කෘෂිකර්මය, සත්ව පාලනය වැනි විෂයන් ගැන කතා කරමින් සිට හිටිහැටියේ ම ප‍්‍රතිජීවක ගැන කතා කරන්නට සූදානම් වන්නේ කුමක් නිසාදැයි මෙම මාතෘකාව දකින ඔබ ඇතැම් විට සිතන්නට බැරි නැත. ඔබේ රෝග තත්ත්වයන් මර්ධනය කරන්නට වෛද්‍යවරයා දෙන බෙහෙතක් වශයෙන් ඔබ ප‍්‍රතිජීවක, එනම් ඇන්ටිබයොටික්වලට (antibiotic)  මහත් ගරුත්වයක් ඇතිව සලකනවා වෙන්නට පුළුවන. එහෙත් ඔබට ප‍්‍රතිජීවක ලබා දෙන්නේ ඔබේ වෛද්‍යවරයා පමණක් නො වන බව ඔබ දන්නවා ද? සහ, එසේ දෙන්නේ ඔබේ උගුරටත් හොරා බව ඔබ නිකමටවත් සිතා තිබෙනවා ද? යළි සිතා බලන්න.

ප‍්‍රතිජීවක භාවිත නො කළ අයෙක් සිටිය නො හැක. බැක්ටීරියා හේතු කොට ගෙන ඔබට උගුරේ ආසාදනයක් ඇති වූ අවස්ථාවක ඔබ වෛද්‍යවරයා හමු වූවා නම් ඔබට ඔහු අනිවාර්යයෙන් ම ප‍්‍රතිජීවකයක් ලබා දී ඇත. බැක්ටීරියා නිසා ඇති වන රෝග තත්ත්වයන් පාලනය කිරීමට බැක්ටීරියා, වනසන, එමෙන් ම වර්ධනයට බාධා කරන ඖෂධයක් ලෙස ප‍්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන. එහෙත් වෛරස්වලට හානියක් කිරීමට එ්වාට හැකියාවක් නැත. එම නිසා සෙම්ප‍්‍රතිශ්‍යාවට එය ප‍්‍රතිකාරයක් නො වේ. පෙනිසිලින්, ඇම්පිසිලින්, ටෙට්රසයික්ලින්, ඇමොක්සිසිලින් වැනි නම්වලින් හඳුන්වන ප‍්‍රතිජීවක 150ක පමණ ප‍්‍රමාණයක් වෛද්‍යවරුන් විසින් දැනට භාවිත කරනු ලබයි.

ඔබේ වෛද්‍යවරයා ඔබට ලබා දෙන ප‍්‍රතිජීවකවලට ඔබේ රෝගය මඳකටවත් සුව නො වුණා කියා අපි නිකමට සිතමු. ඔබ නැවතත් ඔබේ රෝග තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයාට පැමිණිලි කරනු ඇත. ඔබ තුළ ඇති බැක්ටීරියා ලබා දුන් ප‍්‍රතිජීවකයට අවනත නොවන හෙයින් එයට වඩා සැර අධික ප‍්‍රතිජීවකයක් හෝ ප‍්‍රතිජීවක සංයෝගයක් ඔබට දීමට වෛද්‍යවරයාට සිදු වේ.

‘‘කලින් දොස්තර මහත්තයගෙ බේත් වැඩක් නැහැ, මේ දොස්තර මහත්තය එක වේලයි දුන්නෙ.. ලෙඩේ කොහෙ ගියා ද නැහැ.” මෙසේ කියන බොහෝ දෙනෙක් මට මුණ ගැසී ඇත. කාර්යබහුල ලෝකයක් මවා ගත් අපට සියල්ල ක්ෂණිකව වුවමනා ය. අසනීපයක් සුව වීම ද අධිවේගයෙන් සිදු වනවාට අප කැමති ය. ඇතැම් අය වෛද්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීම් කර ප‍්‍රතිජීවක ලබා ගන්නා අවස්ථා ද ඇත. අප දොස්තර මහතාගේ හොඳ නරක මනින්නේ ඔහු ලබා දෙන සැර ප‍්‍රතිජීවක අනුව බව පැහැදිලි ය.

ප‍්‍රතිජීවකවලට අවනත නො වන බැක්ටීරියා

වෛද්‍යවරයා දෙන ප‍්‍රතිජීවකවලට බැක්ටීරියා මර්ධනය නො වන්නේ ඇයි? එසේ සිදු වන්නේ එම ප‍්‍රතිජීවකයට පාලනය නො වන පරිදි බැක්ටීරියාව ශක්තිමත් වීම නිසා ය. මෙය සිදු වන්නේ කෙසේ ද? එය සිදු වන්නේ ස්වභාවික සංසිද්ධියක ප‍්‍රතිඵලය ලෙස ය. එක් ප‍්‍රතිජීවකයක් ලබා දුන් අවස්ථාවක එයින් ඇතැම් බැක්ටීරියා නැසුනේ වුව ද ශක්තිමත් කොටසක් ඉන් නො නැසී ඉතිිරී වේ. ඇතැම් බැක්ටීරියා තම ජාන වෙනස්කර ගන්නා අතර ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ශක්තිය වර්ධනය කර ගනී. ඇතැම් විට වෙනත් වර්ගයක බැක්ටීරියාවකින් වුව ද එම ශක්තිය ලබා ගන්නා බව සොයා ගෙන ඇත. ඊ ළඟ පියවර වශයෙන් එම බැක්ටීරියා යළි ජනාවාස වන්නේ අදාළ ප‍්‍රතිජීවකයට ඔරොත්තු දෙන කණ්ඩායමක් වශයෙනි.

බැක්ටීරියාවක් ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දීමට වෙනත් හේතු ද තිබිය හැකි නමුත් අද බහුලව සිදුව ඇත්තේ අප ප‍්‍රතිජීවක අවභාවිත කිරීම ය. එනම්, එක්කෝ නියමිත ප‍්‍රමාණය නිසි පරිදි නො ගැනීම ය. නැත්නම් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ගැනීම නිසා ය. වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව කෙතරම් ප‍්‍රතිජීවක ප‍්‍රමාණයක් ඔබ ගන්නවා ද? ප‍්‍රතිජීවකවලින් කිසිදු ප‍්‍රයෝජනයක් නැති සෙම්ප‍්‍රතිශ්‍යාව සඳහා ද ප‍්‍රතිජීවක ගන්නා අය කෙතරම් සිටිනවා ද?

අප සිරුර තුළ ක්ෂුද්‍රජීවී පරිසර පද්ධතියක් ක‍්‍රියාත්මක වන බව මෙයට පෙර කලාපයක දී ද විස්තර කර ඇත. අපව නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් තබා ගැනීම සඳහා මෙම හිතකර බැක්ටීරියාවල පැවැත්ම අත්‍යවශ්‍ය ය. කුමන හෝ ප‍්‍රතිජීවකයක් ඔබ භාවිත කළත් මෙම හිතකර බැක්ටීරියාවලට ද ඉන් හානි වන බව අප මතක තබා ගත යුතු ය. හිතකර බැක්ටීරියා නොමැති ඔබ සිරුර අනාරක්ෂිත ය. යහපත් සෞඛ්‍ය තත්ත්වයක නො පවතී.

මෙම තත්ත්වයන් එසේ තිබිය දී ඔබට වෛද්‍යවරයා ලබා දෙන ප‍්‍රතිජීවකවලට එන්න එන්න ම බැක්ටීරියා ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් වෛද්‍යවරයාට සිදු වන්නේ වඩ වඩාත් ප‍්‍රබල ප‍්‍රතිජීවක ඔබේ සිරුරට ඇතුල් කිරීමට ය. ප‍්‍රතිජීවක වඩ වඩාත් සිරුරට ඇතුල් කිරීම වඩ වඩාත් ප‍්‍රබල බැක්ටීරියා උපද්දන්නට බලපායි.

මෙම තත්ත්වය තව තවත් දරුණු වන්නට අපගේ නවීන ජීවන රටාව ද බලපායි. නවීන සත්ව පාලනය, කෘෂිකර්මය සහ ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා අතර සම්බන්ධය කුමක් ද?

ගොවිපළවල ඇති කරන ගවයන්, එළුවන්, බැටළුවන්, ඌරන් සහ කුකුළන් මේ වන විට අපගේ ආහාර දාමයට අති විශාල දායකත්වයක් දරන බව ඔබ දනී. මස් පිණිස හෝ වෙනත් සත්ව නිෂ්පාදන (බිත්තර, කිරි, බටර් චීස් ආදි) සඳහා සත්ව ගොවිපළ පාලනය අද ලාබදායක කර්මාන්තයකි. ගොවිපළ කර්මාන්තශාලා මට්ටමේ දී දහස් සහ මිලියන ගණනින් සතුන් ඇති කිරීමේ දී ගොවිපළ සෞඛ්‍ය තත්ත්වය ප‍්‍රශස්ත මට්ටමක තබා ගැනීම අසීරු කාර්යයකි. ඉතා ඉක්මනින් රෝග වැළඳීම සහ කෙටි කලකින් මුළු සත්ව ගොවිපළ ම විනාශ වීමේ ඉඩකඩ වැඩි ය. එම නිසා ප‍්‍රතිජීවකවල පිහිට අත්‍යවශ්‍ය ය.

ඔබටත් මටත් වෛද්‍යවරයා ප‍්‍රතිජීවක ලබා දෙන්නේ රෝගී වූ විට ප‍්‍රතිකාරයක් වශයෙනි. එහෙත් ගොවිපළ සතුනට ප‍්‍රතිජීවක ලබා දෙන්නේ රෝගී වූ නිසා නො වේ. රෝග වැළඳේ යයි සැකයට ය. ඉතා ඉක්මනින් සිරුරු බර වර්ධනය වීම සඳහා ය. එනිසා සත්ව ගොවිපළවල ප‍්‍රතිජීවක ලබා දෙන්නේ නීරෝගී සතුනට ය. මෙම හේතුව නිසා ලෝකයේ ප‍්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ප‍්‍රතිජීවකවලින් 70%ක් පමණ ලබා දෙන්නේ ගොවිපළ සතුනට ය. පරිමාව වශයෙන් ගතහොත් මෙය ටොන් දස දහස් ගණනකි.

මෙම සතුනට ලබා දෙන ප‍්‍රතිජීවක මොනවා ද? ඔබටත් මටත් ලබා දෙන පෙනිසිලින් ඇම්පිසිලින්, ටෙට්රසයික්ලින්, ඇමොක්සිසිලින් යනාදී එ්වා ම ය. මෙම ප‍්‍රතිජීවක ශරීර ගත වූ පසු සතුනගේ සිරුරු තුළ සිදු වන්නේ ද එබඳු අවස්ථාවල දී අප සිරුර තුළ වන දේ ම ය. එනම් ඇතැම් බැක්ටීරියා විනාශ වන අතර කොටසක් ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ලෙස ශක්තිමත් වන්නට පටන් ගනී. කෙසේ වූව ද ගොවිපළ සතුන් කෙටි කලක් තුළ දී ඉවත් කරන හෙයින් යළි යළි ඉහළ මාත‍්‍රා ප‍්‍රතිජීවක දීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත. එම සතුන් මිය යන්නේ බලවත් ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා ද සිරුර තුළ දරාගෙන ය.

මෙම සතුනට දෙනු ලබන ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන බැක්ටීරියා අපට ලැබෙන්නේ කෙසේ ද?

මුලින් ම අපට සෘජුව ම ප‍්‍රබල බැක්ටීරියා ශරීරගත වන්නේ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙනි. ඊ ළඟට, ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දී සතුන් තුළ වැඩෙන බැක්ටීරියා සත්ව මල සහ මූත‍්‍රවලින් සහ බැහැර වන වෙනත් අපද්‍රව්‍ය හරහා අවට පරිසරයට එකතු වේ. එලෙස දූෂණය වූ සත්ව පොහොර කෘෂිකර්මයේ දී භාවිත කිරීමෙන් අප ගන්නා ආහාරවලට එම බැක්ටීරියා ශේෂ එකතු වේ. සත්ව ගොවිපළවල වැඩ කරන කම්කරුවනට වාතය හරහා මෙම බැක්ටීරියා ලැබෙන බව සොයාගෙන ඇත.

මඳකට සිතන්න. ඔබ සිරුරට ප‍්‍රතිජීවක ලැබෙන්නේ ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ම නො වේ. ඉහත සඳහන් පරිදි දූෂණය වු සත්ව මාංශ සහ සත්ව නිෂ්පාදන භාවිත කිරීමෙන් ඔබ නො දන්නා බැක්ටීරියා ඔබ තුළට පැමිණේ. දූෂණය වූ සත්ව පොහොර යොදා කරන කෘෂි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් ඔබ තුළට බැක්ටීරියා ඇතුල් වේ.

දූෂණය වූ සත්ව මල මූත‍්‍ර අඩංගු පොහොර යොදා නිපදවන ධාන්‍ය, එළවළු හෝ පලතුරු, කාබනික ආහාර වන්නේ නැත. එම ආහාරවලට ඉහත කී බැක්ටීරියා ශේෂ ඇතුල් වන හෙයිනි.

මෙම ලිපිය නිමා කිරීමට ඇමරිකානු විද්‍යාත්මක සඟරාවක සඳහන් එක් උදාහරණයක් උපුටා දක්වමි.

‘‘එක් මස් නිෂ්පාදකයෙක් තම සතුන් ඉක්මනින් තර වීම සඳහා ටෙට‍්‍රසයික්ලින් අඩූ මාත‍්‍රාවක් ලබා දෙයි. එම සතාගේ උදරයේ ඇති රෝගකාරකයක් නො වන ඊ-කෝලි බැක්ටීරියාව ඊට ප‍්‍රතිරෝධයක් ලබා ගනී. එම ඊ-කෝලි බැක්ටීරියාව හරහා එම සතාගේ සිරුර තුළ වූ සැල්මොනෙල්ලා බැක්ටීරියාව එම ප‍්‍රතිරෝධ ගුණාංග ලබා ගනී. එම මස් අනුභව කරන තැනැත්තාට සැල්මොනෙල්ලා සෙප්ටිසීමියා (Salmonella septicemia)  නම් ආසාදනය ඇති වේ. වෛද්‍යවරුන් සුපුරුදු පරිදි අඩු බලැති ප‍්‍රතිජීවකයක් මගින් ප‍්‍රතිකාර අරඹන විට ම රෝගියා මිය යයි”. (StAllones, R.A. 1982. Epidemiology and public policy: Pro- and anti-biotic. American Journal of Epidemiology)

ඔබට රෝගයක් වැළඳුන පසු කඩිනම් සුවය සඳහා ප‍්‍රතිජීවකවලට ඔබ ඇබ්බැහි වී සිටිය හැක. මෙම ලිපිය ඔබට නැවතත් තම ආහාර රටාව සහ ජීවන රටාව ගැන සිතා බැලීමට උපකාරයක් වේවා යයි පතමි.

 මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.