සෞන්දර්යාස්වාදය වූ කලි මානව වර්ගයාට උපතින් ම හිමි වූ දායදයකි. සෞන්දර්ය රසයෙහි ආසක්ත වූ අතීත මිනිසා තම ජීවිත අපේක්ෂා සඵල කර ගත්තේ ඉන් අර්ථ සම්පන්න ආස්වාදයක් ද ලබා ගනිමිනි. පරිසරයෙහි අවියෝජනීය වස්තූන් වන සතාසිව්පාවා, හිරු එළිය, සඳ එළිය, ගහ කොළ, නියඟ, වැසි, සුළං ආදි මේ සියල්ල අතීත මිනිසාගේ උත්තර ජීවනාස්වාදයට හා වින්දනයට සාකල්‍යයෙන් ම බල පෑවේ ය.

මිනිසාගේ ජන්මදායකයක් වන සෞන්දර්යාස්වාදයෙන් ජනිත වින්දනය, ආධ්‍යාත්මික පරිශෝධනය සඳහා නියතාර්ථයෙන් ම යොදා ගනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් විසිනි. සමස්ත සත්ව වර්ගයාගේ ම පැවැත්ම හා මුක්තාරම්මන්නයන් සමඟ බැඳී පවත්වත්නා පරිසරය, විශේෂයෙන් මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවරයට මෙන් ම අනේක විධ වූ නිර්මාණ කුසලතාවන් ඔප්නංවා එමඟින් ආධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වන අයුරු සනිදර්ශනයෙන් ලොවට පෙන්වා දෙන ලද්දේ බුදු දහම විසිනි.

බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් ජීවිතය පරිසරයේ රමණීය තෝතැනිවන තුරුලිය ගොමු, වන ලැහැබ්, ගංගා, මහ සමුදුර හා බැඳුණේ වෙයි. උන්වහන්සේ මිනිස් දරුවෙකු ලෙස උපත ලැබුවේ මනරම් සල්උයනක සල් රුකක් මුල දී ය. තරුණ වියේ දී මිනිස් පහසින් මිදී වන ගත ව තවුස් දම් පුරමින් ගංගා, ඇළ, දොළ, කඳුරු ඇසුරු කරමින් සියලූ කෙලෙසුන් නසා උතුම් සම්බුද්ධත්වයට පත් වූයේ ද විසල් රුක් සෙවණක මූලයේ දී ය. බුද්ධත්වයෙන් පසු ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ඉසිපතන මිගදාය වන උයන ද සොබා සෞදර්යෙන් අනූනව පැවතියකි.

එකලාව ද සිය ශ‍්‍රාවකයින් සමඟ ද වන සෙනසුන් ගිරිලෙන් ඇසුරු කරමින් විසි වසක් ම වැඩ විසූ බුදුරජාණන් වහන්සේ සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ද රජ, සිටුවරුන් ඇතුළු දායකයින් පිදූ වන උයන් සහිත ආරාමවල ය. මෙසේ පන්සාළිස් වසක් දෙව් මිනිසුන් ඇතුළු මුළු මහත් සත්ව වර්ගයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතු ව දියත් කළ උත්තුංග වූ පරාර්ථකාමී ධර්ම චාරිකාව නිමවා තමන් වහන්සේගේ ජීවිතය තිර ලෙස ම පරිසරය ඇසුරෙන් පවත්නා බව යළි යළිත් සනාථ කරමින් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වන්නේ ද වන උයනක ගස් සෙවණේ දී ය.

මහා භද්‍ර කල්පයේ ලෝකයේ බිහිවූ උතුම් වූ අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මයේ විමුක්ති රසය හා දැවටී පැවතියේ නිෂ්කාමී සෞන්දර්යාස්වාදය ම ය. බුද්ධත්වයට පත්වීමට මොහොතකට පෙර සිද්ධාර්ථ තවුසාණන් ව සිටිය දී නේරංජරා නදිය අවට ඇති පරිසරය දුටු අයුරු බුදුරජාණන් වහන්සේ පසු කාලයක විවරණය කොට තිබේ. එම වර්ණය වූ කලි එම මොහොතේ බෝසතාණන් හද තුළ පැන නැඟුණ ආධ්‍යාත්ම පී‍්‍රි‍්‍රතිය පළ කිරීමක් වැන්න.

‘උරුවේලාවෙහි සේනානි නියම් ගම සිත් කළු භූමි භාගයෙන් සැදුණෝ වෙයි. සිත් පහන් කරවන වන ලැහැබ් හා සුදු වැලි තලාවන්ගෙන් මේ පෙදෙස ගැවසී ගත්තේ ය. නිවීහැනහිල්ලේ ගලා බස්නා දිය දහරාවන්ගෙන් පිරි නේරංරජා නදිය මනරම් ය. මේ භූමි භාගය අතිශයින් ම රමණීය ය. වන ලැහැබ ද ප‍්‍රසාද ජනක ය. මනා තොටු සහිත වූ සුදු වැලි තලා මතින් ගලා බස්නා නදිය ද සිත් ගන්නා සුලූ ය. හාත්පස ගොදුරු ගම් ද පිහිටියේ ය. ප‍්‍රධාන වීර්ය වඩනා කුල පුත‍්‍රයෙකුට මීට වඩා සොඳුරු තැනක් නැත්තේ ම ය.’

තුන් ලෝ වාසීන්ගේ හිත සුව උදෙසා ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික ශී‍්‍ර සදහම් ම`ග උන් වහන්සේ උපමා කර ඇත්තේ සුපුෂ්පිත කුසුමින් ගැවසී ගත් මනරම් වන රොදකට ය:

‘වනප්ප ගුම්හේ යතා පුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ
තථුපමන් ධම්ම වරං අදේසයි
නිබ්බාන ගාමින් පරමං හිතාය’

‘නිර්වානගාමීන්ට අතිශයින් ම වැඩදායක වූ මේ උතුම් ධර්මය ගිම්හාන සමයේ මුල් මාසයේ (බක් මස) අතු අග සුපිපි මලින් ගැවසීගත් වන රොදකට උපමා කරමි.’

පුහුදුන් ජන සමාජය හා පොරබදමින් අත් විඳින ජීවන ක‍්‍රමයන්ගෙන් වෙන් ව ආර්ය මාර්ගයට සුව පහසු ව එළවන, නිර්වාණාවබෝධයට මඟ සලසන ආස්වාදවයක් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත ව ඇති බව ඒ උතුම් සම්බුදු වදනින් හැඟවෙයි. විමුක්තිය අරමුණු කොට ගත් රහතන් වහන්සේලා සෞන්දර්ය රසාස්වාදය ඒ අරමුණු උදෙසා ම යොමුකොට ආධ්‍යාත්මය අවදි කරගත් අන්දම බුදුරජාණන් වහන්සේ ‘අංගුත්තර නිකායේ නිබ්බේදික සූත‍්‍රයෙ’හි ලා දේශනා කොට වදාළ හ.

‘ලොව යම් පුරුෂයෙකු හට සොඳුරු වස්තූන් ඇසුරෙන් උපදින ඡුන්දරාගය ම කාමය වෙයි. ලෝකයේ පවත්නා සෞදර්යය කාමය නො වේ. සෞදර්යාත්මක වස්තූන් ඒ අයුරින් ම තිබේ. එයින් හට ගන්නා ඡන්දරාගය විනයනය කොට ධීරයෝ (රහතන් වහන්සේලා) සෞදර්ය ජනනය කරන්නාහු ය.’

යථාභූත ඥානය තුළ ගැබ් වන සුන්දරත්වය හෙවත් සෞන්දර්යය හඳුනාගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතු ව කි‍්‍රයා කළ යුතු බව බුදුසමය අනුදැන වදාරයි. යම් වස්තුවක ඇති චිත්තාකර්ෂණීය බව ආස්වාදනය කළ යුත්තේ අනුපාදාන (ඇලීම් රහිත) ආකල්පයෙහි පිහිටා බවත් ඇලීමෙන් තොර රස වින්දනයෙන් බවත් බුදුරජාණන් වහන්සේ වදාළ හ.

