දළදා වහන්සේ තරම් සිංහල බෞද්ධයන්ගේ භක්ති ප‍්‍රණාමයට ලක්වන අන් කිසි වස්තුවක් සිංහලේ නොමැත. දුරාතීතයේ පටන් ම දළදා වහන්සේ ද සිංහලයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන් ම රාජ්‍ය කටයුතු කෙරෙහි ද බල පෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේ දී කැපී පෙනේ. දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් සිංහලේ සතුරු ජාතීන්ට හිමි නොවන බවට අපේ ආදි මුතුන් මිත්තන් තුළ තිබුණේ දැඩි විශ්වාසයෙකි.

මෙවැනි හේතූන් නිසා කන්ද උඩ රටට විදේශීයයන්ගේ තර්ජන එල්ල වූ අවස්ථාවල දී අනික් කුදුමහත් කටයුතුවලට වඩා මුල් තැනක් දුන්නේ දන්ත ධාතූන් වහන්සේ රට අභ්‍යන්තරයට වැඩමවා ගෙන ගොස් ආරක්ෂා සහිතව තැන්පත් කිරීමට ය. දුම්බර දෙගල්ෙදාරු විහාරය, අලූත් නුවර මහියංගණ විහාරය, හඟුරන්කෙත කිතුල්පෙ විහාරය, කොත්මලේ පුසුල්පිටිය විහාරය ආදි සිද්ධස්ථාන අතීතයේ මෙසේ දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබීම සඳහා වැඩමවූ ස්ථාන වශයෙන් සඳහන් කළ හැකි ය.

1803 දී මේජර් ඬේවි ප‍්‍රධාන ඉංග‍්‍රීසි හමුදාවක් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ පළමුව හඟුරන්කෙත කිතුල්පෙ විහාරයටත්, පසුව මැද මහනුවරට සහ එතැනින් මහියංගණ විහාරයටත් වැඩමවා ගෙන ගොස් එහි දැඩි ආරක්ෂාව සහිතව තැන්පත් කොට තැබූහ. මේ වාරයේ ද ඉංග‍්‍රීසින් පරාජය කොට කන්ද උඩරට සෙමෙහි තැබූ පසු දන්ත ධාතූන් වහන්සේ මහනුවරට ආපසු වැඩමවා එ් වර්ෂයේ ඇසළ මහා පෙරහැර ඉතා අලංකාර අන්දමින් පවත්වනු ලැබී ය. දින පහක් ම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා සුදු අසුන් අට දෙනෙකු බැඳි මංගල රථයෙක නැගී මේ පෙරහැරේ ගමන් ගත් බව වාර්තාගත ය.

1815 අවසාන වරට ඉංග‍්‍රීසීන් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාව සඳහා කොත්මලේ පුසුල්පිටිය විහාරයට වැඩමවන ලදහ. මෙදා ඉංග‍්‍රීසීන් උඩරට පැමිණියේ ඇතැම් සිංහල රදලවරුන්ගේ ද සහාය ඇතිව ය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා සිහසුනෙන් පහකොට උඩරට රදලවරුන් හා ගිවිසුමකට බැඳී සිංහලේ රට ඉංග‍්‍රීසි කිරීටයට ඈඳා ගත් සර් බ‍්‍රවුන්රිග්, උඩරැටියන්ගේ පාලන ක‍්‍රම සහ සිරිත් විරිත් ගැන මනා අවබෝධයක් ඇතිව සිටි ජෝන් ඩොයිලිට අලූතින් ඈඳා ගත් රාජ්‍යය පාලනය කිරීමේ බාරය පැවැරුවේ ය. හැකිතාක් දුරට සිංහල සිරිත් විරිත් අනුව ම උඩරට පාලනය කිරීම මුල් අවධියේ ඔහුගේ වෑයම වී ය. දන්ත ධාතූන් වහන්සේගේ බාරය අහිමි කවරෙකුටවත් රට පාලනය කිරීමේ අයිතිවාසිකමක් හෝ හැකියාවක් හෝ නොමැති බවට සිංහලේ රට වැසියන් තුළ මුල් බැස තිබුණු විශ්වාසය ගැන දැන සිටි ඩොයිලි උඩ රට පාලනය බාරගත් නොබෝ දිනෙක සිට ම දන්ත ධාතූන් වහන්සේ නැවත උත්සවාකාරයෙන් මහනුවරට වැඩමවීම ගැන මල්වතු අස්ගිරි විහාරවාසී මහ තෙරවරුන්ගෙන් සහ සිංහලේ රදලවරුන්ගෙන් කරුණු විමසීමට පටන් ගත්තේ ය.

දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කරවීම සඳහා සුදුසු නැකැත් ආදිය බලා කටයුතු ලහි ලහියේ කරගෙන කරගෙන යන අතරක දී මහනුවර මාලිගය අසල ගවයෙකු මරණයට පත් වීමෙන් එ් භූමිය අපවිත‍්‍ර වීම නිසා දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ කටයුතු දින කීපයකට කල් දැමීමට සිදුවිය. මින් පසු අපේ‍්‍රල් මස 24 වෙනි දින යෙදුණු සුභ මොහොතෙකින් දළදා හිමි මාලිගයට වැඩමවීම සඳහා කටයුතු යොදා දැඩි ආරක්ෂක විධි විධාන යටතේ මහනුවර නගර සීමාව දක්වා ගෙන එන ලදී.

මෙතැනට රැුස්ව සිටි සිංහලේ රදලවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ නියෝජිත ජෝන් ඩොයිලි ඇතුළු විශාල ජනකායකගෙන් සෑදුණු විසිතුරු මහ පෙරහැරකින් දන්ත ධාතූන් වහන්සේ මාලිගය කරා වැඩමවාගෙන ආවෝ ය.

ජෝන් ඩොයිලි මේ කටයුත්තෙහි පුරෝගාමීව කටයුතු කිරීම නිසා ඔහු සිංහලයින්ගේ ප‍්‍රශංසාවට භාජන විය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන සිංහලයන් සතුටු කිරීමට සමත් වූ ඔහු උත්සවය අවසානයේ ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් වෙනුවෙන් දළදා වහන්සේට වටිනා ඔරලෝසුවක් පූජා කළේ ය. මෙවැනි කටයුතුවලට මුල දී රජයේ අනුග‍්‍රහය ලැබුණ ද රටේ පාලන කටයුතු දිනෙන් දින ම අවුල් තත්ත්වයකට පත්වීම නො වැළැක්විය හැකි විය. තවදුරටත් මේ තත්ත්වය පිරිහෙනු බලා සිටීමට නො කැමැති වූ සිංහල දේශපේ‍්‍රමීහු ආණ්ඩුව පෙරළා දැමීමට රහසේ සංවිධානය වන්නට වූහ. මේ කටයුත්තෙහි මූලිකව කටයුතු කළෝ මඩුගල්ලේ සහ ඉහගම උන්නාන්සේ යන දෙපළ වෙති.

දිනක් මඩුගල්ලේ මල්වතු විහාරයට ගොස් මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක රටේ තත්ත්වය ගැන ද උන් වහන්සේ හා සාකච්ඡුා කොට දන්ත ධාතූන් වහන්සේ මහනුවර තිබීම නුවණට හුරු නො වන බැවින් එය ඉංග‍්‍රීසින්ට නො දන්වා රහසේ ම මහනුවරින් නැවත පිට කළොත් යෙහෙකැයි දන්වා සිටියේ ය. මෙයින් නො නැවතුනු මඩුගල්ලේ ඉංග‍්‍රීසීන් පන්නා දැමීම සඳහා අනිකුත් රදලවරුන්ගේ ද සහාය ලබා ගැනීම පිණිස ඉහගම උන්නාන්සේත් සමඟ කටයුතු කළේ ය. මේ කුමන්ත‍්‍රණය පිළිබඳ තොරතුරු ඉංග‍්‍රීසි ආණ්ඩුවට දැනගන්නට ලැබුණේ මුල සිට ම ඉංග‍්‍රීසීන්ගේ පැත්ත ගෙන සිටි එක්නැලිගොඩ නිලමේගෙනි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මඩුගල්ලේ අල්ලා ඔහුට විරුද්ධව නඩු පවරා රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීමේ වරදට දෑවුරුද්දක් සිරේට යවන ලද්දේ ය. ඉහගම උන්නාන්සේ ද අල්ලා ගත් නමුත් උන් වහන්සේ ද මහනුවර සිට කොළඹට ගෙන එද්දී අවස්ථාවක් බලා සිරභාරයෙන් පැන ගියේ ය.

