වැරදීම් සිදු වන එක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. වැරදුන දෙයින් පාඩම් ඉගෙන ගනිමින් තමයි අප නො වරදින ස්වභාවයන් උපදවා ගන්නට උත්සාහ කරන්නේ. හැබැයි එක ම වරද දෙවරක් කෙරෙනවා නම් එහි අර්ථය වන්නේ පළමු අවස්ථාවේ දී වූ වරද නිවැරදි කර ගන්නට උත්සාහයක් කෙරී නැති බව. පළමු වරට කෙරෙන වරද සමාව ලැබිය යුතු වුවත් දෙවැනි වරට ද එම වරද ම කෙරෙනවා නම් එයට හිමි විය යුතු වන්නේ දඬුවමක්. ලෝක ඉතිහාසයේ ඛේදවාචකයක් සනිටුහන් කරපු, අතිශය දරුණු වරදක් ලෙසින් ලෝකයෙන් නිග‍්‍රහ ලබපු සිදුවීමක් යළිත් සිදු වීමේ ඉඩකඩක් විවෘත කරන්නට පසුගිය කාලයේ දී ජපානය උත්සාහ දැරුවා. වඩාත් ම සංවේගජනක කාරණය වන්නේ අතීතයේ සිදු වූ එ් වරදින් අප‍්‍රමාණ දුක්ඛ පීඩාවන්ට පාත‍්‍ර වූයේ ද ජපානය වීම යි.

දිනය 1945 වර්ෂයේ අගෝස්තු 06 වනදා. දෙවන ලෝක යුද්ධයේ අමානුෂික ම මතකය ඉතිරි කරවමින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර ද්විත්වය ඇමෙරිකානු පරමාණු බෝම්බ ප‍්‍රහාරයට ලක් වුණේ එ් දවසේ. එ් ප‍්‍රහාරයේ අහිතකර සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ප‍්‍රතිඵල අදටත් ජපානය විසින් විඳ දරා ගන්නවා. එසේ තිබියදීත් පසුගිය දිනෙක ජපානය උත්සාහ කළේ අන් රටවල් අතර සිදු වන යුද්ධයකට තමන්ට මැදිහත් විය හැකි ය යන කාරණය නීතිගත කරවන්නටයි. ඉදිරිපත් වූ පනත් කෙටුම්පත අනුව මිත‍්‍ර රටවල යුද්ධ ඇති වුණහොත් එයට මැදිහත් වීමට ජපාන යුද හමුදාවන් යැවීමට හැකියි. එ් මැදිහත් වීමේ එක් කෙළවරක තිබිය හැක්කේ ම්ලේච්ඡ ජන සංහාරයක් බව; ඔවුන් වසර හැත්තෑවකට පෙර මුහුණ පෑ ආකාරයේ දරුණු ඛේදවාචකයක් බව ඔවුන්ට අමතක වෙලා. පාලකයන්ට එය අමතක වුණත් ඉතිහාසය අමතක නැති ජපාන වැසියන් අති බහුතරයක් මේ කෙටුම්පතට තම විරෝධය පළ කළා.

2009 වසරට එපිට අපේ ඉතිහාසය මතක් කළොත්, ත‍්‍රස්තවාදයේ වෙස් ගත්ත මරණ බිය අපව වට කරගෙන නිතර දෙවේලේ පීඩාවන් ඇති කළ හැටි සිහිපත් වෙනවා. මේ රටේ එවැනි ම යුද්ධයක් ආයෙමත් ඇති වනවාට අපි කවුරුවත් ම කැමති නැහැ. යම් කලෙක මේ ඉතිහාසය ශ්‍රී ලාංකිකයන්ටත් අමතක වුණහොත් ජපානය අද කරන දේ ම හෙට ශ්‍රී ලංකාව සිදු කරාවි. එ් තත්ත්වෙට ඇද නො වැටෙන්න නම් පුරුදු කළ යුතු ගුණධර්මයක් තිබෙනවා. ජීවිත නසන යුද්ධයකට ආ වඩන ලෝකයක අපට මේ ගුණධර්මය අනුව ම කටයුතු කරන්නට හැකි නම් අප තමයි ලෝකයට අවෛරය දන් දෙන්නේ, අභය දන් දෙන්නේ. සැබෑ ආර්යයෙක් වෙන්න කැමති නම් මෙන්න කළ යුතු දේ.

‘‘සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤ්චි පාපමාගමා”

‘‘සියලූ සත්වයෝ ද ප‍්‍රාණීන් සියලූ දෙනා ද
ඉපදී සිටින්නා වූ සියලූ ම සත්වයෝ ද
එ් හැම දෙනෙක් ම යහපත ම දකිත්වා
කිසිම කෙනෙක් වෙත නපුරක් නො පැමිණේවා!!!”

මේ අයුරින් භාවිත මෙත් සිතින් ලෝකය දකින්නට හැකි නම් එය මුළුමහත් ලෝකයට ම මහත් වූ සෙත් ශාන්තියක්. අපමණ රැකවරණයක්…!