මේ සිදුවීම වාර්තා වුණේ ඇමෙරිකා එක්සත් ජනපද ප‍්‍රාන්තයක් වන මේරිලෑන්ඞ්වලින්. මේරිලෑන්ඞ් ආණ්ඩුකාරවරයා බැල්ටිමෝරයේ පාසල් වෙනුවෙන් අමතරව ඉල්ලා සිටි ඩොලර් මිලියන 11. 6ක මුදල් ප‍්‍රතිපාදන ලබා දීම ප‍්‍රතික්ෂේප කළේ ප‍්‍රමාණවත් තරම් මුදල් නැති බව පවසමින්. එහෙත් ඊට පසු ආණ්ඩුකාරවරයා විසින් නගරයේ තරුණ සිරකරුවන්ගේ සිර ගෙය වෙනුවෙන් ඩොලර් මිලියන 30ක ප‍්‍රතිපාදන වෙන් කිරීම අනුමත කෙරුවා. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ අති මහත් තරුණ ප‍්‍රජාවක් මේ සිපිරි ගෙය තුළ සිටීම යි.

ඉගෙන ගන්නට දෙන්න නැති සල්ලි හිරකරුවන් නඩත්තුවට වෙන් කරන්න තිබෙනවා. මේ ක‍්‍රමය දිගින් දිගට ම ගෙන ගියොත් පාසල් නඩත්තුවට කිසිවක් වැය නො කර ම යොවුන් අපරාධකරුවන් නඩත්තුව වෙනුවෙන් සියලූ ප‍්‍රතිපාදන වෙන් කර ගන්නටත් මේරිලෑන්ඞ් පාලනයට බැරි වෙන එකක් නැහැ. මොකද, හික්මීමක් නැති අධ්‍යාපනය අපරාධයට ආයුධයක් බවයි ලෝකයේ පිළිගැනීම.

සිතන්නේ නැතිව ඉගෙන ගැනීම නරක දෙයක්. හැබැයි ඉගෙනීමක් නැති සිතීම අතිශයින් භයානක දෙයක්. එහෙම තිබිය දී තමයි උගත් මිනිසුන් බිහි වීමට උපකාර කරන්නට මේ පාලකයන් නො නැමෙන්නේ.

කළ යුත්ත – නො කළ යුත්ත තෝරා බේරා ගන්නට අපොහොසත් ලෝකය මෙසේ තීරණ ගත්තත්, දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිස උපකාරක වන මංගල කාරණාවන් දේශනා කොට වදාරමින් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙපරිද්දෙන්.

‘‘බාහුසච්චං ච සිප්පං ච
විනයෝ ච සුසික්ඛිතෝ
සුභාෂිතා ච යා වාචා
එ්තං මංගල මුත්තමං”

‘‘බොහෝ දැන උගත් බව
නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව
මේවා උතුම් මඟුල් කරුණු ය”

ලොවට මංගල්‍යය පිණිස හේතුපාදක වන්නා වූ කාරණාවන්ගේ පැවැත්ම පිණිස යමක් දෙන්නට බැරි නම් අඩුම තරමේ මංගල්‍යය පිණිස හේතු නො වන්නා වූ දෙයකට එය නො දී සිටීමටවත් ලෝකය පෙළඹෙනවා නම් මොන තරම් යහපත් ද….