පුංචි දුවේ/ පුතේ,

මතක ඇති කාලේ ඉඳලා කරපු හොඳ වැඩ ගැන අපට කියන්න කිව්වොත් පුංචි ඔයාලට කොච්චර දේවල් මතක් වේවි ද? අම්මට, තාත්තට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට වැඳපු හැටි… එ් අයගේ අවවාදවලට කීකරු වුණ හැටි… ලස්සනට මල් වට්ටි සකසාගෙන පන්සල් ගිය හැටි… මිහිරට හඬ නගා තෙරුවන් වන්දනා කළ හැටි… යහළු යෙහෙළියන්ට උදව් උපකාර කළ හැටි… ලේන්නු, බලූ පැටව්, ගිරව් වගේ සත්තුන්ට කන්න කෑම ටිකක් දුන්නු හැටි… වතුරෙ ගහගෙන ගියපු සත්තුන්ගෙ පණ බේරපු හැටි… පොහොය දවස්වල උපෝසථ සිල් සමාදන් වුණ හැටි… තව මොන තරම් දේවල් පුංචි ඔයාලට මතක් වෙයි ද?

දුවේ, පුතේ, ඔය විදිහට ඔයාලා මතක් කර ගන්න හැම කාරණාවක් ම මේ ලෝකයේ බිහි වුණු හොඳ ම, උත්තරීතර ම, උසස් ම, අග‍්‍රතම, ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය විසින් ප‍්‍රශංසා කරනු ලැබුවා. ඔයාලා දන්නවා නේ ද දුවේ පුතේ එ් කවුද කියලා… එ් තමයි ඔයාලටත්, අපිටත් යහපත – අයහපත ගැන, හොඳ – නරක ගැන, පින් – පව් ගැන කියා දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපි හැමෝටම කියා දුන්නේ, සියලූ අකුසලයන්ගෙන් ඈත් වෙලා කුසල් දහම් ම කරන්න’ කියලයි. ඉතින් දුවේ, පුතේ, ඔයාලා හොඳ, යහපත් කටයුත්තක යෙදෙන හැම වෙලාවක ම ඔයාලා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපදින එක.

අද අපි ඔයාලට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්න, සැපවත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වෙන පින් දහම්වලින් සතුටු වීම ගැන.

පුංචි ඔයාලා ගෙදර මල් පැළ, ගස් වර්ග හිටවලා ඇති. හිටවපු මුල් ම කාලෙ නම් දුවේ පුතේ නිතර නිතර හොයා බලන්නත් ඇති. හැමදාම වතුර දාලා, ගොම පොහොර – රොඩු පොහොර ළං කරලා, වල් පැළ ගලවලා දාන්නත් ඇති. සමහර විට සතෙක්ගෙන් හානියක් වෙයි කියලා පුංචි වැටක් එහෙමත් ගහන්න ඇති. ගහ හොඳට ලොකු වෙනකල් ම මේ විදිහට නිතර නිතර හොයා බැලූවා නම්, සත්කාර කළා නම් ටිකෙන් ටික ගහ ලොකු වෙනවා දැක ගන්නත් ඔයාලට පුළුවන්. මල් පිපෙන හැටි, ගෙඩි හැදෙන හැටි දැක ගන්නත් පුළුවන්. ඔයාලගේ අතින් හදපු ගහක වැලක හැදෙන මල බුදු පුදට ගන්නත් පුළුවන්. එ් ගහේ වැලේ හැදෙන පලතුර රස විඳින්නත් පුළුවන්. හැබැයි මේ හැමදේම කරන්න නම් දුවේ පුතේ එක ම එක දෙයක් කරන්න ම ඕනේ. එ් තමයි, නිතර නිතර හොයා බලන එක.

අපි එ් ගැන හොයා බැලූවේ නැති නම් වතුර නැතිකමින් එ් පැළය මැරෙන්නට පුළුවන්. සතෙකුගෙන් හරි හානියක් වෙන්න පුළුවන්. හොඳ නඩත්තුවක් නැති නිසා කේඬෑරි වෙලා යන්නත් පුළුවන්. අනෙක් ගස් කොළන්වලින් වැහිලා යන්නත් පුළුවන්. එහෙම වුණොත් අපට අපි අතින් හිටවපු දෙයින් හරිහමන් ප‍්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ.

පින කියන්නෙත් දුවේ පුතේ නිතර නිතර සිහි කරමින්, නිතර නිතර සොයා බලමින් වැඩි දියුණු කර ගත යුතු දෙයක්. පින් කරන එක හොඳයි. එ් පින ආයෙ ආයෙමත් කරන එක ගොඩක් හොඳයි. එ් පින ම උසස් ආකාරයෙන් කරන එක වඩාත් ම හොඳයි. එහෙම කරන්න නම් දුවේ පුතේ අපි නිතර නිතර කරපු පින මතක් කර ගන්න ඕනේ. එතකොට අපිට පිනෙන් සතුටු වෙන්න පුළුවන්. එ් පින වැඩි දියුණු කර ගන්නත් පුළුවන්. අපි පිනක් කර ගත්තට පස්සේ එ් ගැන මතක් නො කළා කියලා එයින් රැස් වුණ පුණ්‍ය විපාක අහිමි වෙන්නේ නැහැ තමයි. හැබැයි එ් පුණ්‍ය විපාක වැඩි දියුණු කර ගන්න ලැබුණ අවස්ථාව අහිමි වෙනවා. කාලයක් යනකොට එ් පින අපට අමතක වෙලා ගියොත් පින සිහි කරලා සතුටු වීමේ අවස්ථාවත් අහිමි වෙනවා. එ් නිසා ගහක්, පැළයක් රැුක ගන්නවාටත් වඩා පරිස්සමින් අපි පින් සිත රැුක ගන්න ඕනේ.

හොඳ දේවල් කළොත් තමයි දුවේ පුතේ හොඳ ප‍්‍රතිඵල ලැබෙන්නේ. ‘පින’ කියන්නේ තුන්ලෝකාග‍්‍ර සම්බුදුරජාණන් වහන්සේ පවා ‘උතුම්’ කියා පසසපු දෙයක්. එ් නිසා දුව, පුතා ජීවිතයේ උපද්දවා ගත්ත පින් සිත පිරිහෙන්න දෙන්න එපා. කරපු හොඳ නිතර නිතර මතක් කරන්න. වඩාත් උසස් ආකාරයෙන් එ් පින වැඩි දියුණු කර ගන්න. එහෙම කළොත් දුවේ පුතේ මෙලොවත්, පරලොවත් සතුට වීමේ භාග්‍යය දුවට, පුතාට හිමි වෙනවා.

පුංචි දුවලා, පුතාලත් නිරන්තරයෙන් පිනෙන් සතුටු වෙත්වා!

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

ටනූෂා නැන්දා