වස් කාලය ආසන්න වන විට භික්ෂූන් වහන්සේලා වස් වසන්නට සුදුසු තැන් සොයාගෙන හෝ එසේත් නැති නම් දායකයන්ගේ ආරාධනාවක් ලබා එ් එ් තැනට ගොස් එ් සඳහා සූදානම් වීම සිරිතකි.

මේ අනුව ‘ගලම්බු තිත්ථ’ නම් විහාරස්ථානයේ වස් එළඹීමට පනස්නමක් භික්ෂුහූ පැමිණියාහ. එ් භික්ෂු පිරිස මෙසේ කතිකා කර ගත්හ.

‘‘ආයුෂ්මතුනි, මේ වස් කාලය තුළ මෙම කතිකාවට අනුව ක‍්‍රියා කරමු. මේ කාලය තුළ රහත් නො වී සිටින තාක් එකිනෙකා සමඟ කතා නො කර සිටිමු.”

මෙම අදහසෙහි පිහිටි උන්වහන්සේලා ගමට පිඬු පිණිස ඇතුළු වන විට මුඛයෙහි දිය පුරවාගෙන ගියහ. මිනිසුන් පෝය ගැන යමක් විමසුවහොත් වතුර උගුර ගිල දමා උත්තර දුන්හ. එසේ නො ඇසුවහොත් ආපසු එන විට ජලය ඉවත දමා ගියහ.

මේ හිමිවරු මිනිසුන් සමඟ කතා නො කරන නිසා ගම්වැසියෝ මෙසේ සිතූහ.

‘මේ භික්ෂූන් වහන්සේලා කතා නො කරන්නේ අප සමඟ පමණක් ද? නැත්නම් මේ හිමිවරුන් ඔවුනොවුන් සමඟත් කතා නො කරන්නේ ද? එ් කුමක් නිසා ද? මේ ස්වාමීන් වහන්සේලා එකිනෙකා අතර යම් අමනාපයක් ඇත්නම් අපි උන්වහන්සේලා සමඟි කරවිය යුත්තෙමු.’

එ් අනුව කතිකා කර ගත් දායකයෝ සේනාසන වෙතට ගියහ. එහි දී ඔවුන්ට කිසිදු තැනක හිමිවරු දෙනමක් එක්ව සිටිනු දකින්නට නො ලැබිණි.

ඔවුන් අතර සිටි එක ඥාණවන්ත මිනිසෙක් මෙසේ කීවේ ය.

‘‘පින්වතුනි, කලහකරුවන් වාසය කරන තැනක මෙසේ නො වේ. සෑ මළු, බෝ මළු ඉතා හොඳින් පිරිසිදුව ඇමද තිබේ. පැන් බඳුන් ද හොඳින් පුරවා ඇත.”

මේ වදන් ඇසූ පිරිස භික්ෂූන් වහන්සේලාට කිසිවක් නො කියා ආපසු ගියෝ ය. නිති පිණ්ඩපාතය ද පැවරූහ. එ් භික්ෂූන් වහන්සේලා සියලූ දෙනා ම එ් වස් කාලය තුළ දී සව් කෙලෙසුන් නසා රහත් බවට පැමිණියහ.

‘විභංග අටුවාවෙහි ධ්‍යාන විභංග වර්ණනාව’ ඇසුරිනි.

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මානෙල් පොඩිමැණිකේ