සමකාසන්න රටක් වුණ නිසා අප ඇටමිදුළු ගල් ගැසෙන සීතලකට මුහුණ දෙන්නේ නැහැ.

ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවලට අයිති එ් අධික සීතලෙන් අප පීඩා නොවින්දට උෂ්ණ කාලගුණය නම් අපට පීඩාවන් ඇති කරවනවා. මේ දිනවල දහවල් කාලය වගේ ම රාත‍්‍රි කාලයත් එක සේ ම උණුසුම්. අපේ රටෙත් බොහෝ ප‍්‍රදේශවල නින්දේ දී පවා දහඩිය ගලන තරමේ දාහයක් දැනෙනවා. හැබැයි අපට දැනෙන මේ උණුසුම දහඩිය ගැලීමකින්, ජල හිඟයකින්, වගා හානියකින් එපිට දරුණු ඛේදවාචක මෙතෙක් නම් ඇති කොට නැහැ. අප මුහුණ නො දුන්න එ් ඛේදනීය ඉරණමට අපේ අසල්වැසි පාකිස්ථානය මුහුණ දෙමින් සිටිනවා. පසුගිය කාලය තුළ කරච්චි නගරයේ පමණක් අධික උෂ්ණත්වය නිසා දහසකට අධික පාකිස්ථානුවන් පිරිසක් මරණයට පත් වුණා.

සිතන්න… කිලෝමීටර් ගණනකින් එහා මෙහා වීමෙන් අප දාහයෙන් පරිපීඩිත වද්දී ඔවුන් දාහයෙන් මියැදෙනවා. මොකක්ද ලෝකය මුහුණ දෙන මේ අභාග්‍ය සම්පන්න ඉරණම? මේ තමයි ‘ඉපදීමේ දුක’. සිහි කරන්න එ් තථාගත මුනි දහම. ‘ජාති’පි දුක්ඛා’. මේ ඉපදීම දුකක්. ගත දවන උණුසුමින් පීඩා ලබන කොට අපට සිහිපත් කරන්නට හැකි නම්, ‘මේ තමයි අප‍්‍රිය අමනාප දේ සමග එක් වන්නට වීමේ දුක’ කියා, එවිට අපට සිසිල් පවන් රොදකින් ගත නිවා ගැනීමෙන් පමණක් නො නැවතී සසර ගිම් නිවාලන අමා දියවරින් සැනසෙන්නටත් මහත් වූ කැමැත්තක් උපදවා ගන්නට හැකියි.

සිතන්න… කුමකින් ද මේ අප‍්‍රිය අමනාප දේ හා එක් වීමේ දුක ඇති වුණේ? ඉපදීම නිසයි… ඉපදුණේ විපාක පිණිස කර්ම සකස් වුණ නිසයි. විපාක පිණිස කර්ම සකස් වුණේ උපාදාන නිසයි. උපාදාන ඇති වුණේ තණ්හාව නිසයි. තණ්හාව ඇති වුණේ  විඳීම් නිසයි. විඳීම් ඇති වුණේ ස්පර්ශය නිසයි. ස්පර්ශය ඇති වුණේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන හය නිසයි. එ් ආයතන හය ඇති වුණේ නාම රූප නිසයි. නාම රූප ඇති වුණේ විඤ්ඤණය නිසයි. විඤ්ඤණය ඇති වුණේ සංස්කාර නිසයි. සංස්කාර ඇති වුණේ අවිද්‍යාව නිසයි.
අවිද්‍යාව නැති විට සංස්කාර නැහැ. සංස්කාර නැති විට විඤ්ඤණය නැහැ. විඤ්ඤාණය නැති විට නාම රූප නැහැ. නාම රූප නැති විට ආයතන හය හට ගන්නේ නැහැ. ආයතන හය නැති විට ස්පර්ශය නැහැ. ස්පර්ශය නැති විට විඳීම් නැහැ. විඳීම් නැති විට තණ්හාව නැහැ. තණ්හාව නැති විට උපදාන නැහැ. උපාදාන නැති විට විපාක පිණිස කර්ම සකස් වන්නේ නැහැ. එවිට ඉපදීමක් නැහැ. ඉපදීම නැති විට කිසිදු දුකක් නැහැ. මේ තමයි එදා බෝධි මූලයේ දී සම්බුදුරජාණන් වහන්සේ ලක්ෂ කෝටි වාර ගණනින් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් සිහිපත් කරන්නට යෙදුණ පටිච්චසමුප්පාද ධර්මය. අහස ඉර හඳ පොළව රත් වී දැවී යන මොහොතක වුණත් අපට හැකි නම් මේ දහම ම සිහි කරන්න, යම් දිනෙක සියලූ දුකින් නිදහස් වන්නට එය ම අපට උපකාරයක් වේවි…