highlights of the week
Home » Archives » ධම්ම චක්ක සංකේතය

ධම්ම චක්ක සංකේතය

ධම්ම චක්කය යන වදන බුදුරජාණන් වහන්සේ විසින් ම තමන් වහන්සේ අවබෝධ කොටගත් පරම සත්‍ය හකුලා දැක්වීම සඳහා යොදා ගන්නා ලද වහරකි. එම උපමාව වූ කලි තත්කාලීන සමාජයේ භාවිතාව පැවති සංකල්පයක් උපයෝගී කොටගෙන යොදන ලද්දැකැයි සිතන්නට අනුබල දෙන සාක්කි ඇත. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බෝහෝ සූත‍්‍රයන්හි උපමා වශයෙන් භාවිත කොට ගෙන ඇත්තේ එකල භාරතීය සමාජයේ දක්නට ලැබුණු යෙදුම් හා වස්තූන් ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ඇතුළත් ධර්මය, චක‍්‍රයක කැරකැවීමක් ලෙස අරුත් දක්වන ලද්දේ ගැල් සක අනුසාරයෙන් යැයි බුද්ධ දේශනා ඇසුරෙන් ම නිගමනය කළ හැකි ය. ගොනුන්, අසුන් ඇදගෙන යන ගැල් එකල භාරතීය සමාජයේ බහුල ව පැවතුණ බැව් පැරණි ආගමික හා සාහිත්‍ය පොත පතින් පෙනේ. ගැල් සක පසු පසට පෙරළී යන්නක් නො ව අනවරත ප‍්‍රවර්තනයේ පවතින්නකි.

‘ධම්ම චක්ක’ යනු බදුරජාණන් වහන්සේගේ ම යෙදුමක් බව පෙර කියැවිණ. තිස් පස් වැනි වියේ දී තමන් වහන්සේ අවබෝධ කොට ගත් ධර්මය ප‍්‍රථම වරට දේශනා කිරීම සඳහා උරුවේල ජනපදයෙහි සිට බරණැස ඉසිපතනයට වඩින අතර මඟ දී බුදුරජාණන් වහන්සේට උපක නමැති ආජීවකයා මුණ ගැසුණි. ඔහු නැඟූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ චාරිකාවේ අරමුණ මෙසේ පැහැදිලි කර දුන් සේක.

‘‘ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං”

‘‘ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කිරීම සඳහා කාසි පුරයට හෙවත් බරණැස් පුරයට යන්නෙමි.” යනු එහි භාවය යි.

බරණැස ඉසිපතනයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප‍්‍රථම ධර්ම දේශනාවට ඇතුළත් වූයේ සමස්ත බුද්ධ දේශනාව හකුලා දැක්වෙන සූත‍්‍රය යි. එනම්, හේතුඵල සිද්ධාන්තය ඇතුළත් චතුරාර්ය සත්‍ය ධර්මය ප‍්‍රකාශ වන ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රය යි. මෙම ප‍්‍රථම සූත‍්‍ර දේශනාවෙහි අන්තර්ගත වන පාඨය බුදුරජාණන් වහන්සේගේ අභිීත සිංහ නාදය වන්නේ ය.

‘‘ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මිං”

‘‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කරන ලද්දේ ය. එම ධර්ම චක‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ ප‍්‍රතිවර්තනය (ආපසු කරකැවීම) කළ නො හැක්කේ ය.”

සතළිස් පස් වසරක් පුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අසූහාරදහසක් ධර්මස්කන්ධයට සමාරම්භක එක් සූත‍්‍රයෙන් ම නො එසේ නම් තෙවදනකින් (ධම්ම චක්ක පවත්වන) සම්පිණ්ඩනය කොට දැක්වීම ම උන්වහන්සේගේ විස්මිත හැකියාවට නිදසුනක් වෙයි. ලොව පහළ වූ සියලූ දැනුම්, විද්‍යාවන් හා ගවේෂණයන් අභිබවා තමන් වහන්සේ සාක්ෂාත් කරගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකවාසීන් වෙත අනාවරණය කිරීමට ප‍්‍රථම එය හාපුරා කියා දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ තෝරා ගත්තේ කලින් හොඳින් හදුනාගත් තවුස් දම් පිරූ පස්දෙනෙකු පමණි. එම පස්දෙනාගෙන් ශ‍්‍රාවක සමුදායක් බිහිවන බවත් ලෝක සත්වයන් ජරා, මරණ, දුකින් මුදවා ගැනීම පිළිබඳ ව තමන් වහන්සේගේ අරමුණ ඉන් ඉටුවන බවත් බදුරජාණන් වහන්සේ ඉඳුරා ම අවබෝධ කොටගත් සේක.

