පෑන් පැන්සල්, පොත් පත් අතට ගන්න ඕන වයසේ පුංචි දරුවනුත් අන්තගාමී මිනිසුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවි ඔසවන අවස්ථා ලෝකයේ නන් දෙසින් අහන්නට ලැබෙනවා. එ්ත් උපාධි අපේක්ෂක යොවුන් පිරිස් ගිනි අවි අත දරාගෙන සරසවි භූමියට පිවිසෙන දවසක් ළඟ ම එළඹෙන බව කියැවෙන පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන් විතරයි. ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පාලකයන් විසින් සම්මත කර ගන්නට යෙදුණ පනත් කෙටුම්පත් දෙකක් හරහා තමයි ඉනේ හෝ උරහිසේ රුවාගෙන අවසර ලත් ගිනි අවි සරසවියට ගෙන එන්නට අවකාශ සලසලා තියෙන්නේ.

උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන සිසුන්ට මොකට ද ගිනි අවි ? උජාරුව පෙන්වන ආභරණයක් වගේ ගිනි අවි පැලඳගෙන සරසවියේ එ් මේ අත යන මේ එක පුද්ගලයෙකුට හරි එ් අවියක් භාවිත කරලා තවත් කෙනෙකුට ජීවිත තර්ජනයක් සිදු කරන අවස්ථාවක් උදා වෙන්න බැරි ද?

යුද්ධය අපරාධයක් කියා නො කියන, නමුත් යුද අපරාධ ගැන කොමිෂන් සභා පිහිටුවමින් සොයා බලන… මානූෂීය කාරණාවන් නො සොයන, නමුත් මානව හිමිකම් ගැන ජාත්‍යන්තර වේදිකාවල හඬ නගන ක‍්‍රියාකාරීන් මේවට නිහඬ ඇයි?

ඇමෙරිකාවේ ජීවත් වීමට වඩාත් සුදුසු, ආරක්ෂාකාරී ම නගරය ලෙස හැඳින්වුනේ නිව් ටවුන් නගරය. 2012 වර්ෂයේ දෙසැම්බරයේ දී නිව් ටවුන්හි පාසලකට කඩා වැදුනු ඇඩම් ලන්සා නම් විසි හැවිරිදි තරුණයා පාසල් ළමුන් විසි දෙනෙක් හා කාර්යමණ්ඩලයේ හය දෙනෙක් වෙඩි තබා ඝාතනය කර සිය දිවි නසා ගත්තා. එ් ඛේදවාචකයට තුන් වසරක් පිරීමටත් මත්තෙන් සරසවි තුළටත් ගිනි අවි ගෙනෙන්න ඔන්න ඇමෙරිකානු නීතියෙන් ම පාර හැදිලා.

පිරිහී යන ලෝකයට මෘග සංඥව පහළ වන කාලයේ දී අවි ආයුධ ඉබේ අත්වලට ලැබෙනවා කියලා බුදු නෙතින් දුටු අනාගත ලෝකය ද
මේ අප හමුවේ නීතිගත වෙන්නේ??? පිරිහෙන ලෝකයේ නො පිරිහෙන කෙනෙක් වීම ම යි නේ ද වටින්නේ…