highlights of the week
Home » Archives » ඉරෙන් හඳෙන් වැඩ ගත් අපේ මිනිස්සු
Dambulla, portrait of a Sri Lankan woman working in a wheat field just outside Dambulla, Central Province, Sri Lanka, Asia. This is a portrait photo of a Sri Lankan woman working in a wheat field just outside Dambulla, Central Province, Sri Lanka, Asia.

ඉරෙන් හඳෙන් වැඩ ගත් අපේ මිනිස්සු

අප සතුව චිරාත් කාලයක් තිබුණූ දේශීය ඥානය ගැනත්, එ් හරහා අපට හැම ක්ෂේත‍්‍රයක් ඔස්සේ ම ලැබුණ දැනුම් නිධානය ගැනත්, පටු බටහිර චින්තනයට ම ගැති නො වී අපේ ගුණ සුවඳ රැඳි ජීවන පැවැත්මක් ඇතිකර ගැනීමේ වටිනාකම ගැනත්, අපි පසුගිය කලාපවලින් කථා කළා.. අතීතයේ අපේ මුතුන් මිත්තන් සතුව තිබී අපට අහිමි වී ගිය මේ මහා දැනුම් සම්භාරයෙන් අද අප සතුව තියෙන්නේ අල්ප මාත‍්‍රයයි. එ්ත් එ් අල්ප මාත‍්‍රය වුණත් මහා සාගරය වගේ කොතනින් පටන්ගෙන කොතනින් අවසන් කරන්න ද කියලා හිතාගන්න බැරි විදියේ පුළුල් පරාසයක් තුළ විහිදී පැතිරී ගිය එකක්.

අතීතයේ අපේ පැරැන්නො කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙනයාමට සැතපුම් පණහකට වැඩි දිගකින් යුතු යෝධ ඇළ හැදුවෙ එහි බැස්ම සැතපුමට අඟලක් තියෙන විදියට කියල පිළිගැනීමක් තිබුණත් ඇත්තට ම මේකෙ තියෙන්නේ සැතපුම් 17කට අඟල් හයක නැග්මක්. එ් විදියට ඉහළට වතුර ගලාගෙන යන්නට මේක නිර්මාණය කළේ කොහොම ද කියල අද විජාතිකයන්ට හිතාගන්නවත් බෑ… අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී නාසය අගින් වෑස්සෙන ජල බිඳුව හරියට ම පතිත වෙන්නෙ ශ‍්‍රීපතුල් දෙක මධ්‍යයේ මධ්‍ය ලක්ෂයට. මෙතරම් සමමිතිකව, මෙතරම් ලම්භකව අද මැටියෙන් කරන මුර්තියක්වත් නිර්මාණය කරන්න පුළුවන් ද? මේක නැනෝ තාක්ෂණයත් අභිභවා යනව. හිතන්න මේ පිළිම වහන්සේ නිර්මාණය වෙන්නෙ කටුවත්, මිටියත් උපයෝගී කරගෙන. පිහිටි කළුගලක් කියන්නෙ හැම තැන ම එ්කාකාරව ස්ථාවර ශක්තිමත් බවකින් යුතු දෙයක් නෙවෙයි. ඇතැම් තැනකට තදින් ගහන මිටි පහර ඇතැම් තැනකට සැර වැඩි වෙන්න පුළුවන්. වැඩිපුර කෑල්ලක් කැඩිල අහකට ගියොත් ආයෙ අලවන්න බෑ. මෙබඳු පාෂාණයක හරි ම සියුම් විධියට සියුම් අංගෝපාංග ඉස්මතු වෙන විදියට මේක කරන්න එ් ර්මාණකරුවාට මොනතරම් දැනුමක්, මොනතරම් සංයමයක් තියෙන්න ඕනෙ ද? අද අපිට නැත්තට ම නැතිවෙලා යමින් තියෙන්නෙත් මේවා ම නේ ද?

පින්වත් දුවේ පුතේ, ඔයාල අහල තියෙනව ද ‘වැව් හූව’ ගැන… වැව් හූව කියන්නෙ වැවක වතුර පිරිල වැව වාන් දාන්න කිට්ටු වෙන කොට, ස්වභාවිකව ම වැවේ ජල තලය පිසගෙන හමා එන සුළඟ වැව් තාවුල්ලෙ වදින කොට එහි කළුගලින් කළ නිර්මාණයක් තිබුණා විශාල හූ හඬක් නැගෙන විදියට. ඕනෑම රැයක දවාලක ටිකෙන් ටික වැඩි වෙමින් මේ හූ හඬ ඈතට ඇහෙන කොට ඔන්න පහත් බිම්වල ඉන්න ජනතාව දන්නව වැව වාන් දාන්න කිට්ටුයි කියල. පසුකාලීනව වැව් ප‍්‍රතිසංස්කරණය කරද්දී මේව අපට නැතිව ගියා. මම අහල තියෙනව මේ අපූරු නිර්මාණය ගැන විස්මයට පත්වුණ සුද්දො මේ නිර්මාණය පිටපත් කර ගන්න හිතාගෙන බොහොම සූක්ෂමව ගණන් මිමි ඇතුව කළුගලින් කරල තිබුණ එ් අපූරු නිමැවුම ගලවලා මිණුම් අරගෙන ආයෙ ම සවිකළාට පස්සෙ අවසානයට ක‍්‍රියාත්මකව තිබුණ එකත් නැතුව ගියා කියල.

පින්වත් දුවේ පුතේ, මේ විශිෂ්ට දැනුම් සම්භාරය අපිට ලඝු කොට තකන්න පුළුවන් ද? මේ අක් මුල් සොයා ලිපි පෙළ සකසන්න හිතට ගත්තෙ ඔයාල වෙනුවෙන් හිතේ ඇතිවුණ කරුණාව නිසා ම යි. මොකද ඔයාල මේ අතීතය දන්නෙ නැති අය වුණොත් ඔයාලට බටහිරින් එන ටැබ් එකක්, ටච් ෆෝන් එකක්, 3D සිනමා සිත්තමක් මහා ලොකු විශ්ව කර්ම දේවල් හැටියට පෙනේවි..

දැනටමත් එ්ක වෙලා තියෙන්නෙ. එහෙම වුණා ම අපේ රටේ සිංහල ජාතිය පරම්පරා දෙකකින් ඉවරෙට ම ඉවරයි. එතකොට බුදු සසුනත් මේ රටින් වේගයෙන් අතුරුදහන් වෙන එක වළක්වන්න බෑ. බටහිරට තව අවුරුදු සිය ගණනකින්වත් ළඟාකර ගන්න බැරි විශිෂ්ට දේශීය ඥානයක් අපට තියෙන බව අමතක කරන්න එපා.

ඉතින් අපි ආයෙමත් මේ විස්මිත දේශීය ඥානය ගැන කතා කරන්න හිතාගෙන තිලක් කන්දේගම මහත්තය එක්ක දොඩමළු වුණා.

‘‘තිලක් මහත්තය අපේ රට ආයෙමත් සහලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ද?”