පස්වග තවුසන් ඇමතූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය පෙර නො ඇසූ විරූ ධර්මයක් බව අවධාරණයෙන් යුතු ව පැහැදිලි කර දුන් සේක. උතුම් වූ ආර්ය සත්‍ය සතර එකින් එක පිළිවෙළින් අවබෝධ කර ගත් ආකාරය විවරණය කළ බුදුරජාණන් වහන්සේ ඒ එක් එක් ආර්ය සත්‍යයන් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ සහ කෘත ඤාණ වශයෙන් පරිවර්ථ තුනක් ම`ගින් දොළොස් ආකාරයකින් අවබෝධ කොට එය පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගත් අවස්ථාවේ දී ම තමන්වහන්සේ අනුත්තර වූ සම්‍යක් සම්බෝධියට සැපැත් වූ ආකාරය දම්සක් පැවතුම් සූත‍්‍රයේ දී ම පැහැදිලි කොට වදාළ සේක.

දම්සක කරකැවීම පිළිබඳ ව වූ මේ උතුම් ප‍්‍රාරම්භක ධර්ම දේශනාව පිළිබඳ ව පසුකාලීන යුගයේ දී බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක සංඝයා වහන්සේට වරින් වර පැහැදිලි කර දුන් ආකාරය සූත‍්‍ර දේශනාවන්හි නොයෙක් නොයෙක් තැන්වල අන්තර් ගත ය. සච්ච විභංග සූත‍්‍රයෙහි ලා චතුරාර්ය සත්‍ය ධර්මය විග‍්‍රහ කොට වදාළ බුදුරාජාණන් වහන්සේ එය වඩාත් විස්තර සහිත ව පැහැදිලි කර දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ලවා ද මහා සංඝයා වහන්සේට දීර්ඝ ලෙස ධර්ම කරුණු වටහා දුන් සේක. එම සූත‍්‍ර දේශනාවේ දී ධම්ම චක්කය කැරකැවීම පිළිබඳ ව වූ ප‍්‍රථම බුද්ධ දේශනාව අරභයා සැරියුත් මහ රහතන් වහන්සේ පළ කොට වදාළ උදාන වාක්‍යයේ භාවය මෙසේ ය.

‘‘පින්වත් වූ ආයුෂ්මතුනි, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය ප‍්‍රවර්ථනය කළ සේක. එය වූ කලි ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට හෝ ආපසු කරකැවීම කළ නො හැක්කේ ම ය.

මේ ධම්ම චක්කය නම් කවරේ ද යත්: චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කිරීම ය, පැනවීම ය, විවරණය කර දීම ය, විග‍්‍රහ කොට පෙන්වා දීම ය, අතිශයින් ම ප‍්‍රකට කර වීම ය.”
ධම්ම චක්කප්පවත්තන සූත‍්‍ර දේශනාව පැවති බරණැස් නුවර ඉසිපතනයේ මිගදායේ පින්බිම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ අති පූජනීය ඓතිහාසික ස්ථාන හතරෙන් තුන්වැන්න වෙයි. අනුත්තර වූ ධම්ම චක්කය පැවැත්වීම අති උතුම් අවස්ථාවක් හැටියට බුදුරජාණන් වහන්සේ විසින් ම පිරිනිවන් මඤ්චකයෙහි දී දේශනා කළ බව මහා පරිනිර්වාණ සූත‍්‍රයේ සඳහන් වෙයි. කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ පැනවූ සයනයෙහි වැඩ සිටි උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විමසූ පැනයකට පිළිතුරු දීම් වශයෙන් එසේ දේශනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන කල්හි උන්වහන්සේ බැහැදැකීමට පැමිණෙන සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීමට සැදැහැවත් කුල පුත‍්‍රයන්ට අවකාශ ලැබුණත් උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ඒ අවස්ථාව නො ලැබී යන බව ආනන්ද ස්වාමීන් වහන්සේ පවසා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැදැහැවත් කුල පුත‍්‍රයන්ට දැක බලා සංවේගය ඇති කර ගත හැකි උතුම් පූජනීය ස්ථාන හතරක් ඇති බව යි.

01. ඉධ තථාගතෝ ජාතෝ.
02. ඉධ තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ
03. ඉධ තථාගතේන අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං
04. ඉධ තථාගතෝ අනුපාධිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝ

‘‘පින්වත් ආනන්ද, බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැදැහැවත් කුල පුත‍්‍රයන්ට දැක බලා ධර්ම සංවේගය උපදවා ගත හැකි උතුම් ස්ථාන හතරක් ඇත්තේ ය. එනම් තථාගතයන් වහන්සේ ජන්ම ලාභය ලැබූ ස්ථානය, තථාගතයන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, අනුත්තර වූ ධම්ම චක්කපවත්තන සූත‍්‍රය දේශනා කරන ලද ස්ථානය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්ථානය යන මේ ස්ථාන හතර යි. ඒ උතුම් ස්ථාන හතර දැක බලා ධම්ම සංවේගය උපදවා ගත හැක්කේ ය.”

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වී ගෙවුණු අවුරුදු දෙදෙහස් පන්සිය පනස් පහක කාලය මුළුල්ලේ ලෝකවාසී ජනතාවගේ ධර්ම සංවේගය පහළ කර ගැනීමට ඒ ස්ථාන හතර ඒකාන්ත වශයෙන් උපසථම්භක ව ඇති ආකාරය, වර්තමානයේ දී වැල නො කැඞී දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවත් ජනකායගෙන් වටහාගත හැකි ය.

පසු කාලයේ බුදුරජාණන් වහන්සේ සහ බුදු දහම මූර්තිමත් කර දැක්වීමේ සංකේතයක් හැටියට ධර්ම චක‍්‍රය යොදා ගැනිණි. විහාරාම ඉදිකිරීමේ දීත් කැටයම් හා සිත්තම් නිර්මාණයේ දීත් බෞද්ධ කලාව හා සම්බන්ධ සංකේතයන් අතර ධර්ම චක‍්‍රයට අද්විතීය ස්ථානයක් හිමි විය. භාරතයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉපැරණි බෞද්ධ මධ්‍යස්ථානයන්හි දක්නට ලැබෙන කැටයම් අතර ධර්ම චක‍්‍ර සංකේතය නෙළා තිබෙනු දැක්ක හැකි ය. පැරණි භාරතීය කැටයම් ශිල්පීන් ධර්ම චක‍්‍ර සංකේතය මූර්තිමත් කර දැක්වීමේ දී කරුණු හතරක් උපයෝගී කරගත් බව විද්වත් මතය යි.

01. චතුරාර්ය සත්‍ය ධර්මය අන්තර්ගත කොට බරණැස් නුවර ඉසිපතනයේ මිගදායෙහි දී බුදුරාජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්ම දේශනා කිරීම පිළිබඳ අසහාය සිදුවීම.
02. බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ධර්මය.
03. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා විලාසය.
04. දීඝ නිකායේ මහා සුදස්සන හා මහා චක‍්‍රවර්ති සීහනාද යන සූත‍්‍රයන්හි ද සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තයේ චක්ක වත්ති වග්ගයේ චක්කවත්ති සූත‍්‍රයේ සඳහන් වන චක‍්‍රරත්න ය.

ඉහත කී කරුණු හතර ම සම්බන්ධ කොට ගෙන රථ චක‍්‍රයක ආකාරයෙන් ධර්ම චක‍්‍රය නිරූපණය කොට දැක්වීමට කලාකරුවන් මෙහෙයවන ලද්දේ විවිධ කොටස් කිහිපයක් සූක්‍ෂ ම ලෙස පිළිවෙළට ඒකාබද්ධ කොට පහසුවෙන් ප‍්‍රවර්තනය කෙරෙන නිසා ය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක‍්‍රය ඉදිරියට ම ප‍්‍රවර්තනය වන්නක් මිස ප‍්‍රතිවර්තනය වන්නක් නම් නො වේ.

මහාමේඝ 2011 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති

Leave a Reply

Your email address will not be published.

x

Check Also

රමණීය වන අරණ

වීතරාගි උතුමන් සේවනය කළ රමණීය වන අරණ

මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල් කොට ගත හැකි බව, ලෝකයට පෙන්වා දුන් අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය.