…

සක් දෙවිඳුන් තමන්ගේ ජීවිතය වෙනුවෙන්වත් අන් කෙනෙකුගේ ජීවිතයට හානියක් වීම නො ඉවසන මෛත‍්‍රී සිතකින් යුක්තයි. සම්බුදු මුව මඬලින් එ් බවත් මෙසේ හෙළිදරව් කෙරුණා.

සුර අසුර සංග‍්‍රාමයක් ඇති වුණ අවස්ථාවක අසුරයන් ජය ගත්තා. පැරදුනු සුර පිරිස උතුරු දිශාවට පලා ගියා. ජයග‍්‍රාහී අසුර පිරිස විසින් සුරයන් ව ලූහු බඳිනවා. අසුරපුරයේ සිට සුරපුර දක්වා සක් දෙවිඳුන් විසින් රඳවපු නාගයන්, ගුරුලන්, කුම්භාණ්ඩයන්, යක්ෂයන්, සතරවරම් දේව රජ දරුවන් යන ආරක්ෂක බලමුළු පහ අතරිනුයි සුර පිරිස පලා යන්නේ.
දෙවන ආරක්ෂක වළල්ලේ සිටි ගුරුලන් වාසය කරන ඉඹුල් වනයට ඇතුල් වෙද්දි සක් දෙවිඳුන් මාතලී රථාචාර්යවරයාට මෙසේ පැවසුවා.

‘‘මාතලී බලාගෙනයි…! ඉඹුල් වනයේ ගුරුලන්ගේ කැදලි ඇති. එ් නිසා ඔවුන් ව බේරලා, රථය හරවන්න. ඊට හොඳයි අසුරයන්ගේ පහරින් මැරිලා යන එක. මේ කුරුලූ පැටවුන්ට කුරුලූ කූඩු නැති වෙන්න එපා…!”

එ් වචන අහපු මාතලී රථාචාර්යා රෝද දාහක් සහිත වුණ, අජානේය අසුන් යෙදූ දිව්‍ය රථය ආපසු හැරෙව්වා. එතකොට අසුරයෝ මෙහෙම හිතුවා.

‘ඔන්න දැන් ශක‍්‍ර දේවේන්ද්‍රයාගේ රෝද දාහකින් යුත්, අජානේය අසුන් යෙදූ රථය ආපසු හැරෙව්වා නෙව. දෙවන වතාවටත් දෙවියන් අසුරයන් එක්ක යුද්ධ කරන්න එන හැඩයි.’
අසුර පිරිස බියට පත් වුණා. ඔවුන් අසුර පුරයට පලා ගියා.
(කුලාවක සූත‍්‍රය – සං. නි.)

අධිපති බවින් යුතු දිව්‍ය ජීවිතය දෙවැනි කොට අහිංසක ජීවිතවලට අභය දන් දුන්, ඔවුන්ගේ වාසස්ථාන මෙත් සිතින් බේරා දුන්, එ් මෙත් සිතින්, ධර්මයෙන් ම ජය ගත් සක් දෙවිඳුන් මහා ගුණවතෙක් ම යි…!

පිදිය යුත්තන් පුදන්නෙකි හේ…

පිදිය යුතු උතුමන් පුදන මංගල කරුණෙනුත් යුතුව සක් දෙවිඳුන් වසන බව ලෝකයට පෙන්වා දුන්නේ සම්බුදුරජාණන් වහන්සේ ම යි.

හොඳ, යහපත් ගුණධර්ම ඇති, සිල්වත් වූ බොහෝ ඉසිවරු වසන වනාන්තරයකට සක් දෙවිඳුනුත්, වේපචිත්ති අසුරයාත් ඇතුල් වුණා. වේපචිත්ති අසුරයා පොටවල් කීපයක් තිබෙන සෙරෙප්පු දෙකක් දාගෙන, කඩුවත් එල්ලාගෙන, කුඬේකුත් ඉහළගෙන ප‍්‍රධාන දොරටුවෙන් සෙනසුනට ගියා. එ් යහපත් ගුණදහම් ඇති සිල්වත් ඉසිවරුන්ට අගෞරව කොට නික්මුණා.

එවෙලාවේ සක් දෙවිඳුන් පොටවල් කීපයක් ඇති සෙරෙප්පු දෙක ගැලෙව්වා. කඩුව වෙන කෙනෙකුට දුන්නා. කුඬේ අකුලා ගත්තා. පසු දොරටුවෙන් සෙනසුනට ගියා. එ් යහපත් ගුණදහම් ඇති සිල්වත් ඉසිවරුන්ගේ පැත්තෙන් හමාගෙන එන යටි හුළෙඟ් වැඳගෙන හිට ගත්තා.

එ් සිල්වත් ඉසිවරු සක් දෙවිඳුට මෙහෙම කිව්වා.

‘‘නෙත් දහසක් ඇති පින්වත් ශක‍්‍රය, ඔතනින් අයින් වෙන්න. බොහෝ කලක් ව‍්‍රත සමාදන් වෙලා ඉන්න ඉසිවරුන්ගේ ශරීරවල ගඳත් එක්කයි ඔය හුළඟ එන්නේ. දෙව්රජුනි, ඉසිවරුන්ගේ ශරීරවල ගඳ අපවිත‍්‍රයි නෙව…”

සිල්වතුන්, ගුණවතුන් නිතින් අභිවන්දනය කරන සක් දෙවිඳුන් මෙසේ උත්තර දුන්නා.

‘‘ස්වාමීනි, බොහෝ කලක් ව‍්‍රත සමාදන් වෙලා ඉන්න, ඉසිවරයන් වහන්සේලාගේ සිරුරු පිසදාගෙන හමන සුළඟින් එ් ගඳ ද හමාවා! එ් සිරුරු ගඳ ලස්සන මල් මාලයක් හිසේ පලඳනවා වගෙයි මං පිළිගන්නේ.”
(අරඤ්ඤයතන ඉසි සූත‍්‍රය – සං. නි.)

තවත් දවසක උයන් සිරි නරඹන්නට යෑම පිණිස සක් දෙවිඳුන් වෛජයන්ත දිව්‍ය ප‍්‍රාසාදයෙන් බහිද්දි, දෙඅත් එකතු කරලා හැම දිශාවකට ම නමස්කාර කළා. එය දුටු මාතලී රථාචාර්යා මෙහෙම කිව්වා.

‘‘වේදය හදාරන පෘථිවිවෘසී සියලූ දෙනාත්, රජවරුත්, සතරවරම් දෙවිවරුත්, යසස් ඇති තව්තිසා දෙවියොත් ඔබට වඳිනවා. නමුත් සක් දෙවිඳුනි, ඔබ යම් කෙනෙකුට වඳිනවා නම් එ් දෙවියා කවුද?”

මහා යසස් ඇති සක් දෙවිඳුන් මෙසේ උත්තර දුන්නා.

‘‘ත‍්‍රිවේදය හදාරන පෘථිවිවෘසී සියලූ දෙනාත්, රජවරුත්, සතරවරම් දෙවිවරුත්, යසස් ඇති තව්තිසා දෙවියොත් මට වඳිනවා තමයි. මම වඳින්නේ සිල්වත් වූ, බොහෝ කලක් සමාධිමත් සිත් ඇති, උතුම් බ‍්‍රහ්මචාරී ජීවිත ගෙවන, මනා කොට පැවිදි ජීවිත ගෙවන උතුමන්ට යි.

මාතලී, එ් වගේ ම තිසරණයේ පිහිටලා, උපාසක බවට පත් වුණ, ගිහි ගෙයි වසන, සිල්වත්, පින්දහම් කරන, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරන ශ‍්‍රාවකයන් ඉන්නවා. අන්න එ් උදවියටත් මම වඳිනවා.”
(සක්ක නමස්සන සූත‍්‍රය – සං. නි.)

පිදිය යුත්තන් මැනැවින් හඳුනාගෙන නිතින් පුද දෙන සක් දෙවිඳුන් සැබෑ ම පැණවතෙක්…!

තරහ නූපදවන්නෙකි හේ…

ක්‍රෝධය අනුභව කරන්නන් ජය ගන්නට ක්‍රෝධ නො කරන සිත් ඇති සක් දෙවිඳුන් දක්ෂ වුණ ආකාරය පෙන්වන මේ සිදුවීමත් සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි දෙව්මිනිස් ලෝකයට හෙළිදරව් කොට වදාළේ.