‘රමණීයානි අරඤ්ඤනි
යත්ථ න රමති ජනෝ
වීතරාගා රමෙස්සන්ති
නතේ කාම ගවේසිනෝ’

ධම්මපදයේ අරහත්ත වග්ගයේ එන මෙම ගාථාව පූර්වෝක්ත අදහස පිඬුකොට දැක්වූවාක් වැන්න. කාමය සොයා යන රාගිකයා නො ඇලෙන රමණීය වූ වන අරණට වීතරාගීහු ඇලූම් කරති. ඔවුහු ස්වභාව ධර්මය කෙරෙහි නිශ්කාමී වූ සෞන්දර්ය රසයක් අත් විඳිති. එක ම පරිසරයක චමත්කාරය, කෙනෙකුට විරාගත් තවත් කෙනෙකුට කාමයත් අත් විඳින්නට ලැබුණේ පරිසරයේ සිදු වූ වෙනසක් නිසා නො වේ. මනසේ හා දෘෂ්ටියේ වෙනස නිසා ය.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය ශ‍්‍රාවක මහ සඟ රුවන එදවස, වන සතුන් ගහන මහ වනාන්තරවල බවුන් වඩින් සොබා සෞන්දර්යය ආස්වාදනය කළ අයුරු සූත‍්‍ර ධර්ම ග‍්‍රන්ථයන්හි නොයෙක් තැන දක්නට ලැබේ.

ආර්යයන් වහන්සේලා වන අරණේ එකලාව විසීම ප‍්‍රිය කොට, දුර ඈත වන ගහන මැද කුටිවල වාසය කළේ කෙසේ ද යන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් අයුරු මජ්ඣිම නිකායේ භය භේරව සූත‍්‍රයේ දැක්වේ.

‘ඈත තිබෙන මහ වනාන්තරයන්හි කුටිවල වාසය කරමින් හුදකලාවේ භාවනා කිරීම දුෂ්කරයි නේ ද? සමාධිය නො ලැබූ භික්‍ෂුවගේ මනස වනාන්තරය විසින් ගිල ගනු ලබනවා නො වේ ද?’ යනුවෙන් වරක් ජානුස්සෝනි බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසී ය. ඉතා පැහැදිලි පිළිතුරක් උන්වහන්සේගෙන් බමුණාට ලැබුණි.

‘ආර්යයන් වහන්සේලා පිරිසිදු චරිතයකින් යුතු ව කාම, රාග අරමුණුවල නො යැලී මෛත‍්‍රීසහගත සිතින් යුතු ව නිදිමත හා අලස බව දුරුකොට සංසිදුණු සිතින් තමා හුවා නො දක්වමින්, අනුන් හෙලා නො දකිමින්, ලොමු ඩැහැ ගැනීමෙන් තොර ව අල්පේච්ඡු හැඟුමෙන් වීර්යය, සිහිය, සමාධිය, ප‍්‍රඥාව උපදවා ගෙන වන ගහන මැද වාසය කරන අයුරු බුදුරජාණන් වහන්සේ බමුණාට පැහැදිලි කර දී තව දුරටත් මෙසේ ද වදාළහ.

‘පින්වත් බ‍්‍රාහ්මණය…, මම සංසිදුණු සිත් ඇති කෙනෙක්. ආර්යන් වහන්සේලා සංසිදී ගිය සිතිනුයි දුර ඈත වනගත කුටිවල වාසය කරන්නේ. ඉතින් මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ‍්‍රාහ්මණය, මා තුළ ඇති සංසිදී ගිය සිත දකින විට කිසි බියක් සැකක් නැති ව යි මම දුර ඈත ආරණ්‍යවල වාසය කළේ.’
(ආශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය – මජ්ඣිම නිකාය)

බුද්ධ කාලීන යුගයේ විසූ රජ, සිටු, බමුණු හා වෙනත් කුලවල පිරිස් සම්බාධ බහුල ගිහි ජීවිතයෙන් මිදී උතුම් පැවිදි දිවියට ඇතුළත් ව හුදකලා වනවාසයට ගොස් පරිසරයෙන් විඳි නිරාමිස ප‍්‍රීතිය, නිවන් මඟට ඉවහල් වූ ආකාරය ගෙන හැර දැක්වූයේ අතිශය ප‍්‍රමෝදයෙන් යුතු ව බව ථේර ගාථා විමසන විට පෙනී යයි.

ථේර ගාථා පාලිය ආරම්භ වන්නේ ද සුභූති තෙරුන් වහන්සේ කරන පරිසර වර්ණනාවකිනි. තමන් වහන්සේගේ වනකුටිය අවට ඇති පරිසරයෙහි පවතින වැස්ස, සුළඟ ආදි සිදුවීම්වලින් වන උපද්‍රව සහිත ව සමාහිත සිතින් යුතු ව වීර්යයෙන් වැඩ වසන බව උන් වහන්සේ පවසයි. හැකි නම් ඒ සුවය වෙනස් කරන ලෙස පරිසර වස්තූන්ට අභියෝග කිරීම එම වැනුමේ ඇති විශේෂත්වය යි.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් අතර කාව්‍යකරණයේ හා රසභාවජනක වැනුම්හි වෙසෙස් සමත්කම් දැක්වූ රහතන් වහන්සේලා කිහිපනමක් ම වැඩ විසූහ. එම රහතන් වහන්සේලාගේ පරිසර වැනුම් අතිශය රමණීය වදන් සිත්තම් වැන්න.

දිය ඇළි ගලා බසින ගිරි සිඛර මත, සියොතුන් නාද කරන වන ගැබකට පිවිස බවුන් වැඞීම තුළ තාලපුට රහතන් වහන්සේ ලද අත්දැකීම සිතින් මෙනෙහි කරමින් නිරාමිස ප‍්‍රීතිය හා හුදෙකලා චිත්ත විවේක සුවය විඳි අයුරු රමණීය කවි කල්පනයකට නඟා ඉදිරිපත් කර ඇත්තේ මෙසේ ය:

‘වුට්ටම්හි දේවේ චතුරංගූලේ තිණෝ
සං පුෂ්පිතේ මේඝ නිභම්හිකානනෙ
නගරන්තරේ විටප සමෝ සයිස්සං
තං මේ මුදු හේපාති සමෝ සන්නිභං’

‘වැසි වට කල්හි සිවු අඟල් පමණ වූ නිල් තණගොබ ඇදී රම්‍ය තණ තලා බිහිවෙයි. සුපිපි මලින් ගැවසී ගත් විසල් රුක්, වලාකුළු හා සම වෙයි. එකල්හි මහා පර්වත අතර වැතිරුණු ගසක් පරිද්දෙන් තණ තලාවෙහි වැතිරෙන්නෙමි. එය මුදු මොළොක් සයනයක් පරිද්දෙන් මට අතිශය සුවදායි වන්නේ ය.’

තාලපුට රහතන් වහන්සේගේ තවත් උදාන ගීයක භාවය මෙසේ වෙයි:

‘යම් කල්හි අහසෙහි දිව බෙර (මේගැජුම්) ගුගුරන්නේ ද අහස පුරා වැසි දාරා විසිරී යන්නේ ද එකල්හි භික්‍ෂුන් වහන්සේ පබ්භාර ගත ව ධ්‍යාන වඩන්නේ ද එසඳ පවත්නා සෞන්දර්යට වඩා තවත් නිකෙලෙස් සොඳුරු දැක්මක් කවර තැනකින් දැකිය හැක්කේ ද?’

තාලපුට තෙරුන් වහන්සේ පරිසරයේ චමත්කාරයෙන් අමන්දානන්දයට පත් ව මෙසේ ද වර්ණනා කරති:

‘සුනිල් ගෙල ඇති මනා සිළු හා ගෙල ඇති මොනර කැල මේ ගැයුමෙන් උද්ධාමයට පත් ව මියුරු රුව් පිළිරැව් න`ගති. එම මදුර රාවය ධ්‍යාන වඩන්නුන්ගේ සිත් ඇද ගන්නේ ම ය.’
අජකරණි නදිය අසබඩ අසපුවෙහි බවුන් වඩන සප්පක තෙරුන් වහන්සේ තම නෙත ගැටුණ පරිසරයේ සෞන්දර්ය භාව ගීතයකට න`ගා ඉදිරිපත් කරන්නේ එකී අනුභූතීය ශ‍්‍රාවක සහෘද සිත් තුළ ද දනවමිනි:

‘යදා බලකා සුවිපණ්ඩරච්ඡුදා
කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා
පලෙහිති ආලයමාලයෙසිනී,
තදා නදී අජකරණි රමෙති මං.
‘සුදු නෙළුම් වනින් යුත් පියාපත් ඇති කෙකනියෝ, කළු පැහැගත් මහා මේඝයට බියපත් වී තැතිගත්තෝ, සැඟවෙන තැන් සොයමින් අහස පුරා පියාසර කරමින් තම නිවහන් කරා යන මන් සොයන්නෝ ය. එකල්හි අජකරණී නදිය මා සිත් පිනවන්නෝ ය.’

මෙබ`දු නිරාමිස සෞන්දර්ය රසවින්දනයක් කවර නම් සාහිත්‍යාංගයකින් ලැබිය හැකි වේ ද? සිත් පහන් කරවන පරිසරයේ සෞන්දර්ය සිය ජීවිත විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා උපයෝගී කර ගත් ආකාරය අවබෝධ කර ගැනීමට ථේර ගාථාවලින් ලැබෙන එළිය අපමණ ය. මේ චූලක මහරහතන් වහන්සේගේ ගාථාවේ භාවය යි:

‘සිත් කළු සුලූ හා පිල් කළඹින් ද නිල්වන් ගෙලින් හා මනා මුව තුසින් ද හෙබි මයුර රාජයෝ නාද පවත්වන්නාහු ය. නිල්වන් තණ ඇතිරියෙන් ගැවසී ගත් මහ පොළොව සිහිල් කරමින් සුකොමල ජලධාරාවෝ ගලා බසිති. සො`දුරු වලාකුළින් සැරසී ගත් නිල්වන් නුබගැබ ද අතිශයින් ම ප‍්‍රසාද ජනක ය.’

රහතන් වහන්සේලා භාවනානුයෝගී ව විමුක්ති සුවයෙන් විසීමට සුදුසු අසපු ලෙස තෝරාගෙන ඇත්තේ ස්වභාව සෞන්දර්යෙන් අනූන ව පැවති රමණීය බිම්පෙත් ය. තම අසපුව අවට ඇති පාරිසරික පද්ධතිය ඒක විහාරික මහරහතන් වහන්සේ කෙරෙහි බලපා ඇත්තේ කෙසේ ද යන්න උන්වහන්සේගේ මේ වැනුමෙන් පසක් වෙයි:

‘සුපුප්ඵීතෙ සීතවනේ –
සීතලේ ගිරිකන්දරේ
ගත්්තානි පරිසිඤ්චිත්තා –
චංකමිස්සාමි ඒකකෝ
මාලූතේ උපවායන්තෙ –
සීතේ සුරභිගන්ධිකේ
අවිජ්ජං ද්‍රළයිස්සාමි –
නයින්නෝ නගමුද්ධනි’

මල් පිපි ඇති සීත වනයේ –
සීතලේ ගිරි කඳුරු පහසින්
ගත දොවා පිරිසිදු කල්හැර –
එකලාව සක්මන් කරන්නෙමි
සීත මඳ නල හමන –
සුවඳ පතුරා ලමින්
රුඳි හිඳගිරි මුදුන –
අවිඳු ගනදුර වසාලමින්
බුදුරජාණන් වහන්සේ සමීපයෙහි ආර්ය මාර්ගයට පිළිපන් කාළුදායි මහරහතන් වහසන්සේ රමණීයාර්ථ පද යෝජනයෙන් කාව්‍ය නිර්මාණය කිරීමට විශේෂ සමත්කම්පෑ තෙරනමක් ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවිමෙහි ලා උත්සුක වූ කාළුදායි තෙරණුවෝ කිඹුල්වත් පුර පරිසරය පිළිබඳ ඇති රමණීය වැනුමක් කරමින්, බුදුරජාණන් වහන්සේ උනන්දු කරවීමෙහි ලා වෙහෙසෙති. ස්වභාව සෞන්දර්යට උන් වහන්සේ අතිශයින් පි‍්‍රය කරන බව කාළුදායි තෙරණුවන් දන්නා නිසා දෝ එබ`දු සිත් ගන්නා සුළු වැනුමක් ඉදිරිපත් කරන්නේ. එම වැනුම ඇතුළත් පාලි ගාතාත‍්‍රයේ සිංහල භාවය මෙසේ ය:

‘මහා වීරයාණන් වහන්සේ, ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කොළ හලා, දලූ දමා බලා සිටින ගස් ඵල දැරීමට ආසන්න ය. අතු අඟ පිපී වැනී ගිය මල් ගිනි අඟුරු මෙන් දිස්වේ. ඇතැම් ගස් ගිනි සිළු පැහැයෙන් බබළයි. ශාක්‍ය ජනපද වාසීන්ට පිහිට වීමට දැන් කල් එළඹ තිබේ. ගස් පුරා පිපි මලින් හාත්පස සුවඳ වෙයි. ඒ ගස්වල කොළ හැලූණේ ගෙඩි බලා පොරොත්තුවෙන්. මහා වීරයාණෙනි, දැන් පිටත් වීමට හොඳ ම කාලය යි.’

‘මහා වීරයන් වහන්ස, වැඩි සීතලත් නැති, වැඩි උණුසුමත් නැති දේශ ගුණයකුයි දැන් බලපවත් වන්නේ. මෙතරම් සොඳුරු කාලයක් නො දක්නා විරූ ය. ශාක්‍ය වංශිකයෝ ද කෝලීය වංශිකයෝ ද ඔබ වහන්සේ වඩිනා තුරු රෝහිණී නදිය දෙපස බලා සිටින්නාහු ය. හිරුට පිටුපා රෝහිණී නදිය තරණය කරන සේක්වා!’

මේ තරම් සොඳුරු වැනුමක් සහිත ඇමතුමක් කළ හැක්කේ ද ඊට ප‍්‍රතිචාර දැක්විය හැක්කේ ද පරිසරය කෙරෙහි නිෂ්කාමී හැඟුම් සහිත මහා පුරුෂයිනට පමණි. සිත වසග කරන සෞන්දර්යටත් නො ඇලී එය ඇසුරුකොට නිරාමිස වූ, නො කිලිටු වූ අනුපාදාන වූ වේදයිතයක් ලැබිය හැකි උතුමන්ට පමණි. බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ‍්‍රාවකයෝ එබඳු නිෂ්කාමී සෞන්දර්ය රසිකයෝ වෙති.

හුදෙකලාව වෙසෙමින් සෞන්දර්ය රසාස්වාදයෙහි නියැළුණු කාළුදායි රහතන් වහන්සේගේ ම පහත දැක්වෙන් කාව්‍යමය වැනුම ද ඊට නිදසුනකි:

‘මලින් හැප්සුණු සීත වනයේ ගිරි හිසින් ගලන කඳුරින් අත් පා ෙදාවාගෙන එකලා ව හැසිරෙන්නෙමි. සිහිල් සුවඳ ඇදගෙන හමන මඳ පවන් අහස විදිමින් ගිරි මුදුනත හිඳ අවිද්‍යාව සුනුු විසුනු කරන්නෙමිත විමුක්ති සුවය ලැබ සතුටු වන්නෙමි.’

මුළු මිහිතලය පුරා සඳකැන් ගලා ගිය රැුයක, මලින් ගැවසී ගත් මල් උයනක පවත්නා ස්වභාවික සුන්දරත්වය බුදුරජාණන් වහන්සේ හා මහරහතන් වහන්සේලා දකින අයුරු මජ්ඣිම නිකායේ මහා ගෝසිංහ සාල වන සූත‍්‍ර දේශනාවෙහි දැක්වේ. වන පරිසරයක පවත්නා අසිරිය භික්‍ෂු ජීවිතයට සම්බන්ධ කරමින් පැවති මෙම ධර්ම සාකච්ඡුාව ඇති වුණේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප, රේවත හා අනුරුද්ධ යන රහතන් වහන්සේලා අතර ය. සල් වනය උපමා කොට ගනිමින් භික්‍ෂූන් වහන්සේලා තුළ පවත්නා ගුණයන් පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම සූත‍්‍රයෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේගේ ගෝසිංහ නම් සල් වනයේ වැඩසිටි සමයේ මහා මොග්ගල්ලාන, මහා කස්සප, අනුරුද්ධ සහ සාරිපුත්ත මහ රහතන් වහන්සේලා ද එහි වැඩ සිටිය හ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමීපයට පැමිණි සෙසු මහරහතන් වහන්සේලා තුන් නම ධර්ම සාකච්ඡුාවක් කිරීමට සූදානම් වූ විට ආනන්ද, රේවත යන ස්වාමීන් වහන්සේලා එතැනට පැමිණෙන අයුරු සාරිපුත්තයන් වහන්සේට පෙණුනි. ඒ දෙනම ද තමන් වෙත කැඳ වූ සාරිපුත්තයන් වහන්සේ මෙසේ ධර්ම සාකච්ඡුාව ආරම්භ කළහ.

‘පින්වත් ආනන්ද, මේ ගෝසිංග සල් වනය අද සඳ රැසින් නැහැවී තිබේ. එහෙයින් අතිශයින් දැකුම්කළු ය. සල් ගස් මුල සිට අග දක්වා ම මලින් සැරසී ඇත. මල් සුවඳ හාත් පස පැතිරී හමාගෙන එන්නේ දිව්‍ය සුවඳක් සේ ය. එහෙයින් මුළු ප‍්‍රදේශය ම රමණීය ය. පින්වත් ආනන්ද, මේ ලස්සන ගෝසිංග සල් වනය තවත් ලස්සන වන්නේ කොයි වගේ භික්‍ෂුවක් නිසා ද?’

මේ අන්දමට එහි රැස්වී සිටි සියලූ ම තෙරුන් වහන්සේලාගෙන් විමසමින් පිළිතුරු ලබා ගනිමින් පැවති ධර්ම සාකච්ඡාවේ දී භික්‍ෂු ජීවිතය ගතකරන බහුශ‍්‍රැත, සමාධිගත, හුදෙකලා විවේකයේ ගැලූණු, ධර්මය සාකච්ඡුා කරන, අපිස් දිවි පැවතුමෙන් යුත්, හිත වසග කර ගත් ආදි වශයෙන් ගුණ ඇති භික්‍ෂූන් වහන්සේලා නිසා ගෝසිංග සල් වනය ලස්සන වන බව කියැවිණි.

මේ ධර්ම සාකච්ඡාව අවසානයේ දී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප‍්‍රසාදය පලකරමින් මෙසේ දේශනා කොට වදාළ හ:

‘‘පින්වත් සාරිපුත්ත, භික්‍ෂුව පිණ්ඩපාතෙට වැඩලා දන් වැළඳුවට පස්සේ, පළඟක් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කර ගන්නාව. භාවනා අරමුණේ සිත පිහිටුවා ගන්නවා, ‘මම නම් කිසිවකට නො බැ`දී ආශ‍්‍රවයන්ගෙන්, සිත නිදහස් වෙලා යනකන් ම මේ පළ`ග ලිහන්නේ නෑ’ කියලා. පින්වත් සාරිපුත්ත ඔන්න ඔය වගේ භික්‍ෂූන් නිසාත් ගෝසිංහ සල් වනය ලස්සන වෙනවා.’
(ආශ්චර්යවත් ශී‍්‍ර සද්දර්මය – මජ්ඣිම නිකාය, කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ, 406 පිටුව)

