වජ‍්‍රාසනය
වජ‍්‍රාසනය භාවනා කිරීමේ දී භාවිත වන යෝගාසනයක් වන අතර බොහෝ දෙනෙකුට පහසුවෙන් පුහුණු විය හැකි ආසනයකි. මෙම ඉරියව්වේ දී සිරුර දියමන්තියක් ලෙසින් දැඩි ව පවත්වා ගත හැකි හෙයින් දියමන්ති ඉරියව්ව (diamond pose) ලෙසින් ද හැඳින්වෙයි. අකුණු පහර යන අරුතින් වජ්ර ලෙස නම් කර ඇත.

මෙම ආසනයේ දී කොඳු ඇට පෙළ, ගෙල සහ හිස එක ම සරල රේඛාවක ඍජු ව පිහිටන පරිදි තබා ගනී. දෑත මත කිසිදු පීඩනයක් ක‍්‍රියාත්මක නො වේ. පළමු ව පාද දණහිස ළඟින් මුළුමනින් ම පසු පසට නවා යටි පතුල් මත වාඩිවන්න. මෙහි දී, දෙපය ඇ`ගිලි පෙදෙසින් එකට එකතු වී විළුඹ උඩු අතට හැරී තිබිය යුතු යි. ඉන් පසු ව කොන්ද කෙළින් තබා ගෙන, දෑත හොඳින් ඍජු ව දිග හැර ඒවා දණහිස් මත තබා ගන්න. මෙම ඉරියව්වෙන් දවසේ ඕනෑ ම වේලාවක වාඩි වී සිටිය හැකි අතර ආහාර ගැනීමෙන් පසු ව හෝ දිගු ගමනක් ගොස් පැමිණි විටෙක හෝ මෙම ඉරියව්වෙන් වාඩි වී සිටිය හැකි ය. මෙම`ගින් වෙහෙසට පත් පාදවලට සහනයක් ලැබේ. පොතක් කියවන අතරතුර වුව ද මෙසේ වාඩි වී එය කිරීම සුදුසු යි.

රුධිර පීඩනය පාලනය කිරීම, කොඳු ඇට පෙළ ශක්තිමත් කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට හිතකර බලපෑම් ඇති කිරීම, දණහිස්වල, පා ඇටවල එක් රැස් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වීම සහ මනසේ ස්ථාවර බව පවත්වා ගැනීම වැනි ප‍්‍රයෝජන මෙම ආසනය පුහුණු කිරීමෙන් සලසා ගත හැක.

සුප්ත වජ‍්‍රාසනය
වජ‍්‍රාසන ඉරියව්වේ ම වෙනත් ආකාරයකි. වැතිර සිටීම හෝ විවේකීව සිටීම යන අරුත දෙන වචනයකි, සුප්ත.

පළමු ව වජ‍්‍රාසන ක‍්‍රමයට වාඩිවන්න. පසු ව දණහිස්වලින් නැඟී සිට පාද දෙක දෙපසට කර ඒ අතරින් වාඩිවන්න. මෙහි දී පසු පෙදෙස (නිතඹ)  බිම ගෑවිය යුතු යි. ඉන් පසු වැලමිට භූමිය මත තබා දෑත ශක්තිමත් ව තබා ගනිමින් ක‍්‍රමයෙන් කඳ පසු පසට නමන්න. මෙහි දී ක‍්‍රමයෙන් ගෙල ද පසු පසට නැමිය යුතු අතර ඇස් බැල් ම ද පසු පසට යොමු වී තිබිය යුතු යි. අවසානයේ දී මුළුමනින් ම කඳ පහතට පැමිණි අවස්ථාවේ දී අත් දෙක වැලමිටෙන් නමා එක් අතක් අනෙක් අත මත තිබෙන පරිදි පොළොවේ තබා ගන්න. මෙවිට හිස අත් මත තබා ගත හැකි යි. මෙම ඉරියව්වේ දී උරහිස් පොළොව මත තිබිය යුතු යි. මෙහි දී දණහිස් ළංකොට තබා ගත යුතු අතර එසේ අපහසු නම් ආරම්භක පුහුණුවීම්වල දී දණහිස් වෙන්කර තබා ගත හැකි ය. සාමාන්‍ය ලෙස ආශ්වාස, ප‍්‍රශ්වාස කරමින් මෙම ඉරියව්වේ විනාඩියක් දෙකක් සිටින්න. නැවත මුල් ඉරියව්වට පැමිණීම සඳහා පළමු ව දෑත ඉවතට ගෙන සිරුර දෙපැත්තෙන් තබා ගන්න. අනතුරු ව වැලමිටේ උපකාරයෙන් නැඟීසිටිය හැකි ය.

මෙය අසීරු ඉරියව්වකි. ටික දිනක් පුහුණු වීමෙන් නිවැරදි ක‍්‍රමය හුරු කර ගත හැකි ය. සුප්ත වජ‍්‍රාසනය පුහුණු වීමෙන් දණහිස්, කලවා, ඉඟ, උදරය, කොඳු ඇට පෙළ, වළලූකර යනා දී අවයව ශක්තිමත් කෙරේ. එසේ ම වකුගඩුවල නිරෝගී බවට, මලබද්ධය, පාදවල වේදනා, අධිරුධිර පීඩනය ආදිය පාලනය කර ගැනීමට උපකාර වෙයි. තව ද කායික මානසික ආතතිය සමනය කරයි.
දණහිස්වල තුවාල, වේදනා ඇති අවස්ථාවල දී මෙම ආසන පුහුණුවීම නුසුදුසු ය.

මහාමේඝ 2011 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.

යෝගාසන සටහන
පියුම්නිල් ගමගෙදර