හිස නමා ගෞරවාචාරය දක්වා සිටි ද්වාරාරක්ෂකයාගේ උරහිස මත තම වම් අත තබා සුහදතාවය පළ කර සිටි ගැමුණු මහරජතුමා රාජකීය භෝජනාගාරය වෙත සම්ප‍්‍රාප්ත විය.

රාජකීය භෝජනාගාර ප‍්‍රධානියා විසින් සිරිත් පරිදි මහත් ගෞරවයෙන් රජතුමාට රාජකීය භෝජන පිළිගන්වන අයුරු තිස්ස සෙන්පතිතුමා බලා සිටියේ විමසිලිමත් දෑසිනි. එදින සවස තිසා වැවෙහි සූදානම් කොට ඇති ජල ක‍්‍රීඩා උත්සවයේ කටයුතු සංවිධානය කෙරෙහි ඔහුගේ සිත යොමු වී තිබුණි. එ් නිසාවෙන් ගැමුණු රජුගේ නියෝගය පරිදි දිනපතා භෝජනාගාර ප‍්‍රධානියාගෙන් ඇසිය යුතු ව තිබුණු යම් දෙයක් තිස්ස සෙනෙවිතුමාගේ මතකයෙන් එ් මොහොතේ ගිලිහී යමින් තිබුණි….

එහෙත් භෝජන වළඳා අවසන් වීමට පෙර සැණෙන් මහරජු එ් අඩුව පුරවාලී ය.

‘‘තිස්ස, මේ සියලූ රාජභෝජනයන්ගේ ප‍්‍රථම භාගය මහා සංඝයා වෙත පූජා කොට අවසන් නො වේ ද?”

වහා පියවි ලොවට පැමිණි තිස්ස සෙන්පති තෙමේ තියුණු බැල්මකින් භෝජනාගාර ප‍්‍රධානියාගෙන් නැවත එය විමසාලද්දී ඔහුගේ මුහුණේ මතුවන ඩා බිඳු ගැමුණු මහ රජුගේ තියුණු දෙනෙතට සඟවාලිය නො හැකි විය.

‘‘කිම ද භානුක? යම් අඩුවක් වී ඇද්ද?”

රජතුමා තම නමින් ම ඇමතීම පිළිබඳ ව ඇති විය යුතු ව තිබූ සතුට රජ අණ කැඞීමට සිදුවීමේ භීතියෙන් යටපත් වී ගියේ ය. භානුකට දැනුණේ මෙය පැහැදිලි කරලන්නට භාෂාවේ වචන ප‍්‍රමාණවත් නො වන බව ය.

‘‘පස්වාන් දහසකට බුදුවන්ඩ… මහා රාජෝත්තමයාණන් වහන්ස, සියලූ රාජ භෝජන මහා සංඝයා වෙත පූජා කළා. එහෙත්….”

‘‘එහෙත්….?”

ගැමුණු මහ රජතුමා එවර දෑස යොමු කළේ තිස්ස සෙන්පති වෙත ය.

‘‘මහ රජතුමනි, රාජකීය භෝජන පිළියෙල කොට අවසන් වෙද්දී ලැබුණ මිරිස් මාළුව පිස අවසන් වනවිට මහා සංඝයා වෙත පූජා කෙරෙන දන් කඳ පිටත් වී ගොස් තිබුණා…”

ගැමුණු මහ රජතුමා වාඩි වී සිටි රාජකීය ආසනය වේගයෙන් පසුපසට කොට නැගී සිටියේ ය.

‘‘මෙය නො විය යුත්තකි….! අපගේ කුලදේවතාවුන් වහන්සේලා නො වළඳවා අප වළඳන බොජුන් කුමට ද? මෙයට නම් විශාල වන්දියක් ගෙවිය යුතු ම ය….”

