දරුවන්ගේ බුද්ධිඵලය, එ් කියන්නේ IQ වර්ධනය කළ හැකි ද? යන ප‍්‍රශ්නය බොහෝ මව්වරුන් වෙතින් අප වෙත යොමු වන්නක්. එ් සඳහා දිය හැක්කේ ‘‘ඔව්. එය කළ හැකියි” යන සතුටුදායක පිළිතුර යි. එසේ කළ හැක්කේ දරුවා කවර වයසක පසුවන විට, කුමන ආකාරයකට ද යන්න දැන ගැනීමටත් බොහෝ මව්වරුන් උනන්දු වෙනවාට සැක නැහැ. මේ එ් පිළිබඳව දැනුම්වත් කිරීමක්. ඇත්ත වශයෙන් ම කිවහොත් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම බිළිඳු වියේ සිට ම කළ යුතුයි. දැන් ඔබ සිතාවි කිරිකැටියෙකුගේ බුද්ධි වර්ධනය කරන්නේ කොහොම ද කියලා.

දරුවකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු අදියර තමයි ඉන්ද්‍රිය සංවේදීතාව උත්තේජනය කරවීම. දරුවකු උපන් මොහොතේ සිට ඇස්, කන් ආදි ඉන්ද්‍රියන් ක‍්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා. නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක් ම එලෙස නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් බිළිඳු අවදියේ ම දකින හෝ අසන යමකට ප‍්‍රතිචාර දැක්වීමේ බිළිඳා සතු හැකියාව ප‍්‍රයෝජනයට ගනිමින් එ් ඉන්ද්‍රිය සංවේදීතාව උත්තේජනයකට ලක් කළ හැකියි. තොටිල්ලේ නිදන කුඩා දරුවන් ඊට ඉහළින් එල්ලෙන ‘කුරුලූ කොට්ටය’ දෙස බලමින්, ඇතැම් විට ඉන් නැගෙන හඬට කන් දෙමින් ප‍්‍රතිචාර දක්වන අයුරු ඔබත් බොහෝ විට දැක තිබෙන්නට පුළුවන්. එදෙස බලමින් තනිව සිනාසෙමින් හා කටින් විවිධ ශබ්ද නගමින් එසේ ප‍්‍රතිචාර දැක්වීම තුළින් ඔවුන්ගේ මොළයේ ඇති ප‍්‍රතීක(Synapses) ක‍්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මූලික සංසිද්ධීන් සැකසෙනවා. එ් වගේ ම විවිධ ස්පර්ශකයන් ලබා දීමේ දී දක්වන ප‍්‍රතිචාර (සියුම් ලෙස කිති කැවීම්වල දී සිනාසීම් වැනි) මගිනුත් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුවෙනවා.

ඊ ළඟට දරුවාගේ මොළය සහ පරිසරය සම්බන්ධ අන්තර්ක‍්‍රියා (Interactive activities) මගිනුත් දරුවාගේ බුද්ධිඵලය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සුවිසල් වැඩ කොටසක් කළ හැකියි. මෙහි දී තමන් ජීවත් වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ද්‍රව්‍ය, ස්වභාවික වස්තූන් සම්බන්ධයෙන් තමන්ගේ බුද්ධිය වඩවා ගැනීමට දරුවාට ඉඩ සලසා දිය යුතුයි. මෙහි දී දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවෙනවා. දරුවාට පරිසරය හා තම පැවැත්ම පිළිබඳ මූලික අවබෝධයක් ලැබෙන්නෙත්, පරිසරයෙන් අත්වන හානි හිරිහැර පිළිබඳ තේරුමක් ඇතිවන්නේත් මේ සමයේ දී යි. බළලූන් සූරන බව, ගින්නෙන් පිච්චෙන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදි කරුණු රාශියක් ගබඩා කර ගැනීම ඔස්සේ ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීම මෙහි දී සිදුවෙනවා.

එ් වගේ ම කතාන්දර ඇසීම් ආදියෙනුත් තම දැනුම් පරාසය පුළුල් කර ගැනීමට මේ වයසේ දරුවන් තුළ ඇත්තේ සහජ ආශාවක්. එ් නිසා එ් දරුවන් සඳහා විශේෂයෙන් පබැඳුණු කතාන්දර මගින් ඔවුන්ගේ එ් බුද්ධි පරාසය වැඩි කළ හැකියි.

සාමාන්‍යයෙන් අප රටේ විශේෂ තැකීමක් නැතත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත ක‍්‍රීඩා භාණ්ඩ ලොව බොහෝ රටවල තිබෙනවා. නමුත් දේශගුණික, කාලගුණික ආපදා අවම රටක තමන් ජීවත් වන පරිසරයෙන් දරුවකුගේ බුද්ධිඵලය ඉහළ නැංවීම සඳහා ලැබෙන පිටිවහල සුළුපටු නැහැ. විශේෂයෙන් අතීතයේ කුඩා දරුවන් සිදු කළ වැලි බත් ඉවීම, කෝම්පිට්ටු හැදීම වැනි ක‍්‍රීඩාවලින් මොළයේ ව්‍යුහය තුළ වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්වී තිබුණා. එ් වගේ ම අතීතයේ දරුවන්ට ජලය, මඩ ආදිය අතපත ගෑමටත් යම් හැකියාවක් තිබුණත් අද එ් තත්ත්වය දකින්න නැහැ. නමුත් අද බොහෝ දරුවන් යොමුවී තිබෙන රූපවාහිනී නැරඹීමෙන් එ් කරුණු සියල්ල එලෙසින් සම්පූර්ණ නො වන බව කිව යුතුයි. එනිසා ම ලෝකයේ බොහෝ දියුණු රටවල කුඩා දරුවන් සඳහා විශේෂයෙන් සකස් කොට ඇති ක‍්‍රීඩාවන් අතර වැලි කෙළියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක‍්‍රියාකාරකම් තිබෙනවා. මේ නිසා අපගේ දරුවන්ටත් සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ එවැනි ක‍්‍රීඩා හඳුන්වා දීමේ වරදක් නැහැ.

අභියෝගවලට මුහුණ දීම ඇතුළු චින්තනය දියුණු කරවීමේ ක‍්‍රියාදාම ද දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීමට බෙහෙවින් ඉවහල් වන බව කිව යුතුයි. මෙමගින් දරුවන්ගේ අවකාශමය බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන බුද්ධිඵල හතර ම වර්ධනය කරන්න පුළුවන්. මෙහි දී දරුවන්ට තමන්ට ආවේණික ලෙස සිතීමටත්, එ් ඔස්සේ තමන්ගේ මොළයේ ජෛවමය සහ ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කර ගන්නටත් පුළුවන්.

දැනට අප රටේ ක‍්‍රියාත්මක වන අධ්‍යාපන ක‍්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීම සම්බන්ධයෙන් අවශ්‍ය බොහෝ කරුණු ගැබ්ව ඇති බව අප පිළිගත යුතුයි. නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපනය තුළ ඇති මනෝකායික ක‍්‍රියාවන්ට ඇති ඉඩ ප‍්‍රස්තාවේ මඳ බවක් නිසාදෝ ඇතැම් දරුවන් තුළ මෙම බුද්ධිඵලයන් නිසි අයුරින් ඔප්නැංවී නො තිබෙන්නට පුළුවන්. හුදු පොතපතේ අධ්‍යාපනයෙන් දරුවන් මුදා යම් කාලයක් ක‍්‍රීඩා ඇතුළු විවිධ කායික ක‍්‍රියා සඳහා ද ඔවුන් යොමු කිරීම වැදගත් වන්නේ එ් නිසයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් අතර පවතින දුර්මතයක් නම් දරුවෙකුගේ බුද්ධිඵලය පොතපතේ අධ්‍යාපනය මත ම රැුඳී පවතින බවයි. එහෙත්, අධ්‍යාපනයට සේ ම මතු ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින් ම ඉවහල් වන බුද්ධිඵලය යනු දරුවාගේ මනැස සේ ම කය ද ඇසුරින් මොළයේ ප‍්‍රතීක ක‍්‍රියාකාරීත්වය නිසා හටගන්නා මොළයේ ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්ත්වයක් බව එ්කාන්ත ලෙස ම කිව යුතුයි. එනිසා දරුවන්ගේ බුද්ධිඵලය හෙවත් ෂූ වර්ධනය කර ගැනීම පිණිස දරුවාට මනෝකායික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් දෙමාපිය අවධානය යොමුවීම අතිශය වැදගත්.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
වෛද්‍ය මහේෂ් රාජසූරිය
මනෝ වෛද්‍ය විශේෂඥ
MBBS  (කොළඹ), MD(මනෝ වෛද්‍ය)
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (මනෝ චිකිත්සාව ඇතුළු)