highlights of the week
Home » Archives » බුදු ගුණ කැටි වුණ මියුගුණ සෑය

බුදු ගුණ කැටි වුණ මියුගුණ සෑය

මුළු රැයක් පුරා මිහිමඬල වසා සිටි ගණඳුර පලවා හරිමින් පෙරදිග අහසේ අරුණෝදය උදා වී ඇත. අහස් කුස පුරා පැතිරී යන රන්වන් ආලෝකයෙන් හැඟවෙන්නේ
නොබෝ වේලාවකින් හිරුමඬල උදාවන වග ය.

හිමිදිරියේ ම අවදි වී තුනුරුවන් වන්දනා කළ අපි, තුන් ලොවක් පුරා පැතිර තිබූ අවිදු අඳුර පලවා හැර, විද්‍යාලෝකයෙන් තිලොව ම එ්කාලෝක කළ, සම්බුදුරජාණන් වහන්සේ වැඩි පින් බිමක් සොයා ගමන් ඇරඹීමු.

ලෝකයේ සුන්දර රටවල් කොතෙකුත් ඇත. එහෙත් පින්බර රටවල් ඇත්තේ අතළොස්සකි. සුන්දරත්වයෙන් අනූන මා උපන් දේශය, දෙව් බඹුන්ගෙන් පවා වන්දනා ලබන, පින්බර දේශයක් වූයේ මේ බිමට සම්බුදු පහස ලැබීමත් සමග ම ය.

හිමිදිරි උදයේ මීදුමත් සමග මුසුව එන සිහිල් වා රැුලි කපාගෙන, අප රැුගත් රථය වේගයෙන් ඉදිරියට ඇදේ. වා කවුළු අතරින් රිංගාවිත් ගත දැවටෙන සීත සුළං රැුලි ගත හිරිගඩු නංවයි. එහෙත් අපගේ ගමනාන්තය සිහිවන විට ඇති වන පහන් හැඟුමින් සිත උණුසුම් වී යයි.

අහස් කුස අරා නැගී සිටින යෝධ ගොඩනැගිලිවලින් සපිරි නාගරික කොන්ක‍්‍රීට් වනාන්තර තුළින් අප කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් යයි. සිහිලැල් වන වදුලූ අතරේ ගොඩ නැගෙන කඳු වළලූ අතරින් දිවෙන මාර්ගය ඔස්සේ,අප මේ ගමන් කරන්නේ පළමු වරට මේ බිම සම්බුදු පහසින් පූජනීය වූ මහියංගණ පුද බිම සොයාගෙන ය.

පළමුව සමනල සිරස වන්දනා කළ උදා හිරුගේ රන්වන් රැුස් දහර වලා පෙළ අතරින් පෙරී විත් රන්වන් පියස්සක් මතට වැටී ඇත. රන් පියස්ස මතට වැටුනු ළා හිරු රැුස් අහසේ රන්වන් රටා මවයි. මේ මා ඉදිරියේදිස්වන්නේ ලෝකයේ ඇති වටිනා ම පියස්ස නො වේ දැයි මට සිතේ. මෙය සෙවණ දෙන්නේ ලෝකයේ වටිනා ම වස්තුවට නො වේ ද? මෙයට යටින් වැඩසිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ පාරිශුද්ධ පහස ලැබූ වම් ශ‍්‍රී දළදා වහන්සේ ය.

හිරු කුමරා තම දවසේ මෙහෙය අරඹා හෝරා දෙකක් ගත වන විට උතුම් දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය පසුකරමින් අපි මහනුවර මහියංගණ මාර්ගයට අවතීර්ණ වීමු. මහනුවර සිට මහියංගණය පුද බිම කරා ළඟා වීමේ දී ප‍්‍රධාන මාර්ග දෙකක් හමු වේ. මින් පළමුවැන්න අප ගමන් කළ කුණ්ඩසාලේ, මැද මහනුවර, උඩුදුම්බර, හුන්නස්ගිරිය
පසුකරගෙන දහඅට වංගුව හරහා වැටී ඇති මාර්ගය යි.

දෙවැන්න මේ සංචාරය නිමවා අපි ආපසු පැමිණි වික්ටෝරියා, රංටැඹේ, රන්දෙණිගල වන රක්ෂිතය ඔස්සේ වැටී ඇති මාර්ගය යි. මෙම දෙවන මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට ලංකාවේ ප‍්‍රධාන විදුලි බලාගාර තුනක් වන වික්ටෝරියා, රංටැඹේ, හා රන්දෙණිගල ජලාශයන්ගේ සුන්දරත්වයත්, අලි ඇතුත් සරන වන මැදින් වැටී ඇති මග දෙපස වන ගොමුවල මනස්කාන්ත දසුනත්, නො අඩුව විඳ ගත හැකි ය.

මුලින් අප කැටුව වේගයෙන් ඉගිල ආ රථය හේතු දෙකක් නිසා දැන් දැන් ඉබි ගමනකට වැටී ඇත. පළමුවැන්න මේ ප‍්‍රදේශයේ විශාල බැකෝ යන්ත‍්‍ර සහ අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කරමින් විශාල පිරිසක් මහනුවර මහියංගණ මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටීම යි. දෙවැන්න මේ අප තරණය කරමින් සිටින්නේ හුන්නස්ගිරි ගිරි සිරස වීම යි.
මේ ප‍්‍රදේශයේ ඉතා පටු ස්වභාවයක් ඉසිලූ මාර්ගය පුළුල් වී නවීකරණය වූ පසුව මගීන්ට ඉතා පහසුවෙන් මහියංගණය කරා ළඟා වීමට පහසුකම් සැලසෙනු ඇත.
ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එකවර වාහන දෙපසට ම

ගමන් කළ නො හැකි ස්ථානයක අපගේ රථය ද නැවැත්වීමට සිදු විය. ලද අවසරයෙන් මම රථයෙන් බැස කඳු මුදුනේ දකුණු පස දළ බෑවුම කරා පියමැන්නෙමි.
මෙතැන සිට පහත බලන විට නෙත ගැටෙන දසුන ඉතා මනස්කාන්ත ය. අඩි දහස් ගණනක් පහළින් මහියංගණය ඇතුළු මුළු ඌව ප‍්‍රදේශය ම දිස්වන්නේ දෙව්ලියන් විසින් අහසේ අඳින ලද සිතුවමක් පරිද්දෙනි.

මීදුමත් සමග මුසු වී ලා නිල් පැහැයකින් යුතුව ඈත පෙනෙන මේ මනරම් දසුන පුරා මම සීරුවෙන් දෙනෙත් යැව්වෙමි. ඈත පෙනෙන තුරු වදුලූ අතරින් ලොග්ගල්ඔය ජලාශය දිස්වෙයි. වම් පසට වන්නට බුලතා යෝධයා විසින් තනිව ම තනනු ලැබී යැයි සැලකෙන සොරබොර වැව දිස්වෙයි. තනි තනිව නැගී ගත් කඳු පන්ති අතරින් මිටියාවත හරහා ගලා යන මහවැලි නදිය මේ සිතුවමට අපූරු රටාවක් එක් කර ඇත.

අවසානයේ මා දෑස ඉතා විමසිල්ලෙන් සෙවූ එ් අයස්කාන්ත දසුන මුණ ගැසුනි. සුරඟනන්ගේ සේලයෙන් තැනූ දුහුල් සළුවකින් වටකරන ලද මුතු ඇටයක් සේ, මීදුම් සළු අතරින් කිරි බුබුළක් සේ ඈත පෙනෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ සුනීල කේශ ධාතූන් වහන්සේලා වැඩසිටින මියුගුණ සෑ රදුන් ය.

සුදෝ සුදු වලා කැටි අතර සිහින් සිනිඳු මීදුම් සළු පොරවාගත් මියුගුණ මහ සෑ රදුන් හුන්නස්ගිරි ගිරි සිරස මත සිට දකින විට කේශ ධාතූන් වහන්සේලා ම නිදන් කොට සක් දෙවිදුන් විසින් තව්තිසාවේ සාදන ලද සිළුමිණි සෑය වහා සිතට නැගුනි. ”සාදු….! සාදු….!! සාදු….!!!” මම උඩු ගුවනේ සිට ම දෙනෙතින් දකින මියුගුණ සෑයත්, මනසින් දකින සිළුමිණි සෑයත් එකවර වන්දනා කළෙමි.

සීරුවෙන් දහඅට වංගුව බසිමින් හසලක පසුකොට මහියංගණ පුරවරයට අප ළඟා වන විට උදෑසන අපත් සමග ම ගමන් ඇරඹූ හිරුකුමරා තම දවසේ මෙහෙයෙන්
අඩක් නිමා කොට අප හිසට ඉහළින් ඔද තෙද පතුරුවමින් සිටියේ ය.

මහියංගණ නගර මධ්‍යයේ මියුගුණ සෑය පෙනෙන මානයේ දැවැන්ත බුද්ධ ප‍්‍රතිමා වහන්සේනමක් ඉදිවෙමින් පවතී. එ් පිළිම වහන්සේ පසුකරමින් අපි මහියංගණ සෑ රදුන් වැඩ වෙසෙන පුණ්‍ය භූමියට ඇතුළු වීමු. මහ සෑ රදුන් වට කොට බෝධීන් වහන්සේලා කීපනමක් ම වැඩ වෙසෙති. පසෙකින් ගලා බස්නා මහවැලි නදිය පිසගෙන හමා එන සීත සුළං රැුලි සිලි සිලි හඬ නංවා බෝපත් සොලවමින් මද්දහනේ ඇති දාහය නිවා දමන්නට පින් බිම සිසාරා හමා යයි. සෑ බිමේ පසෙකින් ඇත්තේ අලූතින් ඉදිවන මහියංගණ විහාරයට අයත් කෞතුකාගාරය යි. අනෙක් පසින් දිස්වන්නේ මහියංගණ යන නමත් සමග ම බැඳී පවතින සුමන සමන් දෙවිඳු වෙනුවෙන් ඉදිවුණ ඓතිහාසික මහ සමන් දේවාලය යි.

කොළඹ සිට මා මේ ගමන පැමිණෙන බව දැනගත් මොහොතේ සිට මෙහි ඓතිහාසික තොරතුරු සොයා ගැනීමට උදව් කළ මා මිත‍්‍ර සුභසිංහ සොහොයුරා පවසා සිටියේ, මුලින් ම එහි සිටින ඔහුගේ අයියා කෙනෙකු වන පේමදාස අයියා මුණගැසෙන ලෙස ය.

පළමුව අපි එන විට රැුගෙන ආ මල් පහන් සුවඳ දුම් මහියංගණ මහ සෑරදුන් වෙත පූජාකර බුදු ගුණ කියමින් සෑය පැදකුණු කොට වන්දනා කළෙමු.

අනතුරුව මහියංගණ පුද බිමේ ඓතිහාසික තොරතුරු සොයා ගැනීම පිණිස මහ සමන් දේවාලයේ තේවා කටයුතු භාර පේමදාස අයියා මුණගැසුනෙමු.

කල්තියා ම මා එන මග බලා සිටි පේමදාස අයියා මා උණුසුම්ව පිළිගෙන පළමුවෙන් ම මේ සියලූ කටයුතු සාර්ථක කර ගැනීමටත්, උතුම් නිවන අවබෝධ කර ගැනීම දක්වා යන ගමන පුරාවටත් මා හට සියලූ ආරක්ෂාව සලසා දෙන මෙන් සමන් සුරිඳුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අනතුරුව වැඩි විස්තර ලබා ගැනීම ස`දහා දැනට සමන් දේවාලයේ තේවා කටයුතු භාරව කටයුතු කරන, ප‍්‍රදේශයේ විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරි මහතෙකුව සිටි විජේරත්න බණ්ඩා මහතා මුණගැස්සවී ය.

මම පළමුවෙන් ම මහියංගණ පුද බිම හා සබැඳුනු සමන් දෙවියන්ගේ පුරාවෘත්තය පිළිබඳව විජේරත්න බණ්ඩා මහතාගෙන් විමසීමි.

”මහත්තය ඕකට හොඳ ම කෙනා තමයි විහාරාධිපති ශ‍්‍රී ධම්මසිද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේ. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නෙ අස්ගිරි විහාරයේ.. මෙහාට වඩින්නෙ කලාතුරකින්. මම මේ රජමහා විහාරයේ භාරකාර ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ මුණගස්වන්නම් අපි යමු.” යි කී විජේරත්න මහතා මා කැඳවාගෙන ආවාස ගෙය පැත්තට යන්නට පිටත් විය. මමත් එ් අනුව පියවර මැන්නෙමි.

සංඝාවාසය පිහිටා ඇත්තේ මහියංගණ විහාරස්ථානය ආසන්නයේ ඇති විශ‍්‍රාම ශාලාවට දකුණු පසින් විහාරාසන්නයේ ඇති විල්ලූ වැව පැත්තට වන්නට ය. අප එහි යන විට සංඝාවාසය ඉදිරියෙන් ම වාහන දෙකක් නවතා තිබුණි. සියලූ ස්වාමීන් වහන්සේලා සංඝාවාසයේ ආලින්දයට වැඩම කොට සිටිති.

මඳ සිනහවකින් සැරසුන, කරුණාබර මුව මඬලක් ඇති, වයෝවෘද්ධ ලොකු ස්වාමීන් වහන්සේනමක් ආලින්දයේ වැඩ සිටිති. අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට වන්දනා කරති. මමත් වහා ම උන්වහන්සේට පළමුවත්, පසුව අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් පසඟ පිහිටුවා වන්දනා කළෙමි.

‘‘ මහත්තයා වාසනාවන්තයි. ඔය වැඩල ඉන්නෙ මම අර අස්ගිරියෙ වැඩ ඉන්නව කියපු ධම්මසිද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේ.. හදිසියේ ම මේ දැන් වැඩල තියෙන්නේ..” විජේරත්ත මහතා මගේ කනට කොඳුලේ ය.

උන්වහන්සේ ඉතා කාර්යබහුල වුවත් මා ආ කාරණය පැහැදිලි කර දුන් පසු උන්වහන්සේ සතු අප‍්‍රමාණ දැනුම් සම්භාරයෙන් බිඳක් මා වෙත ලබාදීමට තරම් කාරුණික වූහ.
අස්ගිරි විහාර පාර්ශවයේ අති ගරු අනුනායක ගලගම ශ‍්‍රී ධම්මසිද්ධි ධම්මාන්ද අත්තදස්‍යාභිධාන ඓතිහාසික මහියංගණ රජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ මෙසේ වදාළහ.

”බුද්ධත්වයෙන් නව වෙනි මාසේ දුරුතු පසළොස්වක පෝය දවසෙ තමයි බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළේ. එදා උදේ වරුවෙ උරුවෙල් දනව්වෙ කාශ්‍යප
ආදි ජටිලයන් දමනය කරමිනුයි උන්වහන්සේ වැඩහිටියේ.

එ් කාලෙ මේ ප‍්‍රදේශය හැඳින්වුණේ මහානාග වනෝද්‍යානය කියල යි. එදා මේ ප‍්‍රදේශයේ හිටිය යක්ෂ ගෝත‍්‍රික පිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා තිබුණා.
මෙන්න මේ ආරවුල විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ.”

”කොහොම ද ස්වාමීන් වහන්ස උන්වහන්සෙ වැඩම කළේ?”

”අපේ යක්ෂ ගෝත‍්‍රික පිරිස ආරවුලකට පැටලෙන්න මාන බලන වෙලාවේ, උන්වහන්සෙ ඍද්ධි බලෙන් අහස අඳුරු වෙන්න සැලැස්සුව. යක්ෂ ගෝත‍්‍රික පිරිස ආරවුල නවත්තල මේ මොකද වෙන්න යන්නෙ කියල බැලූව.

පස්සෙ එ් අඳුර මැදින් ආලෝකයක් පෙනෙන්නට සැලැස්සුව. ඊ ළඟට එ් ආලෝකය මැදින් තමයි බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉඳල එතන හිටිය පිරිසට ධර්ම දේශනා කළේ. එ් ධර්මය අහල සියලූ ආරවුල් සන්සිඳිල ගියා.”

”එතකොට ස්වාමීන් වහන්ස යක් පිරිස බය කරල ගිරි දිවයිනට පැන්නුව කියන කථාව?”

”මම නම් එ්ක පිළිගන්නෙ නෑ මහත්තයෝ. මොකද බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. කාටවත් හිංසා කරන, බය කරන සිතුවිල්ලක්වත් උන්වහන්සේලාට පහළ වෙන්නෙ නෑ. ඔයිට වඩා දරුණු අංගුලිමාල, නාලාගිරි වගේ අය දමනය කළේ බය කරල නෙවෙයිනේ.”

”ස්වාමීන් වහන්ස එ් කියන්නෙ දමනය කරනව කියන්නෙ දහම තුළ හික්මවනව කියන එක ද?”

”අන්න හරි. ඔතන ප‍්‍රකට වෙන්නෙ පුරිසදම්ම සාරථී ගුණයනෙ. දැන් බලන්න උරුවෙල් දනව්වෙ ජටිලයන් දමනය කරමින් ඉඳලනෙ මෙහෙ වැඩියේ. එ් ජටිලයන් දහම තුළට හික්මවා ගත්ත විදියට තමයි යකුන් දමනය කළෙත්. එවෙලෙ දහම් දේශනා කළ නිසානෙ සුමන සමන් දෙවියන් සෝවාන් වුණේ.
එහෙනම් මහත්තයො ඉතිරි විස්තර ටික මේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගෙනුයි, මේ පොඩි උන්නාන්සෙලගෙනුයි අහගන්ට. මට වඩින්ට සුනංගු වුණා නෙව.”
මම නැවතත් උන්වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. උන්වහන්සේ සංඝාවාසයෙන් පිටත් වී අස්ගිරි විහාරය බලා වඩින්නට මොහොතකට පෙර සද්දන්ත හස්තිරාජයෙක් සංඝාවාසය අසලට ම දිව ආවේ පියාණන් වෙත දිව එන කිරි දරුවෙකු පරිද්දෙනි. උන්වහන්සේ ඇතුළු මහ සඟරුවන ඉදිරියේ දණ නැවූ හස්තියාගේ කුම්බස්තලය මහත් සෙනෙහසින් අත ගෑ ලොකු ස්වාමීන් වහන්සේ, ඌට ප‍්‍රණීත පලතුරු හා උක් දඬුවලින් සංග‍්‍රහ කිරීමට අමතක නො කළහ.

සංග‍්‍රහයෙන් පසුව ධම්මසිද්ධි නායක හාමුදුරුවන් ආපසු වඩින්නට සැරසෙත් ම එ් මහා සද්දන්ත හස්තිරාජයා නො පැකිලව සතර පයේ ම දණ බිමට නවා හොඬවැල බිම තබා මහා සංඝරත්නයට වන්දනා කළේ, කෙටි කලකට ලැබෙන නම්බු නාම තානාන්තර මහ ලොකු දේවල් යැයි සිතාගෙන, මහ සඟරුවනට බාගෙට නැමී වන්දනා කරන සමහර අපේ ඇත්තන්ට, සිරුර කෙතරම් සද්දන්ත වුවත් සුපටිපන්නාදී ගුණ දරන මහ සඟරුවනට වන්දනා කිරීමට එය බාධාවක් නො වන බව පෙන්වා දෙන්නට මෙනි.

ඉන් පසුව මම මෙම ඓතිහාසික මහියංගණ විහාරස්ථානයේ භාරකාර අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ මුණගැසීමි. උන්වහන්සේගේ අනුශාසනාව මත මහියංගණ රජමහා විහාරයේ තේවාව භාර පූජ්‍ය යටිහේන රත්නසිරි ස්වාමීන් වහන්සේ සමග තව දුරටත් මහියංගණයේ ඉතිහාසය කරා පියනැගුවෙමි.

”ස්වාමීන් වහන්ස මේ සෑයෙ ඉතිහාසය ගැන තවදුරටත් කථා කළොත්?”

”සුමන සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා නිදන් කරල හත් රියන් උසට ඉඳුනිල් මැණික්වලින් මේ සෑය නිම කළානෙ. ඊට පස්සෙ එදා මහිංගණයත් දිඹුලාගලත් අතර ¥වේගල වැඩසිටිය සරභූ මහරහතන් වහන්සේ, අවශේෂ රහතන් වහන්සේලා දහස්නමකුත් පිරිවරාගෙන බුදුරජුන්ගේ ආදාහන පූජෝත්සවයට වැඩල තියෙනව.

උන්වහන්සේ සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ ඍද්ධි බලෙන් දැවෙන දර සෑයෙන් ලබාගත් ග‍්‍රීවා ධාතූන් වහන්සේ
තැන්පත් කරල නැවත මේ සෑය දොළොස් රියනක් දක්වා විශාල කරල තියෙනව.

එ් අනුව රහතන් වහන්සේනමක් විසින් ඉදිකළ ලොව ප‍්‍රථම සෑයත් මෙය වෙනව. ඊට පස්සෙ දෙවනපෑතිස් රජතුමාගෙ සොයුරු උද්ධ චූලාභය යුවරජු විසින් නැවත තිස් රියනක් දක්වා විශාල කරල බන්දවල තියෙනව. ඊට පස්සෙ එළාර යුගයෙදි ඡුත‍්‍ර කියන දමිළ සෙන්පතියගෙ අණසකට නතු වෙලා වසර හතරක් විතර තිබිල තියෙනව. එළාරගෙන් රට මුදවගෙන ආයෙමත් රට එක්සේසත් කළ ගැමුණු රජතුමාගෙ ක්ෂේමභූමිය වුණෙත් මහියංගණය යි. පසුව එතුමා ක‍්‍රි. පූ. 161 -137 යුගයෙදි මහියංගණයේ සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම මෙතෙකැයි කියන්න බෑ. මේ මහියංගණ දාගැබ අසූ රියන් උසට බැන්දුවෙත් ගැමුණු රජතුමා.”

”ස්වාමීන් වහන්ස මහියංගණයට සම්බන්ධ වෙනත් රජවරුත් ඉන්නව ද?”

”ඇයි නැත්තෙ… සංඝබෝධි, ගෝඨාභය, සංඝතිස්ස, විතරක් නෙවෙයි දෙවෙනි රාජසිංහ රජතුමාගෙත් ජන්ම භූමිය වෙන්නෙ මහියංගණය යි.”
”ස්වාමීන් වහන්ස, මහියංගණය හා සබැඳුන වෙනත් ඉතිහාස සිද්ධි මොනව ද?”

”ඇයි 1815 දි ඉංග‍්‍රීසීන්ගෙන් යළි මේ රට බේරා ගැනීමේ සටන, කිවුලේ ගෙදර මොහොට්ටාල වැනි විරුවන්ගෙ දායකත්වයෙන් ආරම්භ වුණෙත් මෙහිදිමනෙ.”
දීර්ඝ සාකච්ඡුාවකින් පසුව ස්වමීන් වහන්සේගේ දෙපා නැමද මම සමුගතිමි.

හිරු කුමරා තම දවසේ මෙහෙය නිමා කොට බටහිර කඳු බෑවුම් අතරින් නො පෙනී යන්නට තව හෝරා දෙකකට වඩා නැතත් දිවා ආහාරය ගැන වෙනදා දෙන පණිවිඩය දෙන්නට අද කුසට අමතක වී ඇති සෙයකි.

මම සෙමින් සෙමින් විහාර භූමිය අසලින් වැටී ඇති පියගැටපෙළ ඔස්සේ පහළට පියමැන්නෙමි.

ඇත්තෙන්ම මේ පියගැටපෙළ දිගේ මට අතීතයට පියමනින්නට ඇත්නම්… එදා සිට මේ දක්වා මේ මහියංගණ පුද බිමේ සිදු වූ අසිරිමත් සිදුවීම් සියල්ල සියැසින් දැකබලාගත් කෙනෙක් මට මුණගැසේ නම්… සිත තුළ එවන් සිතුවිලි පෙරළි කරද්දී මම තවත් පහළට බැස්සෙමි. විස්මයකි, පියගැටපෙළ අවසානයේ මට එබඳු තැනැත්තියක් හමු විය.
ඇය එදා බුදුරජාණන් වහන්සේ වඩින මොහොතේදීත් මෙතැන සිට ඇත. එදා මෙදා තුළ මේ බිමේ සිදු වූ සියල්ල ඈ තරම් වෙන කවරෙක් නම් දනිත් ද? සිහිලැල් පවනැල්ලේ සුවය විඳිමින් මම ඇය අසලින් වාඩි වුණෙමි.

නුහුරු බසකින් ඈ පවසන මේ අතීත අන්දරය තේරුම් ගැනීමට මම උත්සාහ කළෙමි.

”මගේ උපන් ගම සමන් දෙවියන්ගෙ අඩවිය…
එතනිනුයි පටන් ගත්තෙ මගේ මේ ගමන. මේ රටේ මිනිසුන්ට අප‍්‍රමාණ උදව් කරන එක තමයි මගේ එක ම සතුට.

මට අද වගේ මතකයි, එදා දුරුතු පෝය දවස. එදා යක් පිරිස අතර යුද්ධයක් ඇතිවෙන්නට ඔන්න මෙන්න කියල තිබුණ වෙලාව. එහෙම වුණා නම් ලොකු විනාශයක්
වෙනව. ඔන්න එතකොට ම හදිසියෙ ම අහස අඳුරු වුණා. මහ දවාලෙ මේ මොකද වෙන්න යන්නෙ කියල හැමෝ ම විමතියෙන් අහස දිහා බැලූව. එතකොට හරි සෞම්‍ය, ලස්සන ආලෝකයක් අඳුර මැදින් මතුවුණා. හැමෝගෙ ම නෙත් එ් දෙස යොමුවෙද්දි යුද්ධයෙන් ඇතිවෙන විනාශය ගැන එ් අයට තේරුම් යන්න පටන් ගත්ත. හිත්වල තිබුණ වෛරකාරී සිතුවිලි එ් අයගෙ හිත්වලින් බැහැර වුණේ එ් අයටත් නො දැනීම යි. ඔන්න එතකොට තමයි හරී ම ලස්සනට දෙතිස් මහා පුරිස ලකුණින් ශෝභමාන වූ බුදුරජාණන් වහන්සේ එ් එළිය මැදින් සවණක් ඝන රැුස් මාලා විහිදුවමින් පහළ වුණේ.

උන්වහන්සේ මිහිරි ස්වරයෙන් හරී ම ලස්සනට හේතු නිසා ඵල ඇතිවෙන විදියත්, හේතු නැතිවෙන කොට එ් ඵල නැතිවෙලා යන විදියත්, කියල දුන්න. මගේ උපන් ගම විමානය කොටගත් සුමන සමන් දෙවිඳුන් උන් වහන්සේගෙ සිරිපා වන්දනා කළා. පූජනීය වස්තුවක් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රී හස්තයෙන් සම්බුදු සිරස පිරිමැදල කේශ ධාතූන් වහන්සේලා මිටක් ඔහු අත තැබුවා.”

හදිසියේ ම ගසකින් දියට වැටුනු යමක් හේතුවෙන් අප දෙදෙනා අතර ඇතිවූ සුන්දර සංවාදය නිමා විය. ඕ තොමෝ මට සමු දී මේ අතීත සුන්දර අන්දරය නැවතත් දිය රැුලි අතර සඟවා ගනිමින් නැගෙනහිර බලා පිටත් වූවා ය.

මම මහවැලි නදිය අසලින් නැගිට නැවතත් පියගැටපෙළ නගිමින් මේ අති උත්තම වූ සෑ රදුන් වෙත පියමැන්නෙමි.

හිරු කුමරා සිය ප‍්‍රචණ්ඩ බවට සමු දී ඇත. වලාකුළින් බර වූ මන්දාරම් අහසින් සිහින් සිරි පොද වැටෙයි. මේ මා ඉදිරියේ ගුවන අරා වැඩසිටින්නේ මාගේ ස්වාමී වූ එ් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුනිල්වන් වූ කේශ ධාතූන් වහන්සේලා මෙන් ම ග‍්‍රීවා ධාතූන් වහන්සේ ද

වැඩවෙසෙන, දෙව් බඹුන් පවා වන්දනාමාන කරන මියුගුණ මහ සෑ රදුන් නො වේ ද.?

මම සලපතළ මළුවට පා තැබීමි. සලපතළ මළුව වැසි දියට තෙමී ඇත. එහෙත් මාගේ පයට වැස්සට පෙර එහි තිබූ උණුසුම යන්තමට දැනෙයි.

මාගේ දේශය පින් බිමක් කරනු පිණිස අප කෙරෙහි වූ අනන්ත කරුණාවෙන් මේ බිමට පළමු කොට දහසක් සක් ලකුණින් ශෝභමාන වූ එ් රන්වන් සිරිපා තැබූ බිම මෙතැන නො වේ ද? ස්වාමීනි, මට දැනෙන්නේ තවමත් ඔබ වහන්සේගේ උණුසුම දැනෙන බිමක මා ඉන්නා බවයි. මම දෙදණ නවා එ් සිරිපතුල් යුග සිපගත් පින් බිම මත නළල තබා දෑස පියාගත්තෙමි.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

වාරණ රජමහා විහාරය

ස්වභාවිකව ම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ අපූර්ව නිර්මාණයක් බව නො කියා බැරි ය.