අවුරුදු හාරසියයකට අධික කාලයක සිට මෙරට බෞද්ධ ජනකාය අතර අතිශයින් ම සම්භාවිත ව පැවති භක්ති කාව්‍යාවලිය වූ කලී ‘තුන්සරණය’ යි. මෙම කවි පොත පුරාණ තුන්සරණය යන නමින් හඳුන්වා තිබීමෙන් ම එහි පෞරාණිකභාවය ගැන හැඟීමක් ඇති කරගත හැකි ය. පද්‍ය එකසිය තිහකින් යුතු වූ මේ පද්‍යාවලිය රචනා කර ඇත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ වර්ණනා කිරීම සඳහා ය. අපේ පැරණි ධර්ම කාව්‍ය සාහිත්‍යයට ඇතුළත් ග‍්‍රන්ථ රචනා කළ කතුවරුන්ගේ අභිප‍්‍රාය වූයේ හුදී ජනයා තුළ තෙරුවන කෙරෙහි ප‍්‍රසාද සංවේගය ජනනය කිරීම පිණිස තම නිර්මාණ පරිශ‍්‍රමය කැප කිරීම යි. එහෙයින් ඔවුහු තමන්ගේ නාමය එම කාව්‍ය කෘතීන්හි ඇතුළත් කිරීමට උත්සුක නො වූහ. ‘පුරාණ තුන්සරණය’ රචනා කළ කවියා ද තම නම එම කෘතියට ඇතුළත් නො කළේ ය. ලෝක ශාසන උභයාර්ථ සිද්ධිය ම පැතූ පෙර කවීන් සේ ම ඔහු ද ගරු නම්, කිත් පැසසුම් අපේක්‍ෂා නො කළ නිහතමානී කවියෙක් විය. එහෙත් ඔහුගේ වතගොත බිඳක් හෝ තුන්සරණය කාව්‍යයේ ඇතුළත් ව තිබීම වැදගත් කොට සැලකිය හැක්කේ, යසෝදරාවත, දෙව්දත් කතාව, වෙස්සන්තර කාව්‍යය වැනි මෙබඳු නිර්මාණ බිහි කළ ජනකවි පරපුර සාමාන්‍ය ගැමි ජනකාය අතරින් ම පහළ වූ බවට ඉන් ඉඟියක් ලැබෙන හෙයිනි.
තුන්සරණය කවි පොත ලියා ඇත්තේ සෙංකඩගල පුරවරයෙහි විකුම් තෙද බල යුත් සිංහල රජ කෙනෙකු රාජ්‍යය විචාළ සමයෙක බැව් එහි පස්වැනි හා හයවැනි කවි දෙකින් කියැවේ.

විකුම් ජය තෙද බල
උතුම් මහ රජ වාසල
නමින් සෙංකඩ ගල
වෙනින් නුවරක් ඇද්ද ලක් තුළ

ගජ තුරඟ මිණි නද
බැඳ ජය පවන් මිණි බඳ
සිංගා රන් නිබඳ
නිරිඳු සිංහාසනේ වැඩ හිඳ
ඊළඟ කවියෙන් කියැවෙන්නේ මුහුදෙන් එතෙර පවා රජුගේ තෙද අණසක පැතිර ගිය බව යි. මේ රජු අන් කිසිවකු නො ව ප‍්‍රතිකාල් බලමුළු සුන් කළ හෙයින් ‘රාසින් දෙවියෝ’ නමින් ජනතාවගේ හද බැඳගත් දෙවැනි රාජසිංහ රජතුමා ය. දස වැනි, එකොළොස් වැනි පද්‍යයන්ගෙන් අනාවරණය වන්නේ මෙහි කතුවරයා තාඹුගල ප‍්‍රදේශයේ ලෝහ කර්මාන්තයේ යෙදුණ පවුලකින් පැවත එන්නකු සේ ම සෑමේ මන්ත‍්‍රි ආචාරීන්ගේ මුණුබුරෙකු ද වන බව ය.

අතීත යුගයේ ගැමි බෞද්ධ ජනකායගේ ශ‍්‍රද්ධා භක්තිය ජනනය කළ පොත පත අතුරෙන් තුන්සරණය කාව්‍යය තරම් ජනප‍්‍රිය වූ අන් වන්දනා කවි පොතක් නො වූ විරූ ය. ගැඹුරු දහම් කරුණු පහදා දීමට සංඝයා වහන්සේලා නො සිටි යුගයේ ගැමි ජනතාව තුළ තිසරණය කෙරෙහි අචල ශ‍්‍රද්ධාවක් නො සිඳ පවත්වා ගැනීමට මෙම කවි පොත සාකල්‍යයෙන් ම බලපෑවේ ය.

බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන

පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි
අලූයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන්සරණේ ගඤ්ඤයි

බැතිමත් දනන් තුඩ තුඩ රැඳි මෙම කවි වන්දනා ගමන්වල දී ගමනාන්තය දක්වා ම රැුව් පිළිරැුව් දුන්නේ ය. පැරැුන්නන්ගේ මුළු ජීවිත කාලය ම ගත වූයේ බුදුරජාණන් වහන්සේ හිස් මුදුනේ තබා වැඳුම් පිදුම් කිරීමෙනි. උන්වහන්සේ දෙසූ දහමට කීකරු ව සිත පහදා ගනිමිනි. මහා සංඝයා වහන්සේට ගරු සත්කාර කරමිනි. දවසේ තුන් යාමය ම ගත වුණේ තිසරණය පිහිට කොට ගෙන ය.

‘තුන්සරණය’ ජන කාව්‍යය වූ කලී අනේක විධ සමාජ අර්බුදවලට හසු ව වර්තමාන යුගයේ ජීවත් වන ජනතාවට, අතීත බෞද්ධ සම්ප‍්‍රදාය පිළිබඳ ව සැඟවුණු පණිවුඩයක් ඉදිරිපත් කරන්නකි. එනම් මිනිසාට මුහුණ පාන්නට සිදුවන කවර ම අර්බුදයක දී වුව ද තිසරණය කෙරෙහි නො සැලෙන ශ‍්‍රද්ධාවෙන් යුතු ව කටයුතු කිරීමට පැරණි යුගයේ බෞද්ධ ජනකාය පෙලඹී සිටි බවට ප‍්‍රබල ඉඟියක් ඉන් අනාවරණය වීම යි.

කවියා විසින් මුනි ගුණ දහම් පද බැඳ තුන්සරණය රචනා කරන ලද්දේ සිර මැදිරියක සිට බව එම කාව්‍යයේ පළින් පළ සඳහන් කොට ඇති යෙදුම්වලින් උපකල්පනය කළ හැකි ය. තමා කළ සුළු වරද පිළිබඳ පාපොච්චාරණය හා හිරගෙදර පරිසරය එම යෙදුම් තුළින් මතුවී එන්නේ නිරායාසයෙනි.

ඉර හඳ නො දැක හිඳ
දෙසමි මුනි ගුණ ලොබ බැඳ

ගල් දොර මෙන් සිත පවකට නො නැමී
තෙල් කර මත දැන් ඇර දවසරිමි
පන්දම සේ මම එළියක් දකිමි

නිවටකමින් වද තද දුක් විඳිනේ

සොර වංචාවක් සිත නො තබන්ට යි
රා කංසාබින් තුඩ නො තබන්ට යි

කවියා සිරගෙයක වාසය කළ අවදියක මේ ග‍්‍රන්ථය රචනා කරන්නට ඇති බව මහාචාර්ය සී. ඊ. ගොඩකුඹුර මහතා ද Sinhalese Literature නමැති ග‍්‍රන්ථයේ සඳහන් කොට ඇත.

ජීවන අර්බුදවලට මුහුණ දීමට නො හැකි නූතන යුගයේ ඇතැම් නාමික බොදුනුවන් බොහෝවිට කටයුතු කරන්නේ ඉවක් බවක් නැත්තන් සේ ය. සමාජය කෙරෙහි දැඩි වෛරයකින් පසුවන ඔවුන් තුළ පළිගැනීමේ චේතනා ලියලා වැඩෙයි. තම පරපුරෙන් පැවත එන ආගම දහමට පවා නිගා කරන ඇතැම් අය මිථ්‍යා දෘෂ්ටීන් වැළඳගෙන තමන්ට බොහෝ අනර්ථයක් සිදුකර ගනිති. අවබෝධයෙන් යුතු ව තිසරණයේ නො පිහිටීම, මෙත් කරුණාවෙන් යුතු ව දහම කියා දෙන කලණ මිතුරන්ගේ ඇසුර නො ලැබීම, පසුගිය කාලය තුළ ඇති වූ දෘෂ්ටිමය ව්‍යසනයට බලපෑ අනිටු සාධකයන් විය.

එහෙත් මීට සියවස් තුන හතරකට පෙර, විදේශීය ආධිපත්‍යයන් පැවති සමයේ දී වුව ද අපගේ සිංහල ජනකාය විපතේ දී පවා කටයුතු කළේ ධර්මයම පිළිසරණ කොට ගෙන බව පසක් කරන්නට තුන්සරණය කාව්‍යය ම පමණක් වුව ද ප‍්‍රමාණවත් යැයි සිතමි.

පින් පල දිදී එන කවි බණ පද කරමි
සන්චල දුකක් නො ව උවදුරු දුර හරිමි
වෙන්කර හැම පෙර කළ අකුසල් ගෙවමි
ඉන් පල විඳින මම තුන්සරණේ ගනිමි

කවිය බණ පදයට හැර වූ ධර්මාභිනිවේශය අපගේ පාරම්පරික උරුමයක් බව තුන්සරණය කාව්‍යයේ දැක්වෙන මේ පද්‍යයෙන් සනාථ වෙයි. එම කවි හැඟුම් පහළ වීම ද පින්පල දීමක් ලෙස ය කවියා සලකන්නේ. ජීවිතයට ධෛර්යයෙන් යුතු ව මුහුණ දීමේ ආත්ම ශක්තිය ඔහු අත්පත් කර ගත්තේ බෞද්ධ සම්ප‍්‍රදාය තුළිනි. පෙර කළ අකුසලයක් නිසා තාවකාලික ව සමාජයෙන් වෙන් වී සිටිය ද තිසරණයේ තිරසර ලෙස පිහිටා දවසැරීම ආධ්‍යාත්මික සොම්නස දනවන්නක් බව ඉහත දැක්වූ කවියෙන් පෙන්වා දී ඇති අයුරු අගනේ ය.
ලොව වෙසෙන සියලූ ම සත්ත්වයන්ට ඇති එක ම පිහිට තෙරුවන් සරණ යාම බව පවසන කවියා තෙරුවනට වැඩි කිසි ම වස්තුවක් ලොව නො මැති බව මනරම් උපමා, රූපක ගෙනහැර දක්වමින් වර්ණනා කරයි. කවියාගේ සිත උතුරා ගලා යන තෙරුවන කෙරෙහි ඇති සැදැහැ බැති පෙම, ඔහු ඉදිරිපත් කරන උවම්වලින් මොනවට පැහැදිලි වෙයි.

දෝනා කිරිසක වැනි තුන්සරණේ
නෙත් දෙක වද සතහට තුන්සරණේ
අම්මා වැනි කුසලට තුන්සරණේ
වෙහෙරට රන් කොත වැනි තුන්සරණේ
සතහට උල්පත වැනි තුන්සරණේ

ජන ජීවිතයේ විවිධ ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වස්තූන් තිසරණයට උපමාවන් ලෙස යොදා ගැනීමට කවියා ගත් ආයාසය අතිශයින් ම හෘදයාංගම වෙයි. බැවහර ගැමි බසේ යෙදුම් කවි සංකල්පයන්ට ප‍්‍රතිබද්ධ වන්නේ නිරායාසයෙනි.

ධර්මය, අධර්මය තෝරා බේරාගත නො හැකි ව එහි ආනිසංස හා විපාක ගැන නො සිතා කටයුතු කරන්නට වර්තමාන සමාජයේ වැඩි දෙනා පෙලඹී සිටින්නේ ‘තුන්සරණය’ වැනි ධර්ම සංවේගය පහළ කරවන කවිපොත් නූගතුන් ලියූ වල්පල් සේ සලකා බැහැර කර දැමීමේ විපාක වශයෙනි. අපේ අතීත මුතුන් මිත්තන් ජීවිතය මහ බරක් සේ නො සැලකුවේත් කවර ම හෝ ව්‍යසනයක් හමුවේ වුව ද අකම්පිත ව සිටින්ට ශක්තිය ලැබුවේත් තෙරුවන කෙරෙහි අචල ශ‍්‍රද්ධාවෙන් යුතු ව ජීවිතය ගතකිරීම නිසා ය. සිරභාරයේ සිටියෙකු ලියූ මෙම තුන්සරණය කවි පොත ම ඊට හොඳ නිදසුනකි.

කවියා ජීවිතයට මුහුණ දෙන්නේ බලවත් අධිෂ්ඨානයෙන් යුතු ව ය. කවදා මරණයට පත් වුව ද ඔහු නො සැලී ඊට පේවී සිටින්නේ තුන්සරණයේ පිහිටෙනි. බුදුගුණ කවි කර කීම මාර යුදයට ආයුධයක් ගත්තා වැනි යයි ඔහු කිය යි.

පදයට යවහන් නො දැනේ ගුණ පණ
යුදයට ආයුධයක් ගත්තා මෙන
අද හෙට දෝ නො දැනෙයි තිර නැති පණ
මඳකට පවසමි තුන් සරණේ ගුණ

බුදු ගුණ කවියට නඟා කීම ජන කවියාගේ චිත්ත ප‍්‍රසාදය වඩන්නකි. ළිඳක් කපා උල්පත දුටු ලෙසින් දහම් පද ඔහුගේ සිතට උන යි. එහෙයින් ‘පොතක් ලියමි මුනි ගුණ පුර වරුණේ’ යයි පවසා තිර අදිටනකින් යුතු ව ඔහු තම කාරිය අරඹයි.

බොහොමේ ඇසුවොත් මුනි ගුණ වරුණේ
අහසේ තරු මදි බැලූවොත් ගණනේ
දහමේ වත ගොත අයකුට නො දැනේ
මහ මුහුදට වැඩිවද තුන් සරණේ

අහසේ තිබෙන තරු ගණනට වඩා බුදුගුණ අධික ය. ධර්මයේ උතුම් බව තේරුම් ගැනීමට ඇතමෙකුට හැකියාවක් නැත. මහ මුහුදටත් වඩා තෙරුවනේ බලය විශාල ය. තුන්සරණය කවියට නැඟූ කවියාගේ මේ ප‍්‍රකාශය තිරසර සංකල්පයක් බව අද සනාථ වී ඇත්තේ මොනතරම් ආකස්මික ලෙස ද? 2004 දෙසැම්බර් 26 දා උදේ මුහුද ගොඩ ගලා වෙරළ වටා පිහිටි ගම් බිම් විනාශ වී යද්දි බුදු පිළිම සියල්ල ම පාහේ නිරුපද්‍රිත ව ඉතිරි වූයේ තෙරුවනේ බලය නිසා නො වේ ද? තිසරණයේ තිර ලෙස පිහිටා අපවත් වූ මීගොඩ පඤ්ඤාලෝක නා හිමි ඇතුළු මිය පරලොව ගිය පින්වත් ජනයා සුගතිගාමී වූවා ඒකාන්ත ය. එහෙයින් ‘මහ මුහුදට වැඩිවද තුන්සරණේ’ යන කාව්‍යමය සංකල්පය සනාතන දහමකි. මිහිපිට ඇති හැම දෙයක් ම තිසරණයට සම්බන්ධ කොට, සියලූ දේ නැසී යද්දි තිසරණයේ රැුකවරණ ලද දේ පමණක් ශේෂ වී පවතින බව පවසන්නට කවියාගේ සිත මෙහෙය වූයේ බුදු දහමින් ඔහු ලද මනා ශික්‍ෂණය නිසා ය. තෙරුවන මහ සයුරට උවම් කොට ගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පහාරාද සූත‍්‍රය වැනි උතුම් ධර්ම කාව්‍යයන්ගෙන් ලද අභිනිවේශය අපේ පැරණි ගැමි ජනකායගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට ඉවහල් වූයේ මොනතරම් ප‍්‍රත්‍යක්‍ෂ සාධකයක් ලෙස ද යන්න මෙම ජන කාව්‍යයන්ගෙන් වටහා ගත හැකි ය.

නො වී මින් ඉදිරි කිසි දුක් හැමදාම
එවී දැන් මතු ව මුහුදේ රළ සේම
බැම්මේ උනත් මේ දිවි යනවා නියම
පේවී තුන්සරණ ගඤ්ඤයි හැමදාම

මුහුදේ රැල්ල සේ හැමදා දුක් පීඩා මතු වී පැමිණෙන බවත්, ශක්තිමත් පවුරු සහිත මන්දිර ගොඩනඟා තිබුණත් කොයි මොහොතේ හෝ ජීවිතය වැනසී යන බවත් පවසන ජන කවියා හැම දා තිසරණයෙහි තිරසර ලෙස පිහිටා ජීවත් වීම එක ම පිළිසරණය බව ඉහත කවියෙන් අඟවයි. සුනාමි විපතෙන් අපට පසක් කොට දුන්නේ ද එම පරම සත්‍යය යි.
අන් හැම ජන කාව්‍යයක් මෙන් ම පුරාණ තුන්සරණය ද අවසන් වන්නේ දෙවියන්ට පින් දී මතු ආත්ම භාවයන්හි යස ඉසුරු සම්පත් ලැබ, රජ – සිටු කුලවල ඉපිද අනතුරු ව සැරියුත්, මුගලන් ආදි මහරහත් භාවයට පැමිණ නිවන් අවබෝධ කිරීමට වාසනාව උදාවේවා යි යන ප‍්‍රාර්ථනයෙනි.

මහාමේඝ 2011 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති