ව්‍යවහාර වර්ෂ 2015ට අප යොමු වූයේ ජයග‍්‍රහණයේ අපේක්ෂාවන් හාත්පස පැතිර ගිය පසුබිමක ය. ජනවාරි 08 වනදා රටේ ජනාධිපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමකි. පෙබරවාරි 14 වනදා සිට මාර්තු අවසානය දක්වා ක‍්‍රිකට් සැණකෙළියකි. සියල්ලන්ට ම පාහේ මේ අවස්ථා දෙකෙහි ම ජයග‍්‍රහණයන් ගැන අපේක්ෂාවන් තිබේ. එනිසා, මාර්තු අවසානය දක්වා ම අප ගත කරනු ඇත්තේ ජයග‍්‍රහණය සහ පරාජය අතර දෝලනය වන්නා වූ නොසන්සුන් දිවි පෙවතක් වනු ඇත.

අවට සමාජයේ සිදුවන වෙනස්වීම් අප කෙරෙහි බලපෑම් ඇති කරවන බව නොරහසකි. අප සමාජයීය වශයෙන් හුදෙකලා නොවූවන් වීම එයට හේතුවයි. එවිට සමාජයේ සිදුවන කවරක් කෙරෙහි හෝ වේවා අපගේ අවධානය යොමු වීමත්, අප එයට ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹීමත් නිරායාසයෙන් ම සිදු වේ. විශේෂයෙන් මැතිවරණයක්, ලෝක කුසලාන තරඟාවලියක් වැනි ආකර්ෂණීය සහ උද්වේගකර අවස්ථාවන් කෙරෙහි යොමුවන සමාජයීය අවධානය අති මහත් ය. එ් නිසාවෙන් ම වෙන අවස්ථාවන්ට වඩා පිල් බෙදීම්, මත ගැටීම්, ආවේගශීලී වීම් සුලබ ය.

මැතිවරණය හමුවේ දැනටමත් බොහෝ දෙනා පක්ෂ පාට, මතවාද වශයෙන් බෙදී වෙන්වී සිටිති. එ් වෙනුවෙන් දිවි පුදන්නට වුව ද ඇතැමුන් සූදානම් ය. තම මතයට විරුද්ධ වන්නවුන් සදාකාලික සතුරන් ලෙස දකිමින් මැතිවරණ සංග‍්‍රාමයට ජීවිතය කැප කරන බොහෝ දෙනෙකුට මේ දේශපාලන වටපිටාව ක‍්‍රමයෙන් වෙනස් වන බව ද එ් එ් අවස්ථානුකූලව සමාජ මතය වෙනස් වන බව ද අවබෝධ වන්නේ නැත. එනිසා ම ඔවුහු ජයෙන් උද්දාමයට පත්ව පරාජයෙන් කම්පනයට පත් වූවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය පතුරුවන තරමට පහත් තලයකට ඇද වැටෙති.

එයින් මසකට පසුව ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ඇරඹුණ පසු ශ්‍රී ලාංකිකයන් වශයෙන් යළි එකාවන් ව රටේ ක‍්‍රිකට් කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔල්වරසන් නගන්නේ ද දේශපාලනය වෙනුවෙන් බෙදී වෙන් වුණ පිරිස් ම ය. එවිට ඔවුන් පරාජයන් හමුවේ දොස් පවරන්නේ ද ජය හමුවේ ජයපැන් බොන්නේ ද එකට ම ය.

මේ සියල්ල ම එක්තරා තරඟයකි. ජයග‍්‍රාහකයෙකු බිහි වන්නේ පරාජිතයෙකු බිහි කරමිනි. පරාජිතයෙක් නැති ජයග‍්‍රහණයක් ලෝකයේ නැත. එ් ලෝක ස්වභාවය හමුවේ දිනුමට ද පැරදුමට ද ඇත්තේ එක ම ඉඩකි. එසේ තිබිය දී අප ජය පැරදුම හමුවේ කම්පා විය යුතු ද? අද ජයග‍්‍රාහකයා හෙට පරාජිතයා වනු ඇත. එවිට අද ඔල්වරසන් දෙන්නාට හෙට සිදු වන්නේ කුමක් ද?

අටලෝ දහම හමුවේ නොසැලෙන – කම්පා නොවන සිතක් උපදවාගෙන සිටින්නා ලෝකයේ කවර පෙරළියක් හමුවේ වුව ද පරාජිතයෙකු වන්නේ නැත. මේ සියලූ ජයග‍්‍රහණයන් ද පරාජයන් ද තාවකාලික ය. එහෙත් යම් අයෙක් ජය පැරදුම සම සිතින් දරමින් මැදහත්ව සිටින්නේ නම් සසර පුරා පරාජිතයෙකු වූ මේ සිත පළමුවරට ද අවසන් වරට ද ජයග‍්‍රහණයකින් අභිෂේක කරවන්නට ඔහුට හැකි ය. මන්ද, එයින් සිත දමනය කෙරෙන බැවිනි; සිත දමනය කළවුන් කෙලෙස් සතුරා මැඩලා සැබෑම විජයග‍්‍රහණය ලබමින් සසරින් මිදෙන බැවිනි.

‘‘අත්තා භවේ ජිතං සෙයේ‍යා් – යා චා’යං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස – නිච්චා සඤ්ඤතචාරිනෝ”
‘‘ඇත්ත වශයෙන් ම තමන් ව ජයගැනීම ම යි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල්වලින් ජය ගත්තත්, එ්කෙන් වැඩක් වෙන්නෙ නෑ. තමා ව දමනය කරගෙන, නිතර ම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාටයි ජයග‍්‍රහණය ලැබෙන්නේ.”
(ධම්ම පදය – සහස‍්‍ර වර්ගය)

අප සියල්ලන්ට ම එ් උතුම් විජයග‍්‍රහණයේ ජයපැනින් සැනසෙන්නට හැකි වේවා!!!

– මහාමේඝ –