සඳකැන් දහරින් බෝ මළුව නැහැවී ඇත. සෙලවෙන ළා දලූ බෝ පත් සිලිසිලි හඬින් අත්තල නගමින් හමනා මඳ සුළඟට යම් රහසක් පවසනවා වැන්න. මා වාඩි වී සිටින්නේ අනුරපුර ජය ශ‍්‍රී මහා බෝ රජුන් පෙනෙන මානයේ පහළ වැලි මළුවෙහි ය. ලෝකයේ මා වඩාත් ම ප‍්‍රිය කරන ස්ථාන දෙකක් ඇත. එකක් රන්මැලි මහ සෑයේ සලපතළ මළුව යි. අනෙක මේ ජයසිරිමහ බෝ හාමුදුරුවන් සෙවණෙහි වැලි මළුවයි.

මේ කොතැනකට වුව පැමිණ නිසංසලේ වාඩි වී දෑස පියාගත් විට සැණෙකින් මුළු ලෝකය ම අමතක වී යයි. එවිට සිතට දැනෙන නිරාමිස සුවය වචනයෙන් විස්තර කළ හැකි නො වේ. නමුත් එබඳු නිමේෂයන්හි
නිරායාසයෙන් සිතට නැගෙන වදන් කීපයක් ඇත. එ් පුංචි රාහුල කුමරුන් බුදු පියාණන් වෙත දුවගොස් ”ස්වාමීනී ඔබ වහන්සේගේ සෙවණැල්ලත් මට සනීපයි” කියූ වදන යි. ඇත්තෙන්ම එ් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා මෙතරම් කලක් ඉකුත් වී ඇතත් අප ලබන සුවය මෙබඳු නම් අතීතය ගැන කියනු ම කවරේ ද?

තිසා වැව දෙසින් ආ පවන් රොදක් නැවතත් බෝ පත් අතර වෙලී සිහින් සරින් මුමුණද්දී සිලි සිලි හඬින් කෙරෙන එ් කතාබහට දෑස පියාගෙන මම සවන් යොමු කළෙමි.

‘‘ඔයාලට පේනව ද අර පායන පුර පස සඳ මඬල… තව ටික දවසකින් උදාවෙන වෙසක් පෝය දවසට එ් සඳ මඬල මීටත් වඩා ලස්සනට තියෙයි නේ ද?”

‘‘ඔව්, ගොඩාක් ලස්සනට තියේවි. එ් දවස එනතුරු අපිත් හරි ආසාවෙනුයි බලන් ඉන්නෙ. මොකද හැම වෙසක් පෝය දවසක ම අපිට හරි සුන්දර අතීතයක් සිහිවෙනව. එ්ක සංඝමිත්තා තෙරණින් වහන්සෙ එක්ක මුහුද මැදින් වැඩිය ගමනටත් වඩා සුන්දරයි. දවස් හතක් වලාකුළුවලින් වැහිල දෙව් බඹුන්ගෙන් ආසිරි ලබමින් අහසෙ හිටියටත් වඩා සුන්දරයි.”

‘‘අනේ මම හරි ආසයි එ් කතාව අහන්න. මට එ් කතාව කියනව නම් මම උදෑසන සිරිපා පියුම් වැඳගෙන කර ගත්ත පිනත් ඔයාලට අනුමෝදන් කරන්නම්. ඊයෙ හවස මදාරා මල් රේණුවලින් සිළුමිණි සෑයට කළ පූජාවත් ඔයාලට අනුමෝදන් කරන්නම්.”

‘‘එහෙනම් අහගන්නකො. එ් මීට අවුරුදු දෙදහස් හයසීයකට විතර කලින්. එතකොට අපි හිටියෙ ගයාවෙ. එදා සිදුහත් තවුසාණන් උදෑසන කිරිපිඬු වළඳල පාත්තරේ ගං දියේ පා කරල හැරල මේ බෝ සෙවණෙ වාඩි වුණේ පුදුම අධිෂ්ඨානෙකින්.

‘මාගේ ඇෙඟ් මස් ලේ වියැළුනොත් වියළුනාවේ. ඇට නහර ඉතිරි වුණොත් ඉතිරි වුණාවේ. කෙලෙස් සහිතව ජීවත් වනවාට වඩා මරණය උතුම්’ කියලයි උන්වහන්සෙ හිතුවෙ.

එ් වජ‍්‍රමය අධිෂ්ඨානයත්, අසංබ්‍යේය කල්ප ලක්ෂ හතරක් තිස්සෙ පිරුව පාරමී ගුණ බලයත් හින්ද තමයි එදා දස බිම්බරක් මාර සේනා පැරද පලා යද්දි මහ පොළව ගිගුම් දෙවමින් නව අරහාදී ගුණයෙන් යුතු සම්බුදුරජාණන් වහන්සේනමක් ලොවට පහළ වුණේ.”

‘‘සාදු…….! සාදු…….! සාදු……..! මමත් අහල තියෙනව නව අරහාදී බුදු ගුණ ගැන. එ්ත් විස්තර වශයෙන් හරියට දන්නෙ නෑ. සරලව කියල දෙනව නම් බොහෝ ම පින්.”

‘‘හොඳයි එහෙනම් අහගන්නකො. බුදු කෙනෙකුගෙ ගුණ මෙතෙකැයි කියල කියලවත්, ලියලවත් නිම කරන්න බෑ. එ්ත් තථාගතයන් වහන්සේ ම තමයි එ් සියලූ ගුණ කැටි කරල මේ ගුණ නවය නිතර සිහි කරන්න, සිහි කරල සිත පහදවා ගන්න කියල වදාළේ.

අපි දන්නව ලෝකෙ උපදින සත්වයන්ගෙ සිත්වල තියෙනව ප‍්‍රිය මනාප දේවලට ඇලෙන ස්වභාවයක්. එ්කට අපි කියනව රාගය කියල. එ් වාගෙ ම අප‍්‍රිය අමනාප දේට ගැටෙන ස්වභාවයක්. එ්කට කියන්නෙ ද්වේෂය කියල. එ් වාගෙ ම ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බැරි ස්වභාවයක්. එ්කට තමයි මෝහය කියල කියන්නෙ.

බුදුරජාණන් වහන්සෙ තමයි මේ කෙලෙස් ස්වභාවයන් මුළුමනින් තමන්ගේ සිතින් ඉවත් කරල පාරිශුද්ධ හද මඬලක් දරා ගත්ත උත්තමයන් වහන්සේ.

ලෝක සත්වයො ඇස්වලින් දකින දේවල් ඔස්සෙ මොන තරම් නම් කෙලෙස් ඇතිකර ගන්නව ද? බුදුරජාණන් වහන්සේට තමයි ලෝකෙ ලස්සන ම ඇස් දෙක පිහිටල තිබුණෙ. හරියට ඉඳුනිල් මැණික් කැට දෙකක් වගේ. එ්ත් උන්වහන්සේ කවදාවත් එ් ඇස්වලට ඇළුනෙත් නෑ, ඇස්වලින් දකින රුප කෙරෙහි ඇළුනෙත් නෑ. ගැටුනෙත් නෑ. මුළා වුණෙත් නෑ.

ලෝක සත්වයො කනින් අහන ශබ්ද ඔස්සේ මොන තරම් ආශාවල් ඇතිකර ගන්නව ද? තරහ ගන්නව ද? මුළා වෙනව ද? බුදුරජාණන් වහන්සේට තමයි ලෝකෙ හොඳින් ම ඇහෙන සවන්පත් යුවළ පිහිටල තිබුණෙ. උන් වහන්සේට දිව්‍ය ශ‍්‍රවණය පවා තිබුණනෙ. එත් කවදාවත් එ් කනටවත්, කනින් අහන ශබ්ද කෙරෙහිවත් ඇළුනෙ නෑ. ගැටුනෙත් නෑ. මුළා වුණෙත් නෑ. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රස ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, විතරක් නෙවෙයි සිතට සිතෙන අරමුණු ඔස්සෙ පවා ලෝක සත්වයා මොන තරම් ඇලීම් ගැටීම් මුළා වීම් ඇතිකර ගන්නව ද? එ්ත් බුදුරජාණන් වහන්සේ එ් සියල්ලෙන් ම නිදහස් වෙලා කෙලෙස් රහිත පරම පාරිශුද්ධ හද මඬලක් දරාගෙනයි වැඩ හිටියෙ. මේ නිසා ම සියලූ ලෝ වැසියන්ගේ ආමිස පූජාවන්ට, ප‍්‍රතිපත්ති පූජාවන්ට එ්කාන්තයෙන් ම සුදුසු වුණා. මෙන්න මේ හින්දයි උන්වහන්සේට ‘අරහං’ කියල කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! අරහං බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘මේ ලෝක සත්වයො දුක් විඳිනව තමයි. එ්ත් එ් දුක ගැන හරියට දන්නෙ නෑ. දුකෙන් නිදහස් වීම ගැන කවර කතා ද?

බුදුරජාණන් වහන්සේ දුක කියල කියන්නෙ ආර්ය සත්‍යයක් කියල අවබෝධ කොට වදාළා. එ් දුක අවබෝධ කර ගත යුතු එකක් බව අවබෝධ කළා. එ් දුක පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කර ගත් බව පවා අවබෝධ කොට වදාළා.

දුකෙහි හටගැනීම කියල කියන්නෙ ආර්ය සත්‍යයක් කියල අවබෝධ කොට වදාළා.

දුකෙහි හටගැනීම ප‍්‍රහාණය කළ යුතු ය කියල අවබෝධ කළා. දුකෙහි හටගැනීම පරිපූර්ණ වශයෙන් ම ප‍්‍රහාණය කොට වදාළ බව අවබෝධ කොට වදාළා.

දුකින් නිදහස් වීම කියල කියන්නෙ ආර්ය සත්‍යයක් කියල අවබෝධ කොට වදාළා. දුකින් නිදහස් වීම අත් දැකිය යුතු දෙයක් බව අවබෝධ කළා. එ් දුකින් නිදහස් වුණ බවත් අවබෝධ කොට වදාළා.

දුකින් නිදහස් වීමේ මාර්ගය කියල කියන්නෙ ආර්ය සත්‍යයක් කියල අවබෝධ කොට වදාළා. එ් දුකින් නිදහස් වීමේ මාර්ගය ප‍්‍රගුණ කළ යුතු එකක් බව අවබෝධ කළා. දුකින් නිදහස් වීමේ මාර්ගය පරිපූර්ණ වශයෙන් ම ප‍්‍රගුණ කොට වදාළ බව අවබෝධ කොට වදාළා.

මේ සත්‍ය ධර්ම හතරට තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම ගුරුවරයෙකුගෙ උපකාරයක් නැතිව එ් එ් ආර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් යුතුව මේ දොළොස් ආකාරයෙන් ම අවබෝධ කොට වදාළ නිසා තමයි උන්වහන්සේට ‘සම්මා සම්බුද්ධ’ කියල කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! සම්මා සම්බුද්ධ බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘බුදුරජාණන් වහන්සේට තිබුණ ඕනෑම තැනක තියෙන ශබ්දයකට සවන් දීමේ හැකියාව. මේකට කියනව දිව්‍ය ශ‍්‍රවණය කියල. එ් වාගෙ ම ඕනෑම දෙයක් දැකීමේ හැකියාව තිබුණ. මේකට කියනව දිව්‍ය නේත‍්‍ර කියල. එ් වාගේ ම ඕනෑම කෙනෙකුගේ සිත් දන්නා නුවණ, පරචිත්ත විජානන ඤාණය තිබුණ. ඕනෑම කෙනෙකුගේ සිතෙහි ඇති වාසනා ගුණය දන්නා නුවණ තිබුණ. මේකට කියනව ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය කියල. එ් වාගෙ ම ඕනෑම කෙනෙකුගේ අතීත සංසාර ජීවිතය පිරිසිඳ දැකීමේ නුවණ තිබුණ. මේ නුවණට කියන්නෙ පුබ්බේ නිවාසානුස්සති ඤාණය කියලයි. එ් වාගෙ ම සත්වයන් කර්මානුරූපව චුත වන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත් දැකීමේ නුවණ තිබුණා. මේකට කියන්නෙ චුතූපපාත ඤාණය කියල. එ් වාගෙ ම තමන් වහන්සේ තුළ පැවති සසරට බැඳ තබන ආශ‍්‍රව සියල්ල ම ක්ෂය කොට අවසන් බව දන්නා නුවණ වන ආසවඛ්‍යය ඤාණයත් ලබාගෙන වැඩ සිටියා පමණක් නෙවෙයි එ් ඤාණයන්ට අනුව ම යි තමන් වහන්සේගේ ජීවිතය ගත කොට වදාළේ. අනන්ත සීලයකින් යුතුව, මනා සංවරයකින්
යුතුව, හැම මොහොතක ම ඉතා සිහියෙන් යුතුව, අප‍්‍රමාණ වීරියෙන් යුතුව, අටලෝ දහමට කම්පා නොවන සිතකින් යුතුව, ඉතා බලවත් සමාධි සමාපත්තියෙන් යුතුව, අනන්ත විමුක්තිය ඇති සිතින් වැඩ සිටිය නිසා තමයි උන්වහන්සේට ‘විජ්ජාචරණ සම්පන්න’ කියල කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! විජ්ජාචරණ සම්පන්න බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘ලෝකයේ තියෙන ගමන් මාර්ග අතරින් සුන්දර ම ගමන් මාර්ගය තමයි අමා නිවන් මග. එ් කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද එ් මග කෙළින් ම අවසන් වෙන්නෙ නිවනින්. යම් කෙනෙක් මේ මගට ඇතුළු වුණොත් එ් උත්තමයා සියලූ දුකින් නිදහස් වෙලා පිරිනිවන් පානවා ම යි. මේ මාර්ගයට තමයි කියන්නෙ මධ්‍යම ප‍්‍රතිපදාව කියල. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත ගමන ඉතා ම සුන්දර ලෙස මේ අම නිවන් මග තුළ ම යි හසුරුවා ගත්තෙ. එ් නිසා උන්වහන්සේට කියනව ‘සුගත’ කියල.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! සුගත බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

”අපිට පෙනන ඇහෙන ලෝකවලට අමතරව බ‍්‍රහ්ම ලෝක තියෙනව. දිව්‍ය ලෝක තියෙනව. සතර අපාය තියෙනව. එ් සියලූ ලෝකවල යථා ස්වභාවය එ් ආකාරයෙන් ම අවබෝධ කොට වදාළේ බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ එ් සියලූ ලෝක අවබෝධ කළා විතරක් නෙවෙයි; එ් සියලූ ම ලෝකවලින් නිදහස් වී වදාළා. එ් නිසා තමයි උන්වහන්සේට කියන්නෙ ‘ලෝකවිදූ’ කියලා.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! ලෝකවිදූ බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘ආලවක කියන්නේ මහා භයානක කෙනෙක්. එයා ළඟ බලවත් ආයුධයක් තිබුණා. එ් ආයුධයෙන් අහසට ගැහුවොත් අවුරුදු දොළහකට වැසි වහින්නෙ නෑ කියනව. පොළවට ගැහුවොත් අවුරුදු දොළහකට කිසිවක්
වැවෙන්නෙ නෑ කියනව. එදා ආලවක තමන්ගෙ විමානෙට අනවසරයෙන් ආපු අමුත්තට කෝපයෙන් මේ ආයුධයෙන් දමල ගැහුවත් බුදු සිරිපා අසලට සිනිඳු සේලයක් වෙලයි එ් හිත් පිත් නැති තියුණු ආයුධය පවා වැටුනෙ. අන්තිමේ වෙහෙසවන්න කියල හිතාගෙන අහපු ප‍්‍රශ්නවලට බුදු සමිඳුන් දුන්න පිළිතුරුවලින් ආලවක කොතරම් දමනය වුණා ද කියන්නෙ ගමින් ගම රටින් රට එ් බුදු ගුණ කියමිනුයි ඔහු ආපසු ගියේ.
දරුණු අංගුලිමාල කොතරම් දමනය වුණා ද කියන්නෙ එ් අංගුලිමාල පිරිතෙ ආනිශංස තවම එ් විදියට ම තියෙනවනෙ.

තථාගතයන් වහන්සේ ලෝකයේ දමනය කිරීමට අසීරු දෙවියන් බඹුන් මිනිසුන් මහා කරුණාවෙන් දමනය කළා. මහා ප‍්‍රඥාවෙන් දමනය කළා. ඍද්ධි ප‍්‍රාතිහාර්යයෙන් දමනය කළා. දහමට කීකරු කළා. අමා නිවනට පමුණුවා වදාළා. මේ නිසා උන්වහන්සේට කියනව ‘අනුත්තරෝ පුරිසදම්ම සාරථී’ කියලා.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! අනුත්තරෝ පුරිසදම්ම සාරථී බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ටත් නිවන් මග පෙන්වා වදාළේ. මාර්ග ඵලලාභී දෙවිවරු අදත් එ් එ් දිව්‍ය ලෝකවල සතුටින් ධර්මයේ හැසිරෙනවා. පෝය දවසට මේ මළුවට සැදැහැවතුන් එක්
රැස් වෙනව වගේ ම යි සුධර්මා දිව්‍ය සභාවට දෙවියනුත් රැස්වෙන්නෙ. මහා කාරුණිකයන් වහන්සේ තමයි දෙවියන්ගෙත්, මිනිසුන්ගෙත් එක ම ශාස්තෘන් වහන්සේ. එ් නිසයි ‘සත්තා දේවමනුස්සානං’ කියලා කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! සත්තා දේවමනුස්සානං බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘අපි දන්නව බුද්ධ ශාසන ලෝකයේ නැති කාලවලදි කලාතුරකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න උත්තමයන් පහළ වෙනව. එ්ත් අන් අයට පහදා දීමක් සිදුවෙන්නෙ නෑ. උන්වහන්සේලට කියනව පසේබුදුරජාණන් වහන්සේල කියල.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් එ් ආකාරයෙන් ම අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථයෙන් යුතුව වදාළ නිසා තමයි ‘බුද්ධ’ කියල කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! බුද්ධ බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!”

‘‘ලෝකයේ මේ සියලූ ම ගුණ එක ම හද මඬලක දරාගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේනමකට පමණයි. ලොවේ වෙන කිසිවෙකුට නැති මහා ප‍්‍රඥාවකින් යුතු වූ නිසා. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලක් දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වු නිසා ම යි සුගතයන් වහන්සේට ‘භගවා’ කියල කියන්නේ.”

‘‘සාදු……..! සාදු……..! සාදු……..! භගවා බුදු ගුණයෙන් යුතුව වැඩ සිටි එ් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!

සාදු……..! සාදු……..! සාදු……..! එ් මහෝත්තමයාණන් වහන්සේ මොනතරම් ගුණ සම්පන්න උත්තමයෙක් ද කියා මා තේරුම් ගත්තේ අදයි. තුන් ලොවේ අතීත අනාගත කාලයන් පීරා බැලූවත් මේ ගෞතම බුද්ධ ශාසනය පවතින තුරාවට වෙනත් එබඳු උත්තමයෙකු හමු නො වේ මැයි. ඉදින් යමෙක් මේ ගුණ කෙරෙහි සිත පහදාගෙන එ් ගෞතම මුනිරජාණන් සරණ යන්නේ ද එ් අග‍්‍ර වූ උත්තමයාණන් සරණ යන සියලූ දෙනාම එ්කාන්තයෙන් අග‍්‍ර විපාක ලබන්නේ ය. සිල්වත් වූ එ් ඇත්තන්ගේ සිල් සුවඳ රැුගෙන මා දැන් ම දෙව්ලොව බලා යන්නේ එ් සිල් සුවඳින් සිළුමිණි සෑය පුදන්නටයි…”

ළා දලූ බෝ පත් අතරින් නික්මුන සිහිලැල් පවන් රැලි රන්මැලි සෑය දෙසට ඇදී ගියේ ය. බොහෝ වේලාවක් බුදුගුණ මනසිකාරයේ යෙදුණ මා නැගී සිටින විට අරුණෝදයට ආසන්න ය. බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් ඔද වැඩුණ සිතින් යුතු මම සඳකැන් දහරින් නැහැවෙමින්

මිහිබට දෙව් විමනක් සේ ගුවන අරා නැගී සිටින ස්වර්ණමාලී මහ සෑය වෙත යන්නට පියවර එසවීමි. එ් පියවරක් පියවරක් පාසා සුගන්ධ මහ රහතන් වහන්සේ වදාළ මේ ගාථා මගේ සිත පුරා රැුව් පිළිරැුව් දෙන්නට විය.

– මේ මහා භද්‍ර කල්පයෙහි බ‍්‍රහ්ම බන්ධු වූ, මහා යසස් ඇති, ගෝත‍්‍රයෙන් කස්සප නම් වූ, කථා කරන මිනිසුන් අතර උත්තම වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

– එ් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරිස ලකුණුවලින් සමන්විත වූ සේක, අනුව්‍යඤ්ජනවලින් සමන්විත වූ සේක. බ්‍යාමප්ප‍්‍රභාවෙන් යුතු වූ සේක. හාත්පස විහිද යන රශ්මි මාලාවන්ගෙන් යුතු වූ සේක.

– එ් බුදුරජාණන් වහන්සේ සඳ මඬල මෙන් ලෝකය සනසන සේක. හිරු මඬල මෙන් ප‍්‍රභාෂ්වර වන සේක. මහා මේඝයක් මෙන් ගිනිගත් ලෝකය නිවා සනසන සේක. මහා සයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.

– සීලයෙන් මහ පොළොව වැනි සේක. නො සැලෙන සමාධියෙන් හිමවත් පව්ව වැනි සේක. අසිරිමත් ප‍්‍රඥාවෙන් නුබ ගැබ වැනි සේක. හමා යන පවන මෙන් කිසි තැනක නො ඇලෙන සේක.

– පිරිස ඉදිරියේ විශාරද වූ එ් මහාවීර වූ බුදුරජාණන් වහන්සේ මහජනතාව සසර සයුරින් එතෙර කරවීමට චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් දේශනා කරන සේක.

– එකල්හි මම බරණැස් නුවර මහා ඉසුරු ඇති ධන ධාන්‍යයෙන් හෙබි සිටු පුත‍්‍රයෙක්ව සිටියෙමි. මම එදා බරණැස මිගදාය නම් වූ මුව වනයේ දී, අමා මහ නිවන් මඟ දේශනා කරන්නා වූ, කෙලෙස්වලින් මිදුණා වූ, ඈතට විහිදී යන සිත් ගන්නා සුලූ වචන ඇති, කුරවි කෙවිල් හඬ වැනි කටහඬක් ඇති, බ‍්‍රහ්මස්වරයෙන් යුතු, මහජනයාට ධර්මාවබෝධය ලබා දෙන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

– දේවාතිදේව වූ එ් බුදුරජාණන් වහන්සේ දැක, මිහිරි සම්බුදු වදන් අසා, මම පහන් සිත් ඇතිව මහත් වූ භෝග සම්පත් අතහැර උතුම් බුදු සසුනෙහි පැවිදි වුණෙමි.

– මෙසේ පැවිදි වූ මම, කෙටි කලකින් ම බහුශ‍්‍රැත වූ, ධර්ම කථික වූ කෙනෙක් වූයෙමි. මම මහා පිරිස් මැද බුදුරජාණන් වහන්සේගේ අප‍්‍රමාණ බුදු ගුණ වැනීමෙහි විශාරද වූයෙමි. එ් කෙසේ ද යත්,

– බුදුරජාණන් වහන්සේ ක්ෂය කළ ආස‍්‍රවයන් ඇති සේක. උවදුරු රහිතව වාසය කරන සේක. දුරු කළ සැක සංකා ඇති සේක. සියලූ කර්මයන් ක්ෂය කළ සේක. පංච උපාදානස්කන්ධයන්ගෙන් මිදුණ සේක. සියලූ දුකින් මිදුණ සේක.

– මේ එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. මේ ලෝකයෙහි අනුත්තර වූ සිහරජාණන් වහන්සේ ය. දෙවියන් සහිත වූ ලෝකයට බ‍්‍රහ්මචක‍්‍රය පවත්වන සේක.

– මහා ඉර්ෂිවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දමනයට පත් වී, මහජනයා ද ශාන්ත භාවයට පත් කරන සේක. තමන් වහන්සේ කෙලෙස් ගින්නෙන් සදහට ම නිවී, මහජනයා ද නිවාලන සේක. තමන් වහන්සේ සැනසී ගිය සිතින් යුතුව, මහජනයා ද අස්වැසිල්ලට පත් කරන සේක.

– එ් බුදුරජාණන් වහන්සේ මහා වීරයෙකි. අතිශයින් ම දක්ෂ වන සේක. මහා නැණවතාණෝ ය. මහා පැණවතාණෝ ය. මහා කාරුණිකයාණෝ ය. දිනූ කෙලෙස් ඇත්තේ ගොරෝසු නො වූ කායකර්ම ඇති සේක. ආශාව දුරු කළ සේක. සියලූ ලොව ම ජයගත් සේක.

– එ් සර්වඥයන් වහන්සේ තෘෂ්ණාව නැති කළ සේක. නිශ්චල ය. නුවණින් අග‍්‍ර ය. මෝහය නැති කළ සේක. සමාන කොට සැලකීමට වෙනත් අයෙකු නැති බැවින් අසම ය. ධුර උසුලන්නේ ය. උතුම් බැවින් වෘෂභ ය. පව් නැති බැවින් නාග ය. ශ්‍රේෂ්ඨ බැවින් සිංහ ය. ගුරුවරුන් අතුරින් ශක්‍ය ය.

– එ් බුදුරජාණන් වහන්සේ රාගය නැති කළ සේක. නිර්මල වන සේක. ශ්‍රේෂ්ඨ වන සේක. සියලූ මතවාද මැඩගෙන ලොවට ශ්‍රේෂ්ඨ වන සේක. සියලූ පාපයන් දුරු කළ සේක. සිතේ රාගාදී කෙලෙස් මල නැති බැවින් අඛිල ය. පහ කළ රාග හුල් (උල්* ඇති බැවින් විසල්ල ය. ඉන්ද්‍රියන් සංවර ය. සන්සුන් ය. අතිශයින් ම පිරිසිදු දිවි ඇති සේක.

– බැහැර කරන ලද පව් ඇති බැවින් බ‍්‍රාහ්මණ වන සේක. සමනය කරන ලද පව් ඇති බැවින් ශ‍්‍රමණ වන සේක. අනාථයන්ට පිහිට වන බැවින් නාථ වන සේක. කෙලෙස් රෝගාදියට වෛද්‍යවරයාණෝ ය. රාගාදී හුල් ඉවත් කරන ශල්‍ය වෛද්‍යවරයාණෝ ය. කෙලෙස් සතුරන් ජය ගන්නා යෝධයාණෝ ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

– දමනය නො වූ පිරිස් දමනය කරන බැවින් සාරථී වන සේක. නිශ්චල වන සේක. මුදිතාවෙන් යුක්ත වන සේක.

– එ් බුදුරජාණන් වහන්සේ ඉවසන සුලූ ය. නිවන් මගෙහි ම වැඩිය සේක. අනුන්ට ද නිවන් මග පෙන්වා දෙන සේක. යහපත අයහපත පෙන්වා දෙන සේක.

– එ් බුදුරජාණන් වහන්සේ සත්වයන් සසරින් එතෙර කරවන සේක. අන් අයට පිළිසරණ වන සේක. නිවනට පමුණුවන සේක. කෙලෙස් නැමැති ගල් කුළු පළා දමන සේක. දුටුවන් සිත් වශී කරන සුලූ ය. කෙලෙස් සතුරන් නසන සේක. කෙලෙස් නසන වීර්යය ඇති සේක. තපෝ ගුණයෙන් යුක්ත වන සේක.

– එ් බුදුරජාණන් වහන්සේ සතුරු මිතුරු මැදහත් සියලූ දෙනාම කෙරෙහි සමාන සිත් ඇති සේක. බුදුරජාණන් වහන්සේලාට පමණක්
සමාන වන බැවින් සම වන සේක. වෙනත් සමාන කෙනෙක් නැති බැවින් අසම ය.

(අසම සම වන සේක). මේ හා සමාන යැයි වෙනත් අයෙකු පෙන්වීමට නොමැති හෙයින් අසහාය වන සේක. දයා ගුණයට නිවාසස්ථානය වන සේක. ආශ්චර්යවත් වන සේක.

– එ් බුදුරජාණන් වහන්සේ, සැක දුරු කළ සේක. මානය දුරු කළ සේක. පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමා විෂය ඉක්ම වූ සේක (උපමාවලින් කිව නො හැකි තරම් වන සේක*. වර්ණනා විෂය ඉක්ම වූ සේක. සත්‍ය වූ ධර්මයෙන් සහ දත යුතු සියලූ ධර්මයන්ගෙන් පරතෙරට ගිය සේක. මාර යුද්ධය ජය ගත් සේක.

– එ් බුදුරජාණන් වහන්සේ සියලූ ලෝ සතුන් අතරින් උතුම් ම හරය වන සේක. එහෙයින් බුදු සමිඳුන් කෙරෙහි, ශ‍්‍රද්ධාව ඇති කර ගැනීම අමා සුව ලැබීමට හේතු වන්නේ ය. එ් නිසා බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි වූ අචල ප‍්‍රසාදය ශ‍්‍රද්ධාව මහත් වූ පුණ්‍ය ඍද්ධි ඇති කරවන්නේ ය.

– මම මෙසේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ පිළිබඳ ව පිරිස් මැද වර්ණනා කළෙමි. මම එයින් චුත වී තුසිතයෙහි මහත් සැප විඳ, ඉන් චුත වී මිනිසත් බව ලැබ සුවඳවත් වූයෙමි.

– මගේ මුවින් පිටවන සුසුම ද ශරීර සුවඳ ද දහඩිය ද හැම වෙලේ ම සුවඳවත් ය. මගේ මුවේ සුවඳ පියුම්, උපුල්, සපුමල් සුවඳ මෙනි. සිරුරේ සුවඳ ද එසේ ම යි. බුදු ගුණ වර්ණනා කිරීමේ විපාක අතිශයින් ම
විස්මයජනකයි. මම එ් ගුණ වර්ණනා කරන්නෙමි.

සමාහිත සිත් ඇත්තෝ අසත්වා.

– බුදු ගුණ වර්ණනා කිරීම නිසා මම මිහිරි හඬ ඇතිව සිටින්නෙමි. යස ඉසුරු ඇතිව සිටින්නෙමි. සුවයෙන් සිටිමි. මනහර වූයෙමි. ප‍්‍රභාවත් වූයෙමි. ප‍්‍රියමනාප වූයෙමි. සොඳුරු වදන් පවසන සුලූ වූයෙමි.

– ආයුෂ ගෙවී ගියත් බුදු සමිඳුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිව සිටීම නිසා නිවන පහසුවෙන් ලැබෙන්නක් බවට පත් වෙයි. නිවන සුලබ වෙයි. එයට හේතුව අසන්න.

– මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යසස් භාවයට ගැළපෙන සේ උන්වහන්සේගේ අප‍්‍රමාණ ගුණ පවසන බැවින් එය අන් අයට ද යහපත ගෙන දෙන්නකි. එ් නිසා මම සුව ඇත්තෙක් වෙමි.

– දුකින් මිදෙන අයුරු පවසන බුදුරජාණන් වහන්සේගේ ශාන්ත වූ එ් ශ‍්‍රී සද්ධර්මය මම වර්ණනා කරන්නෙමි. එය අනෙක් අයට ද යහපත ගෙන දෙන්නක් බැවින්, මම සුව ඇත්තෙක් වෙමි.

– බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ පවසන්නේ ඉතා කැමැත්තෙන් වන අතර, එ් හේතුවෙන් සිත් අලවන ගති ගුණ ඇති කෙනෙක් වෙමි.

– මම බුදුරජාණන් වහන්සේගේ ගුණ පවසන නිසා සරා සඳ මෙන් ජනයාට ප‍්‍රිය මනාප ඇතිව වාසය කරමි.

– මම මට හැකි පමණින් බුදුරජාණන් වහන්සේට මාගේ ස්තූතිය සියලූ වචනයෙන් පුද කළ නිසා මම වාගීශ්වර වීමි. වැටහෙන නුවණ ඇත්තෙක් වීමි.

– විස්මයට පත් අඳ බාල කෙනෙක් මහා මුනි බුදුරජාණන් වහන්සේට අපවාද උපවාද කරන විට, ඔවුනට මම කරුණු සහිතව පහදා දෙන බැවින්, මම නින්දා අපහාස පරිභව නො ලද්දෙමි.

– මම බුදුගුණ වර්ණනා කිරීමෙන් සත්වයන්ගේ කෙලෙස් දුරු කළෙමි. එ් හේතුවෙන් මම නිකෙලෙස් සිත් ඇත්තෙක් වූයෙමි.

– බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කොට ධර්මය දේශනා කොට දහම් අසන්නන්ට නුවණ ලබා දුනිමි. එ් නිසා ම මම ප‍්‍රඥාවන්ත වූයෙමි. සියුම් අර්ථ දකින්නට දක්ෂ වෙමි.

– සියලූ ආස‍්‍රවයන් ක්ෂය කර සසර සයුර තරණය කර, කරදර රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණෙන්නෙමි.

– මම එ් කල්පයේ දී ම බුදුරජාණන් වහන්සේට යම් ස්තූතියක් කළා ද එ් හේතුවෙන් දුගතියක් නො ලදිමි. මෙය බුදු ගුණ වර්ණනා කිරීමේ ආනිශංසය යි.

– මා විසින් කෙලෙස් දවන ලදහ. සියලූ භවයන් නසා ඇත. හස්තිරාජයකු මෙන් විලංගු සිඳ දමා ආස‍්‍රව රහිතව වාසය කරමි.

– බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම එ්කාන්තයෙන් ම යහපත් ය. මම ත‍්‍රිවිද්‍යා ලැබුවෙමි. උතුම් බුදු සසුන සම්පූර්ණ කර ගන්නා ලද්දෙමි.

(සුගන්ධ ථේරාපදානය – අපදාන පාළි)

ඔබත් සිත පහදවාගෙන එ් අසහාය වූ දේවාතිදේව වූ දසබල ඤාණයන්ගෙන් සමන්විත වූ විශාරද වූ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එ් උතුම් තිසරණය කෙරෙහි සිත පහදවා ගැනීමට මේ පුණ්‍ය චාරිකාව උපකාරයක් ම වේවා…!

තෙරුවන් සරණයි!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