‘‘සුදර්ශන මහත්තයා අපේ රට කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉහළ ම තැනක තියෙන රටක්. මේ රටේ ආහාර භෝග වර්ග පිරිල. අපි යන්න ඕනෙ මේ රට අහරින් ස්වයංපෝෂිත කරනව කියන තැනට මිස සහලින් ස්වයංපෝෂිත කරනව කියන තැනට නෙවෙයි. මම උදාහරණයක් කියන්නම්. දවසක් මට ගමනක් යන්න තියෙන වෙලාවක මගේ ශිෂ්‍යයෙක් ආව. මට දෙන්න වැඩක් තිබුණෙ නෑ. මම හිටියෙ කොස් ගහක් යට. මම කිව්ව මේ ගහේ කොස් ගෙඩි ටික ගණන් කරන්න කියල. පස්සෙ මම ආව ම ගණන කිව්වා. මට හරියට ම සංඛ්‍යාව මතක නෑ. හැබැයි ලොකු ගණනක්.. මම ඇහුව මේ එක ගෙඩියක් කී දෙනෙකුට කන්න පුළුවන් ද කියල. ඔහු කිව්ව හොඳට බඩ පිරෙන්න හතර දෙනෙකුට කන්න සෑහෙනව කියල. මම ඇහුව හාල් කිලෝ එකකින් කී දෙනෙකුට කන්න පුළුවන් ද කියල. ඔහු කිව්ව එ්ත් හතර දෙනෙකුට පුළුවන් කියල. මම කිව්ව එහෙනම් හාල් කිලෝ එක සමානයි කොස් ගෙඩියක් කියල හිතල මේ ගහේ ගෙඩි ගණන වැඩි කරල බලන්න කියල. සුදර්ශන මහත්තයා කුඹුරු අක්කර භාගයක්, එක කොස් ගහයි… දැන් මේ කොස් මදුළුනෙ. එතකොට පොලොස්, වැලි කොස් ඇට, අටු කොස් මේ ආදි නා නා විදියට අපි කොස් කෑවනෙ. මම කියන්නෙ නෑ කොස් ම කන්ඩ කියල. මම කියන්න උත්සාහ කළේ දැන් මේ රටේ අල වර්ග, ගෙඩි වර්ග, ධන්‍ය වර්ග මොනතරම් නම් තියෙනව ද? එ්කයි මම කිව්වෙ මේ රට අහරින් ස්වයංපෝෂිත කිරීමයි කළ යුත්තෙ කියල… එහෙම නැතිව අපි මේක සහලින් හරි, වෙනත් භෝගයකින් හරි විතරක් ස්වයංපෝෂිත කරන්න යනව නම් එතන මොකක් හරි පටලැවිල්ලක් හරි, මෝඩකමක් හරි තියෙනව කියල මට හිතෙනවා.

මතක ද ඇමරිකාව සම්බාධක පැනෙව්වා කියුබාවට. එ් අතරෙ සෝවියට් දේශයත් බිඳ වැටුන. මොකද වුණේ.. දැන් ඉතින් ආධාර නැතිව ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසා පිදෙල් කැස්ත්‍රෝ කිව්ව එ් රටේ විද්‍යාඥයන්ට දැන් ඉතින් ක‍්‍රමයක් හොයන්න කියල. එ් මිනිස්සු එ් රටේ තිබුණ දැනුම උපයෝගි කොට ගත්ත. අන්න දැන් ස්වයංපෝෂිතයි… දැන් සම්බාධක පනවල වැඩක් නෑ.

මේකයි මම කියන්නෙ මේ විදේශීය යෙදවුම් නැතිව අපි අපේ දෙයින් නැගිටින්න පුරුදු වෙන්න ඕනෙ කියල. දැන්වත් අපි මේ ජාතික හැඟීම ඇතිකර ගන්න ඕනෙ. එහෙම නො වුණොත් අපේ කෘෂිකර්මයත් ඉවරයි. අපේ සාරධර්මත් ඉවරයි. සංස්කෘතියත් ඉවරයි. සුද්ද දන්නෙ ම නැතුව අපේ ඉතිරි ඉඩම් ටිකත් අල්ල ගන්නෙ එදා මුඩු බිම් පනතෙන් අල්ලගත්ත විදියටත් නෙවෙයි. එදා මුඩු බිම් පනතෙදි කිව්ව ඔප්පු නැති ඉඩම් මහ රැජිණගෙ කියල. ඉතින් අපි දීල නිකං හිටිය. එ්ත් දකුණෙ මිනිස්සුන්ට ඔප්පු තිබුණා. එ් නිසා දකුණෙ මිනිස්සුන්ගෙ ඉඩම් මහ රැුජිණට ගන්න බැරි වුණා. ලංකාවෙ කම්කරුවෙක්වත් ගන්න බැරි වුණ නිසා තමයි ඉන්දියාවෙන් වතු කම්කරුවො ගෙනාවෙ. දැන් මෙයාල මොකද කළේ? කුඩා තේවතු සංවර්ධන අධිකාරියට ලෝක බැංකුව හරහා ආධාර දුන්න. දකුණෙ අය මේ ආධාරෙ ගන්න මිදුල ළඟට එනකල් තේ හිටෙව්ව. අද සුද්දට දලූ කඩන්න වුණේ නැද්ද? ඉස්සර අපේ ගම්වල තිබුණ කුඹුරු ඉඩම් එකක්වත් අද නෑ. ඔක්කොම තේ. දැන් අපිට හෙට ඉඳල තේ එපා කියල සුද්දා සම්බාධක පැනෙව්වොත් මොකද වෙන්නෙ. දකුණෙ මිනිස්සු ටිකත් බඩගින්නෙ නේ ද? මෙන්න මේ උගුලෙන් අපි දැන්වත් ගැලවෙන්න ඕනෙ කියන එකයි මම කියන්නෙ.”

‘‘කන්දෙගම මහත්තය මම හිතන්නෙ දැන් අපි කතාවෙ හොඳ ම හරියට ආව… කෘෂි රසායන ඇතුළු නන් වැදෑරුම් විදේශීය යෙදවුම් නැතිව, විදේශීය බීජ නැතිව අපිට අපේ ම ක‍්‍රම යොදාගෙන, අපේ ම බීජ යොදාගෙන ආයෙමත් සාර්ථකව ගොවිතැන් කරන්න පුළුවන් ද?”

‘‘අපොයි පුළුවන්… අන්න එතෙන්ට මේ රට ආවොත් මේ රෝහල් ෆාමසි ගාව තියෙන පෝලිම් නැතිව යනව. ආයෙමත් මේ රටේ නිරෝගී ශක්ති සම්පන්න ජාතියක් බිහිවෙනව.”

‘‘රසායනික පොහොර නැත්තට ම නැතිව අපිට ගොවිතැන් කරන්න පුළුවන් ද?”

‘‘රසායනික පොහොර නෙවෙයි. කාබනික පොහොර ඕනෙත් නෑ… ගැඹුරට පොළව හාරල බිම් සකස් කරන්න ඕනෙත් නෑ… කොටින් ම කිව්වොත් වතුර දාන්නවත් ඕනෙ වෙන්නෙ නෑ…”

‘‘මොනවා… එ් මොනවත් නැතිව සාර්ථකව වගා කරන්න පුළුවන් ද?”

‘‘මමත් ප‍්‍රශ්නයක් අහන්නම්… සිංහරාජ වනන්තරේට ගිහින් බලන්න. කවුද එ් ගස් හිටෙව්වෙ… කවුද පොහොර දැම්මෙ… කවුද වතුර දැම්මේ…. එච්චර ඕනෙ නෑ, දැකල නැද්ද පසුත් නැති වතුරත් නැති තාප්ප උඩ යස අපූරුවට මහ සද්දන්ත ගස් හැදිල තියෙනව… කොස් ඇටය කුස්සියෙන් එළියට වීසි කළහම පැළ වෙලා දැවැන්ත කොස් ගස් හැදෙන මේ රටේ, වැලට හිටෙව්ව මයියොක්ක කෝටුව පැළ වෙලා අල බහින මේ රටේ, අපට මේ මිරිස් පැළයක්, බණ්ඩක්ක පැළයක් ලොකු කර ගන්න බැරුව දඟලනව… තේරෙන්නෙ නැද්ද මෙතන ලොකු වැරැුද්දක් වෙලා තියෙනව කියල…”

ආදි අපේ මුතු මිත්තො මේ රහස දැනගෙන හිටිය. අහල තියෙනව ද ‘ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ’ කියන වැකිය. හිරු කිරණ තමයි මේ ලෝකෙ හැදෙන සෑම ගහ කොළකට ම බලපාන ප‍්‍රධාන සාධකය.. මේ හිරු කිරණ ඍජුවත්, රාත‍්‍රී කාලයට චන්ද්‍රයා හරහා පරාවර්තනය වන ආකාරයත් ශාක වර්ධනයට බලපාන කාල වකවානු නිවැරදිව ම හැඳිනගෙන කල් යල් බලා ගොවිතැන් කිරීමට එ් උදවිය සමත් වුණ නිසා තමයි ඔය කියමන ජනගත වුණේ.

තව ටිකක් පැහැදිලි කළොත් ඉස්සර අපේ රටේ වී ගොවිතැනට තිබුණ වගා කාල සටහන මම කියන්නම්. හිරු කර්කටක නිවර්තනයේ ඉඳලා මකර නිවර්තනයට යන කොට සමකයට අංශක 6 1/2ක් ඉහළින් ලංකාව පිහිටලා තියෙන නිසා හිරු අපෙන් ඈත් වෙන්නෙ අංශක 17ක් විතරයි. එ් නිසා මේ කාලයේ දී වැඩි ම සූර්යාලෝකයක් ලංකාවට ලැබෙනව. හිරු අපේ‍්‍රල් 13 ඉඳල කර්කටක නිවර්තනයට යෑම සඳහා යන්නෙ දින 69යි. එ් නිසා මේ යල් කන්නෙ වපුරන්න ඕනෙ මාස 3, 3 1/2 කෙටි මාස් වී (සුවඳැල්). මේවා පීදෙන්න යන්නෙ දින 72යි. කෙටි කාලයක් හින්ද ගොයම් ගහ පඳුරු දාන්න කාලයක් නෑ. එ් හින්ද බලූ අඩියට ඇට අටක් ගහන්න කියල ජන වහරෙ තියෙනව. එ් කියන්නෙ වැපිරීමෙදි බල්ලෙක් කකුල මාරු කරන දුරට විසිරෙන වී ඇට ප‍්‍රමාණය යි.

මහ කන්නයේදි ලංකාවෙ ඉඳල මකර නිවර්තනයට ගිහින් එන හිරුගෙ ගමනට දින 115ක් ගතවෙනව. අඩු සූර්යාලෝකයක්, වැඩි සීතලක් දුරුත්තෙදි ලැබෙන හින්ද ගොයම වැඩියෙ උස යන්නෙ නෑ. පඳුරු දානව. එ් හින්ද වපුරද්දි බලූ අඩියට ඇට 5ක් ගහන්න කියනව. මේ කන්නෙදි වපුරන්න ඕනෙ වැඩිමල් වී. මාස 5 1/2. මේ කාලෙ ජනවාරි 10 – 15 අතර පීදෙන වීවල දවල්ට නිෂ්පාදනය කෙරෙන ආහාර රාත‍්‍රියට වැය වීමත් අඩු හින්ද අස්වැන්නත් 16 ගුණයකින් වැඩිවෙනව. දැක්ක ද? යල් කන්නෙදි උණුසුමෙන් ප‍්‍රයෝජන ගත්ත ගොවියා මහ කන්නෙදි සීතලෙන් ප‍්‍රයෝජන ගත්ත අපූරුව.

