පුංචි දුවේ/ පුතේ,

උතුම් මානුෂික ගුණාංගයක් ලෙස කළගුණ සැලකීම පෙන්වා දෙන්න පුළුවන්. තමන්ට කළ යම්කිසි උපකාරයකට නැවත උපකාර කිරීම කළගුණ සැලකීමයි. තමන්ට වචනයෙන් හෝ උදව්වක් කළ කෙනෙකුට උදව්වක් අවශ්‍ය වූ විට මඟ නො හැර උදව් කළ හැකි නම් එය ඉතා වටිනා දෙයක්. සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිත පුවතේ කළගුණ සැලකීම යන ගුණාංගයේ ඇති වටිනාකම පෙන්වා දෙන අවස්ථා බොහෝමයක් තියෙනවා. ප‍්‍රාණයක් නොමැති ඇසතු බෝරුකට පවා උන් වහන්සේ කළගුණ සැලකුවා. එහෙනම් අපි අපිට උදව්වක් පිහිටක් වෙන කෙනෙකුට අපෙන් උදව්වක් පිහිටක් අවැසි වූ වෙලාවට අහක බලා සිටීම සුදුසු නො වන දෙයක් බවක් පුංචි ඔබට වැටහෙනවා ඇති.

එ් විතරක් නෙවෙයි කෙනෙකුට උදව් කර ලබන සතුට බොහෝ ම සුන්දර සතුටක්. එ් සතුට ලැබෙන්නේ හොඳ යහපත් දෙයක් කිරීම නිසාවෙන් වීම මොන තරම් වටිනව ද?

යාළුවෙකුට පොතක්, පැන්සලක් ඉල්ලූවොත් සතුටින් එ්ක දෙන්න ඔබ ක‍්‍රියාත්මක වෙලා තියෙනවා නම් අන්න පුංචි ඔබත් හොඳ දෙයක් කළ කෙනෙක් බවට පත් වෙලා. එ් වගේ ම එ් කෙනා සමහර විට කලින් දවසක ඔයාට මේ වගේ ම උදව්වක් කරල ඇති. අන්න එතකොට තමයි මේ ඔබ කළගුණ සැලකීමේ ගුණය කි‍්‍රයාවෙන් සිදු කරල තියෙන්නේ. එ් වගේ ම ඇස් දෙක වගේ අපිව බලාගන්න අම්මාට, තාත්තාට වගේ ම අකුරු කියා දෙන ගුරුවරුන්ට, කල්‍යාණ මිත‍්‍රයින්ට, හිතවතුන්ට තමන් වෙනුවෙන් කළ සේවයට, උදව්වට කළගුණ සලකන්න අද සිට ම පුරුදු වෙන්න. කළගුණ සැලකීමේ උතුම් ගුණාංගය තමන්ගේ ජීවිතය තුළ පවත්වාගෙන යන්නට හැකි නම් ඔබත් බෝසත් දරුවෙක් වනවාට කිසි ම සැකයක් නැහැ.

තෙරුවන් සරණයි!

ටනූෂා නැන්දා