කැලණි නදියේ ජල තරඟ නගමින් මිටියාවත පිස එන මඳනල බෝධිරාජයාණන් වහන්සේගේ ළා දලූ සිලි සිලි හඬ නංවයි. ළා දලූ බෝපත් පිස එන මඳ පවනට මුසු වී සැදැහැවතුන්ගේ වන්දනා හඬ දෙසවන් පත් මත ගැටෙද්දී සිහින් ස්වරයෙන් වැයෙන මියුරු වීණා හඬක් ද එ් හා මුසුව ඇතැයි මට සිතේ.

මනහර නා මෙනවිය හිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙව කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟබඩ මඳ කලක් සිට

රාහුල හිමියන් සැළලිහිණියාට කිව් එ් කවි පද නිතැතින් ම සිහියට නැගෙයි. බුදු ගුණ ගී ගයන නා මෙනවියන් පියවි ඇසට නො පෙනුන ද අදත් ඔවුන් මේ පුද බිම වන්දනා කරන්නට එනවා නො අනුමාන ය.
මම කැලණි මහ සෑ රජාණන් අබියස වැලි මළුවේ නා ගස් සෙවණේ ගල් පඩියක් මත වාඩිවී බොහෝ වේලාවක් සෑ රදුන් වන්දනා කළෙමි. නෙත් බිමට යොමාගෙන සිටින මට පෙනෙන්නේ මහ සෑ මළුවේ ඇවිදින සැදැහැවතුන්ගේ පා සටහන් පමණි. වැලි තලය මත සලකුණු වන පා සටහන මොහොතකින් තවත් පා සටහනකින් මැකී යයි. එය ද ඊ ළඟ මොහොතේ අතීතයට එකතු වෙයි. මේ පියවර සටහන් ඔස්සේ වැලිතලය මත කිඳී ගිය සොඳුරු අතීතයක් කරා මසිත පියමනියි.

මේ බිම මෙතරම් පූජනීයත්වයට පත් වූයේ එදා මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් මෙහි වැඩම කොට වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා ම ය. උන්වහන්සේ දහසක් සක් ලකුණින් ශෝභමාන වූ රන්වන් සිරිපතුල් තබමින් මේ වැලිතලය මත වැඩම කරන්නට ඇත. එ් පසුපසින් නිකෙලෙස් හදවත් දරාගත් මහ රහතන් වහන්සේලා වැඩම කරන්නට ඇත. මීට නුදුරින් මහ සෑය ඇති තන්හි සාදන ලද මණ්ඩපය තුළ මිණි පළඟ මත වැඩ හිඳ බුදු සමිඳුන් දහම් දෙසන විට කුරවීක නාදයක් බඳු එ් හඬට සවන් යොමාගෙන රහතන් වහන්සේලා උන්වහන්සේ වට කොට වැඩහිඳින්නට ඇත. මණිඅක්ඛිත නා රජුන් ඇතුළු නා පිරිවර නළල බිම තබා වැද වැටෙද්දී ගුවන් තලය අතුරු සිදුරු නැතිව පිරී සිටි දෙව් බඹුන් දිව මදාරා මල් වැසි වස්සවමින් සාධුකාර දෙන්නට ඇත.

මා වැලිතලය දෙස බලාගෙන සම්බුදු සිරියෙන් ඇලළී ගිය එ් වෙසක් පුන් පොහෝ දිනයේ අසිරිය සිහි කරද්දී මා බලාපොරොත්තුවෙන් සිටි පා කමල් යුග මා අසලට ම වැඩම කොට සිටිති. මම හිස ඔසවා බැලීමි. මා ඉදිරියේ වැඩ සිටින්නේ මේ අතීත පුරාවෘත්තය දැනගන්නට සුදුසු ම ස්වාමීන් වහන්සේ ය. එ්, කැලණිය රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ ය. මම උන්වහන්සේගේ පා කමල් වන්දනා කොට මා මෙහි පැමිණි කාරණය සැල කර සිටියෙමි. උන්වහන්සේ නිහඬව ආපසු හැරී ආවාස ගෙය පැත්තට වඩින්නට වූහ. මම එ් පසුපසින් පියවර එසවීමි. ආවාස ගෙය අසල මිටි ගල් බැම්මක් ඇත. උන්වහන්සේ එ් මත අසුන්ගත්හ. මම එ් අසල බිමින් හිඳ ගත්තෙමි. උන්වහන්සේ කටහඬ අවදි කළහ.

‘‘බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා අට වෙනි අවුරුද්දෙ වෙසක් පුන් පෝය දවසෙ තමයි මේ බිමට මුලින් ම වැඩියේ….. මහත්තය අහල ඇතිනෙ මිණිපළෙඟ කතාව… ඔය මිණිපළඟ මුලින් ම අයිති වෙලා තිබුණෙ මහෝදර නාගරාජයාගේ පියාණන්ට. එතුමා මරණාසන්න වුණ වෙලාවේ මේ මිණිපළඟ පැවරුවා චූලෝදර නාගරාජයගෙ මෑණියන්ට. මේ හේතුවෙන් තමයි මේ මිණිපළෙඟ අයිතිය ගැන ගැටලූවක් ඇතිවුණේ මෙය විසඳගන්න තමයි මේ චූලෝදර මහෝදර දෙන්න යුද්ධයකට පැටළුනේ…. ඉතින් බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩල මේ ආරවුල සමථයකට පත් කොට වදාළා. දෙපිරිසට ම දහම් දේශනා කළා. පැහැදුන එ් නා පිරිස මේ මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ වෙලාවෙ තමයි මණිඅක්ඛිත කියන නා රජතුමා තමන්ගෙ වාසභවනය වන කැලණියටත් වඩින්න කියල බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ. මේ ආරාධනාව අනුව තමයි තථාගතයන් වහන්සේ කැලණියට වැඩම කොට වදාළෙ. එදා බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහතන් වහන්සේලාට වැඩ ඉන්න ලස්සන මණ්ඩපයක් හදල තිබුණා. එ් මැද තමයි එදා නාගදීපෙදි පූජා කොට වදාළ මිණිපළඟ පනවල තිබුණෙ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න. මේ පූජනීය වස්තු දෙක මැදිකරල තමයි ධාන්‍යාකාර හැඩයකින් යුක්තව අද කැලණි මහ සෑය ඉදිවෙලා තියෙන්නේ.”

‘‘ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි වෙලාවේ කැලණි ගෙඟන් පැන් පහසු වුණා කියල මම අහල තියෙනව.”

‘‘ඔව්.. උන්වහන්සේ ජල සාටිකාව හැඳගෙන කැලණි ගඟට බහිද්දි තමන් වහන්සෙ හැඳ පෙරවගෙන සිටි චීවරධාතුව තැන්පත් කළ ගල අදත් මේ මළුවෙ තියෙන පූජනීය වස්තුවක්. උන්වහන්සේ පැන් පහසු වෙද්දි අඳින ලද ජල සාටිකාව තැන්පත් කරල තමයි කැලණි ගෙඟන් එහා පැත්තෙ තියෙන එගොඩ කැලණිය වෙහෙර වහන්සේ බඳවල තියෙන්නේ.”

‘‘ස්වාමීන් වහන්ස එ් ගැන පුරාවිද්‍යාත්මක සාධක හමුවෙලා තියෙනව ද?”

‘‘මේ තියෙන්නේ…..”

මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ තම දකුණු අත දිගු කොට අප අසල ම සංරක්ෂණය කොට ඇති ශිලා ලිපිය පෙන්වා වදාළහ.

‘‘ස්වාමීන් වහන්ස කැලණිය කියන කොට අපට සිහිවෙන තවත් දෙයක් නේ ද මුහුද ගොඩ ගැලීම…”

‘‘එ්ක වුණේ දේව කෝපයක් නිසා. කැලණිතිස්ස රජතුමා නිරපරාදෙ රහතන් වහන්සෙනමක් ගැන සැක උපදවගෙන තෙල් කටාරමක දාල ජීවිතය නැති කරන්ට නියෝග කළානෙ. උන්වහන්සේ පිරිනිවන් පෑවා.
දෙවියො මේ ගැන කෝප වීම නිසයි මේ මුහුද ගොඩ ගැලීම සිදු වුණේ. සුනාමිය එනකල් අපේ බෞද්ධයො පවා හිතාගෙන හිටියෙ මේව නිකං කතන්දර විතරයි කියලනෙ. අද කාලෙත් සිල්වතුන්ට ගුණවතුන්ට නිග‍්‍රහ කරන අයට මෙවැනි දේව කෝපවලට ලක්වෙන්න වෙනව. එ්ත් අද මිනිස්සුන්ට එ්ව තේරුම් ගන්න තරම් නුවණ මදි.”

‘‘ස්වාමීන් වහන්ස, අද මේ පින් බිම වැඳ ගන්නට එන සැදැහැවතුන්ට කිවයුතු විශේෂ දෙයක් තියෙනව ද?”

‘‘මේ බිම සම්බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් වුණ පින් බිමක්. එ් වාගෙ ම මහ රහතන් වහන්සේලාගෙ පහසින් පාරිශුද්ධත්වයට පත් වුණ පුද බිමක්. ඉතින් මේ බිම අපිරිසිදු නොවෙන විදියට කටයුතු කරන්න නුවණ පාවිච්චි කරන්න ඕනෙ. මල් පූජා කිරීමෙන් පින් රැුස් වෙනවා. හැබැයි මල් නටු හැම තැන ම දාන්න හොඳ නෑ. සුවඳ දුම් පූජා කිරීම හොඳයි. එ්වයෙ දවටන හැම තැන ම දාන්න හොඳ නෑ. පහන් පූජා කිරීමත් හොදයි. එ්ත් පහන සුළඟින් නිවෙනවට එ්ක අරගෙන විහාර ගෙයි පැරණි කැටයම් අතරෙ තියන අය මම දැකල තියෙනව. දැක්ක ද? නුවණ පාවිච්චි නො කළොත් පින් රැුස් කර ගන්න අතරෙ නො දැනී ම අකුසල් සිද්ධ වෙන්නත් ඉඩ තියෙන බව. එ් වාගෙ ම හොඳට නුවණ පාවිච්චි කරල පින් කර ගන්න පිරිසුත් ඉන්නව. මේ ළඟදි තෙරුවන් සරණ ගිය තරුණ පිරිසක් ඇවිල්ල අවසර ඉල්ලූව මහ සෑ මළුවෙ තියෙන පරණ වැලි අයින් කරල හොඳ සිනිඳු අලූත් වැලි දාන්න. දැන් එ් සැදැහැවත් පිරිස ම සූදානම් වෙනව මේ චෛත්‍යරාජයාණන් වහන්සේ විතරක් නෙවෙයි, එගොඩ කැලණියෙ චෛත්‍යරාජයාණන් වහන්සේත් අලූතින් හුණු පිරියම් කරන්න. දැක්ක ද? නුවණ පාවිච්චි කළොත් පින් රැුස් කර ගන්න මොන තරම් අවස්ථා තියෙනව ද?”

‘‘මේ පින් බිම වැඩි දියුණු කරන්නට අප‍්‍රමාණ කැප කිරීම් කරමින් ඔබ වහන්සේ බොහෝ කාලයක් මේ බිමේ වැඩ ඉඳල තියෙනව. මේ අතරෙ ඔබ වහන්සේ දැක්ක අසිරිමත් සිදුවීම් හෙම තියෙනව ද?”

‘‘ඇයි නැත්තෙ, බොහොම දවස්වලට ? නවයට දහයට විතර මම මෙතෙනට ඇවිල්ල වාඩිවෙලා හුදෙකලාවේ මහ සෑය දිහා බලාගෙන ඉන්නව. එ් වෙලාවට දවල් තියෙන කලබලකාරී බව නෑ. පරිසරය හරි ම නිස්කලංකයි. ඉතින් එ් වගේ දවස්වල දෙවි දේවතාවුන් වහන්සේලා සෑය වඳින්න එන හැටි මම අනන්තවක් දැකල තියෙනව. අන්න අර පැත්තෙන් ලස්සන ආලෝක ධාරා ඇවිත් සෑය පැත්තට හෙමිහිට පාත් වෙනව.
සමහර දාට ? දහයට විතර ධාතූන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරය ඉමිහිරි සුවඳකින් පිරිල ඉතිරිලා යනවා. පළාත ම පුදුම සුවඳයි. එ්කට උපමා කරන්න සුවඳක් මේ මනුස්ස ලෝකෙ නෑ. ඔන්න එතකොට මම දන්නවා දැන් දෙවි දේවතාවුන් වහන්සේලා ධාතූන් වහන්සේලා වන්දනා කරන වෙලාවයි කියලා…”

