අනුරාධපුරය මිහින්තලේ හන්දියෙන් මහනුවර යාපනය එ් 9 මාර්ගයට හැරවූ රථය එක එල්ලේ උතුරුකරය බලා වේගයෙන් දිවෙයි. මා එක් වරක් යාපනයට ගොස් ඇතත් එ් ගුවන් මගිනි. තිස් වසරක කුරිරු යුද්ධය නිසා කෙදිනකවක් ගොඩබිමින් අනුරාධපුරයෙන් එපිටට යාමට නුපුළුවන් වීම ගැන සිතෙන විට සිතට දැනෙන්නේ දොම්නසකි. මන්ද අතීත උරුමයන් සැඟවී ගත් පුද බිම් රාශියක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ගණනාවක් පුරා අදත් අප‍්‍රකටව තිබෙන නිසා ය.

පුණ්‍ය චාරිකා ලිපි පෙළ සඳහා එවැනි ස්ථානයක් සොයා යෑමේ වුවමනාව මා සිත තුළ තිබුණත් මේ ගමන පිටත් වූයේ ගමනාන්තය පිළිබඳව පැහැදිලි හෝඩුවාවක් ඇතිව නො වේ. අනුරාධපුර යාපනය මාර්ගයේ රඹෑව මැදවච්චිය පසු කොට ඉරට්ටපෙරියකුළමට ළඟා වන විට හිරු මුදුන් වී තිබුණි. ගිනි ගහන අව්වේ කරවෙන තල්රුප්පා පිසගෙන හමන සුළඟ සුවදායක එකක් නො වේ. එහෙත් දාහය නිවාලන්නට ඇත්තේ එය පමණි. රත් වූ වැලි පොළව සමග පොරබදන උතුරේ ජන ජීවිතය ද කටුක එකක් බව නො කිවමනා ය. එයට යුද්ධයේ කුරිරු පහස ද එක් වූ පසුව කෙසේ තිබෙන්නට ඇද්දැයි සිතා ගන්නටත් අසීරු ය. මේ කඨෝර බව විඳ දරාගෙන ඇඟ ඇස් මස් ලේ හැළෙද්දී යුද්ධයේ සාපයෙන් රට නිදහස් කර දුන් රණවිරුවනට අප සදා ණයගැති විය යුතු බව හැෙඟන්නට නම් ඔබ මේ පළාත්වල සංචාරය කළ යුතු ම ය.

වවුනියාවට පැමිණි මම හිතවතෙකුගේ කාර්යාලයකට පිවිසීමි. අපගේ වාසනාවට ඔහු එවේලේ කාර්යාලයේ සිටි බැවින් අපව සුහදව පිළිගත් අතර සංග‍්‍රහය අතරතුර දී මම ආ කාරණය පැහැදිලි කළෙමි.

‘‘ධනපාල මහත්තය මොනව ද වවුනියාව අවට තියෙන ඓතිහාසික සිද්ධස්ථාන?”

‘‘ඇයි මඩුකන්දෙ ශ‍්‍රී දළදා විහාරය.. මෙතන ඉඳල කැබිතිගොල්ලෑව පාරේ ටික දුරයිනේ…”

මගේ ඉහේ මලක් පිපුණි. ඇසළ මාසය දළදා වහන්සේ හා සබැඳි සිදුවීම් රැසක් සිදු වුණ මාසයකි. ධනපාල මහතාගෙන් සමුගත් අපි අපට මග පෙන්නන්නට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ දුලාන් මල්ලීත් සමග
ශ‍්‍රී දළදා විහාරය බලා පිටත් වුණෙමු.

වවුනියාව නගරයේ සිට හොරොව්පතාන – කැබිතිගොල්ලෑව මාර්ගයේ කි. මී. තුනක් පමණ ගිය පසු පාරේ වම් පසින් මඩුකන්ද ශ‍්‍රී දළදා විහාරයට යන මාවත වැටී ඇත. එ් මාවතේ කෙටි දුරක් ගමන් කරන විට දකුණු පසින් අතු පතර විහිදා විහාර භූමියේ විසල් පෙදෙසකට සෙවණ සලසන දැවැන්ත බෝධිරාජයාණන් වහන්සේගේ සෙවණ ලබන මඩුකන්ද ශ‍්‍රී දළදා විහාරයට පිවිසිය හැකි ය.

විහාර භූමිය පුරා ගලින් කරවන ලද ගොඩනැගිලි බොහොමයක නටබුන් දක්නට ඇත. වාහල්කඩ සිට ඉදිරියට අඩි දෙසීයකටත් වඩා දුර පෙත් මග දෙපස ගල් වැටවල් අදත් දැකිය හැකි ය. එය වැටී ඇත්තේ
ප‍්‍රතිමාඝරයක් ලෙස සැලකිය හැකි චතුරස‍්‍රාකාර ගොඩනැගිල්ලක් වෙත ය. ඊට යාබදව ම උපෝසථාගාරයක නටබුන් දක්නට ඇත. එදා දළදා වහන්සේ වඩා හිඳවූවා යැයි සැලකෙන දළදා මාලිගාව
විසිතුරු ගල් කැටයමින් අලංකාරව ඇත. ශෛලමය පැන් පොකුණු දෙකක් ද දක්නට ඇත.

ස්වභාවික වායු සමීකරණ ක‍්‍රියාවලියක් සහිත විසල් සීත ශාලාව දිවා කාලයේ ගිනි ගහන අව්වෙන් ඉහළ යන උණුසුම සමනය කොට සංඝයා වහන්සේලාට සුව පහසුව සැලසීම පිණිස ම නිර්මාණය වූවාට සැක නැත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1974 වසරේ දී මෙහි කැණීම් ආරම්භ කොට ඇතත් කෙටි කලකින් එම කටයුතු නවතාලන්නට ත‍්‍රස්තවාදීන් සමත් විය. විහාර බිමේ තැන් තැන්වල අදත් දක්නට ලැබෙන සඳකඩ පහණ්, මුරගල්, නිහඬව පවසන්නේ වත්මන් කැණීම්වලට හසු නො වූ ඉසව් තුළ තවත් සුවිසල් අතීතයක් සැඟවී ඇති බව නො වේ ද?

මේ පිළිබඳ ව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා දුලාන් මල්ලීගේ මගපෙන්වීම ඔස්සේ ආවාස ගෙය වෙත පැමිණ මඩුකන්ද ශ‍්‍රී දළදා විහාරයේ පරිවේණාධිපති මුවඇටගම සුමනසාර ස්වාමීන් වහන්සේ මුණගැසුනෙමු.

‘‘ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ විහාරයේ ආරම්භය සනිටුහන් වෙන්නෙ කොහොම ද?”

‘‘හේමමාලා කුමරියයි, දන්ත කුමාරයයි ගොඩබැස්සෙ නැගෙනහිර වෙරළෙ තියෙන ලංකාපට්ඨන කියන අප‍්‍රකට තොටුපළට. මේකට ඉලංකතුරෙයි වරාය කියලත් කියනවා. මේ ගැන විවිධ මතවාද පැවතෙනව තමයි. එ්ත් කෝකිලායි කලපුව අසල තියෙන ලංකාපට්ඨන තොටුපළ මේ අතරින් විශේෂ තැනක් ගන්නව. ඔය කෝකිලායි ප‍්‍රදේශය එ්කාලෙ හැඳින්වුවෙ කැකුළු ගම නමින්.. එදා දළදා වහන්සේට කැකුළු මල් පූජාවක් කළ නිසා කැකුළු ගම වුණා කියන අදහසත් ජනප‍්‍රවාදයෙ පවතිනවා.

ඊට පස්සෙ සේම මඩුව, රුවන් මඩුව, මා මඩුව, පූමඩුව ඔස්සේ දළදා හාමුදුරුවො මඩු කන්දට වඩම්මවගෙන ඇවිත් තියෙනව. ඔය මඩුව කියන්නෙ මණ්ඩපය කියන එකනෙ, ඉතින් දළදා වහන්සෙ වඩම්මවාගෙන එන අතරේ තැනින් තැන මණ්ඩපවල ටික වේලාවක් තැන්පත් කරල වන්දනා කරන්ට අවස්ථාව දුන්න වෙන්න බැරි ද? මඩු කන්ද කියන්නෙ මණ්ඩප කීපයක් ඉදි කළ නිසා වෙන්නත් පුළුවන්..
කොහොම වුණත් මෙතන තමයි මුලින් ම දළදා මාලිගාවක් හදල දළදා වහන්සෙ තැන්පත් කළ උත්තර මේඝගිරි විහාරය. දළදා වහන්සේ තැන්පත් කළ නිසා තමයි පසුව සිරි දළදා විහාරය බවට පත්වෙන්නේ.”
”ස්වාමීන් වහන්ස, එතකොට කිත්සිරිමෙවන් රජතුමා රාජ්‍ය කළේ අනුරාධපුරයෙ නේ ද?”

‘‘ඔව්. ක‍්‍රි. ව. 303 – 331 අතර රජ කළ කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජතුමාගෙ කාලෙනෙ මේ සිදුවීම වෙන්නේ…

ඉතින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු වෙතින් දළදා හාමුදුරුවො භාරගත්ත උත්තර මේඝගිරි විහාරය හෙවත් මෙම විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා දළදා මැදුරක් තනවල දළදා වහන්සේ මහත් ගෞරවාදර පූර්වකව වඩා හිඳුවල රජතුමාට පණිවිඩය යවනව… ඊට පස්සෙ තමයි කිත්සිරිමෙවන් රජතුමා මහත් පුද පෙරහරින් ඇවිල්ල දළදා වහන්සේ භාරගෙන අනුරාධපුරයට වඩම්මවාගෙන යන්නෙ.”
”ස්වාමීන් වහන්ස, ත‍්‍රස්තවාදී කලබල කාලෙ මේ ප‍්‍රදේශවලට හානි වුණේ නැද්ද?”

‘‘මේ යුද්දෙ වවුනියාවට බලපෑවෙ 1984 දි. ඔන්න දවසක් ත‍්‍රස්තවාදීන් ගුවන් හමුදා ජීප් එකකට බෝම්බ ගැහුවා. එතනින් ඇවිළුන යුද ගින්දර තමයි මහත්තයො මේ අවට ඊරට්ටපෙරියකුලම, මාමඩුව, මහමයිලන්කුලම, කුඩාකච්චකොඩිය, මහකච්චකොඩිය, ඇටඹගස්කඩ, නැදුන්කුළම, ඇතුඵ සිංහල ගම් බිම් 35ක් විතර දවාගෙන ගියේ.

බොහොම මිනිස්සු මේ ගම් බිම් දාල ගියා. අපි ගමක් ගමක් ගානෙ ගිහින් මිනිස්සුන්ට ධෛර්යය දුන්නා. ගම්වලට ගහද්දි එ් මිනිස්සු මේ විහාරයට ගෙනල්ල ආරක්ෂා කළා.”

‘‘එ් කියන්නෙ ස්වාමීන් වහන්ස මේ සිරි දළදා
විහාරයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වුණේ නැද්ද?”
‘‘දළදා හාමුදුරුවො වැඩ හිඳපු තැනක තියෙන
ආනුභාවය බලන්න මහත්තයො.. මේ විහාරයට විතරයි

කිසි ම හානියක් කරන්න බැරි වුණේ.. දවසක් ත‍්‍රස්තවාදියෙක් ඇවිත් මගෙ පපුවට ම පිස්තෝලෙ තිබ්බ… එ්ත් එ් වෙලාවෙ ම හාස්කමකට වාගේ එතන හිටපු ත‍්‍රස්තවාදී නායකයෙක් ම එ්ක වැළැක්වුවා.”
එවන් ආනුභාවයක් සහිත පින් බිමක සිට ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද සමුගත් අපි චෛත්‍යරාජයාණන් වහන්සේත්, බෝධිරාජයාණන් වහන්සේත් වන්දනා කළෙමු.

බුදුරජාණන් වහන්සේ වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබූ දළදා හාමුදුරුවන් වහන්සේ සුළු මොහොතක් වැඩ සිටි බිමක් වුව ද එහි පූජනීයත්වය කියා නිම කළ නො හැකි ය. වසර තිස් ගණනක් දකුණේ සැදැහැවතුන්ගේ පහස නො ලැබූ මේ පින් බිම වන්දනා කර ගන්නට තව පමා විය යුතු නැත. නිරන්තරයෙන් සැදැහැවතුන් පැමිණෙන සිද්ධස්ථානයක් බවට මේ පින් බිම පත් වුවහොත් එය විහාරස්ථානයේ සංවර්ධනයට ද රුකුලක් වනු නො අනුමාන ය.

තිස් වසරක යුද්ධය හමුවේ දිවි පරදුවට තබා මේ විහාරස්ථාන හැර නො ගොස් ආරක්ෂා කර ගත්, මෙම විහාරයේ විහාරාධිපති වශයෙන් සුවිසල් සේවයක් ඉටු කළ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කුරුඳුගොඩ රතනසාර ස්වාමීන් වහන්සේ, පරිවේණාධිපති මුවඇටගම සුමනසාර ස්වාමීන් වහන්සේ වැනි සංඝ පීතෘන් වහන්සේලාගේ ව්‍යායාමය අර්ථවත් වන්නේ ද එවිට ය.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