පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ එක් තැනක දේශනා කරලා තියෙනවා ‘ස්ත‍්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, ගිහි වුණත්, පැවිද්දෙක් වුණත් නිතර නිතර කල්පනා කළ යුතු දේවල් අතර එකක් තමයි අපි මරණයට පත්වෙනවා. මරණය ඉක්මවා ගියපු අය නෙමෙයි කියන එක. ඒ නිසා මැරෙන්න එපා… කියන කරුණ අපට ලබන්න බෑ.

ඊළඟ එක තමයි ‘නැසී, වැනසී යන දේවල් නැසී වැනසී යන්න එපා…’ කියන කරුණ අපට ලබන්න බෑ.

‘ජරාවට පත්වෙන දේවල් ජරාවට පත්වෙන්න එපා…’ කියලා ලබන්න බෑ.

‘හොඳ වේවා, නරක වේවා, යම් කර්මයක් සිද්ධවෙනවද ඒක විපාක දෙන්න එපා…’ කියන කරුණ අපට ලබන්න බෑ.

මේ කාරණා නිතර නිතර හිතන්න කියනවා. ඒ කෙරෙහි අපි නොසිතා හිටියොත් තමයි නොමග යන්න තියෙන්නේ. ඒවා නිතර නිතර හිතනවා නම් තමයි ඒ කෙනා ප‍්‍රඥාවන්ත කෙනෙක් වශයෙන් තමන්ගේ ජීවිතේ ගැන නුවණින් සලක සලකා, නුවණින් කල්පනා කර කර, නුවණින් විමස විමසා දියුණු කරගන්නේ. ඒක අපේ ජීවිතේට විශාල ලාභයක්. ඉතින් එහෙම කෙනා හැම තිස්සෙම ප‍්‍රඥාවෙන් තමයි කල්පනා කරන්නේ. නුවණින් තමයි කල්පනා කරන්නේ ජීවිතය ගැන.

චුට්ටක් හිතලා බලන්න… අපි මේ ගතකරන ජීවිතය ගැන. අපි සංසාරේ කොයිතරම් ජීවිත ලබපු අයද? අපට සංසාරේ කෙළවරක් නැතිව මේ වගේ ජීවිත හම්බ වෙලා තියෙනවා. සත්තු අතරේ ඉඳලා තියෙනවා කෙළවරක් නැතුව. ජලයේ ඉපදිලා තියෙනවා කෙළවරක් නැති ජීවිතවල. දෙවියන් අතර, බඹුන් අතර කලාතුරකින් අපි ගිහිල්ලා ඇති.

ඒ නිසා අපි කෙළවරක් නැති ගමනක ගමන් කරමින් හිටපු ජනතාවක්. අපි හැමතිස්සේම හිරවෙලා හිටියේ ඇසට, කණට, නාසයට, දිවට, ශරීරයට, මනසට. මේකෙන් අපට ගැළවෙන්න බැරිවුණා තාමත්. මේ ගැන අපි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්නට පටන් ගන්න දවසට, නුවණින් විමස විමස යනකොට අපිට ඡායාමාත‍්‍රව යාන්තම් තේරුම් ගැනීමක් ඇතිවෙන්න පුළුවන් ‘හැබෑව නේන්නම්.. මේවා අනිත්‍යයි’ කියලා.

අපිට කොච්චරවත් මේ ලෝකයේ මිනිස්සු මැරෙනවා පේනවා. වයසට යනවා පේනවා. ලෙඩ වෙනවා පේනවා. ඒ වුණාට අපට ‘මේවා අනිත්‍යයි’ කියන එක නුවණින් විමස විමසා බලන තුරු හිතට වදින්නේ නෑ. හිතට කාවදින්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක් විඳලා අවබෝධ කරන එකක් නෙමෙයි. ධර්මය තියෙන්නේ දුක් විඳීම තුළ නෙමෙයි. මේ ධර්මය තියෙන්නේ ප‍්‍රඥාව දියුණු කිරීම මත මිසක්, දුක් විඳීම මත නෙමෙයි. දැන් බලන්න මේ ධර්මය කොච්චර පැහැදිලිද කියලා? බුද්ධ කාලයේදී බොහෝ දෙනෙක් හිතුවේ මේ ධර්මය තියෙන්නේ කුමක් මත කියලද? දුක් විඳීම මත කියලා. ඒ නිසා ගිහි ජීවිතේ අත්හැරපු අය කෙළින්ම පෙළඹුණේ මොකේටද? අත්තකිලමථානුයෝගයට. දුක් විඳලයි මේකෙන් බේරෙන්න තියෙන්නේ කියලා, නොකා නොබී හිටියා. කටු සයනවල සැතපී හිටියා. තනි කකුලෙන් හිටගෙන හිටියා. ඊළඟට තනි කකුලෙන් හිටගෙන හුලං බිබී හිටියා. සමහරු අසූචි කෑවා දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන. සමහරු ගොම කෑවා දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන. හම් තම්බලා බිව්වා, ආහාරවලින් පිරිසිදු වෙයි කියලා හිතාගෙන. සමහරු ගස්වල මුල්, කොළ ආදිය කෑවා දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන. එක එක දුෂ්කර ව‍්‍රතවල යෙදෙන්න පටන් ගත්තා.

‘ප‍්‍රඥාව දියුණුකිරීම මත මේක තියෙන්නේ.’ කියලා ලෝකයේ කවුරුත් දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කියාදෙන තුරු. උන්වහන්සේ කියලා දුන්න ඒ ප‍්‍රඥාව නිකම්ම එකක් නෙමෙයි. ජීවිතේ අවබෝධය ඇති කරවන, හේතුඵල දහම මනාකොට පෙන්වා දෙන, ආර්ය සත්‍ය මතුකරලා දෙන ප‍්‍රඥාවක්. ඒ ප‍්‍රඥා සම්පන්න, දිට්ඨි සම්පන්න ශ‍්‍රාවකයා තමයි අවබෝධ කරගන්නේ, ‘හේතුඵල දහමකින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ’ කියලා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !