2014 වසරේ අවසන් දින කිහිපය අපි ගත කරමින් සිටින්නෙමු. තවත් සති හතරක් ඉක්ම යන්නට මත්තෙන් අපේ නිවෙස්වල 2015 දින දර්ශන දකින්නට ලැබෙනු ඇත. අලූත් වන්නට, වෙනස් වන්නට බොහෝ අපේක්ෂා ඇතිව 2014 වසර ඇරඹුණාක් මෙන් 2015 වසර ද උදා වනු ඇත.

ගෙවී යන්නේ කෙටි කලකට ලද ජීවිතයෙන් තවත් දින 365කි. එ් තවත් එක් වසරකි. උදා වන්නේ ද තවත් දින 365ක් ඇති වසරකි. වසරෙන් වසර, දිනයෙන් දිනය අප ළං වෙමින් සිටින්නේ එක ම නිශ්චිත ඉරණමක් දෙසට ය. අප ටිකින් ටික මරණයට ළං නො වන්නේ යැයි කාටවත් කිව නො හැක. සැක රහිතව ම අප මේ ළං වන්නේ මරණය දෙසට ය. එය ඉක්මන් වනවා මිස ප‍්‍රමාද වන්නේ නැත.

2014 උදාවේ ඔබ අප සමඟ එක්ව හුන් කී දෙනෙකු අද අප අතර නැති ද? කී දෙනෙකු මරණයට පත් වූවා ද? කී දෙනෙකු යළි කිසි දිනෙක මුණ නො ගැසෙන පරිදි වෙන් ව ගියා ද? කී දෙනෙකු ලෙඩ දුක්වලින්, අනතුරුවලින් මරු වැළඳ ගත්තා ද? එහෙත් අප තවමත් ජීවතුන් අතර සිටී. අපෙන් සමු ගත්තවුන් සිහි කරමින්, ඔවුන් ගැන ශෝක වෙමින් – කම්පා වෙමින් අප තවමත් ජීවතුන් අතර සිටී.

අප නො මැරී බේරුණේ යාන්තමින් බව අපට සිහිපත් වන්නේ නැත. මරණයට බොහෝ ඉඩ කඩ තිබිය දී, මේ දින 365ක් පුරා ජීවිතය මරණය සමඟ සටන් වැදෙමින් තිබිය දී අප දිවි බේරාගෙන ජීවත් වූ බව අපට සිහිපත් වන්නේ නැත. එසේ යාන්තමින් රැක ගත් පණ නළ එළඹෙන ඊ ළඟ මොහොතේ අපට අහිමි වන්නට බැරිකමක් නැත. මේ ජීවිතයේ ස්වභාවය එයයි. කියා කියා පස්සෙන් පැමිණ මරණය අප ගොදුරු කර ගන්නේ නැත. අනපේක්ෂිතව, නො සිතූ නො විරූ ආකාරයෙන් අපට එය සම්මුඛ වනු ඇත.

2014 වසරේ මේ තාක් හමු නො වුණ එ් මරණය මේ ඉදිරි දින කිහිපය තුළ හමු වුවහොත්….? එසේත් නැති නම් 2015 ආරම්භයේ හමු වුවහොත්….? 2015 නිමා වන්නට පෙර හමු වුවහොත්….? අප එයට සූදානම් ද? එ් මරණයෙන් එපිට අප සුගතියක උපදින බවටත්, දුගතියෙන් නිදහස් වන බවටත් වූ නිසැක, ධාර්මික රැකවරණයක් අප සලසාගෙන තිබේ ද?

කිසිවක් හෙටට කල් දමන්නට හැකියාවක් අපට නැත. අප උපත ලබා සිටින්නේ හෙට එළඹෙන්නට පෙර මේ සියල්ල අහෝසි වී යාමේ ඉරණමක් ඇතිව ය. එනිසා සෑම ප‍්‍රමාදයක් ම ඇති කරවන්නේ පසුතැවිලි වීමේ අවස්ථාවක් පමණි. අසංඛ්‍යෙිය සංඛ්‍යාත සත්ව ප‍්‍රජාවක් තුළ උතුම් මනුෂ්‍යත්වය ලද කෝටි ගණනට අයත්ව, එයින් බුද්ධ ශාසනය මුණ ගැසුණ ලක්ෂ ගණන තුළ හිඳිමින්, එයිනුත් නිර්මල දහම ලබා දහමේ හැසිරෙන්නට ද වාසනාව ලද සුළුතරයේ රැඳෙන පින් ලද අප දහම තුළ ප‍්‍රමාදී වන්නේ නම් එය කල්ප ගණනකට නිවැරදි කළ නො හැකි වරදක් ම වනු ඇත.

දිනෙන් – දින, මොහොතින් – මොහොත ගෙවී යන කාලය ගැන අපට කියන කැලැන්ඩරය පිටුවෙන් පිටුව පෙරළී යන සෑම මොහොතක ම අපට සිහිපත් විය යුත්තේ අප මරණයට ළං වන බවයි; එ් මරණය ජය ගන්නට නම් අප දහම තුළ අප‍්‍රමාදී විය යුතු බවයි.

‘‘පුංචි අයත්, වැඩිහිටියොත් කවුරුත් මැරිලා යන්නේ ගස්වල ගෙඩි වැටෙනවා වගේ…”
(රට්ඨපාල රහතන් වහන්සේ වදාළ ථේර ගාථා)

මේ ජීවිතය සැබැවින් ම පවතින්නේ ටික කලකි. එනිසා සියල්ලෝ දුලබ දහම තුළ අප‍්‍රමාදී වෙත්වා!

– මහාමේඝ –