highlights of the week
Home » Archives » මොකක්ද මේ ක්‍ෂණ සම්පත්තිය?

මොකක්ද මේ ක්‍ෂණ සම්පත්තිය?

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහි යා හැකිය. එ් නිසා යම් මොහොතක චතුරාර්ය සත්‍ය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම් ඔහුට එ් මොහොත ක්‍ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලි ව වදාළේ බුදු රජාණන් වහන්සේ පමණි.

කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත් වන වාර ගණනේ දී ඔහුගේ ඇට සැකිල්ල පස් වී නො යන්නේ නම් එ් ඇට සැකිලිවලින් සුවිසල් කන්දක් තැනිය හැකි බවට බුදු රජාණන් වහන්සේ වදාළේ දීර්ඝ සසරේ ස්වභාවය ගැන බුද්ධිමත් මිනිසෙකුට යළි යළිත් සිතන්නට ඇරයුම් කරමිනි.

එබඳු දීර්ඝ ගමනක් තුළ කෙනෙකුට ලැබෙන්නේ මිනිසත් බව පමණක් නොවේ. පෘථග්ජන භාවයේ ම රැඳී මේ සසර චාරිකාව දිගින් දිගට පවත්වන කෙනා එක් ජීවිතයක මිනිසෙකි. ඊ ළඟ ජීවිතයේ ඔහු නැවත මිනිසෙකු වීම කලාතුරකින් සිදුවන දෙයකි. බොහෝ විට සිදුවන්නේ පේ‍්‍රත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ නිරය වැනි තැනක හෝ උපත ලැබීමයි. මේ නිසා මිනිසත් භාවය ලැබූ තැනැත්තා හට එහි වටිනාකම හඳුනාගත හැක්කේ ශ‍්‍රී සද්ධර්මය තුළින් පමණි. ජීවිතය ගැන ඉතා නිවැරදි දැනීමක් ලබා ගැනීමට නම් පිරිසිදු බුද්ධ දේශනාවන්ට සවන් දිය යුතු ය. ක්‍ෂණ සම්පත්තිය ලැබීම ගැනත් ක්‍ෂණ සම්පත්තිය අහිමි වීම ගැනත් ශ‍්‍රී සද්ධර්මය තුළ ඉතා පැහැදිලි ව දැකිය හැකි ය. ක්‍ෂණ සම්පත්තිය අහිමි වීම ගැන බුදු සමිඳුන් අපට හඳුන්වා දී වදාළේ දුෂ්ටක්ෂණය නමිනි. එනම් එහි ඇත්තේ සම්පතක් නොවේ; දුෂ්ටතාවයකි.

චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙන්නට පටන් ගන්නේ බුද්ධ කාලයක පමණි. එය බුදුරජාණන් වහන්සේගෙන් හා බුද්ධ ශ‍්‍රාවකයන්ගෙන් පමණක් අසන්නට ලැබේ. එලෙසින් ඉතා දුර්ලභ වූ එ් චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට ඇසෙද්දි යමෙක් සිටින්නේ එය අවබෝධ කළ නොහැකි පරිසරයක නම් එ් ක්‍ෂණය ඉතා දුෂ්ට වූ මොහොතකි.

චතුරාර්ය සත්‍යය ධර්මය නම් වූ ශ‍්‍රී සද්ධර්මය පිළිබඳ පරම සුන්දර පණිවුඩය මිහිරි සුවඳක් සේ ලොව පුරා පැතිර යද්දි එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ නිරයේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙද්දි එය අවබෝධ කළ යුතු තැනැත්තා ඉපිද සිටින්නේ තිරිසන් අපායේ නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය ඇසෙන මායිමට පැමිණීමේ වාසනාවක් පේ‍්‍රතයින්ට නැත. එය ඔවුන් ට දුෂ්ටක්ෂණයකි. සතර අපායේ ඉපිද සිටින සියලූ සත්වයෝ ක්‍ෂණ සම්පත්තිය අහිමිකරගත් පිරිස වෙති. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය පැතිර යද්දි, යම් මිනිසෙක් එය නො ඇසෙන දුරක දිවි ගෙවයි නම් ඔහුගේ ක්‍ෂණ සම්පත්තිය ද අහිමි වී ඇත. එමෙන් ම චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී යමෙක් එයට සවන් දුන්න ද එ් තැනැත්තා මන්ද බුද්ධික කෙනෙක් නම් එය ද ඔහුට දුෂ්ටක්ෂණයකි. චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරද්දී එයට සවන් දිය නොහැකි බොහෝ ආයුෂ ඇති බ‍්‍රහ්ම තලවල කෙනෙක් ඉපදී සිටිත් නම් එය ඔහුට දුෂ්ටක්ෂණයකි. මෙහි ඇති මෙවැනිම වූ ඉතා බරපතළ ඊ ළඟ අවස්ථාව නම් කෙනෙක් ඉතා බුද්ධිමත් ව මිනිස් ලොව ඉපිද සිටී. ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබුණොත් එය අවබෝධ කොට මග ඵල ලබා සතර අපායෙන් මෙන් ම සසරින් ද නිදහස් විය හැකි ය. එහෙත් ඔහුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබේ. එය ඔහු ලබා ඇති දුෂ්ටක්ෂණයකි. බුද්ධිමත් මිනිසෙකුට චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙද්දී ඔහු එ් කෙරෙහි පහදී නම්, ‘අනේ මටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන’ යැයි සිතා ඔහු තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවට පැමිණෙයි නම් එ් තැනැත්තාට පරම දුර්ලභ වූ ක්‍ෂණ සම්පත්තිය ලැබේ.

ලංකා වාසී අප බෞද්ධ නමුත්, ගෞතම බුදුරජුන් සරණ යන නමුත් අප දන්නා තරමින් අපගේ දෙමාපියන් මුතුන් මිත්තන් නෑදෑයින් යහළු මිත‍්‍රාදීන්ට එ් ක්‍ෂණ සම්පත්තිය ලැබූ බවක් දැන ගන්නට නැත. කොටින් ම අපට දහම් දෙසන ස්වාමීන් වහන්සේලා අතර පවා යමෙක් ක්‍ෂණ සම්පත්තිය ලබා සිටිත් නම් එය ඉතා දුර්ලභ දෙයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ‍්‍රී සද්ධර්මය ඉතා නිරවුල්ව, ඉතා ප‍්‍රභාෂ්වරව ධර්ම විනය තුළ අද පවා බුද්ධිමත් කෙනෙකුට දැක්ක හැකිය. චතුරාර්ය සත්‍යය පිළිබඳ ඉතා පැහැදිලි විස්තර අද පවා පහසුවෙන් බුද්ධිමත් කෙනෙකුට ඉගෙන ගත හැකිය. එවන් දුර්ලභ වූ පරම පිවිතුරු වූ එම චතුරාර්ය සත්‍යය ධර්මය අසා දැනගෙන ක්‍ෂණ සම්පත්තිය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත බවක් අපට නොලැබී ගියේ මක් නිසාද?

වර්තමානයේ ජීවත් වන කෝටි සංඛ්‍යාත මිනිස් වර්ගයා අතර ක්‍ෂණ සම්පත්තිය ලබාගත් පිරිස් වශයෙන් ගිණිය හැක්කේ ඉතා සුළු පිරිසකි. එයට ප‍්‍රධානම හේතුව වූයේ බුදු රජාණන් වහන්සේ වදාළ එ් ශ‍්‍රී සද්ධර්මයේ සුවිශේෂී පණිවිඩය වන චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට නොලැබීම ම මිසක් වෙන හේතුවක් නම් අපට නොපෙනේ. චතුරාර්ය සත්‍යය ධර්මය පවසද්දී යම් කෙනෙක් එ් උතුම් ශ‍්‍රී සද්ධර්මයට ද්වේෂ කරයි නම්, ගර්හා කරයි නම්, හෙලා දකියි නම් එ් කෙනා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඔහු කෙළින් ම බුදු සසුන විනාශ කිරීමට දායකත්වය සපයයි. අධර්මයවාදීන්ගේ, අවිනයවාදීන්ගේ එබඳු බණ ඇසූ පිරිස එ් මතය පිළිගනිද්දී පවා චතුරාර්ය සත්‍යය ධර්මයට ගර්හා කරත් නම්, හෙලා දකිත් නම් ඔවුන් ද දුර්ලභ වූ මේ ක්‍ෂණ සම්පත්තිය අහිමි කරගනිති.

තම හිසට ගිනි ඇවිළෙද්දී එය පවා නොසලකා හැර චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හදිස්සි වන්නැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එහි ඇති සුවිශේෂී වටිනාකම බුදු ඇසින් මනා කොට දුටු නිසාය. එම නිසා තෙරුවන් සරණ ගිය ආර්ය ශ‍්‍රාවකයෙකුට නිතර නිතර අසන්නට ලැබිය යුත්තේ චතුරාර්ය සත්‍යය ධර්මය යි. බුද්ධිමත් මිනිසෙකුට ක්‍ෂණ සම්පත්තිය මතු වන්නේ එ් තුළින් මිස වෙන කිසි දෙයක් තුළින් නොවේ.

බුදු රජුන් පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත හැකි මිනිසුන් මේ සමාජය තුළ සිටින බවයි. ඔවුන් හට එම උතුම් ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් ලද එ් බුද්ධියෙන් පවා පිරිහී යා හැකි බවයි. එවිට ක්‍ෂණ සම්පත්තිය අහිමි වූ උදවිය නිරයේ ඉපිද තමන් ලද දුර්ලභ භාග්‍ය අහිමි වීම නිසා ශෝක කරමින් කල් ගෙවන බව බුදු සමිඳාණෝ වදාළ සේක.

පෘථග්ජන භාවය නැමැති මඩ වගුරෙන් නිදහස් වී ආර්ය ශ‍්‍රාවක භාවයට පැමිණිය හැක්කේ ක්‍ෂණ සම්පත්තිය ලබා ගැනීමෙනි. අප කවුරුත් පෘථග්ජන කියමින් දුෂ්ටක්ෂණයට පැමිණෙන අවාසනාවන්ත මිනිසුන් ගැන උපේක්‍ෂා සහගත වීම හැර වෙන කළ යුතු දෙයක් නැත. එම නිසා මේ දුර්ලභ මොහොතේ වටිනාකම ඔබ බුද්ධිමත් නම් ඔබට අවබෝධ කරගත හැකි ය. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ, කෙනෙකුගේ දේශනා විලාශය ආකර්ෂණීය වීම නිසා නො වේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනා ලස්සන නිසා නොවේ. බුද්ධිමත් ඔබ සවන් දිය යුත්තේ දහම් දෙසන කෙනාට මිහිරි හඬක් තිබීම නිසා නොවේ. ඔබ බුද්ධිමත් නම් ඔබ සවන් දෙන ධර්මය තුළ ඉතා පැහැදිලි ලෙස, ඉතා පිරිසිදු ලෙස චතුරාර්ය සත්‍යය ධර්මය තිබේදැයි නුවණින් විමසා බැලිය යුතු යි. එ් චතුරාර්ය සත්‍යය ධර්මය කරා ඔබ නො යයි නම් ඔබ කොතෙක් වාර ගණන් බණ ඇසුව ද ඔබ අසා තිබෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස් සමූහයක් විනා බුදු රජුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය නොවේ. දහම් පද උපුටා දක්වමින් මේ වසර හැට හැත්තෑවක ජීවිතය පමණක් ලෞකික වශයෙන් සරු කිරීමට කතා කරයි නම් ඔහු මේ සා දීර්ඝ සසර ගමනේ ස්වභාවය කෙසේ නම් දැන ගන්න ද?

එ් නිසා දැන් ඔබ ක්‍ෂණ සම්පත්තිය කුමක් දැයි නිවැරදි ව තේරුම් ගත යුතු ය. ඔබ ජීවිතය තේරුම් ගැනීමට හැකියාව තිබෙන බුද්ධිමත් මිනිසෙකු නම් එක සුදුසුකමක් දැන් ඔබ තුළ සම්පූර්ණ වී ඇත. එබඳු ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය ඉතා පිරිසිදු ලෙස ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, කියවන්නට ලැබෙයි නම් පරම දුර්ලභ වූ ධර්මය ඔබට මුණගැසී ඇත. එ් තුළින් තෙරුවන් කෙරෙහි අවංක ශ‍්‍රද්ධාවක් ඔබට ඇති වී මේ බුදු සසුනේ ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ අවශ්‍යතාවයක් ඔබේ හදවතේ පැන නගී නම් ඔබ ඉතා ම දුර්ලභ වූ ක්‍ෂණ සම්පත්තිය ලබාගත් කෙනෙක්. ඔබට එ් ක්‍ෂණ සම්පත්තිය අහිමි නොවේවා යනු අපගේ සෙනෙහෙබර පැතුමයි.

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

බුදු මුවින් ගලා ගිය උතුම් සම්බුදු වදන්

එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන සිංහලයන් හට නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට පරාධීන මානසිකත්වයෙන් යුතුව ඒ මත හිස් මුදුනින් පිළිගැනීමට යාම තරම් නො වේ යැයි සිතේ.