ඉතා අවලස්සන වූ, කුදු ගැහුණු එක්තරා යක්ෂයෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වුණා. තව්තිසාවැසි දෙවිවරු ඔහුට නින්දා කරන්නට වුණා.

‘‘මේ අවලස්සන කුදු ගැහිච්ච යකෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වෙලා ඉන්නවා නෙව…”

තව්තිසාවැසි දෙවිවරු එ් යක්ෂයාට දොස් පවරද්දි, නින්දා කරද්දි, අවමන් කරද්දි එ් යක්ෂයා එන්න එන්න ම ලස්සන වුණා. වඩාත් පැහැපත් වුණා. මේ සිදුවීම සක් දෙවිඳුන්ට සැල කෙරුණා. සක් දෙවිඳු එ් ක්‍රෝධය අනුභව කරන යක්ෂයා ළඟට ගියා. උතුරු සළුව එ්කාංශ කොට පොරවගෙන, දකුණු දණ මඬල බිම තබාගෙන, එ් යක්ෂයාට වැඳගෙන තුන්වරක් මෙහෙම කිව්වා.

‘‘නිදුකාණෙනි, මම ශක‍්‍ර දේවේන්ද්‍රයා වෙමි…”

සක් දෙවිඳුන් එසේ නම කියද්දී යක්ෂයා එන්න එන්න ම දුර්වර්ණ වෙලා, කුදු ගැහිලා එතැන ම නො පෙනී ගියා. සක් දෙවිඳු අසුනේ වාඩි වෙලා මේ ගාථාවන් කිව්වා.

‘‘මම් ගැටුනු සිත් ඇති කෙනෙක් නො වේ. මාව ලේසියෙන් කෝප ගන්වන්න බෑ. මම් බොහෝ කලක් තිස්සෙ කේන්ති ගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. එ් නිසා මං තුළ ක්‍රෝධය පිහිටන්නේ නෑ.

මට කේන්ති ගියත් දරුණු වචන කියන්නේ නෑ. ධාර්මික වචන විතරයි මං කියන්නේ. තමන්ට එයින් වන යහපත දැකලා, මං තමන්ට ම යි නිග‍්‍රහ කර ගන්නේ.”
(දුබ්බණ්ණිය සූත‍්‍රය – සං. නි.)

ක්‍රෝධය විසින් යට නො කරන සිතක් ඇතිව අවිහිංසාවෙන් වාසය කරන සක් දෙවිඳුන් සැබැවින් ම සිල්වතෙක්…!

සම්බුදුරජුන්ගේ මෙහෙකරුවා ය හේ…

පූජාර්හ උතුමන් අතර අග‍්‍ර වූ සම්බුදුරජුන්ගේ ගුණ කියමින් සක් දෙවිඳුන් මනුලොව මිනිසුන් ඉදිරියේත් පෙනී සිටියා. ලෝකස්වාමී වූ එ් සම්මා සම්බුදුරජුන්ගේ මෙහෙකරුවා ලෙසින් තමන් කටයුතු කරන බව අධිපති බවිනුත්, යසසිනුත් දෙවියන් අතර අග‍්‍ර වූ සක් දෙවිඳුන් කියා සිටියේ මේ ආකාරයෙන්.

‘‘යෝ ධීරෝ සබ්බධී දන්තෝ
සුද්ධෝ අප්පටිපුග්ගලෝ
අරහං සුගතෝ ලෝකේ
තස්සාහං පරිචාරකෝ”

‘‘යම් ධීරයන් වහන්සේනමක් සියලූ ආකාරයෙන් දමනය වූ සේක් ද පාරිශුද්ධ වූ සේක් ද උන්වහන්සේට සම වූවෙක් නම් නැත. අරහත් වූ, ලෝකයේ සුගත වූ එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම.”
(මහාවග්ග පාලි – මහාඛන්ධක)

භාග්‍යවතුන් වහන්සේගේ මේ මෙහෙකරුවා එක් දිනක් ඉන්දසාල ගුහාවේ වැඩ වාසය කරපු සම්බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියේ තම දිව්‍ය ආයුෂය ගෙවී යමින් තිබුණ මොහොතක. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම හෙවත් ප‍්‍රපංච ගැන සුන්දර ධර්ම පර්යායක් දෙව් මිනිස් ලෝකයට අසන්නට වාසනාව ලැබුණේ මේ ගමනේ දී සක් දෙවිඳුන් ඇසූ පැනයක් නිසාවෙනුයි. එ් උතුම් ධර්ම දේශනාව සම්බුදු මුව මඬලින් වදාරණ කල්හි සක් දෙවිඳුන්ට දහම් ඇස පහළ වුණා. දේශනාව අවසානයේ සම්බුදුරජුන්ගේ එ් සෝතාපන්න ශ‍්‍රාවකයා මෙසේ උදානයන් පළ කළා.

‘‘දෙවි වූ මා මෙතැන සිටිය දී, සම්පූර්ණයෙන් ම ගෙවී ගිය මගේ ආයුෂ යළි ලබන ලද්දේ ය.

අකනිට්ඨ බ‍්‍රහ්ම ලෝකයෙහි එ් වඩාත් උත්තම වූ යසස් ඇති දෙවිවරු වෙත් ද මාගේ අවසාන ආත්ම භාවයෙහි එය මාගේ වාසස්ථානය වන්නේ ය.”
(සක්කපඤ්හ සූත‍්‍රය – දී. නි.)

එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජුන්ගේ සිරි මුව මඬලින් දේශිත සිරි සදහම් අසා මෙසේ නිවන් මඟ තහවුරු කර ගත් එ් සක් දෙවිඳුන් නිසැකයෙන් ම මහා භාග්‍යවන්තයෙක්…!

සම්බුදු ගුණ ම කියන්නෙකි හේ…

ගෞතම සම්බුදුරජුන්ගේ සසුනේ දහම් ඇස් ලද මේ ශ‍්‍රාවකයා නිරන්තරයෙන් තෙරුවනේ ගුණ පවසනවා. සම්බුද්ධ ශාසනය ලොව බබළන කල්හි දෙව්ලොව පිරී යන වග කියමින් තව්තිසාවැසි දෙවිවරුන් සතුටු වුණු මොහොතක එතැනට පැමිණි සක් දෙවිඳුන් සම්බුදුරජුන්ගේ ගුණ මෙසේ පවසන්නට වුණා.

‘‘එ් භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පිළිපන්සේක් ද යත්; මෙසේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පිළිපන් මේ ගුණාංගයෙන් යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේත් නො දකිමු. මෙකල්හිත් එ් භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නො දකිමු.”
(මහා ගෝවින්ද සූත‍්‍රය – දී. නි.)

මෙසේ සම්බුදුරජුන්ගේ ගුණ අටක් පවසමින් සක් දෙවිඳු වන්දනා කරද්දි තව්තිසාවැසි දෙවිවරුන් අතිශයින් ම සතුටු වුණා.

විශාලා මහනුවර තුන්බිය දුරු කරමින් උතුම් තෙරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලය සම්බුදු මුව මඬලින් දේශනා කොට අවසාන වූ මොහොතේ අහසේ පෙනී සිටි සක් දෙවිඳු මෙසේ කියමින් නමස්කාර කළා.

‘‘යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු…”

‘‘භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුණ
අහසේ හෝ පොළවේ හෝ එ් හැම එක් වුණ
දෙව් මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන
නමදිමු අපි එ් බුදුරජ සෙත සැලසේවා…!”
(රතන සූත‍්‍රය – ඛු. නි.)

සම්බුදුරජාණන් වහන්සේගේ හතළිස් පස් වසරක සම්බුද්ධ කෘත්‍යය නිතින් අභිවන්දනය කළ සක් දෙවිඳුන්, ලෝකයට පහළ වූ එ් මහා ප‍්‍රඥා ඇස කුසිනාරාවේ යමා සල් රුක් සෙවණේ පිරිනිවී වැඩි කල්හි හට ගත් සංවේගයෙන් එ් සම්බුදුරජුන්ගේ දහම ම සිහි කළේ මේ ආකාරයෙන්.

‘‘අනිච්චා වත සංඛාරා – උප්පාද වයධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ’ති”
‘‘හේතු ප‍්‍රත්‍යයන්ගෙන් උපන් සංස්කාරයෝ එ්කාන්තයෙන් අනිත්‍යයහ. හටගෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඉපදී නිරුද්ධ වෙති. නැවත නූපදින පරිද්දෙන් එම සංස්කාරයන්ගේ සන්සිඳී යාම සැපයකි.”
(මහා පරිනිබ්බාන සූත‍්‍රය – දී. නි.)

කිසිවෙකුට සෙලවිය නො හැකි පැහැදීමකින් යුතුව එ් සම්බුදුරජුන්ව ද උතුම් ශ්‍රී සද්ධර්මය ද ආර්ය මහා ශ‍්‍රාවක සංඝරත්නය ද සරණ ගිය එ් සක් දෙවිඳුන් මහා පින්වතෙක් ම යි…!

ගෞතම සම්බුදු සසුන රකිනු මැන

සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් තමන් වහන්සේගේ, පැවිදි නො වන ශ‍්‍රාවකයෙක් ගැන වැඩියෙන් ම දේශනා වූවා නම් එසේ දේශනා කෙරුණේ මේ මහා ගුණ සම්පන්න සක් දෙවිඳුන් ගැනයි. සම්බුදුරජාණන් වහන්සේගේ, පැවිදි නො වන ශ‍්‍රාවකයෙක් විසින් උතුම් තෙරුවන විෂයෙහි සහ සිව්වනක් පිරිස විෂයෙහි සිදු වූ බොහෝ අභිවන්දනයන් පෙළෙහි මුණගැසෙනවා නම් එ් මුණගැසෙන්නේ මේ සක් දෙවිඳුන්ගේ අභිවන්දනයන් ගැනයි…

සක් දෙවිඳුන් දහම් ඇස පහළ කර ගත්තෙක්… දුගතියෙන් සදහට ම මිදුන කෙනෙක්… හිමාල පර්වතය තරම් දුක් වියළවා දමා ශේෂ වූ අතිශය අල්ප දුක නිවන්නට මඟ වඩන කෙනෙක්… අසේඛ ඥානය උපදවන්නට සුගත මඟ වඩන සේඛ ශ‍්‍රාවකයෙක්… කලණමිතුරු භාවයෙන් සිල් ගුණ දම් පුරන සම්බුදු ශ‍්‍රාවකයන්ට උපකාර කරන කෙනෙක්… සීලවන්තයෙක්… ඤණවන්තයෙක්… දයාවන්තයෙක්… ගුණවන්තයෙක්… පුණ්‍යවන්තයෙක්…. සම්බුදු සසුන චිරාත් කාලයක් සුරක්ෂිත කරවන්නට ඇප කැප වූ අභිමානනීය සම්බුදු ශ‍්‍රාවකයෙක්….

එ් සා ගුණයන්ගෙන් යුතුව ගෞතම සම්මා සම්බුදු සසුන සුරකින සක් දෙවිඳුනි, සැදැහැ සිත් ඇතියන් මේ ගෞතම සම්බුදු සසුනේ පිළිවෙත් පුරමින්, ගෞතම සම්මා සම්බුදුරජුන් උදෙසා ආමිෂයෙන් ද පිළිවෙතින් ද කරන්නා වූ මහානීය පූජෝපහාරයන් සතුටින් අනුමෝදන් වෙත්වා! එ් සම්බුදු ශ‍්‍රාවක පිරිසට ධාර්මික ආරක්ෂාව, රැුකවරණය සලසා දෙත්වා! රැුස් කරන මේ පුණ්‍යානුභාවයෙන් උතුම් සේඛ බල පරිපූර්ණ කොටගෙන වහ වහා සංසාර දුකින් අතමිදෙත්වා!

(උතුම් සූත‍්‍ර පිටක දේශනා සරල සිංහලට පරිවර්තනය කළ කල්‍යාණමිත‍්‍ර කිරිබත්ගොඩ ඤණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද ලිපිය සැකසීමේ දී උපකාර කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද අපමණ පුණ්‍යානුමෝදනා වේවා!)

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published.

x

Check Also

බුදු සසුන රැකදුන් පින්වත් කුමරා

දුටුගැමුණු කුමරුගේ පිනට ලක්දිව විවිධ ප්‍රදේශවල උපන් ප්‍රබල යෝධයන් දස දෙනෙකු ද විය. මේ එක් එක් යෝධයාට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය බැගින් ඇත්තේ ය. කාවන්තිස්ස රජු මේ දසමහා යෝධයන් රහසේ එකතු කළේ ගැමුණු කුමරු අනාගතයේ රට එක්සේසත් කරන විට එයට සවියක් වීමට ය.