අප උපන් මේ රට මහ මුහුදෙන් වටවූ කුඩා දිවයිනකි. යාබද වෙනත් දිවයිනක් නැති නිසා අපට දේශසීමා පිළිබඳ අත්දැකීමක් නැත. එහෙත් අපි මුහුදු සීමා ගැන අසා ඇත්තෙමු. ලාංකේය මුහුදු සීමාව උල්ලංඝණය කොට මසුන් දඩයම් කරන ඉන්දියානු ධීවරයන් ද ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කොට මසුන් දඩයම් කරන ලාංකේය ධීවරයන් ද එක ම වරදට වරදකරුවන් වෙමින් දෙරටෙහි අත්අඩංගුවට පත්වන බව අපට රහසක් නො වේ. මුහුදේ යම් සීමාවකින් අප අවශේෂ ලෝකයෙන් වෙන් වී සිටින බව මේ නිසා අපට සිතා ගන්නට හැකි ය.

අපට නුහුරු නුපුරුදු වූව ද දේශසීමා හරහා බෙදී වෙන් වීම ලෝකයට එතරම් නුහුරු නුපුරුදු නැත. අති දැවැන්ත මහද්වීප පුරා පැතිර ගිය රටවල් එකිනෙකින් වෙන් වන්නේ ගොඩබිමේ ඇති දේශසීමාවකිනි. මේ ඇතැම් දේශසීමා සම්බන්ධයෙන් නිරන්තරයෙන් රට රටවල් අතර උණුසුම් තත්ත්ව පැන නගී. එ් ඇතැම් සිද්ධීන් යුදමය තත්ත්වයන් දක්වා ද වර්ධනය වේ. කාශ්මීර දේශසීමාව අරබයා ඉන්දියාව හා පාකිස්ථානය අතරත්, ගාසා තීරය අරබයා පලස්තීනය හා ඊශ‍්‍රායලය අතරත් ඇති වී තිබෙන යුද්ධ ඊට නිදසුන් ය.

ඇතැම් රටවල් දේශසීමා සම්බන්ධ කරගෙන තම අසල්වැසි රටවල් සමග අරගල කරන්නේ නැත. එහෙත් එසේ අරගල නො කළා කියා එම රටවල අර්බුද නැත්තේ ද නැත. ඊට ද හේතුවක් තිබේ. දේශසීමා වශයෙන් බෙදී වෙන් වන්නට නො හැකි නම් ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, භාෂා වශයෙන්, කුලගෝත‍්‍ර වශයෙන් බෙදී වෙන් වන්නට මනුෂ්‍ය වර්ගයාට ඇත්තේ සහජ පෙළඹවීමකි. මේ නිසා ම ලෝකයේ විවිධ වූ මනුෂ්‍ය වර්ගයා අතර විවිධ වූ ගැටුම් නිර්මාණය වී තිබේ.

එක ම ඉරණමක බෙදී වෙන් වීම

පෘථිවිය එක ම එ්කකයක් වුව ද මේ පෘථිවිවාසීහු අතර පුදුමාකාර බෙදී වෙන් වීම් තිබේ. බෙදී වෙන් වී වෙන් වෙන්ව ම පැවතිය ද සියලූ ලෝකවාසීන්ගේ ජීවිත ගෙවී යන්නේ එක ම පොදු ඉරණමක් තුළ ය. ඔවුහු ඉපදෙති; වයසට යති; ලෙඩ වෙති; මිය යති. එපමණකි…! මේ කිසිවක් ලෝකවාසීන් කරා එන්නේ ජාති, ආගම්, වර්ණ, දේශසීමා ආදි කිසිවක් සලකා බලා කිරා මැන වෙනස් ආකාරයකින් සලකමින් නො වේ. ලොවේ කොතැන කවරෙකුව උපන්නත්, කවරෙකුව ජීවත් වුවත් මේ ඉරණම වනාහි සියල්ලන්ට ම පොදු එක ම ඉරණමකි. එ් ගැන අසන, දකින කවරෙකුට වුව ද මුළු මහත් ලෝක ප‍්‍රජාවගේ ම මේ දුක්ඛිත ඉරණම පිළිබඳවත්, එවග නො දැන ඔවුන් යෙදී සිටින හරසුන් අරගලයන් පිළිබඳවත් කම්පාවක් ඇති නො විය නො හැකි ය. එසේ කම්පනයට පත් වන්නවුන් බෙදී වෙන් වීම වෙනුවට එකාවන් ව නැගෙමින් මේ පොදු දුකින් නිදහස් වන්නට වෙර දැරීම නම් වූ කල්‍යාණ මාවත තෝරා ගත යුතු නො වේ ද? එහෙත් ලෝකවාසී බහුතරයකට මේ දැක්ම දුරක්ඛාත වූවකි. එනිසා ලෝකය සිටින්නේ බෙදී වෙන් වන්නට මඟක් පෑදෙන තුරු ය.