අපේ රටේ ගොවිතැන ගැන දැනගන්න කලින් අපේ රටේ පිහිටීම පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඕනෙ.. එතකොටයි මේක තේරෙන්නෙ. අපේ රට පිහිටල තියෙන්නෙ සමකයට ළඟින් මුහුද මැද දූපතක් විදියටයි. මේ රටේ මධ්‍යය කඳුකරයක් ලෙස උස්ව පිහිටීම නිසා මේ රට කෘෂිකර්මයට ඉතා ම යෝග්‍ය රටක් වෙනව. එ් විතරක් නෙවෙයි මේ රටට නො වැරදී ම ලැබෙන ප‍්‍රධාන වැසි 4කුත්, වසර පුරා පැතිරුණ සූර්යාලෝකයත් තියෙනවා. කඳුකරයේ සිට රටේ හතර අතට ගලා යන අරීය ජල වහනයකුත් තියෙනවා. සත්ව හා ශාක ගණත්වය වැඩි නිසා සරුසාර පොළවක උරුමයත් තියෙනවා. ඉතින් මෙච්චර පහසුකම් නොමිලේ ම තියෙද්දි මේ රටේ කෘෂිකර්මය සාර්ථක කර ගන්න බැරි නම් ලෝකෙ වෙන මොන රටකවත් එ්ක කරන්න බෑ කියලයි මම කියන්නෙ.

එ් විතරක් නෙවෙයි ශත වර්ෂ ගණනාවක් මේ රටේ පරිසරයට හැඩගැහිල එ් අනුව පරිණාමය වුණ වී වර්ග දහස් ගාණක්, මෑ වර්ග දුසිම් ගාණක්, අල වර්ග සිය ගාණක් අනෙකුත්, බීජ වර්ග දහස් ගාණක් අපට තියෙනවා.

මේකෙදි වෙන්න ඕනෙ මේකයි. අපි අපේ රටේ සම්පත් අඳුනාගෙන එ් අනුවයි ක‍්‍රියාත්මක වෙන්න ඕනෙ. මම උදාහරණයක් කියන්නම්. අපේ රට ඝර්ම කළාපීය රටක් හින්ද පසේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නෙ මතුපිට පසට අඟල් 4ක් විතර ආසන්නයේ ම යි.. එ් හින්ද අපේ රටේ මතුපිට පස තමයි සාරවත්. එංගලන්තයේ තියෙන්නෙ ශීතල පරිසරයක් නිසා ක්ෂුද්‍ර ජීවින්ට මතුපිට පස ආසන්නයේ ඉන්න අමාරුයි. උන් ඉන්නෙ අඟල් 9ක් විතර යට. එ් නිසා එංගලන්තයේ උදැල්ල නගුල හදල තියෙන්නෙ අඟල් 9ක් හෑරෙන විදියට.

අපි මොකද කරන්නෙ… එංගලන්ත සමාගමක හදන උදැල්ල නගුල ගෙනල්ල මෙහෙ පස පෙරළනව… අපේ සරු පස යට කරල නිසරු පස මතුකර ගන්නවා.. ඔන්න ඉතින් බාහිරින් පොහොර හොයන්න වෙනවා.
මේකෙන් තේරුම් ගන්න තියෙන දේ තමයි ලෝකයට ම එක ම කෘෂිකර්මයක් හරියන්නෙ නැති වග. එ්ක රටෙන් රටට වෙනස් වෙන්න ඕනෙ. අපේ රට ඇතුළෙ වුණත් අතීතයෙ අපූරුවට එ් එ් ප‍්‍රදේශවලට අනුකූලව අපූරුවට හැඩගැහුන ගොවිතැන් ක‍්‍රමයක් තිබුණනෙ…

ඉරෙන් හඳෙන් වැඩ අරගෙන, පොහොර යොදන්නෙත් නැතිව, තෙල් බේත් යොදන්නෙත් නැතුව, වතුර දාන්නෙත් නැතිව ඕනෑම බෝගයක් සාර්ථකව වවල ඵලදාව ගන්න හැටි මම ලබන කලාපයෙන් කියල දෙන්නම්…

ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමගින් සිදු කරනු ලබන සංවාදමය ලිපි පෙළෙහි තවත් කොටසක් මී ළඟ කලාපයෙන්…

මහාමේඝ 2015 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com 

 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්... එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා....