ලෝකයේ එකිනෙකා විසින් ලෝකය හමුවේ වීරත්වය පෙන්වන්නට, වික‍්‍රමයන් පෙන්වන්නට තෝරා ගනු ලබන්නේ විවිධ ක‍්‍රමවේදයන්. සමහරුන් විජ්ජා පෙන්වනවා. සමහරුන් කුරිරු ඝෝර සතුන් සමග කරට කර පොර බදනවා. තවත් සමහරු සැතැපුම් ගණනාවක උසක සිට කරණම් ගසමින් පොළව කරා එනවා. ජීවිතය පවා පරදුවට තබමින් ඔවුන් කරන මේ දේවල් නිසා ලබන ප‍්‍රසිද්ධිය, කීර්තිය, ජනප‍්‍රියත්වය ඔවුන්ට බොහොම වටිනවා.

ලෝකයේ එදා මෙදා තුර ගුවන් කරණම් ශිල්පියෙකු විසින් සිදු කරන්නට යෙදුණ වඩාත් අවදානම් සහගත, විස්මිත ම ගුවන් කරණමක් ගැන පසුගියදා වාර්තා කෙරුණා. මේ ගුවන් කරණම් ශිල්පියා ඉතාලි ජාතිකයෙකු වන ගුවන් නියමු යූලි එම්මානුවෙල්. උස් කඳු ශිඛරයක සිට යූලි විසින් ආරම්භ කරන ලද ගුවන් කරණමේ අතරමගක දී ඔහු මීටර් තුනකටත් වඩා පළලින් අඩු වුණ කඳු විවරයක් තුළින් රිංගා ගියා. කඳු පන්තියේ එක් තැනක විවරයක් සදමින් ඉහළට එසැවී තිබුණ ගිරි කුළක් තුළින් තම පියාසැරි උපාංග භාවිත කරමින් එසේ රිංගා යන අතරේ තමන් සතුව තිබුණ අධි තාක්ෂණික කැමරාව උපකාරයෙන් එය වීඩියෝගත කරන්නටත් ඔහු සමත් වුණා.

මෙවැනි අති ත‍්‍රාසජනක ගුවන් කරණමක යෙදෙන්නට ගැළපෙන ස්ථානයක් සොයමින් තමන් වසර කිහිපයක් ම ගත කළ බව ඔහු පවසා තිබුණා. හැබැයි දශම ගණනක වරදක් වුණා නම් විස්මිත ගුවන් කරණමක වාර්තාව වෙනුවට ලෝකයට අසන්නට වන්නේ ගුවන් කරණම් ශිල්පියෙකුගේ ඛේදනීය මරණය ගැනයි.

ගුවන් කරණම් එතරම් ජනප‍්‍රියත් නැති, ජීවිතය අවදානමක තබාගෙන ක‍්‍රීඩාවේ නියැළීම හුරු පුරුදුත් නැති අපට නම් මෙවැනි ප‍්‍රවෘත්තීන් දකිද්දි හිතෙන්නේ ‘‘මෝඩ වැඩ…” කියලයි. හැබැයි මේ විදිහට අන්තරායකාරී, අති සූක්ෂම කර්තව්‍යයන්ගේ නියැළෙන්නේ එලොවත් මෙලොවත් දෙපය ම අත් හැර, සුගතියටත් දුගතියටත් නො වැටී එතෙරට ම යන්න තරම් පින තිබුණ කෙනෙක් වෙන්නටත් බැරිකමක් නැහැ.

එක්තරා සිටු තරුණයෙක් සර්කස් පෙන්වන කණ්ඩායමක උන්නු සුන්දර තරුණියකගේ රුවට වශී වෙලා එ් මිනිසුන් හා එක් වුණා. සර්කස් කෙල්ලව විවාහ කර ගත්තා වගේ ම ඔහුට ජීවිකාව වෙනුවෙන් සර්කස් ඉගෙන ගන්නත් සිද්ධ වුණා. රියන් හැටක් උස උණ රිටක ඉහළට ම නැගිලා එයිනුත් අහසට පැන නැගිලා කරණම් ගසමින් පැමිණ නැවත උණ රිට මුදුනේ සිට ගැනීම තමයි ඔහුගේ ලොකු ම සර්කස් එක.

මහා කරුණා නෙතින් ලොව බලන සම්බුදුරජාණන් වහන්සේගේ දැක්මට මේ පින් ඇති සර්කස්කරුව පෙනී ගියා. එදා උන්වහන්සේ මහා කරුණා පෙරදැරිව සර්කස් පෙන්වන තැනට වැඩම කළා. අභිරූපි සම්බුදුරජුන්ගේ රුව දුටු දුටුවන් වසඟයට පත් කළා. සියල්ලන් නෙත් පැහැර එ් සම්බුදු රුව සිත් සේ දකිද්දී සර්කස් තරුණයාගේ සිත විපිළිසර වුණා. ‘අනේ අද නම් මට ලාභයක් වන එකක් නැහැ නෙව. ශ‍්‍රමණ භවත් ගෞතමයන් මෙහි වැඩම කළ නිසා කවුරුත් සර්කස් බලන එකක් නැහැ.’ මෙසේ සිතමින් ඔහු තැවෙනකොට සම්බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේ එහි වැඩියේ සර්කස් බලන්නට බවයි.

තරුණයාට අපමණ සතුටක් දැණුනා. වෙනදාටත් වඩා උද්යෝගයෙන් ඔහු උණ රිටට නැගී අහසට පැන නැගුණා. එකඟ කර ගත්ත සිතින් යුතුව, ගුවන් කරණමකින් පහළට එන ඔහුට ඇසෙන්නට සම්බුදුරජාණන් වහන්සේ එක ම එක ගාථාවයි දේශනා කොට වදාළේ. උණ රිටෙන් අහසට නැගුණු තරුණයා වෙනුවට උණ රිට මතට යළි වැඩම කළේ රහතන් වහන්සේනමක්. ක්ෂණ සම්පත්තිය ලැබීමෙන් ම පමණක් හිමි වන එ් උත්තම ලාභය ලබන්නට එ් උතුමාණන් වහන්සේට අවැසි වුණේ ගුවන් කරණමකින් රිටක් මතට පැමිණෙන සුළු මොහොත පමණයි… සම්බුදුවරයෙකුගේ ඤණ මහිමයට පෙනී පිහිට ලබන්නට පුණ්‍යවන්ත වූ ඔහු සදහට ම නිදහස් වුණා. අහෝ යූලි එම්මානුවෙල්….!

අපත් අප‍්‍රමාදී නො වුණොත් අපටත් මඟ හැරෙන්නේ සම්බුද්ධ ශාසනයක උතුම් ම ලාභය. සසර බන්ධන සිඳ බිඳ මාර උගුලෙන් ගැලවී යාම ගැන හිතනකොට මීටර් තුනක විතර කඳු විවරයකින් රිංගමින් ගුවන් කරණම් ගසන එකත් හපන්කමක් ද… අති සියුම් එ් පාපී බන්ධනයන් සිඳ බිඳ දැමීම ම යි සැබෑම හපන්කම…!