බොහෝ පිරිස් විවිධ අක්ෂි සහ පෙනීමේ ගැටළුවලින් පීඩා විඳිති. අක්ෂිවල නිරෝගී බවට මෙන් ම ශක්තිමත් බවට අනෙක් සියලූ මාංශ පේශීන් වලට මෙන් ව්‍යායාම අවශ්‍ය යි. බොහෝ විට පොතක සඳහන් දෙයක් හෝ පරිගණක තිරයක් මත සටහන් ව ඇති දෙයක් කියවන විට අපගේ බැල්ම වමේ සිට දකුණට එහා මෙහා යන්නේ අවම වශයෙනි. එසේ ම වෙන දිශාවක් බැලීමට අවශ්‍ය නම් හිස හරවා බැලීම සිදු වෙයි. අක්ෂි ව්‍යායාම මඟින් හිස නො හරවා සියලූ දිශාවන්ට අක්ෂි චලනය කිරීම සිදු කෙරේ. දිනකට මිනිත්තු කිහිපයක් හෝ පහත පෙන්වා දෙන සරල ව්‍යායාමවල නිරත වීම ඇස්වල නිරෝගී බවට වැදගත් සාධකයකි. එමඟින් ඇස්වල මාංශ පේශි ශක්තිමත් කරයි. ඇස්වල වෙහෙස දුරු කර ගැනීමට උපකාර වෙයි. ඇසේ පෙනුම වැඩි දියුණු කරයි.

1. උණුසුම් තුවායක් ඇස් මත තැබීම.
මෙහි දී උණුසුම් තෙත් තුවායක් වසා සිටින ඇස් මත තබා පහසු ඉරියව්වකින් වාඩි වී ඉහිල් වන්න. එම ඉරියව්වේ මිනිත්තු කිහිපයක් ගත කරන්න.

2. ඇසි පිය හෙළීම  (blinking)
මෙමඟින් ඇස් වියළීම වලක්වයි. ඇස් ඉහිල් වීමට මෙන් ම මනා අක්ෂි සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට වැදගත් වන ව්‍යායාමයකි. සාමාන්‍යයෙන් අප පොතක් කියවන විට හෝ පරිගණකයක් භාවිතයේ දී ඇසි පිය හෙළීම ඉතා ම අඩු වෙයි. මෙවැනි ක‍්‍රියාකාරකම් අතරතුර ඇසි පිය හෙළීම ඉතා වැදගත් ය.

3. උණුසුම් අත්
දෙඅත්ල උණුසුම් වන තුරු එකිනෙක මත තබා හොඳින් අතුල්ලන්න. අනතුරු ව උණුසුම් අත්ල වසා සිටින ඇස් මත තබා එම ඉරියව්වේ මිනිත්තුවක් පමණ සිටින්න. මෙම ව්‍යායාමය කිහිප වරක් කරන්න.

4. හස්තවල පීඩනය
දෑස වසා ගෙන ඇස් වටා ඇති පෙදෙස අත්ල ම`ගින් තද කරන්න. සැහැල්ලූ තෙරපුමක් ඇති ව ඔබගේ දෑත වෘර්තාකාර ව ඇස් වටා චලනය කරන්න.

5. ඇසේ කළු ඉංගිරියාව එක පැත්තක සිට අනෙක් පැත්තට චලනය කිරීම.
මෙහි දී එම හැම අවස්ථාවක දී ම අදාළ පැතිවල ඇති වස්තු හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු ය.

6. ඔරලෝසුවක කටුව මෙන් කළු ඉංගිරියාව චලනය කිරීම.
මෙහි දී දක්ෂිණාවර්ත ව මෙන් ම වාමාවර්තව ද කළු ඉගිරියාව චලනය කළ යුතු ය.

7. තුන් වැනි ඇඟිල්ල
ඔබගේ දෑත් ඇසට අඟල් 5 හෝ 7 දුරින් රඳවා ගෙන දබරඟිලි ඔබට පෙනෙන පරිදි ඉහළට තබා ගන්න. ඔබගේ දෑත හැකි තරම් ඈත් කොට තබා ගෙන දබරගිලි සෙමෙන් එකිනෙක දෙසට ගෙන එන්න. එවිට ඇඟිලි දෙක ඍජු ව ඇස් මට්ටමින් පිහිටිය යුතු ය. මේ අතරතුර දී ඔබ බැලිය යුත්තේ ඇඟිලි දෙක අතර ප‍්‍රදේශය යි. ඇඟිලි දෙක එක්‌ වී තනි ඇඟිල්ලක් ලෙස පෙනෙන තුරු තවදුරටත් ඇඟිලි දෙක සෙමෙන් ළං කරන්න. නො පැහැදිලි බව අඩු වන තුරු දක්නට ලැබෙන තුන් වැනි ඇ`ගිල්ල වෙත තව දුරටත් අවධානය යොමු කරන්න. තුන් වැනි ඇඟිල්ල නො පෙනී ගිය පසු ව්‍යායාමය මුල සිට ආරම්භ කළ යුතු යි.

8. සමීප සහ බැහැර
පෑනක් වැනි කුඩා වස්තුවක් අතට ගන්න. එම වස්තුව දෙස සමීපව බලා යම් විශේෂ සලකුණක් වෙත නාභි ගත කරන්න. ඉන්පසු එම වස්තුව ඔබගෙන් දුරස් කරන්න. එවිට ද ඔබේ අවධානය එම සලකුණ කෙරෙහි ම පවත්වන්න. එම සලකුණ අපැහැදිලි වන තුරු දෑස එම සලකුණ වෙත නාභි ගත කළ යුතු යි. නැවත සෙමෙන් එම වස්තුව ඔබ දෙසට ගෙන එන්න. මෙම ව්‍යායාමය කිහිප වරක් සිදු කරන්න.

9. සිතේ මවා ගැනීම
යම්කිසි වස්තුවක් වෙත අවධානය යොමු කර එහි සියලූ අංග සහ සලකුණු හදුනාගන්න. ඉන්පසු දෑස වසා ගෙන එම වස්තුව සිතෙන් ගොඩනඟාන්න. නැවත දෑස විවර කොට ඔබට මඟ හැරුණු ලක්ෂණ හොඳින් දකින්න. නැවත දෑස වසා ගෙන එම වස්තුව නැවත සිතින් මවා ගන්න. මේ අයුරින් කිහිප වරක් කරන්න.

10. සමීප සහ දුරස් වස්තු
පෑනක් වැනි කුඩා වස්තුවක් ඔබගේ අතට ගෙන එය වෙත තත්පර 5ක් පමණ අවධානය යොමු කරන්න. දැන් ඔබේ අවධානය දුර තිබෙන වස්තුවක් වෙතට යොමු කරන්න. තත්පර 5ක් පමණ ඒ දෙස බලා සිට නැවත අතේ දරා සිටින සමීපව ඇති වස්තුව දෙස බලන්න. මෙය කිහිප වාරයක් කරන්න.

11. කළු ඉංගිරියාව කවාකාරව කරකැවීම.
කළු ඉංගිරියාව කරකවන අතරතුර ඔබට පෙනෙන දේවල්වලට ද අවධානය යොමු කරන්න. මෙම ව්‍යායාමය කිහිප වරක් සෙමෙන් සිදු කරන්න. ඉන් පසු ව විරුද්ධ දිශාවට ද එසේ සිදු කරන්න.

12. කළු ඉංගිරියාව අංක 8 හැඩයට චලනය කිරීම
අංක 8 මනසින් මවාගෙන අංක 8 මතින් කළු ඉංගිරියාව රැඟෙන යන්න.

13. යෝග ඇස් ව්‍යායාම
හිස චලනය නො කර ඉහළ, පහළ බලන්න. අනතුරු ව දකුණ, වම බලන්න. පසු ව දකුණේ ඉහළ සහ වමේ පහළ බලන්න. ඉන් පසු වමේ ඉහළ සහ දකුණේ පහළ බලන්න. අවසාන වශයෙන් ඉහළ බලා තුන්වරක් දක්ෂිණාවර්තව සහ පසු ව එලෙස ම වාමාවර්තව ද චලනය කරන්න.

ඉහත ව්‍යායාම පුහුණු කිරීමෙන් ඔබත් මනා පෙනුමැති සොඳුරු දෑසක හිමිකරුවෙක් වෙත්වා..!

එනමුදු ඇස කෙතරම් සොඳුරු ව, නිරෝගීව, මනා පෙනුමෙන් පැවතුණත් ඇසේ සුන්දරත්වය ජරාවෙන් වැසී යන කලක් උදා වනු ඇත, ඇසේ නිරෝගී බව රෝගී බවෙන් වැසී යන කලක් උදා වනු ඇත, මනා පෙනුමෙන් යුතු ඇස වෙනස් වී ගොස් මරණයෙන් වැසී යන දිනයක් ද උදා වනු ඇත.

බුදු රජාණන් වහන්සේ වදාළේ යම් තැනක ඇසක් තිබේ ද යම් තැනක කනක් තිබේ ද යම් තැනක නාසයක් තිබේ ද යම් තැනක දිවක් තිබේ ද යම් තැනක කයක් තිබේ ද යම් තැනක මනසක් තිබේ ද එතැන දුක ඇති බව යි. එනම් ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයේ උපත යම් තැනක ද එතැන දුකේ උපත යි, ජරා ජීර්ණ වීමේ උපත යි, රෝගයේ උපත යි , මරණයේ උපතයි. එනිසා මහා කාරුණිකසම්බුදු සමිදාණන් වදාළේ ඇස ආදී ආයතන 6 අවබෝධ කළ යුතු දුකට අයිති බව යි. මහා සතිපට්ටාන සුත‍්‍රයේ දී උන්වහන්සේ පෙන්වා වදාළේ චක්ඛුං ච පජානාති (ඇසත් දැනගන්නවා), රූපේච පජානාති (රූපයත් දැනගන්නවා), යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං, තංච පජානාති (ඒ ඇසත්, රූපත් මුල්කරගෙන සංයෝජනයක් හටගන්නව නම්, එකත් දැනගන්නවා), යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හොති, තංච පජානාති (ඒ වගේ ම නූපන් සංයෝජනයන් උපදිනවා ද එකත් දැනගන්නවා) ලෙසිනු යි. ආසාවෙන් බැ`දී සිටින පුද්ගලයා තමන්ගේ ඇස ආදි ආයතනයන්ගේ ක‍්‍රියාකාරීත්වයට සිහිය පිහිටුවා මනා සිහියෙන් බලන විට ඔහු දකින්නේ අනිත්‍ය වූ ඇසකි. අනිත්‍ය වූ ආයතන හයකි.

නාම රූප ප‍්‍රත්‍යයෙන් හට ගත් ආයතන හය ගැන නුවණින් විමසන විට ඔහු ඇස ආදී ආයතන හය ගැන දැන ගනී. මේ ආයතන හය ගැන මනා කොට සිහිය පිහිටුවා ගැනීමේ දී ඔහු අනිත්‍ය වූ ආයතන හයක් දකී. ඇති වීම නැති වීම දකී. අනාත්මය දකී. එනිසා ම ඔහු ආයතන හයෙන් ම නිදහස් වේ. එවිට මෙලොවින් ද නිදහස් වේ. පරලොවින් ද නිදහස් වේ. සියලූ දෙයින් නිදහස් වේ. සියලූ දෙයින් නිදහස් වී සදා සැනසිල්ල ලැබූ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සඟ රුවනට නමස්කාර වේවා..!

ජීවිතයක් සුවපත් කරගන්නට අප‍්‍රමාණ වෙහෙසක් දරන අපි බොහෝ දුර සසරේ යන්නේ නම් තවත් කොපමණ වෙහෙසක්, පීඩාවක් විඳීවි ද? දකින්න ඒ සොඳුරු දහම.. සුවපත් කර ගන්න ඝෝර සසර…තෙරුවන් සරණ යි!

මහාමේඝ 2011 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.

සදහම් ඇසුර:
‘සිතට සුව දෙන භාවනා’
පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ

සුව සටහන
පියුම්නිල් ගමගෙදර