උන්වහන්සේ සමග කථා කරන විට කාලය ගෙවී යනවා නො දැනෙයි එහෙත් උන්වහන්සේ වෙනත් වැඩකට වඩින්නට යද්දී මගේ ඉල්ලීම වෙනුවෙන් වහා ම වෙන් කර දුන් කාලය මීට වඩා දිගු නො කළ යුතු යැයි මට සිතුණි. මම කැලණිය රජමහා විහාරාධිපති කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේගේ පා කමල් වන්දනා කොට සමුගෙන උන්වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය වෙත පියමැන්නෙමි.
රන් පැහැයෙන් හාත්පස දිදුලන නේකවිධ කැටයමින් හා විසිතුරු පූජා භාණ්ඩයන්ගෙන් අලංකෘත වීදුරුවලින් කළ කුටීරයක සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ හිඳින රන් කරඬුව තැන්පත් කොට ඇත. ‘‘බුද්ධං… සරණං….. ගච්ඡුාමී…….” දඔදිව දී අසා හුරු පුරුදු ළයාන්විත බුදුගුණ ගීතාවලිය ඉතා සියුම් හඬින් ධාතු මන්දිරය පුරා නින්නාද දේ. සිත පුදුමාකාර නිරාමිස සතුටකින් පිරී ඇත. මම පසඟ පිහිටුවා එ් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළෙමි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ධාතූන් වහන්සේලා අබියස දී සිතට දැනෙන නිරාමිස සුවය මෙතරම් නම්, ඔබ වහන්සේ ජීවමානව මිණිපළඟ මත වැඩ හිඳ දහම් දෙසද්දී දැනුණ ලොව්තුරු සුවය මට යන්තම් සිතා ගත හැකි ය.

ධාතු මන්දිරයෙන් මා පිටතට පැමිණෙන විට හිරු කුමරා දවසේ මෙහෙය නිමා කොට බටහිර අහස රත්පැහැ ගන්වමින් සිතිජයෙහි සැඟවෙමින් සිටියි. සඳ කොමලිය තරු පිරිවර සමග මේ කල්‍යාණි නදී තීරයට දෙව් බඹුන් වඩින තවත් සොඳුරු නිශාවකට මුල පුරයි. මම සෙමින් සෙමින් විහාර ගෙය දෙසට පියමැන්නෙමි.

විහාර ගෙයි බිත්ති පුරා බුද්ධ චරිතයේ විසිතුරු අවස්ථා අපගේ පිනට පහළ වූ සෝලියස් මැන්දිස් නම් වූ අපූරු කලාකරුවාණන්ගේ තෙලිතුඩගින් මනහර ලෙස සිතුවම් වී ඇත. දකුණු පසින් තිබෙන්නේ මණිඅක්ඛිත
නා රජුන්ගේ පිළිරුවකි. එ් පිළිරුව අසලින් ඇතුළු විහාර ගෙට පිවිසුන කල අලංකාර සැතපෙන පිළිම වහන්සේනමක් වැඩ හිඳිති. රන් පැහැයෙන් යුතු දැවැන්ත සැතපෙන පිළිම වහන්සේ වන්දනා කළ මම රන් පිළිම ගෙයට ඇතුල් වීමි.

සුදෝ සුදු පැහැයෙන් යුත් හිමෙන් වැසුනු හිමවත් පව්ව පාමුල රන් පැහැය විහිදුවමින් සම්බුදු සමිඳුන් හිමවත් පව්ව සේ නො සැලී වැඩ හිඳිති. රාග, ද්වේෂ, මෝහ නම් වූ සිත දවන සියලූ කෙලෙසුන් මුලිනුපුටා දැමූ එ් සම්බුදු සිත හිමවත් පව්ව සේ ම සිහිලැල් ය. රන් පිළිම වහන්සේ පා මුල මල් ආසනය මත මා රැගෙන ආ නිල් මානෙල් මල් එකින් එක තබමින් පූජා කර කළෙමි. වයසක අම්මා කෙනෙක් මල් නොමැතිව පැමිණ දොහොත් මුදුන් දී එ් පිළිම වහන්සේ පාමුල මුළුමනින් ම දිගාවී වන්දනා කළා ය. මා අත ඇත්තේ තව එක ම එක මලකි. මම එ් මල එ් සැදැහැවත් අම්මාගේ අතේ තැබීමි. මහත් සතුටින් එ් මල මල් ආසනය මත තබා පූජා කළ එ් අම්මා නැවතත් පෙර සේ ම දිග ඇදී බුදු සමිඳුන් වන්දනා කළා ය. මල් රැගෙන ආවත්, මල් නැතිව ආවත් එ් හැම වෙත එක ම කරුණාව පිරුණ සීතල හද මඬලක් දරා වැඩ සිටි මහෝත්තමයාණන් වහන්ස, මා විසින් රැස් කළ මේ සියලූ පුණ්‍ය ධර්මයන්, සීත නිවන් සුව පිණිස ම හේතු වේවා…!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