පින්වතුනේ, පින්වත් දරුවනේ,

කුසල් දහම් උපදවා ගැනීමේ දී ප‍්‍රමාද වෙන්න එපා. අපි ටික ටික නමුත් කුසල් උපදවා ගන්න මහන්සි ගන්න ඕන. මොකද, කුසල් උපදවා ගන්න ප‍්‍රමාදවීම තමයි අකුසල් වැඩෙන්න උපකාර වෙන්නේ. එ් නිසා ප‍්‍රමාද නො වී අඩුම තරමේ කුසල් වැඩීම පිණිස සිතක්වත් උපදවා ගන්න මහන්සි වෙන්න.

අපි කියමු මෙහෙම. ඔන්න ගුණවත් කෙනෙකුට කවුරු හරි කෙනෙක් අපහාස කරනවා. එයාගේ ගුණ මකනවා. එතකොට එයා ‘මම නම් ගුණමකු නො වී ඉන්න ඕන’ කියලා හිතක් උපදවාගෙන ඉන්න ඕන. එ් වගේ ම අපි ඉස්සරහා කවුරු හරි කෙනෙක් තව කෙනෙකුගේ ගුණ මකනවා. එ් වෙලාවට අපි එ්කට හූමිටි තියෙන්නේ නැතුව එයාගේ ගුණ හිතන්න ඕන. එ්ක අපිත් එ් ගොඩට ම නො වැටෙන්න, අපේ හිත රැකෙන්න උපකාරී වෙනවා. මොකද, අපි කුසලයක් උපදවාගෙන තියෙනවා. සිතක් උපදවාගෙන තියෙනවා. අපි එ් විදිහට සිතක් උපදවා ගත්තේ නැත්නම් එතැන දී ප‍්‍රමාද වෙලා අරකට හූමිටි තියෙන්න පුළුවන්. එ් අහක යන කුණු ගොඩවල්නේ. මේවා ඕනතරම් වෙන්න පුළුවන්. හැබැයි එ්කෙන් පස්සේ පසුතැවිලි වෙන්න වෙන්නේ තමන්ට.

එ් නිසා මේක හොඳට ම තේරුම් ගන්න. සමහර විට පාපමිත‍්‍ර ආශ‍්‍රයෙන් කෙනෙකුට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එයින් බේරෙන්න නම් එයා පාප මිත‍්‍රයන් අත්හරින්න ඕන. එහෙම හැකියාවක් අපි ඇතිකර ගන්න ඕන. එහෙම ඇතිකර ගත්තොත් තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබාගන්න පුළුවන් වෙන්නේ.

අපට ලැබුණු මේ මිනිස් ජීවිතය තුළ සමහර විට අපේ මේ ඥානය පුංචි එකක් වෙන්න පුළුවන්. හැබැයි, පුංචි ඥානයෙන් වුණත් යම්කිසි පිහිටක් ඇතිකර ගන්න පුළුවන්. දෝෂය පුංචි වුණත් සමහර විට එ් දෝෂය විශාල අනතුරක් කරන්න පුළුවන්. එ් කියන්නේ ලොකු නැවක් ගිල්වන්න පුංචි සිදුරකට පුළුවන්නේ. එ් වගේ ම අපේ ජීවිතවල ඇතිකර ගන්නා වූ පොඩි දුර්වලකමක් අපිට විශාල අයහපතක් ළඟාකර දෙන්න පුළුවනි.

සමහර විට කෙනෙක් තව කෙනෙකුගේ ඇද කුද කතා කරනවා. අපිත් එ් වෙලාවට කන හේත්තු කරගෙන ‘‘ආ… එහෙම ද…? ඇත්ත ද? මං මීට කලින් දන්නේ නෑනේ…” කියලා අහක යන සිදුරු තමන් ඇදලා ගන්නවා. මෙහෙම දේවල් වෙනවානේ. කිසි දවසක එහෙම කරන්න එපා. එ් නිසා හොඳට මතක තියාගන්න ඕන, අපි මේ ධර්මය ඉගෙන ගැනීමේ දී ධර්මය විතරක් ඉගෙන ගන්න දක්ෂ වෙන්න ඕන. ධර්මය ඉගෙන ගන්න දක්ෂ වුණොත් විතරයි එයාගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ. නැත්නම් ධර්මය ඉගෙන ගන්න ආවට වෙන සිද්ධියක් නිසා ඔබේ අරමුණ වෙනස් වෙන්න පුළුවන්.

අපි මෙහෙම කියමු. ඔන්න ඔබ ගොඩක් දුර ඉඳලා මහන්සි වෙලා පාන්දර දෙකට තුනට නැගිටලා අමාරුවෙන් මෙහෙ එනකොට ඔන්න මඟ දී යාළුවෙක් හමුවෙනවා. එයත් ඔන්න මෙහේ ඇවිත් ගාණට එකතුවෙනවා. ඊට පස්සේ මහා කුණුගොඩවල් කියනවා. දැන් වැඩසටහන ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ ඔළුවේ තියෙන්නේ අරයා කියපු ටික. එහෙම වෙන්න පුළුවන්නේ. මේවා හරි අනතුරුදායකයි. මේ දේවල් මනුෂ්‍යයන්ට ඕනතරම් වෙන්න පුළුවන්.

එ් නිසා අපි හොඳ සිහියෙන් ඉන්න ඕන. තමන් එන්නේ එ්කට නෙවෙයි. තමන් එන්නේ ධර්මය අහන්නයි. තමන් එන්නේ ධර්මය අහලා ධර්මය ඉගෙන ගන්නයි. එ් ධර්මය දේශනා කළේ එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. එ් දේශනා කළා වූ ධර්මය තමන්ගේ හිතේ පිහිටුවාගෙන තමන් එ්ක ඇතිකර ගන්න ඕන. තමන් දැනගන්න ඕන, තමන්ගේ ජීවිතයට ධර්මය තුළින් පිළිසරණ හදාගන්න. එ් කියන්නේ ඔන්න තමන්ගේ ජීවිතයට ප‍්‍රශ්නයක් තමන්ගේ ජීවිතයට අනතුරක් වුණොත් තමන්ට පිහිට වෙන්න කවුරුවත් නෑ. එ්ක හොඳට මතක තියාගන්න. ධර්මය අහන්න ගිහිල්ලා ධර්මය ගත්තේ නැතුව වෙන එ්වා අරගෙන නො මඟ ගියොත්, එ් කියන්නේ කාගේ හරි බසකට තමන්ගේ ශ‍්‍රද්ධාව නැතිකර ගත්තොත් කවුරුවත් උපදවා දෙන්නේ නෑ. මොකද, ශ‍්‍රද්ධාවක් උපදවා ගැනීම හරි අමාරු වැඩක්.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!