වත්මන් ලෝකයේ ජීවත්වන ඔබට – මට – අප සැමට රැකියාව ජීවිතයෙන් කොටසක් බවට පත්වෙලා. රැකියාව සිය මුළු ජීවිතයම කරගත් කොටසකුත් අප අතර ඉන්නවා. එ් වගේ ම රැකියා සොයා යන පිරිසකුත් අපට දිනපතා මුණගැසෙනවා. මේ සියලූ පාර්ශව උදෙසා කරුණා සිත් පෙරදැරිවයි මේ සටහන තැබෙන්නේ… වර්තමානයේ ‘රැකියාව‘ අපට යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසා වන මූලික අවශ්‍යතාවයක්. එ් වගේ ම රැකියාව, අපට කුසල් දහම් රැස්කිරීම පිණිසත් බෙහෙවින් උපකාරී වෙනවා. සමාජයේ බොහොමයක් රැකියා හරහා අපට පින් රැස්කර ගැනීමේ අවස්ථා පවතිනවා. නමුත් අවාසනාවට, අපේ ම දුර්වලතා සහ නොදැනුම්වත්කම නිසා එ් බොහොමයක් අවස්ථා අපට ගිලිහී යනවා.‍

මනුෂ්‍යත්වය, ගුණ දහම් සීඝ‍්‍රයෙන් පිරිහෙමින් පවතින වර්තමාන ලෝකයේ පිනට වඩා බලවත් පව. කුසලයට වඩා බලවත් අකුසලය. රැකියා ක්ෂේත‍්‍රය සඳහා ද මෙය පොදු සාධාරණ සත්‍යයක්. මේ මාර පාක්ෂික අකුසල්වලින් ඈත් වෙලා, තමනුත් ආරක්ෂා වෙලා යහපත් රැකියාවක් තෝරා ගැනීමට උපකාර වශයෙනුයි අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නො කළ යුතු රැකියා‘ පිළිබඳ අංගුත්තර නිකායේ, වණිජ්ජා සූත‍්‍රයේ දී දේශනා කොට වදාළේ.

සත්ථ වණිජ්ජා – සත්ව හිංසාව පිණිස හේතුවන කඩු, තුවක්කු, දුනු, ඊතල, කිරිච්චි, අතංගු දැල්, කෙමන් ආදි ආයුධ වෙළෙඳාම
සත්ත වණිජ්ජා – සත්ව වෙළඳාම හෙවත් තමන්ට අයත් මිනිසුන් වහල් මෙහෙවරට, ගණිකා සේවයට විකිණීම
මංස වණිජ්ජා – මස් පිණිස එළු, හරක්, කුකුළු, ඌරු ආදි සතුන් වෙළඳාම් කිරීම
මජ්ජ වණිජ්ජා – මත්ද්‍රව්‍ය වෙළඳාම හෙවත් රා, අරක්කු, විස්කි, බ‍්‍රැන්ඩි, අබින්, කංසා ආදි මත් වන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම
විස වණිජ්ජා – විෂ වෙළඳාම හෙවත් පාෂාණම් ආදි වස විස වෙළඳාම

හුදෙක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් මේ නො කළ යුතු වෙළඳාම් කිරීමට මිනිසුන් යොමුවීම නිසා ම වත්මන් ලෝකය මුහුණපාන බරපතළ අර්බුද රැසක් අද අප හමුවේ ජීවමානව පවතිනවා.

මෙලොව-පරලොව අදහන, තෙරුවන් සරණ ගිය සිල්වත් උපාසක උපාසිකාවන් වශයෙන් රැකියා කරන අයටත්, රැකියා සොයන අයටත්, රැකියා සොයා දෙන අයටත් මේ කරුණු බෙහෙවින් වැදගත්. අප විසින් අද කරන-කියන දෑ අනුව අපගේ හෙට දවස තීරණය වන වටාපිටාවක් තුළ, පව කෙරෙහි ලැජ්ජා-භය උපදවාගෙන එයින් වැළකී යහපත් රැකියාවක් තෝරා ගැනීමට මේ කරුණු අපට ඉවහල් වෙනවා. විශේෂයෙන් තමන් සිදුකරන හෝ අයැදුම් කරන රැුකියාව භාග්‍යවතුන් විසින් වදාළ මේ ‘නො කළ යුතු ව්‍යාපාර‘ හා සැබඳේ ද යන්න අප නිරතුරුව විමසිල්ලට බඳුන් කළ යුතුයි.

අපේ රැකියාව අපව ශාස්තෘන් වහන්සේගේ අවවාදයේ හික්මවන දැහැමි රැකියාවක් නම් එය මොන තරම් නම් ලාභයක් ද?

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK