මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ‘සතර බ‍්‍රහ්ම විහරණ’ කියා හඳුන්වන්නේ එ්වා බ‍්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂී ගුණධර්මයන් නිසයි. මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර බහුල වශයෙන් මේ කරුණු අපේ ජීවිතවල දියුණු කර ගත්තොත් මරණින් මතු බ‍්‍රහ්ම ලෝකයක උපත ලබන්නට අපටත් පුළුවනි. බඹ ලොව දී තව දුරටත් ධර්ම මාර්ගය දියුුණු කරගෙන ධර්මාවබෝධ කරන්නත් පුළුවනි.

අන් අයගේ ආර්ථික, ආධ්‍යාත්මික දියුණුව දැක එය අනුමෝදන් වෙමින් එයට හදවතින් ම ආශීර්වාද කරමින්, එ් කෙරෙහි ඇතිකර ගන්නා සතුට මුදිතාව කියා හඳුන්වනවා. මුදිතාව නැතිනම් එතන හටගන්නේ ඊර්ෂ්‍යාව නම් බලවත් දුර්විපාක ගෙනදෙන අකුසල් ස්වභාවය යි. නමුත් මුදිතාව ඇති කෙනා තව කෙනෙක් ධාර්මිකව ධනය රැස්කරගෙන ඉඩ කඩම් ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙලා ඉන්නකොට එ් ගැන සතුටු වෙනවා. එ් වගේ ම අන් අය හොඳින් ඉගෙන ගන්නවා නම්, හොඳ රැකියාවක් කරනවා නම්, හොඳ සමාජ පිළිගැනීමකට ලක්වෙනවා නම්, ලස්සනට ක‍්‍රමානුකූලව ජීවත් වෙනවා නම් එ් සෑම කරුණක දී ම සිතේ සතුටක් ඇතිකර ගන්න අපි දක්ෂ වෙන්න ඕනෑ. එවිට අපේ ජීවිතවලට උතුම් පින් රැස් වෙනවා. එම පින එ් සම්පත් අපට ද ලැබීම පිණිසත් කර්මානුරූපව උපකාරී වන අයුරින් පිනක් බවටත් පත්වෙනවා. කුසල් අකුසල් ගැන අවබෝධයක් නැති සමහරු තවත් කෙනෙකුගේ ලස්සන රූපයට ඊර්ෂ්‍යා කරනවා. එවැනි අකුසල් සිතිවිල් බැහැර කරලා මුදිතාව මුදිතාව ඇතිකර ගන්නට අපි මහන්සි වෙන්න ඕනෑ. අන් අය තුළ ගුණධර්ම දියුණු වන විටත් අපි එ් කෙරෙහි සතුටු වෙන්න ඕනෑ. එ් කියන්නේ තව කෙනෙක් හොඳින් දන් පැන් පූජා කරද්දී, හොඳ දහම් දැනුමක් ඇතිකර ගනිද්දී අපි හදවතින් ම එයට ආශීර්වාද කරන්න ඕනෑ. තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම්, ලස්සනට ධර්මය දේශනා කරනවා නම් එ් ගැන සතුටු වෙන්න ඕනෑ. එ් හැම විට ම අප තුළ මුදිතාව දියුණු වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අරතිය හෙවත් කුසල් දහම්වල සිත නො ඇලෙන ගතිය දුරු කර ගන්න මුදිතාව වඩන්න කියලයි. මුදිතාව දියුණුකර ගත්තොත් කුසල් දහම්වල සිත අලවා ගෙන නිරාමිස සතුටින් කාලය ගත කළ හැකියි. මුදිතාව භාවනා වශයෙන් දියුණු කිරීමෙන් ඇතිකර ගන්නා චිත්ත සමාධිය මුදිතා චේතෝ විමුක්තිය කියා හඳුන්වනවා. මුදිතා චේතෝ විමුක්තියත් මහග්ගත, අප්පමාණ යන ක‍්‍රම දෙකෙන් ම දියුණු කළ හැකියි. මහග්ගත චේතෝ විමුක්තිය ටිකෙන් ටික ප‍්‍රදේශය පුළුල් කරමින් පැතිරවිය හැකියි. අප්පමාණ චේතෝ විමුක්තියේ දී පළමුව තමන්ට මුදිතාව වඩා ඉන්පසු, උතුරු දිශාව, උතුරු අනුදිශාව ආදි වශයෙන් දස දිශාවට ම මුදිතාව පැතිරවිය හැකියි. එ් තුළින් මුදිතා ධ්‍යාන උපදවා ගන්නත්, එම ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වඩා මාර්ගඵල අවබෝධ කර ගන්නටත් හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එම නිසා අපි කවුරුත් එදිනෙදා ජීවිතයේ දී මුදිතාව දියුණුකර ගැනීමටත්, භවනාවක් වශයෙන් ප‍්‍රගුණ කර ගැනීමටත් උත්සාහවත් වෙමු.

මහග්ගත චේතෝ විමුක්තිය වඩන හැටි…

1. මම ආයුෂයෙන් වැඩෙම්වා…! බලයෙන් වැඩෙම්වා…! වර්ණයෙන් වැඩෙම්වා…! සැපයෙන් වැඩෙම්වා…! යසසින් වැඩෙම්වා…! කීර්තියෙන් වැඩෙම්වා…! ප‍්‍රඥාවෙන් වැඩෙම්වා…!
2. මා මෙන් ම මේ නිවසේ සිටින සියලූ දෙනා ම…
3. මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
4. මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
5. මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
6. මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
7. මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
8. මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම ආයුෂයෙන් වැඩෙත්වා…! බලයෙන් වැඩෙත්වා…! වර්ණයෙන් වැඩෙත්වා…! සැපයෙන් වැඩෙත්වා…! යසසින් වැඩෙත්වා…! කීර්තියෙන් වැඩෙත්වා…! ප‍්‍රඥාවෙන් වැඩෙත්වා…!

අප්පමාණ චේතෝ විමුක්තිය වඩන හැටි…

1. මම ආයුෂයෙන් වැඩෙම්වා…! බලයෙන් වැඩෙම්වා…! වර්ණයෙන් වැඩෙම්වා…! සැපයෙන් වැඩෙම්වා…! යසසින් වැඩෙම්වා…! කීර්තියෙන් වැඩෙම්වා…! ප‍්‍රඥාවෙන් වැඩෙම්වා…!
2. උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
3. උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
4. නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
5. නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
6. දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
7. දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
8. බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
9. බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
10. උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
11. යට දිශාවේ සිටින සියලූ සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා…! බලයෙන් වැඩෙත්වා…! වර්ණයෙන් වැඩෙත්වා…! සැපයෙන් වැඩෙත්වා…! යසසින් වැඩෙත්වා…! කීර්තියෙන් වැඩෙත්වා…! ප‍්‍රඥාවෙන් වැඩෙත්වා…!

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතට සුව දෙන භාවනා සදහම් ග‍්‍රන්ථය ඇසුරෙනි.

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.