හිත් පිත් නැති තුරු වැල් පවා තම සිරසෙහි මල් ගවසාගෙන ඔබ වහන්සේ වෙනුවෙන් ම සොඳුරු වෙස් ගෙන සිටින මේ සුන්දර වෙසෙඟහි තවමත් ඔබ වහන්සේගේ ගුණ කඳ අපගේ පුංචි සිත් මඩලට දැනුණ අයුරින් ඔබ වහන්සේගේ නාමයෙන් අල්පමාත‍්‍ර වූ සටහනකි මේ…

සුන්දර යැයි යමකට කීමට අවැසි කෙනෙකු හට අති සුන්දර යමක් හමු වී ද විස්මිත යැයි යමකට කීමට අවැසි කෙනෙකු හට සැබැවින් ම විස්මිත යමක් හමු වී ද කල්‍යාණ යැයි යමකට කීමට අවැසි වූ අයෙකු හට පරම කල්‍යාණ වූ යමක් හමු වී ද එසේ ම භගවතාණෙනි, ඔබ වහන්සේගේ හද මඩල හඳුනා ගත්තෙකුට එ් සියල්ල හමු වූවා වන්නේ ම ය..

මෙලොව උපන් සියලූ සත්වයනට කුසගින්න ප‍්‍රශ්නයකි. නමුදු ඔබ වහන්සේට කිසි දිනක කුස ගින්න ප‍්‍රශ්නයක් නො වුණේ ම ය. මෝහාන්ධකාරය නමැති ඝන අඳුර බිඳ හෙළන්නට සත්‍යයේ ආලෝකය සොයමින් ඔබ වහන්සේ ගත් වෙහෙසේ දී පවා ඔබ වහන්සේට කුසක් තිබුණා ද යයි සිතන්නට වගක්වත් නුඹ වහන්සේට නො තිබුණා සේ ය. පිට කොන්ද අතගෑ කල්හි ඔබ වහන්සේට කුස ය ස්පර්ශ වූයේ.. ඔබ වහන්සේ කුස අත ගෑ කල්හි පිට කොන්ද ය ස්පර්ශ වූයේ.

මෙලොව සෑම සත්වයෙකුට ම පිපාසය ප‍්‍රශ්නයකි. නමුදු ඔබ වහන්සේට කිසි දිනක පිපාසය ප‍්‍රශ්නයක් නො වුණේ ම ය. ඔබ වහන්සේ ක්ලාන්ත වී බිම ඇද වැටුණ ද දිය බිඳක් හෝ දී කය සනසවන්නට ඔබ වහන්සේට වුවමනා නො වුණේ ය. සීතලෙන් පින්නෙන් මැසි මදුරුවන්ගෙන් හෝ ගත රැුකෙන්නට තිබූ එක ම සිවුරුපට ද ඉවත් කළ ඔබ වහන්සේ විටෙක අනෙකකු හඳුනාගත්තේ සන්‍යාසියෙකු සේ ය. රජ පෙළපතක උපන් රාජ කුමාරයකු සතු රාජ අභිමානය තබා පැදුරු කඩමල්ලක උපන් සිඟන දරුවෙකුට උපන් ගෙයි හිමි යම් අභිමානයක් ඇත් ද එයවත් නොමැත්තකු සේ අනුන්ගේ ගව ගාල් සොයා ගොස් ඔබ වහන්සේ ගව මුත‍්‍රා පානය කළ සේක් ම ය. එ් ද පිපාසය සන්සිඳවා ගැනීමේ අරමුණින් නොව විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට එම ව‍්‍රතය ඉවහල් වේවා!’යි සිතමිනි.

සෑම මනුෂ්‍යයෙකුට ම ඉටු කර ගත යුතු බලාපොරොත්තු සම්භාරයකි. අහස උසට අපේක්ෂාවන් ය. අරමුණු ය. ඉලක්කයන් ය. එ් සියල්ල තමන් උදෙසා ම ය. නමුදු ඔබ වහන්සේට වුයේ එක ම එක බලාපොරොත්තුවකි. අපේක්ෂාවකි. අරමුණකි. එය ද අප වෙනුවෙන් ම ය. අනේක ආත්ම භාවයන්හි දී ද ඔබ වහන්සේගේ එක ම අපේක්ෂාව වූයේ එය ම ය. සංසාරයේ සත්වයෙකුට දැරිය නො හැකි තරම් අපමණ දුක් සම්භාරයක් විඳ ගනිමින් ඔබ වහන්සේ අප වෙනුවෙන් ම බොහෝ දුර ආ සේක. එ්.. ඔබ වහන්සේගේ ධෛර්ය පිළිබඳ වූ විශ්වාසයෙනි. පාරමිතාවන් පිළිබඳව වූ විශ්වාසයෙනි. අවසන මුදුන්පත් වූ ඔබ වහන්සේගේ අරමුණ වනාහී, සත්ථා දේවමනුස්ස වූ මාගේ බුදු සමිඳාණෙනි, සකල දෙව් බඹ මනු සියලූ සංසාරගත සත්වයාගේ ගැටලූවට විසඳුම ය.

පාසිවලින් වැසී ගත් නිල්වන් දිය පිරි සුනිල විලෙහි පාසි ඉවත් කර නිමල දිය පාදා දුන් කල්හි පිපාසිත සියලූ සත්වයෝ එම දියෙහි බැස රිසි සේ පවස නිවා ගන්නා සේ, සමිඳාණෙනි ඔබ වහන්සේ මිථ්‍යාවෙන් වැසී ගත් ලෝකයට සත්‍යය විවර කර දුන් කල්හි සුගති සැප ලබන්නට, සදාකාලික සැප ඇති නිර්වාණ සැප ලබන්නට කැමැත්තෝ ඉන් ම සැනසුනහ. ”ඛයං විරාගං අමතං පණීතං..” සැබැවින් ම මුනිඳුනි, ඔබ වහන්සේගේ ප‍්‍රඥාවෙන් උපන් එ් දහම රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරන්නකි. නොඇල්ම ඇති කරන්නකි. අමරණීය වූවකි. ප‍්‍රණිත වූවකි. එ් නිසා ම මහා ලාභයක් ලද්දවුන් සේ අපි ඔබ වහන්සේ ම, ඔබ වහන්සේගේ දහම ම සරණ යන්නෙමු.

‘අංගුලිමාල…’ එ් කුමන අන්දමේ මිනීමරුවෙකුදැයි ඔබ වහන්සේට ම මිසක අපට නම් සිතා ගන්නටවත් නො හැකි ය. එක් මිනිසෙකු ද? මිනිසුන් දස දෙනෙකු ද? සිය දෙනෙකු ද? නැත.. මිනිසුන් දහසක් ඝාතනය කළ ඔහුගේ සිතෙහි තෙතක්, අනුකම්පාවක්, දයාවක් කොහේ නම් තිබුණි ද? පුරිසදම්මසාරථි මුනිඳාණෙනි, ඔබ වහන්සේගේ වචන කොතරම් කාරුණික ද යත්, ”මම නැවතී සිටිමි.. ඔබ ද නවතින්න” යි කී සැණින්, ලෝකයා විසින් කුරිරු යැයි හංවඩු ගැසූ මිනිසෙකුගේ ඇට මිදුළු තුළ සැඟව ගත් ප‍්‍රඥව, කරුණාව, මෛත‍්‍රිය, දයාව උඩට මතුව ආයේ ය. ඔහු සන්සිඳී ගියේ ය. ‘අහිංසකව’ සදාකල් ම සන්සිඳී ගියේ ය. සමිඳුනි, ඔබ වහන්සේගේම ආශ්චර්යයක් මිස අන් කවර හෝ ශාස්තෘවරයෙකුට කළ හැක්කක් ද මෙය…

සමිඳුනි, ආපසු හැරී බැලූ කල ජීවිතයේ වැරදුන තැන් අනන්ත ය. අප‍්‍රමාණ ය. නමුදු ඔබ වහන්සේ හමු වූ දා පටන් ජීවිතයට ඉතිරි වූයේ අනන්ත අප‍්‍රමාණ වූ වරදින්නට ගිය තැන් ය. ඔබ වහන්සේ පැනවූ සීලය නමැති ඉනිවැට අපගේ ජීවිතයට රැුකවරණයක් ම විය. පුණ්‍යවතාණෙනි, ඔබ වහන්සේගේ ගුණ කඳ ඇසූ කල්හි ඔබ වහන්සේට කීකරු වන්නට සිත් පහළ වීම අපගේ භාග්‍යයකට වඩා ඔබ වහන්සේගේ ම ආශ්චර්යකැයි නැවතත් මට සිතේ.

සිනාසෙන්නට ගිය කල සිනාසෙන්නට කරුණු ම සොයමින් සිනාසුනා මිස සිනාසෙන්නේ කුමකටදැයි නො දැන සිටි කල ‘‘කෝ නු හාසෝ කිමා’නන්දෝ.. නිච්චං පජ්ජලිතේ සති.. අන්ධකාරේන ඕනද්ධා.. පදීපං න ගවෙස්සථ” යන එ් ඔබ වහන්සේගේ වදන් හමුවේ අපි මුනිවත රකින්නට පුරුදු වුණෙමු. නිහඬ වන්නට පුරුදු වුණෙමු. මෙතුවක් අප සිනාසී ඇත්තේ අපට ම බව අපි ඔබ වහන්සේ තුළින් ඉගෙන ගත්තෙමු. එක් බණ පදයක් අවසන ඔබ වහන්සේ නිහඬ වන ලැහැබ් පෙන්වා, සොඳුරු ගල් ගුහා දෙසට දෑත දිතු කර එහි ගොස් හුදෙකලාව බවුන් වඩන්න යැයි කී කල පිරිසත් සමග සතුටු සාමීචියෙහි යෙදෙමින්, නිසරු කථාවෙන් සතුටට පත්වෙමින් අප ලබා ගත් දෙයක් නැති බව අපි වටහා ගත්තෙමු.

‘‘මා ළයෙහි උපන් පුතණුවනි…” යයි ඔබ වහන්සේ කෙලෙස් දුහුවිලි පිස දැමූ ආර්යයන් වහන්සේලා අමතන විට, බුදු සමිඳුනි ඔබ වහන්සේගේ ළයෙහි උපදින්නට අප සිත් තුළ ඇති වුයේ නො සන්සිඳෙන ආශාවකි. සසරේ අපට මවක් නො වූ අයෙක්, පියෙක් නො වූ අයෙක් නැති තරම් බව දැන ගත් කල අවසන් වරට ඔබ වහන්සේගේ දරුවෙකු වන්නට පමණක් ඇළුම් කරන්නෙමු.

‘‘සසරේ හැමදාමත් මා පතන්නේ ඔබ ම පමණයි” කියමින් බැඳීම් තුළ සිරගතව, එය ම සැනසීම, එය ම නිවීම යයි සිතා සිටි කල ඔබ වහන්සේ සසරෙහි දිග පළල පහදා දුන් සේක. නිදහස් පේ‍්‍රමණීය සිතිවිලි නම් වූ අත්තටු අප විසින් ම සිඳ දමා අපි ඔබ වහන්සේගේ දහම තුළ සසර ඉම සොයන්නට වුණෙමු. එක් පුද්ගලයෙක් එක් කල්පයක් තුළ මිය යාම නිසා ඉතිරි වූ ඇට කැබලි ගොඩ ගැසු කල එය වේපුල්ල පර්වතයටත් වඩා විශාල බව ඔබ වහන්සේ අපට පෙන්වා දුන් කල්හි කියූ කෙරූ සියලූ දේ පිළිබඳව ඇති වූයේ ලජ්ජාවක් ම ය. ”පින්වත් මහණෙනි, මේ සසරේ ඔබ ගෙවා ආ ගමනේ දී ඌරන්, කුකුළන්, ගවයන් වී බෙලි කැපුම් කෑමෙන් ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩි ය…” උගත් සියලූ සමීකරණ හා සැසඳුව ද ගණනය කළ නො හැකි තරම් අති දීර්ඝ සසරක අතරමංව සිටින අප අන්ත අසරණයන් බව දැනුණ විට, බුද්ධිමතාණෙනි, හිස ගිනි ගත්තෙක් එගිනි නිවන්නට වෙහෙසෙන තරම් වෙහෙසක් ගෙන ධර්මයේ ම හැසිරෙනවා මිසක අන් කුමක් කරන්න ද…?

අපගේ ළබැඳියන් අපගෙන් වෙන්ව යන විට හඬන්නට, වැළපෙන්නට, පපුවේ අත් ගසා ගන්නට, කෑ මොර දෙන්නට මිසක දැන සිටි වෙන යමක් නැත. ‘‘අනිච්ඡාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ…” නිදුකාණෙනි.. ඔබගේ බුදු වදන අප ව සුවපත් කරන ලද්දේ ම ය.. දුක, දුකෙහි හට ගැනීම, දුක නැති වීම, දුක නැති වීමේ මාර්ගය අවබෝධ කර ගත් ඔබ සරණ ගිය ශ‍්‍රාවකයෝ ඔබ වහන්සේගේ සසුනේ සිංහ පැටවුන් සේ ම සිංහනාද කළහ.

පින් සිරුරාණෙනි, සත් පියුම් මතින් ඔබ වහන්සේ මනුලොවට වැඩිය සොඳුරු දිනය යි මේ වෙසඟ, දස බිම්බරක් මාර සේනාව පරදවා උතුම් වු සම්බෝධිය සාක්ෂාත් කිරීම උදෙසා ය මේ සොඳුරු මංගල්‍යය. ඔබ වහන්සේ සල් රුක් දෙකක් අතරෙහි සැතපී අවසන් බුදු වදන ද මේ වා තලයට එක් කර පිරිනිවී ගිය දුක්බර වෙසක් පොහෝ දිනය ද අද ම ය. මේ තෙමඟුල හැරෙන්නට අපට සමරන්නට කිසිදු මංගල්‍යක් නැත්තේ ම ය.

මේ උතුම් තෙමඟුලෙහි දී සිල් ගුණ දම් පිරි මගේ පුංචි සිත ඔබ වහන්සේ උදෙසා ගඳ කිළියක් ම වේවා!!!

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
තේජා දිල්රුක්ෂි දයාරත්න