ඉංග‍්‍රීසීන්ට විරුද්ධව කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇති වූ මේ අවධියේ මහජනයාගේ සිතුම් පැතුම් අදහස් උදහස් දැන රජයට කරුණු කීම සඳහා ඔත්තුකරුවන් විශාල පිරිසක් යොදවා තිබුණි.

1817 දෙසැම්බර් මස 14 වන දින ආණ්ඩුකාරයා මුණගැසීමට ගිය එක් ඔත්තුකරුවකු දන්ත ධාතූන් වහන්සේ ගැන ප‍්‍රකාශයක් කිරීමට ඇති බව කියා සිටියෙන් ඔහුට එ් සඳහා අවස්ථාවක් සලසා දුනි. ඔහු කී විස්තරය එ් අන්දමින් ම ඉංග‍්‍රීසිහු සටහන් කර ගත්තෝ ය. එහි සිංහල අනුවාදය මෙසේ ය.

‘‘ඉංග‍්‍රීසින් උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා දුම්බරට පැන යන විට දන්ත ධාතූන් වහන්සේ ද රැුගෙන ගොස් එතැනින් කොත්මලේ පුසුල්පිටිය විහාරයට පිටත් කොට යැවී ය. දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාවට හුලංගමුවේ උන්නාන්සේ සහ වතුපොලව උන්නාන්සේත් වැඩියහ. මීට පසු දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අදහසින් මහනුවරින් තවත් භික්ෂූන් වහන්සේනමක් එහි වැඩියෝ ය. මුන් වහන්සේ එහි වැඩි පසු පන්සලේ නේවාසික භික්ෂූන් වහන්සේ විහාරයට තුළට උන් වහන්සේ කැඳවා ගෙන ගොස් එහි ඉදිරිපිට සාදවා තිබුණු මකර තොරණ දෙසට අත දිගු කරමින් දන්තා ධාතුන් වහන්සේ එහි ගැබයක් තුළ ආරක්ෂාව සඳහා තැන්පත් කොට ඇති බව කියා මෙය ඉතා රහසින් තබා ගන්නා ලෙස ද කීහ. මෙවිට ආගන්තුක ස්වාමීන් වහන්සේ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම වූවාට පසු එතැනින් කොළඹට ගෙන ගියොත් කුමක් කරමුද යි ඇසූහ.”

‘‘අපි ඊටත් සූදානම්, මෙවැනි දෙයක් විය හැකි බලාපොරොත්තුවෙන් අපි දන්ත ධාතූන් වහන්සේගේ ආකෘතියක් සාදා තිබෙනවා යයි මෙයට නේවාසික භික්ෂුන් වහන්සේ දුන් පිළිතුර විය.”

‘‘මෙහි දී, ආගන්තුක භික්ෂුව දන්ත ධාතූන් වහන්සේ තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටියේ ය. කාටත් මෙම රහස නො කියන්නට පොරොන්දු කර ගත් නේවාසික භික්ෂුව හිනිමගක් ගෙනැවිත් මකර තොරණට හේත්තු කොට එහි නැඟ දන්ත ධාතූන් වහන්සේ නැරඹීමට අවස්ථාව ලබා දුන්නේ ය.”

‘‘දැනට මහනුවර ආරක්ෂා සහිතව තැන්පත් කොට ඇත්තේ නියම දන්ත ධාතූන් වහන්සේ දැයි නිශ්චය වශයෙන් ම දැන ගැනීමට ඉතා ම හොඳ ම ක‍්‍රමය පුසුල්පිටියට කෙනෙකු යවා මේ ගැන පරීක්ෂණයක් කිරීම ය. නියම දන්ත ධාතූන් වහන්සේ රන් පැහැයට හුරු බැවින් සුදු පාටට හුරු ඇත් දතින් නිම කළ ආකෘතියක් වෙතොත් එය හඳුනා ගැනීම අසීරු කරුණක් නො වේ.”

මෙම ඔත්තුකරු කියා සිටි විස්තරය 1816 දෙසැම්බර් මස 17 වෙනි දින ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් ඩොයිලි මහතාට ඉදිරිපත් කරමින් මෙවැනි සටහනක් ද කළේ ය.

‘‘ඩොයිලි මහතාගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. මෙය බලා තව දුරටත් ඔබ සමඟ සාකච්ඡුා කිරීමට කැමැත්තෙමි.” – R.B

මෙවැනි තොරතුරු ගලා එ්ම නිසා දන්ත ධාතූන් වහන්සේ රැකබලා ගැනීම පිණිස ඉංග‍්‍රීසිහු වඩාත් උනන්දු වූහ. දළදා වහන්සේ සොරා ගැනීම වළක්වා ගැනීම සඳහා මාළිගය දිවා රෑ දෙකේ ම මුර කිරීම පිණිස යුද භටයින් යොදවන ලදී.

1817 අවසාන භාගයේ ඉංග‍්‍රීසින් රටින් පන්නා දමා ස්ව රාජ්‍යය ලබා ගැනීමේ අදහසින් වෙල්ලස්සෙන් පටන් ගත් මහ කැරැුල්ල ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී දන්ත ධාතූන් වහන්සේ දළදා මාළිගාවෙන් රහසේ පිට කර ගැනීමට වාරියපොළ උන්නාන්සේ අර අදිමින් සිටියේ ය. 1818 අපේ‍්‍රල් මාසයේ අග භාගයේ දී මහනුවරින් පිට කරවා ගනු ලැබූ දන්ත ධාතූන් වහන්සේ මතුරට ගවැල්ලගිරියේ දී කැරලි නායක කැප්පෙට්ටිපොල නිලමේතුමාට බාර කරනු ලැබී ය. මෙය කැරලි පක්ෂයට අත් වූ විශිෂ්ට ජයග‍්‍රහණයක් සේ සලකන ලදී.
හඟුරන්කෙතට පැමිණි කැප්පෙට්ටිපොල එතැනට එක් රැස් කරවූ විශාල ජනකායක් ඉදිරියේ දන්ත ධාතූන් වහන්සේ තම පක්ෂයට අයත් වූ බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කොට මහ ජනයාට උන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ද සලස්වා දුන්නේ ය. දළදා හිමි කැප්පෙටිපොල නිලමේතුමා සතු වූ බව ප‍්‍රකාශ කරත් ම රැුස්ව සිට පිරිස සාධුකර දී තම පක්ෂයට අයත් වූ මේ ජයග‍්‍රහණය ගැන උද්දාම වූහ.

1818 ජූලයි මස 24 වෙනිදා යටත් විදේශ බාර ලේකම්ට ආණ්ඩුකාර සර් බ‍්‍රවුන්රිග් කැරැල්ල ගැන විස්තර වාර්තාවක් ලියන අවස්ථාවේ දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙත ප‍්‍රදර්ශනය කළ ආරංචිය ගැන ද සඳහන් කළේ ය.

‘‘දන්ත ධාතූන් වහන්සේ කැරැුලි නායකයා (කැප්පෙටිපොල) සතු වී ඇති බවට පැතිර ඇති දූෂමාන ආරංචිය ගැන විමසා බැලිමි. කැප්පෙටිපොලට දන්ත ධාතූන් පැහැර ගෙන යන්නට බැරි වූවාට කිසිදු සැකයක් නැත. කරඬුව විවෘත කළ යුත්තේ මුදලියාර් කෙනෙකු ඉදිරියේ ය. තව ද ? දාවල් දෙකේ ම මුරකරුවෙකු විසින් එය මුර කරනු ලබයි. කරඬුව විවෘත කරවා එහි ඇත්ත නැත්ත අපට නිශ්චය වශයෙන් ම දැනගැනීමට හැකි වුවත් මෙසේ කිරීමෙන් ඇති වන අයුතු ප‍්‍රසිද්ධිය අපේ අවාසියට හේතු විය හැකි බැවින් ඩොයිලි එයට කැමැත්තක් නො දක්වයි. මෙහි රහස සිංහලයින්ගෙන් වසං කොට තබා ගත යුතු ය. හඟුරන්කෙත ප‍්‍රදර්ශනය වංචා සහගත බොරු වැඩක් යයි මම සිතමි. කාගේත් පොදු විශ්වාසය තාමත් දන්ත ධාතුව මහනුවර ඇති බවයි.”

ආණ්ඩුකාරයා මේ ගැන සැක පහළ කරමින් යටත් විදේශ බාර ලේකම්ට ලියා යැව්ව ද ඔහු ඇත්ත දැන සිටියා වන්නට පුළුවන. මේ සිද්ධියේ ඇත්ත අනාවරණය වූවොත් තමාගේ දුර්වල පාලනය ගැන එංගලන්තයට කරුණු කීමට සිදු වේ යයි සිතා මෙසේ ලියා යවන්නට ඇති බවට කොතෙකුත් ඉඩ තිබේ.

දළදා හිමි මාළිගාවෙන් හොර රහසේ සඟවාගෙන ගිය අන්දම සවිස්තරව වශයෙන් ඉංග‍්‍රීසින්ට දැනගන්ට ලැබුණේ මුල දී විමුක්ති සටනට එකතුව කැරලි නායකයින් හා උරෙනුර ගැටී එ් සඳහා වැඩ කොට පසුව ඉංග‍්‍රීසීන්ගේ රැුකවරණය පතා එම පැත්ත ගත් රඹුක්පත (කණිෂ්ඨ) මොහෙට්ටාලගෙනි. ඔහු සෝවර්ස් ඉදිරියේ කැරැල්ල ගැන දීර්ඝ විස්තරක් කරමින් දන්ත ධාතූන් වහන්සේ පැහැර ගෙන ගිය අයුරු කියා සිටියේ ය. එම ප‍්‍රකාශය අනුව දළදා හිමි පැහැර ගත් අයුරු මෙසේ විස්තර කළ හැක.

දිනක් දන්ත ධාතූ මන්දිරය වැසීමට ස්වල්ප වේලාවකට කලින් කළුගමුවේ කාරිය කරන රාල ඇතුළු හතර දෙනෙක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මෙන් එහි පැමිණියෝ ය. මේ අය පිදීමට මල් නො ගෙනා බව හැඟවූයෙන් තේවාව කරන භික්ෂුන් වහන්සේ අසල මුර කරමින් සිටි ලැස්කරින් භටයාට මල් වට්ටියක් මිල දී ගෙනෙන ලෙස ඉල්ලී ය. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් භික්ෂුන් වහන්සේ කළුගමුවේ රාල ඇතුළු පිරිස දළදා මන්දිරය ඇතුළේ සඟවා දොර වසා දැමුවේ ය. පසුදින පාන්දර මාලිගාවේ තේවාව පවත්වන ශබ්දයෙන් ප‍්‍රයෝජන ගනිමින් තමන් ළඟ තිබුණු ආයුධවල ආධාරයෙන් මහ කරඬුව කඩා දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි ඇතුළු කරඬුව රැගත් පිරිස රහස් මගෙකින් මන්දිරයෙන් පලා ගියෝ ය. මෙසේ රහසේ ම දන්ත ධාතූන් වහන්සේ මාලිගාවෙන් පිටකර ගත්තේ වාරියපොල හිමියන්ගේ අනුදැනීම ඇතිව ය. වාරියපොල හිමි ප‍්‍රධාන මෙම පිරිස දන්ත ධාතූන් වහන්සේ වැල්ලගිරියට ගෙන ගොස් එහි දී කැරැල්ල මෙහෙයවමින් සිටි කැප්පෙටිපොල නිලමේතුමාට භාර කළෝ ය.

හඟුරන්කෙත ප‍්‍රදර්ශනයෙන් පසු දන්ත ධාතූන් වහන්සේ වලපනේ කිවුලේ ගෙදර ග‍්‍රාමයට වැඩමවා එහි දී සියලූ පුද සත්කාර පවත්වමින් තැන්පත් කොට තිබූ බව පෙනේ. 1818 දෙසැම්බර් මස 11 වෙනි දින බදුල්ලේ එ්ජන්ත ධුරය ඉසුලූ සෝචර්ස්ට කරුණු කියා සිටි ඔත්තුකරුවෙක් දන්ත ධාතූන් වහන්සේ කිවුලේ ගෙදර තබා ගෙන සිටි භික්ෂුන් වහන්සේලාට තවදුරටත් එසේ තබාගෙන සිටීම අන්තරායකාරී බැවින් වෙනත් ආරක්ෂා සහිත ස්ථානයකට වැඩමවාගෙන යන ලෙස කිවුලේ ගෙදර මොහොට්ටාල අයැද සිටි බව දන්වා සිටියේ ය.

1818 ඔක්තෝම්බර් මස 28 වෙනි දින කැරැලි නායක කැප්පෙටිපොළ සහ පිළිමතලව්ව අනුරාධපුර ප‍්‍රදේශයේ දී ඉංග‍්‍රීසීන්ට අසුවූ අතර නොවැම්බර් මස 20 වන දින මඩුගල්ල මාතලේ නිකවැල්ල ග‍්‍රාමයේ දී ඉංග‍්‍රීසීන් අතට අසුවිය.

එදින ම සවස නිකවැල්ලේ කඳවුර බාරව සිටි එන්සයින් ෂුල්බ්රේඞ්ට අසල කැලයක බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් සැඟවී සිටින බවට ඔත්තුවක් ලැබී ඔහු අල්ලාගෙන එනු පිණිස මිනිසුන් පිටත් කොට යැව්වේ ය. උන් වහන්සේ අල්ලා ගෙන ආ පසු ඔහු අත තිබුණු සිවුරු පොට්ටනියක් ලිහා සෝදිසි කිරීමේ දී දන්ත ධාතූන් වහන්සේ එහි සිවුරු අතර තිබී හමුවිය. බෞද්ධ භික්ෂූන් වහන්සේ වාරියපොල ශ‍්‍රී සුමංගල හිමියන් බව දැන ගත් ෂුල් බ්රේඞ් වහා ම එ් බව උසස් නිලධාරීන්ට දන්වා යවන ලද්දේ ය.

සකල බෞද්ධ ජනතාවගේ අති පූජනීය වස්තුවක් රාජ්‍ය පාලකයන්ගේ ඇස් වසා සොරාගෙන යාම පිළිබඳ වරදට හසු වූ වාරියපොළ හිමියෝ යාපනේ සිර කොට තබා 1821 අපේ‍්‍රල් මාසයේ දිනෙක ආණ්ඩුකාරයාගේ නියෝගයක් පරිදි සිර භාරයෙන් මුදා හරින ලදහ.

මහාමේඝ 2015  අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1961දී පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

කර්තෘ
සී. එ්. විජේසේකර