සියලඟ දහඩියෙන් නැහැවී රතු වද මල් මාලා සිතින් දකිමින් සිටි භෝජනාගාර ප‍්‍රධානියාගේ බිය පහ කෙරෙන අන්දමේ කාරුණික බැල්මක් ඔහු වෙත හෙළුෑ රජු පිටව ගියේ ය. මහ රජු භෝජනාගාර ද්වාරයෙන් පිට වී යන අවසාන මොහොතේ එදෙස බලා හුන් භානුක කල්පනා කළේ එ් කාරුණික බැල්ම රජුගේ නෙතින් ලැබුණේ සැබැවින් ම ද කියා ය. භානුක එ් ගැන ම සිතන්නට විය.

‘‘ස්වාමීනි, ජලකී‍්‍රඩා උත්සවය වෙනුවෙන් සියල්ල සූදානම්…”

තිස්ස සෙන්පතිතුමා ගැමුණු මහ රජතුමාට හිස නමා ආචාර කරමින් පැවසී ය.

‘‘සියල්ල ම සූදානම් නේ ද?”

රජු පෙරළා ඇසූ පැනයෙන් තිස්ස ඇමතිට පෙරවරුවේ වූ අතපසුවීම වැනි අඩුපාඩුවක් නැවත කිසි දිනෙක නො විය යුතු ය යන පණිවිඩය ගෙන ආවේ ය.

රාජකීය පෙරහැරින් රාජකීය හස්තිරාජයා වූ කඩොල් ඇතු පිට නැඟී රාජ තේජස විහිදුවමින් ගමන් කරන පාංශු දේහධාරී මේ රාජෝත්තමයාණන්ගේ රූපශී‍්‍රය දැකීමට මහ ජනතාව රැස් කමින් වීදි දෙපස පෙළගැසී සිටිය දී සධාතුක ජය කොන්තය පෙරටු කොටගෙන රාජකීය පෙරහැර තිසා වැව කරා ළඟා වෙමින් තිබුණි.

තිසා වැව ආසන්නයේ එක්තරා තැනක මහත් ගෞරවාදර පූර්වක ව ජය කොන්තය රඳවා තැබූ ගැමුණු මහ රජතුමා ධාතූන් වහන්සේලා සහිත එ් ජය කොන්තයට මල් සුවඳ දුම් පුදා වෙනදාට වඩා වැඩි වේලාවක් ගෞරව ප‍්‍රණාම දක්වන බව තිස්ස සෙන්පතිට හැඟී ගියේ ය.

ජල කී‍්‍රඩා උත්සවය අවසානයේ සපිරිවරින් පැමිණි රාජකීයයන් ජය කොන්තය පෙරටු කොට ගෙන පෙරහැර සූදානම් කිරීමට පැමිණිය ද අදහාගත නො හැකි අසිරිමත් දෙයක් එහි සිදු වෙමින් තිබුණි….

සධාතුක ජය කොන්තය තිබූ තැනින් සෙලවීමටවත් නො හැකි විය… ගැමුණු මහ රජතුමා අතින් සන් කරමින් ජය කොන්තය තිබූ තැනින් ඉවතට ගැනීමේ උත්සාහය වළකාලී ය.

එදින පටන් එ් ජය කොන්තය එහි ම නිදන් විය.

මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් සුපූජිත වූ එ් උත්තම සුපින්බිමෙහි අදත් ගැමුණු මහ රජුගේ ජය කොන්තය නො සැලී පවතින්නේ ය. තමන් නො දැන වුව ද මහා සංඝයා නො වළඳවා මිරිස් මාළුව අනුභව කිරීමෙන් සිදු වූ අතපසුවීමට වන්දිය වූයේ එ් ජය කොන්තය මැදි කොට ඉදි කළ මිරිසවැටිය සෑ රජුන් ය.
සධාතුක ජය කොන්තය මැදි කරවා මිරිසවැටිය මහා සෑය තනා නිම කරවා මහා සඟරුවන ප‍්‍රමුඛ ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට මහ රහතන් වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වැඩම කොට වදාළ සේක.

උදෑසන කොළඹින් පිටත් වූ අප මිරිසවැටිය සෑ රජුන් වෙත ළඟා වෙද්දී මධ්‍යහ්නයට ආසන්න වෙමින් තිබුණි. එ් භූමියට සමීප වත් ම සුවිසල් පෙදෙසක් පුරා පැතිර ගිය නටබුන් රාශියක් ම දැකීමට හැකි විය. මෙකල නටබුන් වී ඇත්තේ එකල මිරිසවැටිය සෑ රජුන් වටා ඉදි කොට බුද්ධ ශාසනයට පූජා කළ බෞද්ධ ගෘහ නිර්මාණයන් බව නිසැක ය.

එදා ගැමුණු රජ සමයේ පැවති අන්දමට එ් සංඝාවාසයන් යළි ගොඩ නගන්නට ඇත්නම්…. එදා මේ බිමෙහි සැරිසරා වැඩි මහ රහතන් වහන්සේලා යළි දකින්නට ඇත්නම්….

නෙළුම් මල් වට්ටියක් දෝත දරාගෙන සලපතළ මළුව වෙත පිවිසෙද්දී අතීත අසිරියක පිය සටහන් එකින් එක සිත් අහසෙහි රූ සටහන් අඳින්නට විය.

අපි, ලක්ෂ සංඛ්‍යාත වූ මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් සුපූජිත වූ එ් සලපතළ මළුව මත පා තබා මිරිසවැටි මහා සෑය පැදකුණු කළෙමු. මල් සුවඳ දුම් පුදා මහත් ගෞරවාදරයෙන් මිරිසවැටිය මහා සෑය වන්දනා කළෙමු.

අභයරාජ සධාතුක කුත්තවරං
සුනිඡායකතං බහුමාණිකං
සකලහිතං පණමේසදා
මරිච්චවට්ටික චේතිය මුත්තමං

ගාමිණී අභය රජු විසින් සර්වඥ ධාතූන් වහන්සේලා සහිත වූ ජය කොන්තය නිධාන කොට තනවන ලද්දා වූ මිරිසවැටිය මහා සෑ රජුන් හට අපගේ නමස්කාරය වේවා!

මිරිසවැටිය සෑ රජුන්ගේ ඉතිහාසයෙන්…

හතළිස් හතර වසරක දකුණු ඉන්දීය පාලනය බිඳ හෙළා තුන්සිංහලය එක්සේසත් කළ ධීර වීර ගාමණී අභය රජු විසින් කළ පළමු සෑය වන්නේ මිරිසවැටිය යි.

පළමු වන ගජබාහු රජු මිරිසවැටිය සෑ රජුන්ට ආරක්ෂිත ආවරණයක් ඉදි කළ අතර වෝහාරික තිස්ස රජු මේ සෑ රජුන්ගේ ඡත‍්‍රය පිළිසකර කරවී ය. චෝළ ආක‍්‍රමණයන්ගෙන් හානි වූ මිරිසවැටිය සෑ රජුන් නඟා සිටවූයේ පස්වන කාශ්‍යප රජු ය. යළි යළිත් එල්ල වූ චෝළ ආක‍්‍රමණයන් හමුවේ ගරා වැටුණු මිරිසවැටිය සෑය දෙවන පරාක‍්‍රමබාහු රජු විසින් ප‍්‍රතිසංස්කරණය කරනු ලැබිණි. වාර්තාගත අවසන් මිරිසවැටි සෑ ප‍්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ නිශ්ශංක මල්ල රජු විසිනි.

ඉන්පසු වසර 700ක් පුරා ගරා වැටුණු සෑය යළි බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පිළිසකර කිරීම් අරඹා තිබුණි. වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයෙන් මිරිසවැටිය සෑ රජුන් සදා නිමකොට ගෞතම බුදු සසුනට පූජා
කෙරුණේ 1993 වර්ෂයේ පොසොන් පුන් පොහෝ දිනයේ ය.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