බුදුරජාණන් වහන්සේ තරම් වන උයනක, තුරුලිය ගොමු සහිත පරිසරයක පවත්නා නිෂ්කාමී සෞන්දර්ය අගය කළ, ඒ පිළිබඳ ව වර්ණනා කළ ආගමික ශාස්තෘවරයෙකු මේ මිහිපිට තවත් පහළ වූයේ නැත. වරක් සක්දෙවි රජුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, ‘ලෝකයේ පවත්නා අතිශය සුන්දර වූත් රමණිය වූත් වස්තුව කුමක් දැ?’ යි ඇසූ පැනයට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේ ය:

‘පින්වත් මහණෙනි, මේ ලෝකයේ සත්වයාගේ ස්වභාවය මහනෙල් විලක් වගෙයි, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා. ඒවා තව ම මෝරගෙන එනවා. තව ම වතුර ඇතුළේ වැඩෙනවා. ඒ වගේ ම සමහර මහනෙල් සුදු නෙළුම් වතුරෙ හැදිලා වතුරෙ වැඩිලා වතුරේ ම ගෑවි ගෑවී තියෙනවා. ඒ වගේ ම සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා ඒවා වතුරේ ම හැදිලා වතුරේ ම වැඩිලා වතුරෙන් උඩට ඇවිල්ලා වතුරේ නො ගැවී තියෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියටයි මං ලෝක සත්වයා දිහා බුදු ඇසින් බැලූවේ.’
(ආශ්චර්යවත් ශී‍්‍ර සද්ධර්මය – මජ්ඣිම නිකාය, කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ, 335 – 336 පිටුව)

‘මිනිසුන් කාමයට, වරදට පෙළඹෙන්නේ ලෝකයේ පවත්නා විචිත‍්‍ර වස්තූන් නිසා නො වේ ද?’ යනුවෙන් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ බව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි දැක්වේ. ඊට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකයේ රමණීය වස්තූූන් කාමයන් නො වන බවත් කාමය වනාහි මිනිස් සිතේ ඇතිවන රාගය හෙවත් ඇලීම බවත්’ පැහැදිලි කර දුන් සේක. තව ද ලොකයේ පවත්නා කාමයන් නො වන රමණීය වස්තූන් ඇසුරු කරමින් එහි නො ඇලී නුවණැත්තන් ඡන්ද රාගය දුරු කරගන්නා බවත් බුදුරජාණන් වහන්සේ වදාළ හ.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මෙම සෞන්දර්ය සංකල්පය වූ කලි ආර්ය ශ‍්‍රාවකයාගේ පරම නිෂ්ඨාව වන නිර්වාණාවබෝධය සාක්ෂත් කර ගැනීම සඳහා ම යොමු වූවක් බව පූර්වෝක්ත නිදසුන්වලින් වටහා ගත හැකි ය. ලෝක සත්වයා හා අනවරතයෙන් බැඳී පවත්නා සමාජ විද්‍යාත්මක කි‍්‍රයාවලියක් වන සෞන්දර්යාත්මක ඇගැයීම්, පුහුදුන් සමාජය අත් විඳින කාමාශක්ත සංකල්පයන්ගෙන් බැහැර කොට ආර්ය මාර්ගයට සුව පහසුව එළවන නිෂ්කාමී ආස්වාදනයක් බවට පත්කිරීම ම ලෝක සාහිත්‍ය විෂයෙහි ලා වුව ද සිදු වූ ආශ්චර්ය වත් සංසිද්ධියන් වන්නේ ම ය.

මහාමේඝ 2011 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති