අපි ජීවිත කාලය පුරා කොතෙකුත් ගමන් ගොස් ඇත්තෙමු. ඇතැම් ගමන් චාරිකා හෝ සංචාර ය. ඇතැම් ගමන් වන්දනා ගමන් ය. එහෙත් මේ සෑම ගමනකට ම වඩා වඩා වෙනස් වූ සොඳුරු අත්දැකීමක පහස ලැබීමට දිව්‍යරාජයාණන් වහන්සේනමක් මුල් වී අපට අවස්ථාව සලසා දී ඇත. එ් සිරිපා කරුණාව යි.

බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ලංකා ගමනේ දී ම බණ අසා සෝවාන් වූ සුමන සමන් දෙව් සමිඳුන්ට එදා පූජනීය වස්තුවක් විදියට කේශ ධාතූන් වහන්සේලා ලැබුණත් තවත් උතුම් බලාපොරොත්තුවක් තිබුණා. එ් තමයි දහසක් සක් ලකුණින් ශෝභමාන වූ සිරිපා සටහනක් මේ හෙළ දෙරණ මත පිහිටුවා ගැනීමට. හැබැයි එ් පැතුම ඉටුවුණේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර කැලණියට වැඩි අවස්ථාවෙදියි. කැලණියේ මිණි පළඟ මත වැඩ හිඳ කළ දම් දෙසුම අවසානයේ බුදුරජාණන් වහන්සේ සමන් දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන අහසට පැන නැගලා සමන් දෙවියන්ගේ අඩවියේ, සුමන කූට පර්වත මස්තකයේ ඉඳුනිල් මාණික්‍යයක් මත තම වම් සිරිපා සටහන පිහිටුවා මේ බිම තව තවත් පූජනීය කොට වදාළා.

කොතරම් වැන්දත් ඇති නොවෙන එ් සිරිපා පියුම් මත නළල තබා වන්දනා කර ගැනීම සෑම බොදුනුවකුගේ ම සිහිනයක්. අතීතයේ පටන් සිරිපා කරුණාවත් එක්ක බැඳුනු සම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් වාගෙ ම භාවිත වෙන වචන පවා වෙනස්. එ් වෙනස හරි හැටි තේරුම් ගත්තොත් සිත කය වචනය සංවර කරගෙන බොහෝ පින් රැස් කර ගන්නත් අවස්ථාව උදා වෙනව.

සිරිපා කරුණා කරන්න කලින් එ් වෙනුවෙන් පේ වෙනව. එ් කියන්නෙ පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනව. කය වචනයෙන් වෙන අකුසල්වලින් දුරුවෙලා අභ්‍යන්තරිකව කය පිරිසිදු කර ගන්නව. සිරිපා අඩවියට ඇතුළු වුණහම පැන් පහසු වෙලා පිරුවට ඇඳගෙන බාහිරවත් පිරිසිදු වෙනව. ඊ ළඟට වචනය තවත් සංවර කර ගන්නව. විහිළු තහලූ කරන්නෙ, හිස් කතා කියන්නෙ නෑ. ඊ ළඟට පුරාණ තුන්සරණේ හරි, හිමගත වර්ණනාවෙ හරි කවි කියමින් තමයි කරුණා කරන්නේ. එතකොට තෙරුවන් ගුණ මෙනෙහි වෙනව. සිතත් පිරිසිදු වෙනව.

මේ ගමනට පිළියෙල කර ගන්න ගමන් මල්ලට කියන්නෙ සැහැල්ලූව කියලා. ටිකක් බර වුණත් එ්ක සැහැල්ලූව. එතකොට පහසුවක් දැනෙනව. මුල් වතාවට සිරිපා වඳින්න යන අයට කියන්නේ කෝඩු කියලයි. එ් අය පුංචි දරුවො නම් කිරි කෝඩු කියනවා. එතකොට එ් අය විශේෂ වෙනවා. වඩාත් සංවර වෙනවා.

මමත් සිරිපා වන්දනා කරලා තිබුණෙ එක ම එක වතාවයි. එ් මීට අවුරුදු පහළොවකට විතර කලින්. ගුණ වශයෙන් තෙරුවන් හඳුනාගෙන නො සිටි යුගයක. භාග්‍යවතුන් වහන්සේගේ මහා ගුණ කඳ එකින් එක දැන ගනිද්දි, උන්වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණු ගැන ශ‍්‍රද්ධාවෙන් ඉගෙන ගනිද්දි අප කෙරෙහි අනුකම්පාවෙන් පිහිටුවාලූ එ් වම් සිරිපා පද්මය සිත් සේ වන්දනා කර ගන්නට පුදුම ආශාවක් හිතේ ඉපදුණා.
ඔන්න පුර පෝය ආසන්නයේ මැදින් මාසෙ අවසාන භාගයේ එක් දවසක අපේ කිරි කෝඩු දෙකත් එක්කගෙන ම එ් පුණ්‍ය චාරිකාව පිටත් වෙන්න අපිට වාසනාව උදා වුණා. ගම්පහ උඩුගම්පලින් ගමන් ආරම්භ කළ අපි රුවන්වැල්ල යටියන්තොට කිතුල්ගල පහුකරල ගිනිගත්හේනට එන විට රාත‍්‍රී නවයට විතර ඇති.

ගිනිගත්හේන පසු කොට ටික දුරක් යද්දි නෝවුඞ් හරහා නල්ලතන්නියට වැටී ඇති මාර්ගය හමුවෙනව. සිරිපා කරුණාව සඳහා අපි තෝරා ගත් මේ මාර්ගයට අමතරව තවත් ප‍්‍රධාන මාර්ග තුනක් තියෙනව. එ් තමයි පළාබද්දල හරහා යන රත්නපුර මාර්ගයත්. එරත්න හරහා එයට එකතු වන කුරුවිට මාර්ගයත්. මේවාට අමතරව එතරම් ප‍්‍රකට නැති තවත් මාර්ග තුනක් ගැන සඳහන් වෙනවා.

කොහොම වුණත් එක ම ගිරි මුදුනකට යන මෙතරම් මාර්ග ගණනක් තුළින් කියාපාන්නේ වසර ගණනාවක් තිස්සේ සතර දිගින් කොතරම් පිරිසක් සිරිපා පියුම් වැඳ ගන්නට ඇවිදින් තියෙනවා ද කියන එකයි. අතරමං වුණ ලෝ සත හට සසර කතරින් එතෙර වන්නට මග පෙන්වාලමින් නිවන් මග ඔස්සේ ම වැඩිය එ් සිරිපා කමල් කුමන තැනක පිහිටියත්, මොන දිසාවක සිට වුවත් දුර කතර ගෙවාගෙන හරි ඇවිදින් නළල බිම තබා වන්දනා කර ගන්න තරම් වටිනව කියන එකයි.

මෙවන් වූ සඳ පහන් රැුයක නෝවුඞ් වතුයායේ තේ පඳුරු මීදුම අතරෙ විටෙක බොඳ වී යමින් යළි මතුවෙන සේයාවත්, කඳු අතරින් ගලා හැළෙන රිදී කඳන් සුදු පෙණ කැටි නංවාගෙනවිත් මාඋස්සාකැලේ ජලාශය හා මුසුවන ර`ග සොබාවත්, වැව් තරඟ මත දිදුලන සඳකැන් රටා මවන විසිතුරු චමත්කාරයත් නෙතගට රසඳුනක් කර ගන්නට මොහොතක් වත් පමා නො වී වෑන් රථය වේගයෙන් අපගේ ගමනාන්තය වන නල්ලතන්නිය බලා දිවෙයි. අප හැමගේ පැතුම මේ හැමට ම වඩා සොඳුරු වූ ඉලක්කයක් වෙත යොමු වී තිබීම එයට හේතුව යි.

නල්ලතන්නියේ දී ඉක්මනින් රාත‍්‍රී ආහාරය සප්පායම් වුණ අපි පිරුවට ඇඳගෙන නල්ලතන්නිය මස්කෙලිය ධර්මකීර්ති විහාරයෙන් ආයෙමත් තිසරණ සහිත පන්සිල් සමාදන් සමාදන් වෙලා සිරිපා කරුණා කරන්න පටන් ගන්න කොට රෑ මැදියමට කිට්ටුයි.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉන්නයි තුන් සරණේ අදහා ගෙන

පෙරයම බුද්ධං සරණේ ගන්නයි
මැදයම ධම්මං සරණේ ගන්නයි
අලූයම සංඝං සරණේ ගන්නයි
තුන් යමට ම තුන් සරණේ ගන්නයි

පුරාණයේ සිට ම සිරිපා කරුණා කළේ තනි තනිය ම නෙවෙයි. නඩයක් විදියට. නඬේ ගුරා කියන්නේ කලින් කීප වතාවක් සිරිපා කරුණා කරල අත්දැකීම් තියෙන වැඩිහිටියෙකුට. එයා තමයි කණ්ඩායමේ නායකයා. අපේ නඩේ ගුරා වුණ නන්දසේන අයිය පුරාණ තුන් සරණේ කවි ගායනා කරන්න පටන් ගත්ත. හැමෝ ම එකතුවෙලා මෙහෙම තෙරුවන් ගුණ හඬ නගා කියද්දි වෙහෙස දැනෙන්නෙ නෑ. හිතේ ශ‍්‍රද්ධාව තව තව වැඩි වෙනව. දෙව් ලොවට යන්නට අහසේ බඳින ලද පියගැටපෙළක් වාගේ ඈත උඩු ගුවනෙ සිරිපා මළුව දක්වා වැටී ඇති මග දිගේ දිලෙන විදුලි පහන් එළි කළුවර අහසෙ තාරුකා සිතුවමක් වාගේ සිරිපා මළුවට පාර කියන්නෙ හරි ම අපූරුවට.

‘‘වඳින්ට යන මේ නඬේට – සුමන සමන් දෙවි පිහිටයි”

සිරිපා කරුණා කර යන පිරිසක් අපට සෙත්පැතුවා.

‘‘වැඳල බහින එ් නඩේට – සම්මා සම්බුදු සරණයි.”

යශෝධ පුතා පිළිතුරු බැන්දා

මකර තොරණ පහු කරලා සාම චෛත්‍යයත් වන්දනා කරගෙන දැන් අපි ඇවිල්ල ඉන්නෙ ගඟුල තැන්න අම්බලමට.

‘‘මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොඳ වෙලාව”

ඩයස් අයියා සිරිපා කරුණාවට ම ආවේණික වෙච්ච කවි පදයකින් ඇරයුම් කරද්දි අපි සතුටු සිතින් එ් ආරාධනාව පිළිගත්ත. හමා එන මඳ සුළඟින් දැනෙන සීතල දුරු වෙන්නත්, විඩාව සන්සිඳෙන්නත් ඉෂාර අක්කා දීපු අග්ගල කාල අපි කෝපි බිව්වා.

‘‘හා හා දැන් ඉස්සරහ බලමු. කරුණා කරන්න පටන් ගනිමු.”

නන්දසේන අයියා කිව්වා.

උස පරුවත පිට සිරිපා සැදුණේ
පසතුරු කර සක් නද දෙයි එලෙසේ
බස බොරු නැත අප කී දේ එලෙසේ
දස ධර්මයටත් වැඩි තුන් සරණේ

කාටත් යහපත කීවොත් මුනි බණ
රෑටත් අඳුරට ලූ පහනක් වෙන
පාටත් කළු රතු නිල් මැණිකක් වෙන
ඊටත් වැඩියෙන් තුන්සරණේ ගුණ

තුන්සරණේ තාලයට ආයමෙත් අපි එකතු වුණා. සීත ගඟුලෙන් ආයෙමත් පැන් පහසු වෙලා තවත් පිරිසිදු වුණා. රතු අම්බලම පහුකරලා ඉදිකටුපාන ළඟට කරුණා කරන කොට අලූයම තුන පහුවෙලා. සිරිපා කරුණා කරන කෝඩුකාරයො මෙතැනදි ඉදිකටුවට නූලක් අමුණලා නූල ඉවර වෙනකම් ඉහළට ඇදගෙන යනවා. පුරාණ කාලෙ ඉඳලා පැවතුන මේ සිරිතෙ සැබෑ අරුත සොයාගන්ට
බැරිවුණා. සිරිපා කරුණා කළ පිනෙන් ජීවිතය තියෙන තුරු තනිව ම ඉදිකටුවට නූල අමුණන තරමට ඇස් පෙනීම පවතීවා කියන පැතුමෙනුයි මේක කරන්නෙ කියල සමහරු කිව්වා.

‘බණත් දහම් මුනි ගුණ සිහි වේවා
දෙනෙත් දෙකට කිසි දුකක් නො වේවා

පුරාණ තුන් සරණේ එහෙම පද පෙළක් තියෙන හින්ද සමහර විට එ් විශ්වාසය හේතු සහිත එකක් කියල හිතන්ටත් පුළුවන්.

මේ රට සත හට ගෞතම සරණේ
පාරට බත් බැඳ ගියහොත් ගමනේ
පීරට ගත්තා වැනි තද වානේ
වෙහෙරට රන්කොත වැනි තුන් සරණේ

ගත පිට පිරිමැද ගැල්වූ සඳුනේ
සත හට අම්මා වද කිරි දෙතනේ
හිත යට විපරම් කුසලට යෙදුණේ
සත හට උල්පත වැනි තුන් සරණේ

හංගා නො තබමි මුනි ගුණ වරුණේ
නංගා කුඹ පිට බැඳි දද ගුවනේ
පන්ගාඩම් කර මිණිවලූ ලෙසිනේ
ගංඟාවට මුල වැනි තුන් සරණේ

ඕන්න අපි ආයෙත් පිටත් වුණා. අපගේ ඊ ළඟ නවාතැන වුණේ හැරමිටිපාන. ඉදිකටුපානෙදි වගේ ම මෙතනදිත් කෝඩුකාරයො හැරමිටියක් පූජා කරල යනව. සිරිපා වන්දනා කළ පිනෙන් ජීවිතය ඇති තුරාවට වාරු නැතිව යන්න එපා කියන පැතුමෙන්ලූ එහෙම කරන්නෙ.

දෙතිසක් අනතුරු මෙමට නො වෙන්ටයි
අනුවක් අට රෝගත් නොම වෙන්ටයි
දහසක් මුනි බණ සිතේ දරන්ටයි
කෙලෙසුන් මුල් සිඳ නිවන් දකින්ටයි

පුරාණ තුන්සරණෙ තියෙන මේ පැතුමත් එ් අදහසට රුකුල් දෙනව. හැබැයි සමහර වෙළෙන්දො මේ පුරාණ සිරිත් තමන්ගෙ පටු අරමුණුවලට යොදාගෙන කම්බියකින් හදපු අඟල් හතරක විතර කූරක් හැරමිටිය කියල නල්ලතන්නියෙදි විකුණන්නෙ හැමදා ම සිරිපා අඩවියෙ හිටියත් පින පව ගැන හරි වැටහීමක් නැති නිසා වෙන්න ඇති.

බිහිවුන විට සිදුහත් කුමරිදුණේ
මිහිපිට සත් පියුමක් පැන නැගුණේ
විහිදෙන මල් සුවඳක් යන ලෙසිනේ
වැහි මේඝයටත් වැඩි තුන් සරණේ

සඳමඬල බටහිර අහසෙ දිස්වෙද්දි නැගෙනහිර අහසෙ කෙළවරින් ළා රන් පැහැති එළියක් මතුවීගෙන එනව. වේලාව අලූයම පහයි. අපි දැන් ඉන්නෙ මහගිරිදඹේ නගිමින්. වෙනද ? හත හමාර වෙනකොට පුටුව උඩ ම නින්ද යන අපේ කිරිකෝඩුත් මුළු රැුයක් පුරා නිදි වරමින් මේ ගමනෙදි සැහැල්ලූව බවට පත්වුණ බෑගයත් කරේ එල්ලගෙන කිසි මැසිවිල්ලක් නැතිව අපිවත් පහුකරගෙන මහගිරිදඹේ නගිනව. වලාකුළු අපි පසුකොට යන්නේ අපට පහතින් සුදු පාට හිම කැටි වගේ. ගතට දැනෙන්නෙ හිරිගඩු පිපෙන සීතලක්.

‘‘තාත්තෙ මට නම් හිතෙන්නෙ මේක පයින් ඇවිදගෙන දිව්‍යලෝකෙට යන ගමනක් වගේ…”

එහෙම කියපු පුංචි දුවත් මා පහුකරගෙන යනව. එක එල්ලෙ ම අහස උසට තියෙන බෑවුමක් හින්දනෙ මෙතෙන්ට මහගිරිදඹේ කියන්නෙ. මේ හරියෙදි ලස්සනට ඇදල කවි කියන්ට අමාරු බව දන්න පුරාණ කවියා හරි අගේට තාලය වෙනස් කරල තියෙනව.

අපේ බුදුන් අපි වඳින්ට – දොහොත් නගා අපි වඳින්ට
පෙරළි පෙරළි අපි වඳින්ට – කිරි කෝඩුත් වන්දවන්න

බුදුරජාණන් වහන්සේ ඉපදුණේ දඹදිව වුණාට තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයන්ට උන්වහන්සේ තමයි එක ම ශාස්තෘන් වහන්සේ. එ්කයි පුරාණ කවියා සරලව ‘අපේ බුදුන්’ කිව්වෙ. අපි මේ යන්නෙ අපි සරණ ගිය අපගේ එකම ශාස්තෘන් වහන්සේ වන්දනා කරන්නටයි කියල හිතට දැනෙන කොට එ් කෙනාට ඕනම දුර්ගයක් තරණය කරන්න හයිය ලැබෙනව.

අපි මේ තරණය කරණ මහගිරිදඹේ නගින්ට ඉස්සර මේ වගේ පඩිපේළි තිබිල නෑ. ගල්වල සවිකරපු දම්වැල්වල එල්ලිලා මේ හෙළ තරණය කරන්න උපකාර වුණේ හිතේ තිබුණ ශ‍්‍රද්ධාව ම යි.
”නන්දසේන අයියෙ, ඩයස් අක්කෙ, ඔයාලට මහන්සි ද?”

”තුනුරුවන් සරණයි මල්ලි. අන්න මළුවෙ ගණ්ඨා හඬ ඇහෙනව නේ ද?”

වලා වියන් අතරින් සිහිල් සුළෙඟ දැවටිලා සිරිපා මළුවෙ ගණ්ඨා නාදය ඇහෙන්නෙ දෙව්ලොවින් ඇහෙන දිව්‍ය තූර්ය නාදයක් වාගේ. එ්ත් එක්ක ම මට අවාරෙට සිරිපා මළුව භාරව ඉන්න භාරකරු කිව්ව කතාවක් මතක් වුණා.

‘‘මහත්තයෝ අපි වාරේ කියන්නේ මිනිසුන්ගෙ වාරෙට.

අපි අවාරේ කියන්නේ දෙව් බඹුන්ගෙ වාරෙට.”

”කොහොම ද එහෙම කියන්නේ?”

‘‘මහත්තයෝ කොහොම වුණත් මිනිසුන්ගෙ වාරෙදි මේ හිමේ අපිරිසිදු වෙනව. කැළි කසළ අපද්‍රව්‍ය දාන උදවිය ඉන්නව නොවැ. ඔන්න ඊට පස්සෙ මේ හිමේට මොර සූරන වැහි වහිනව. එ් වැස්සෙන් පස්සෙ
ආයෙමත් සුමන කූටය පිරිසුදු වෙනව. ඊට පස්සෙ ඔන්න සමහර දාට ?ට පංචතූර්ය නාදය ඇහෙනව. මුළු පද්මය ම පේන්නෙ නැති ගානට වලාකුළුවලින් වැහිල යනව. සාධුකාර හඬ ඇහෙනව. අමාවක දවසට වුණත් හඳ පෑව්ව වගේ උඩ මළුවට එළිය වැටෙනව. පළාත ම පුදුම සුවඳකින් වැහිල යනව. ඔන්න ඉතින් අපි දන්නව දෙවිවරුන් වන්දනා කරනව කියල…”

දැන් අපි ඉන්නෙ අහස් ගව්වෙ. මෙතනට අහස් ගව්ව කියන්නෙ ඇයි කියල දැනගන්න නම් ඇවිත් බලන්න ම ඕනෙ. සුදු පාට පුලූන් කුට්ටිවලින් වැසී ගිය පහළ මිටියාවත අතරින් මාඋස්සාකැලේ ජලාශය දිස්වන්නෙ දිය සායම් බොඳ වුණ සිතුවමක් වගේ ළං ළංව ඇසෙන උඩ මළුවෙ ගණ්ඨා නාදය ගමනට අමතර අත්වැලක් වගේ. අහස් ගව්වට ළඟා වෙන කොට නැගෙනහිර සිතිජයේ ළා රන්වන් ආලෝකයක් මතුවෙලා. දැන් අපි දන්නව නිසැකව ම තව මොහොතකින් හිරුමඬල උදාවෙන බව. එ් වගේ තමයි කෙනෙකුට සම්මා දිට්ඨිය ඇතිවීම කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. එ් උපමාව සිහි කර කර මේ අරුණෝදය දකින්න මීට වඩා හොඳ තැනක් කොහෙද තියෙන්නෙ කියල මට හිතුණා. එවැනි උපමා ඇතුළු දේශනා තේරෙන අයුරින් කියල දීල භාග්‍යවතුන් වහනසේව හඳුනගන්නට ඉඩසලසමින් මිථ්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන්නට මග පෙන්වපු ගුරු දේවයන් වහන්සේට මම එතනදි ම පින් දුන්න.

නැගෙනහිරින් හිරුමඬල උදාවෙද්දි බොහෝ කාලයක් තිස්සේ හිතේ තිබුණ සොඳුරු පැතුමක් සැබෑ කර ගනිමින් සිරිපා මළුවට පා තබන්නට අපට වාසනාව උදා වුණා. සිරිපා පද්මය උදෙසා පැවැත්වෙන උදෑසන
තේවාවට සම්බන්ධ වන්නටත් අවස්ථාව උදා වුණා. නැගෙනහිර ආකාසෙ උදාවන හිරුගෙ පළමු වන රැස්දහර සිරිපා පියුම් මත පතිත වන්නෙ හරියට තුන් ලෝකය ම මොහඳුරෙන් නිදහස් කළ සැබෑ හිරුමඬල ඔබයි භාග්‍යවතුන් වහන්ස කියනවා වාගෙ ම යි. ඉර සේවය දකිද්දි මට එක්වර ම සිහියට නැගුණේ මෝර පිරිතයි.

මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහ පොළව බබුළුවන්නේ
මහ පොළව බබුළුවන හිරු මඬල නුඹ වඳින්නෙම් මම
නුඹ විසින් සුරකින අපි මේ දවස වසමු සුවසේ
හැම දහම් පරතෙර වැඩි – යම් රහත් මුනිවරු සිටිත් නම්
එ් උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා !
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා !
සතර මගඵල නුවණට – මාගේ වැඳුම වේවා !

සිරිපා කරුණාවට සූදානම් වුණ දවසෙ ඉඳල අපේ කිරි කෝඩු දෙන්න අම්මගෙත් උදව් අරගෙන ලස්සන සිරිපතුල් සටහනක් විල්ලූද රෙදිවලින් සකස් කළා. පන්සාලිස් වසක් තිස්සේ ගල් බොරළු පිරි මං මාවත් සිසාරා සත හට සෙත සැලසීම උදෙසා ම වැඩම කොට වදාළ එ් සම්බුදු සිරිපතුල් යුගල උදෙසා විල්ලූද පලසක් වේවා කියල අපි එ් සිරිපා සටහන සිරිපා පද්මය මත තබා නළල තබා වන්දනා කළා. දෑසින් රූරා හැළෙන කඳුළු කැට එ් මුනි සිරිපා පියුම දොවාලන සුවඳ පැන් පොදක් වේවා කියල හිස තබාගත්වන ම සිටියා. එ් මුනි සිරිපා පියුම උදෙසා මල් පහන් පූජා කළා. සිරිපා පද්මය පැදකුණු කොට සුවඳ දුම් පූජා කළා.

සාමාන්‍ය ගමන්වලදි තට්ටු කීපයක ගොඩනැගිල්ලක් තරණය කරන්නටත් මට ලොකු අපහසුවක් තිබුණා. මයුරගිරි කන්ද නගිද්දිත් එ් අපහසුව තදින් දැනුණා.

ස්වාමීනි භාගයවතුන් වහන්ස… ඔබ වහන්සේ කෙරෙහි උපන් ශ‍්‍රද්ධාව උතුම් ලාභයක් ම යි.. සුව පහසුවෙන් යුතුව සිරිපා කරුණා කරන්න මටත් වාසනාව උදා වුණා. ඔබටත් එ් වාසනාව උදා වේවා.! මේ ගමනේ දී උදව් උපකාර කළ සමන් දෙව් රජු ඇතුළු හැම දෙනාටම අප කළ පින් අනුමෝදන් වේවා.!

සියලූ ම ලෝ සත දුකින් මිදෙන්ටයි
එලෙස ම මා කළ පින් ලැබ ගන්ටයි
නිවන ම මා හට අත්පත් වෙන්ටයි
අලූයම සංඝං සරණේ ගන්ටයි

දෙසැටක් මිසදිටු කුලය නො වන්ටයි
යහපත් බුදු ගුණ දැන උපදින්ටයි
මෙලොවත් පරලොව දෙක ජය ගන්ටයි
යහපත් වූ සොඳ නිවන දකින්ටයි

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