සිංහල රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර වනාහි ඈත අතීත භාරත ඉතිහාසයේ සූර්ය වංශයට අයත් මහා සම්මත රජහුගේ කාලයේ පටන් නො නැසී පැවත එන එ්වා ය. මේ සිරිත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දක්නට ලැබෙතත් මෑතක් වන තුරු ඉන්දියාවේ මහා රාජවරුන්ගේ අභිෂේක මංගලයන්හි දී පුරාණ සිංහල රජවරුන්ගේ ඔටුනු පැළඳවීමේ සිරිත්වලට සමානව පැවතිණි. අභිෂේක ශබ්දය ජලය ඉසීම යන අර්ථය ගෙන දෙයි. පුරාණ මහීපාලයන්ගේ අභිෂේකෝත්සවයන්හි දී ගංගා නදී ජලය ප‍්‍රමුඛස්ථානයක් ගත් නිසා ඔටුනු පැලඳීමට අභිෂේක යන නම ව්‍යවහාර වන්නට පටන් ගත් සේ පෙනේ.

ධර්ම ග‍්‍රන්ථයක රජ කෙනෙකුගේ අභිෂේක උත්සවය විස්තර කර ඇත්තේ මෙසේයි.

‘‘අභිෂේකය ලබනු කැමැති රජතුමා පළමුව රන් හක්ගෙඩිය ආදි සක් තුනකුත්, ගංගා නදියේ ජලයත්, තරුණ ක්ෂත‍්‍රිය කාන්තාවකුත් සූදානම් කර ගත යුතුයි. රාජ කුමාරයා නිසි වයස් පත් තරුණයකු විය යුතුයි. එනම් සොළොසැවිරිදි විය යුතු ය. දිඹුල් ගසක අතුවලින් තනා මල්කමින් හා ලියකමින් විසිතුරු කළ මණ්ඩපයක් මැද දිඹුල් දඬුවෙන් ම තැනූ පුටුවක දෙකුලෙන් පිරිසිදු කුල ගොත් ඇති ක්ෂත‍්‍රිය වංශික කුමාරයා හිඳ ගනී. ඉක්බිති මනා සළු හැඳ වටිනා ආභරණින් සැරසුනු ක්ෂත‍්‍රිය රාජ කන්‍යාව ගංගා නදියේ ජලය පුරවා ඇති දක්ෂිණවෘත්ත ශංඛය දෑතින් ම ගෙන රජුගේ හිසට එ් ජලය වත් කරමින් මෙසේ කියයි.

‘දේවයන් වහන්ස, මේ අභිෂේක උත්සවයේ මාර්ගයෙන් ක්ෂත‍්‍රිය කුලයට අයත් සියලූ ජනයා ඔවුන්ගේ මහරජතුමා හැටියට ඔබ පත් කරති. එබැවින් දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බවය, මෘදු ගුණය, තාපය, ක්‍රෝධ නො කිරීම ය, අහිංසාවය, ක්ෂාන්තිය, අවිරෝධිතාව යන මේ දශරාජ ධර්මයන්ගෙන් නොපිරිහෙළා ඔබ වහන්සේ රට ආරක්ෂා කෙරෙත්වා! ක්ෂත‍්‍රිය වංශිකයන් කෙරෙහි ඔබ රක්ෂාවරණය දිය යුත්තේ යම්සේ පුතකු රැුක බලා ගන්නා පියකු ඇත්නම් එ් පියා දක්වන අනුකම්පාවට සමාන වූ අනුකම්පාවකිනි. ඔවුන් කෙරෙහි මෛත‍්‍රී සිතුවිලි ද ඔබට පවතීවා. එ් ක්ෂත‍්‍රිය ජනයා ද ඔබ ආරක්ෂා කෙරෙත්වා.”

මීළඟට තමාගේ තනතුරට ගැළපෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු පුරෝහිත බ‍්‍රාහ්මණයා ගංගා නදී ජලය පිරවූ රිදී හක් ගෙඩියකින් එ් ජලය රජුගේ හිසට වත් කරමින් මෙසේ කියයි. ‘‘මේ අභිෂේක උත්සවයෙන් සියලූ ම බ‍්‍රාහ්මණ වංශිකයෝ ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඔබ මහරජ හැටියට පත් කරති. ඔබ දශ රාජධර්මය නොපිරිහෙළා දැහැමින් සෙමෙන් රට රකිත්වා! බ‍්‍රාහ්මණ වංශිකයන් කෙරෙහි ඔබ රක්ෂාවරණය දිය යුත්තේ පුතු ආරක්ෂා කරන පියකුගේ අනුකම්පාව සහිතව ය. ඔවුන් කෙරෙහි මෛත‍්‍රී චිත්තයක් ඔබට පවතීවා. ඔව්හු ද ඔබ ආරක්ෂා කෙරෙත්වා”

හින්දු චාරිත‍්‍රානුකූලව නම් පුරෝහිත බ‍්‍රාහ්මණයකු මෙපරිද්දෙන් ම අවවාද කළ පසු සිටු කුලයේ කෙනෙක් රන් හක් ගෙඩියකින් ගංගානදී ජලය රජුගේ හිස මත වත්කර ගෘහපති ජනයා වෙනුවෙන් මෙසේ රජු පත් කරන බව කියා පෙරකී අවවාද වචන ම ප‍්‍රකාශ කොට අවසානයේ දී ශාපයක් ද කරති.

වේද නිගමනය

පුරාණ හින්දු චාරිත‍්‍රවලට ඉන්දියාවේ රජවරුන්ගේ අභිෂේක මංගල උත්සවවල දී මෙසේ ශාප කරන සිරිතක් පැවැති නමුත් බෞද්ධ රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍රවල දී මෙසේ ශාප කිරීමෙක් නො පැවතිණි. මෙපමණක් නොව අභිෂේක මංගල්‍යය කෙළවර වුණු විට සෝමපාන වැනි මත් පැන් බීමක් පැවැති බව පෙනේ.

ඓතරේය බ‍්‍රාහ්මණ නම් වේද ග‍්‍රන්ථයේ රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර විධි දක්වා ඇත්තේ මෙසේයි.

‘‘බ‍්‍රාහ්මණයා අඳුන් දිවි සමක් සිංහාසනය මත අතුරන්නේ එහි ලොම් උඩට සිටින පරිද්දෙනි. දිවියාගේ බෙල්ලේ ලොම් නැගෙනහිර දෙසට හැරෙන සේ සකස් කරති. මක් නිසා ද යත් දිවියා වනාන්තරයේ සතුන් අතර ක්ෂත‍්‍රියයා හැටියට සැලකෙන බැවිනි. රජු සිංහාසනයෙහි වාඩිගන්නට එන්නේ එ් සිංහාසනයට පිටිපසින් ය. නැගෙනහිර දෙසට මුහුණ ලාගෙන ය. මෙසේ අවුත් දෙදණ නවන්නේ දකුණු දණ හිස පොළොවට වදින පරිද්දෙනි. රජතුමා මෙසේ සිට දෑතින් ම සිංහාසනය අල්ලාගෙන සුදුසු මන්ත‍්‍රයක් ජප කරයි.”
මේ ඓතරේය බ‍්‍රාහ්මණයේ දක්වන චාරිත‍්‍ර විධිවල මෙන් ම ශුක්ල යජුර් වේදයේ දක්වා ඇති අභිෂේක මංගල චාරිත‍්‍රවල ද සෝමපානයත්, අඳුන් දිවි සමත් සඳහන් වේ. සතුන් මැරීමෙන් හා සුරාපානයෙන් ද වැළැකුණු බෞද්ධ රජවරු දිවියකුගේ සම ගැනීමේත්, මත්පැන් බීමේත් චාරිත‍්‍ර විධි අත් හළෝ ය. රජතුමාට මේ අවස්ථාවේ දී දෙන අවවාද ශුක්ල යජුර්වේදයේ දක්වා තිබෙන්නේ මෙසේයි.

”ඔබ රජ කෙනෙකු වන්නාහු නම් අද පටන් බලවතාත්, දුබලයාත් සාධාරණ යුක්තිගරුක ලෙස විනිශ්චය කරනු පොදු ජනයාට නිරන්තරයෙන් යහපත කරන්නටත්, සියලූ ම විපත්තිවලින් රට ආරක්ෂා කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගනු”

සිංහල සිරිත්

ලංකා ඉතිහාසයේ මීට සමාන චාරිත‍්‍ර විධි ඇතුව පළමුවෙන් ම අභිෂේක මංගල උත්සවයක් පැවැත් වූ රජකු වශයෙන් පළමු වරට සඳහන් වන්නේ දේවානම් පියතිස්ස රජතුමා ය. ක‍්‍රිස්තු වර්ෂයට පෙර 305 දී සිංහාසනාරූඪ මේ රජතුමාට දක්ෂිණාවෘත්ත ශංඛයකින් ජලය ඉසීමේ දී ගන්නා ලද්දේ ගංගා නදියේ ජලය නොව අනෝතත්ත විලේ ජලය යයි ඇතැම් තැන්හි සඳහන් වේ. මේ ජලය හක්ගෙඩියකින් රජුගේ හිස මත වක්කරන ලද්දේ ධර්මාශෝක රජතුමා විසින් මෙරටට එවූ රාජ කන්‍යාවක විසිනි. ලක්දිවට ඉන්දියාවෙන් බුද්ධාගම ලැබීමත් සමග ම අභිෂේක මංගල සිරිත් ද ලැබුණු බව මෙයින් පෙනේ. පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ රාජධානි කාලවල සිටි රජවරුන්ගේ අභිෂේක මංගල චාරිත‍්‍ර අපේ ඉතිහාස පොත පතෙන් එතරම් සුලභ නො වේ. එබැවින් මේ ලිපියෙන් විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ උඩරට සිංහල රජවරුන්ගේ අභිෂේක මංගල සිරිත් ය. අභිෂේකය පැවැත්වීමට පළමුව ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයන් නැකැත් බලා නියම කළ සුබ මොහොතට මහනුවර මහා විෂ්ණු දේවාලයට ගොස් රජතුමා රන් පඬුරු පටපිළි ආදියෙන් දෙවියන් පුදයි. රාජ නීති, ධර්ම නීති ආදියට ගරු කරමින් යුක්ති සහගත ලෙස රට රකින බවට විෂ්ණු දිව්‍ය රාජයා ඉදිරියේ පොරොන්දු වී නාථ දේවාලයට ගොස් එහි දී රජුගේ නම ලියා තිබෙන රන්පට ගෙන මහ අදිකාරම්තුමාට දී එහි තිබෙන නම හඬ නගා කියවා ගනී. මෙසේ දෙවියන් යැද රටේ සාමය රැක ගැනීමට දරන උත්සාහයෙනුත්, රන් කඩු පැලඳ අභිෂේක මංගල උත්සවය නිමවීමට මත්තෙන් දළදා මාලිගාවේ දී සංඝරාජ මාහිමියන් වහන්සේ ඉදිරියේ පන්සිල් ගන්නා පිළිවෙළිනුත් පෙනී යන්නේ ලෝක නීති ධර්ම නීතිවලට ගරු සැලකිලි සහිතව රට පාලනය කිරීමට රජකමට පත්වන අවස්ථාවේ දී ම අධිෂ්ඨාන කර ගන්නා බවයි.

මේ අභිෂේක මංගල සිරිත් බොහෝ සෙයින් සූර්ය වංශයේ පුරාණ රජවරුන් පැවැත්වූ සිරිත්වලට සමාන බවට ඉතිහාසයේ ඇතුළත් කරුණු සාක්ෂ්‍ය දරයි. සිංහල රජවරුන්ගේ අභිෂේක උත්සවය රජකමට පත් වී අවුරුද්දක තරම් කාලයක් ගත වූ පසුත් කරන්නට පුළුවන. රජුට නම් තැබීමත්, කඩු පැලඳවීමත් මේ උත්සවයේ ප‍්‍රධාන අවස්ථා හැටියට සලකනු ලැබේ. නැකැත් ශාස්ත‍්‍රය හොඳින් දත් නැකැත් රාළලා සුදුසු දවසක සුබ මොහොතක් නියම කරගෙන රජතුමාගේ නැකතට හා උපන් ලග්නයට හා දිශා ආදියට සෑහෙන පරිද්දෙන් ශ‍්‍රී නාමය රන් පත්වල ලියති. මේ රන්පත් සියල්ල ම රන් මණ්ඩයක බහා නාථ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

ශුභ දවස හා මොහොත පැමිණි විට රජතුමා සුවඳ පැනින් නා රාජාභරණයෙන් සැරසී මහා විෂ්ණු දේවාලයේ දෙවියන් ඉදිරිපිටට පෙරහැරින් පැමිණ එහි දී දෙවියන්ට රන් පඬුරු හා පටපිළී පිළිගන්වයි. එ් පූජා පැවැත්වූ පසු කපුරාළ රජු ඉදිරියට විත්, දණ ගසා දෙවියන් වැඳ රජතුමාට දේවාශිර්වාද හා දේව වරම් ලබා දීමට අෂ්ටකයක් කියයි.

නළල් පට බැඳීම

මේ අෂ්ටකය කියවා අවසන් වූ පසු රජු තමාට අයත් සියලූ රාජ කෘත්‍යයන් හෙවත් වැඩ කටයුතු සාධාරණ ලෙස ඉටු කරන බව කියා දෙවියන් ඉදිරියේ සත්‍ය ක‍්‍රියා කොට විජය රජහුගේ පිය රජතුමාගේ කාලයේ පටන් පැවත එන දක්ෂිණාවෘත්ත ශංඛය ශ‍්‍රී හස්තයට ගෙන දෙවියන් දෙස බලා තුන් යළක් නමස්කාර කර රන් පඬුරු ඔප්පු කොට අර කලින් කී රන් මණ්ඩපයේ තිබෙන රන් පටවල් අතුරෙන් තමාට කැමති නාමයක් ඇතුළත් රන් පට ගෙන අදිකාරම්තුමාට දෙන්නේ ය. අදිකාරම්තුමා එය රැගෙන ‘‘අභිනව ලෝ පහළ වී වදාළ රජුගේ නම” යනුවෙන් ප‍්‍රකාශ කරමින් එකී නාමය ශබ්ද නගා කියයි. එවිට රජතුමාගේ වැඩිමහල් නෑයෙක් එ් රන්පට නළලේ බැඳ කඩු පලඳවයි. මීට පසු කපුරාළ රන්පරහ ද හෙප්පුව ද රජතුමාට ඔප්පු කරයි. ඉන්පසු නළල්පටේත්, රන් කඩුවේත් හඳුන් ගා ගන්නා වෙලාවට කාලතුවක්කු හා කොඩි තුවක්කු වෙඩි හඬ ශබ්ද කර, හක් පිඹිමෙන් හා පංචතූර්ය නාදයෙන් ද යුක්තව රජතුමා තම මඟුල් ඇතා පිට ද සෙසු ඇමතිවරු වෙන වෙන වාහනවලින් ද නුවර සතර වීදියේ සංචාරය කරති. මෙසේ නුවර වීදි සංචාරය අවසානයේ දී රජතුමා දළදා මාළිගාවට පැමිණි විට දියවඩන නිලමේ පිච්ච මල් රන් මණ්ඩය රජු අත තබයි. රජතුමා සංඝරාජ මාහිමියණන් වහන්සේ වෙතින් පන්සිල් ගෙන මල් පූජාවෙහි යෙදෙයි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී එනම් මීට අවුරුදු 213කට පෙර එ් රජතුමා පන්සිල්හි පිහිටුවීම රාජගුරු ස්ථවිරයන් වහන්සේනමකගෙන් සිදුවිය. රජතුමා මහා වාසලට ආ විට ඇමති මණ්ඩලය හා වෙන උසස් නිලකාර රදළවරු ද එහි පැමිණ රජු බැහැ දැකීමත් සමග මේ අභිෂේක මංගල උත්සවය කෙළවර වේ.

කෝට්ටේ රාජධානි කාලයෙන් පසු ලංකාවේ සම්බුද්ධ ශාසනයත් භාෂා ශාස්ත‍්‍රත් දියුණු කිරීමට උපස්තම්භක වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට රන් නළල්පට බැන්දේ මොණරවිල කුඩා සළුවඩන නිලමේ ය. රන්කඩ පැලඳවූයේ පිළිමතලව්වේ සළු වඩන නිලමේ ය.

මහාමේඝ 2015 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ
සී. එ්. විජේසේකර