බෙදී වෙන් වීම අයිති කාට ද?

ලෝකය පසෙකින් ම තබමු. වර්ග කිලෝමීටර් 65610කින් යුතු වූ මේ කුඩා දිවයිනේ, මිලියන 20කට මඳක් වැඩි වූ ජනී ජනයා අතර පමණක් මොන තරම් නම් බෙදී වෙන් වීම් පවතිනවා ද? දුරාතීතයට එබී නො බලා ගතවූ මාස පහ හයක කාලය දෙස පමණක් ම ආවර්ජනය කොට බැලූව ද අප අතර ඉස්මතු වූ බෙදී වෙන් වීම් සුළුපටු යැයි තැකීමට නො හැකි ය. එමතුදු නොව ජාති හෝ ආගම් හෝ වශයෙන් පමණක් නො වී සිංහලයන් ද බෞද්ධයන් ද බෙදී වෙන් වී සිටීමේ ඛේදවාචකය පසුගිය කාලයේ අපට අත් දකින්නට සිදු විය. එසේ අප බෙදා වෙන් කරන්නට සමත් වූයේ පක්ෂ පාට වශයෙන් ගොඩනැගුණු දේශපාලන පසුබිම යි. පක්ෂය ද පාට ද දේශපාලකයා ද හැරුණු කොට මුළු මහත් ලොවට ම සම සිතින්, සම මෙතින් අනුග‍්‍රහ කළ – සංග‍්‍රහ කළ මහා කාරුණික වූ මුනිරජාණන් සරණ යෑමෙන් අප සියල්ලන් එක ම ශ‍්‍රාවක පිරිසක් වූ වග බහුතරයක් වූ බෞද්ධයන්ට සිහිපත් වූයේ නැත.

එය සිහිපත් නො වීමේ ඛේදවාචකය තුළ අද වන විට ද පක්ෂ පාට ලෙස වෙන් වී ගත් මානසිකත්වයන් ඇතිව ”හොඳ වැඬේ.. ඔහොම වෙලා මදි.” කියන්නවුන් ද ”හා… බලමුකො එහෙනම් කරන හැටි. රටේ විනාශෙ තමයි. අපිත් මැරෙන්නෙ නැති වෙයිනෙ කෙරුවාවල් බලන්න.” යැයි කියන්නවුන් ද විරල නො වේ. මේ දෙපාර්ශවයෙන් ම අසන්නට ඇති ප‍්‍රශ්නය නම් ඔවුන් මේ දෙපසකට වී ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයට අත දිගු කරන්නේ ව්‍යාපාදයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් නිදහස් වූ පිරිසිදු මනසකින් ද යන වගයි. අවංකව සලකා බලා මෙයට පිළිතුරු දෙන්නෙකුට මේ පැනයට ”ඔව්” යැයි කියන්නට හැකියාවක් කොහෙත් ම නැත.
එහෙත් සැබෑ බුද්ධ ශ‍්‍රාවකයන්ට එසේ බෙදී වෙන්වීම් තිබිය නො හැකි ය. බෙදී වෙන් වීම අයිති පවිටු බලවේගයේ පාලනය යටතේ පවතින, එ් වසඟයේ පවතින ලෝකයට ය. සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට අයිති සමානාත්මතාවය ය; අර්ථචර්යාව ය. අපේ තෝරා ගැනීම බෙදී වෙන් වීම නම් අප තවදුරටත් අයත් වන්නේ පවිටු බලයකින් පාලනය වන ලෝකයට මිස තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නම් නො වේ.

රට පසුගාමී කරන පවිටු බලවේග

මේ කාරණය ජීවිතවලට ගළපා නො ගත් නිසා දේශපාලනික සත්වයන් වශයෙන් බෙදා වෙන් කර ගත් මතවල ම අද සමාජය ඇලී ගැලී පවතී. මේ බෙදී වෙන් වීම නිසා ඇති වී තිබෙන අනිටු විපාක අප පළමුවෙන් සිහිපත් කර ගත යුතු ය.

මේ ඇති වී තිබෙන, ඇති කරගෙන තිබෙන පක්ෂග‍්‍රාහී මානසිකත්වයන් නිසා පුරවැසියන් සෑම කාරණයක් ම සලකා බලනු ලබන්නේ අන්තයකට බැස ගැනීමෙනි. පූර්ව රාමු තුළ පිහිටා මෙසේ සිතන, බලන නිසා අතිශයින් නිවැරදි, යහපත් දෙය වුව ද වැරදි සහ අයහපත් යැයි කියන පිරිසක් ද අතිශයින් වැරදි, අයහපත් දේ වුව ද නිවැරදි සහ යහපත් යැයි කියන පිරිසක් ද බිහිවී සිටී. මේ නිසා සරු දෙය හෝ නිසරු දෙය තීරණය කෙරෙන්නේ එ් දෙය තුළ ඇති අර්ථයන් සලකා බලා නො ව එ් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ කවර පක්ෂයකින් ද? කවර දේශපාලකයන් ද? යන කරුණ සලකා බලා ය. මෙය තරම් රටකට හානි පමුණුවන පුරවැසි නැඹුරුවක් තවත් වේ ද යන්න සැක සහිත ය. මේ පක්ෂග‍්‍රාහී පටු මානසිකත්වයන් එ් තරමට ම රටක පැවැත්මට කොඩිවිනයකි.

තමන්ගේ පක්ෂය හෝ තමන් ඡුන්දයෙන් පත් කළ පාලකයා හෝ අලූතෙන් මත්පැන් අලෙවි බලපත‍්‍ර නිකුත් කළ ද දූෂණ චෝදනා ඇති පිරිස් ආයතන ප‍්‍රධානීන් බවට පත් කළ ද මැරකම් හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ද දූෂණ මැඩ පැවැත්වීමට පියවර නො ගත්ත ද එ් පාලනය යහපත් යැයි කියන වැසියන් පිරිසක් සිටීම ඛේදවාචකයක් නො වේ ද? එසේ ම තමන්ගේ පක්ෂයේ නො වන, තම ඡුන්දය හිමි නො වුණ පාලකයා යටිතල පහසුකම් සංවර්ධනය කළ ද සදාචාර සංවර්ධනය වෙනුවෙන් ඇප කැප වුව ද ජාතික – ආගමික සමඟිය සලසා ගැනීම පිණිස පියවර ගත්ත ද රටට ගැළපෙන ආර්ථික දැක්මක් ඇති ව කටයුතු කළ ද එ් පාලනය අයහපත් යැයි කියන වැසියන් සිටීම ද එවැනි ම ඛේදවාචකයක් නො වේ ද? මේ දෙයාකාරයේ ම ඛේදවාචකයන් ඕනෑම රටක් පසුපසට ඇද දමන්නට සමත් ය.

මේ, හුදු රටක් නම් නො වේ…!

ශ්‍රී ලංකාව යනු හුදු රටක් නො වේ. මේ, ලොව අතිශයින් දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ ශ්‍රී මුඛ බුද්ධ භාෂිත දරා ගන්නට භාග්‍යවන්ත වූ ධර්ම භාණ්ඩාගාරය යි. සමඟියේත්, එක්ව සිටීමේත් මහානීය අගය ලොව විද්‍යාමාන කළ පරමෝත්තම ශාස්තෘන් වහන්සේගේ දහම සුපිහිටි පුණ්‍ය තීර්ථය යි. එවන් රටක් තුළ එ් ධර්මයේ අනුගාමිකයන් පටු අරමුණු කේන්ද්‍ර කර ගනිමින් බෙදී වෙන් වීම තුළ අනතුරට පත් වන්නේ රට, ජාතිය පමණක් නො ව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා පැමිණ දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිස අමත පදය සාක්ෂාත් කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ සම්බුද්ධ ශාසනය ද බව අප අමතක කළ යුතු නැත. මේ රට මුළුමහත් ලෝකය ම පිළිගත් බෞද්ධ රටකි. ථේරවාදී බුදු දහමේ නිර්මල ගුණ ශෝභාවන් මේ රටේ තවමත් විරාජමාන ය. එ් ගුණ ශෝභාවන්ගෙන් ශෝභාසම්පන්නව එකාවන්ව නැගී සිටින්නට විනා මෙහි අප ලද ජන්මලාභය පටු අභිමතාර්ථ වෙනුවෙන් බෙදී වෙන් වීම පිණිස උපයෝගී කොට ගත යුතු නැත.

යළිත් සිහිපත් කරමු. බෞද්ධයන් සියල්ලෝ එකාවන්ව එකමුතු විය යුතු ය. මෙරටේ බහුතර සිංහල ජනතාව බෞද්ධයන් ය. ඔවුහු සිංහල බෞද්ධ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙරටේ දෙමළ බෞද්ධයන් ද සිටී. මුස්ලිම් බෞද්ධයන් ද සිටී. මෙරට ක‍්‍රියාත්මක වන බෞද්ධ ව්‍යාපෘතීන් සමඟ සහයෝගීව කටයුතු කරනා ඉංගී‍්‍රසි බෞද්ධයන් ද හින්දි බෞද්ධයන් ද සිටී. අප මේ බව කියන්නේ වගකීමෙනි. ‘බොදුනුවන් වීම’ යන කාරණය ප‍්‍රමුඛ වී මේ සියල්ලන් අතර ඇති අනෙක් සියලූ වෙනස්කම් යටපත් විය යුතු නො වන්නේ ද?

බුද්ධ රාජ්‍යය අනතුරක…

ගංගා, යමුණා, සරභූ, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය මහ මුහුද කරා ගලා විත් සියලූ නම් ගොත් අතහැර එක ම සයුරු දියක් බවට පත් වෙයි. එ් ආකාරයෙන් ම මේ සම්බුදු සසුනේ ශ‍්‍රාවකයන් ද උපන් කුලය, ගෝත‍්‍රය, ජන වර්ගය කුමක් වුව ද තෙරුවන් සරණෙහි පිහිටා ශ‍්‍රාවකත්වයට පැමිණි පසු ඔවුන් එක ම බුද්ධ ශ‍්‍රාවක පිරිසක් වගට පත්වන බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පහාරාද සූත‍්‍ර දේශනාවේ දී ය. එ් බුදු වදන අප විසින් හිස් මුදුනින් දරා ගත යුතු වේ. එවිට මේ හෙළදිව වෙසෙන බෞද්ධ ජනකාය තුළ පාට පක්ෂ භේදයක්, ජාති භේදයක් දැකීම උගහට ය.

එහෙත්, දැන් සිදු වී තිබෙන්නේ පක්ෂ පාට හා ජාති වශයෙන් වෙන් වී බෞද්ධයන් දෙතුන්කඩකට විසිරී යාම යි. ‘බෞද්ධයා’ යන සමරූපී ස්වභාවය වෙනුවට ඔවුන් ප‍්‍රකට කරන්නේ ‘පක්ෂය, ජාතිය’ යන විෂමරූපී ස්වභාවයනුයි. මේ දෙකඩ වන්නේ බෞද්ධ මතවාදය නො වේ ද? මේ දෙකඩ වන්නේ බෞද්ධ බලය නො වේ ද? මේ දෙකඩ වන්නේ බෞද්ධ ජවය නො වේ ද? මේ යන ගමනේ අවසානය එ්කීය බෞද්ධ රාජ්‍යයේ මළගම බව නො දකිනා ශ‍්‍රාවකත්වයකින් ඵලක් තිබේ ද?

මේ ළතෙත් බව බොදු ලකුණ යි…!

මෙරටේ බහුතර ජනතාව සිංහල වන්නා සේ ම බහුතරයකගේ ආගමික දර්ශනය බෞද්ධ වේ. මේ නිසා ම පාලන තන්ත‍්‍රය යහපත් කිරීමෙහිලා බලපෑම් එල්ල කිරීමේ හැකියාව අතින් සිංහලයන් ද බෞද්ධයන් ද ඉදිරියෙන් සිටී. සිංහල ජාතියේ හදවත වන්නේ ද බෞද්ධ දර්ශනය යි. ජාතිය රැුකගන්නට අප රැුකගත යුත්තේ ද බෞද්ධ දර්ශනය යි. එ් නිසා බෞද්ධයන් වශයෙන් එක්ව සිටීමේ වගකීමක් සිංහලයන් සතු ය. ‘රාජ්‍ය නායකයා කවරෙක් ද?’ යන කාරණය මත පිහිටා බෞද්ධයන් දෙකඩ වන විට සිදු වන්නේ කුමක් ද? බහුතර වූ බෞද්ධ බලය බෙලහීන වීම යි. එවිට අන්‍ය ආගම් බලවත් ලෙසින් රාජ්‍ය පාලනයට මැදිහත් වනු ඇත. රාජ්‍ය නායකයා සමඟින් ඔවුන් සමීපව කටයුතු කරනු ඇත. එ් සඳහා ඔවුන්ට පුළුල් අවකාශයක් විවෘත වන්නේ බෞද්ධයන්ගේ බිඳී විසිරීම තුළිනි. අවසන රාජ්‍යය මෙහෙයවන යාන්ත‍්‍රණය ලෙසින්, අධර්මය ඇදහීමක් කර ගත් පිරිසක් මූලිකත්වය ගනු ඇත.

බෞද්ධ රාජ්‍ය පාලනය තුළ මේ රටේ සාමකාමී බහු ආගමික, බහු සංස්කෘතික පැවැත්මක් පැවති බව සහ පවතින බව ඉතිහාසය අපට තහවුරු කර ඇත. එයට හේතුව, අන්‍ය මත ඉවසන්නටත්, අන්‍යයන්ට ගරු කරන්නටත්, අන්‍යයන් මත බලහත්කාරකම වෙනුවට සමානාත්මතාවය පතුරුවන්නටත් බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන නිසා ය. මේ සා සානුකම්පිතව ලෝකයේ විවිධත්වයන් පිළිගන්නා දර්ශනයන් ලොව විරල ය. ඔවුන් බොහෝමයකගේ න්‍යාය වන්නේ අඹ නම් අඹ ය; දඹ නම් දඹ ය. එසේ නැතිව අඹ, දඹ, නුග, කෙසෙල් ආදි නොයෙක් වෘක්ෂයනට එකට ම හැදී වැඩෙමින් එක ම පොළවේ පෝෂණය ලද හැකි බව ඔවුන් පිළිගන්නේ නැත. මේ බව අප තේරුම් ගත යුතු ය. බෞද්ධයන් වන අප බෙදී වෙන් වන්නට, වෙන් වන්නට සිදු වන්නේ සමාජයීය විවිධත්වයන් ළතෙත් බවින් දකිමින් සන්හිඳියාව තුළ ජීවත් වන්නට ඇති ඉඩකඩ පටු වීම යි.

සිත්හි සියුම් ලෙස පැන නැගෙන වංචක ධර්මයන් වන ව්‍යාපාදයත්, ඊර්ෂ්‍යාවත් නිසා බෞද්ධ මතවාදය සී සී කඩ විසිරෙන්නට ඉඩ හැරිය යුතු නැත. අප මේ අකුසල් ජයගෙන බෞද්ධ බලය ගොඩනැගිය
යුතු ය. බෞද්ධ මතවාදයේ පන්නරයෙන් නැගී සිටිය යුතු ය. එය කළ හැක්කේ බෙදී වෙන් වීමෙන් නම් නො වේ; එය කළ හැක්කේ සමඟියෙනි – එය කළ හැක්කේ එකමුතු බවිනි. එ් වනාහී ධර්මය යි…! එ් වනාහී සැබෑ ශ‍්‍රාවකත්වය යි…!

සියලූ බෞද්ධයනි, එකතු වෙමු…!

වෙන් වී එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින් තව දුරටත් රට අනතුරේ හෙළනු වෙනුවට රාජ්‍ය පාලනය වටා බෞද්ධ බලවේගය රොක් විය යුතුව තිබේ. එ්, රාජ්‍යය හෝ පාලකයා හෝ කරන හරි වැරදි සියල්ල අනුමත කරන්නට නො ව වැරදි පෙන්වා එ්වා නිවැරදි කරන්නටත්, හරි දෙය ක‍්‍රියාත්මක කිරීමට වුවමනා ජවය සපයන්නටත් හැකි ස්වායක්ත එ්කකයක් ලෙස ය. මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සිදු කෙරෙන්නේ ප‍්‍රධාන විෂය 25කට නො අඩු වූ අමාත්‍යාංශ පිහිටුවීමෙනි. මේවා එකිනෙක වෙන් වෙන්වත්, අවස්ථානුකූලව සහයෝගීවත් පරිපාලන කටයුතු මෙහෙයවයි. මේ සියලූ විෂයන්ගෙන් ආවරණය වන සියලූ පාර්ශවයන් නියෝජනය කරමින් බෞද්ධයන් සිටින බවට සැක නැත. එ් සියලූ බෞද්ධයන් එක ම බලමුළුවක් ලෙසින් එ්කරාශී වුවහොත් කවර බලවේගයකටවත් මේ රාජ්‍යයේ බෞද්ධ ලකුණ අනතුරේ හෙළීම පහසු වන්නේ නැත.

පක්ෂ පාට අප බොහෝ දෙනෙකුට ඇති බව සැබෑවකි. එ් සියල්ල මැතිවරණයක දී මනාපය පළ කිරීම පිණිස ම මිස රාජ්‍යයේ යහපත් කටයුතු සමෘද්ධිමත් කිරීමේ දී බාධා කිරීම් ඇති කරනු පිණිස නො වේ. මැතිවරණයේ දී තම මතය කවරක් වුව ද බහුතර කැමැත්තෙන් පාලකයන් තෝරා ගැනීමෙන් පසු බෞද්ධ බලය ලෙස එක්ව රාජ්‍ය පාලනයේ වැදගත් ම භූමිකාව ඉටු කිරීමට සියලූ බෞද්ධයන් පුරෝගාමී විය යුතු ය. රාජ්‍ය පාලකයා යනු තාවකාලිකව පත් වන්නෙකි. ඔහු මරණයට පත් නොවන අමරණීය පුද්ගලයෙක් නො වේ. එසේ ම ඔහු රාජ්‍ය පාලනයට නුසුදුසු නම් එතැනින් ඉවත් කිරීමේ හැකියාව ජනතාව සතු ය. පාලන තන්ත‍්‍රය නිවැරදි කිරීමේ වගකීම සෑමවිට ම පැවරෙන්නේ පොදු ජනයාට ය. එයින් අප ප‍්‍රයෝජන ගත යුතු ය. එක ම බලවේගයක් ලෙසින් රාජ්‍යය දෙසත්, රාජ්‍ය පාලනය දෙසත් ඇස ගසා විමසීමෙන් බලා හිඳිමින් සක‍්‍රීය දායකත්වයක් ඇතිව බෞද්ධ බලවේගය ගොඩනැගිය යුතු බවට අප යෝජනා කරන්නේ එහෙයිනි.

කඳු මුදුනක් නොව සඳ එළියක් වෙමු…!

අප මේ බෞද්ධ බලවේගය ගොඩනැගිය යුත්තේ කඳු සේ නැගෙන්නට නො වේ. එකිනෙකා පරයා උස යන කඳු මුදුන් වීමේ ආශාව අයිති ලෝකයට ය. අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට අයිති සම නෙතින්, සම මෙතින් ලෝකයට දයාබර වීම ය. අප ලෝකයට අයත් විය යුත්තන් නො වේ; අප අයත් විය යුත්තේ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේට ය. එසේ වන්නට නම් අප කන්දක් නො විය යුතු ය; එ් වෙනුවට අප සඳ එළියක් විය යුතු ය.

කන්දට ද ලන්දට ද තැන්නට ද වැටෙන්නේ එක ම සඳ එළියකි. මල්බර වූ නීල හරිත තුරු මුදුන් සිප ගන්නේ ද පුරන් ව ඉරිතලා ගිය මුඩු බිම් සිප ගන්නේ ද එක ම සඳ එළියකි. මුහුදට ද නදියට ද ඇළ දොළට ද නිරුදක කතරට ද ගලා එන්නේ එක ම සඳ එළියකි. දේශ සීමාවට ද මුහුදු සීමාවට ද වැටෙන්නේ එක ම සඳ එළියකි. පොල් අරඹේ ද තල් අරඹේ ද කියා සඳ එළියේ වෙනසක් නැත. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියා සඳ එළියේ වෙනසක් නැත. එ්කාකාරී වූ සෞම්‍ය ළතෙත් බවකින් එ් සෑම තැන්හි ම සඳ කැන් ගලා හැළේ. එසේ වූවා කියා සඳ සිසිලස අඩු වන්නේ නැත. සඳ කාන්තිය සිඳී යන්නේ ද නැත. එ් එක් තැනකට වඩා වෙනත් තැනකට සඳ එළිය අඩු වැඩි කොට සලකන්නේ ද නැත. කොහේ කොතැනක මුණ ගැසුණ ද එ් වනාහී සඳ එළිය ම ය. එ් සඳ එළිය සියලූ තැන්හි අඳුර දයාන්විත ආලෝකයකින් පළවා හරින්නට සමත් ය. ළතෙත් දයා ගුණයන්, මුදු මොළොක් ගුණ ශෝභාවන් ප‍්‍රකට කරවන බෞද්ධයාට එවැනි ම වූ සඳ එළියක් විය නො හැකි ද?

එක්වෙමු අසමසම නායකත්වය වටා…!

සියලූ බෞද්ධයනට ඇත්තේ එක ම එක නායකත්වයකි. එ් සියලූ දෙව් මිනිසුන්ට සාධාරණ වූ අසම සම නායකත්වය යි. අප එ් නායකත්වය වටා රොක් විය යුතු ය. සියලූ බෞද්ධයන්ට උතුම් නායකයා වූ සම්බුදුරජාණන් වහන්සේගේ එ්කීය බුද්ධ රාජ්‍යය පටු බල තණ්හාවන් තුළින් අනතුරේ නො හෙළන්නට සියලූ බෞද්ධයන් වග බලා ගත යුතු ය. සඳ එළියක්ව ලොවට සිසිලස, යහපත දන් දෙන්නට අපට හැකි වන්නේ එවිට ය. එ් හැකියාව දිවි හිමියෙන් දරා ගන්නා අභිමානවත් ශ‍්‍රාවකත්වයන් අප තුළ බිහි විය යුතු ය.

එ් අභිමානවත් ශ‍්‍රාවකයා ඔබ යැයි අපි සිතන්නෙමු. මේ පැනය අසන්නේ එනිසා ය.‘‘ඔබ දැන් කුමන පාර්ශවයේ ද?”

ඔබේ අභිමානවත් ශ‍්‍රාවකත්වය අපට ඍජුව ලබා දෙන පිළිතුර ඔබ සිටින්නේ එ් පරමෝත්තම වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාර්ශවයේ බව තහවුරු කරන වග අපට නිසැක ය.
අප කා හටත් කිසි දිනෙක එ් එක ම නායකත්වයේ පිළිසරණ අහිමි නො වේවා! ගෞතම බුද්ධ රාජ්‍යයේ ධර්ම භාණ්ඩාගාරය වූ මා උපන් මේ රට එකාවන් ව නැගී සිටින බෞද්ධ බලවේගයෙන් චිරාත් කාලයක්
රැකවරණ ලබත්වා!

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
උදුලා පද්මාවතී