[image title=”” size=”full” id=”8702″ align=”none” linkto=”none”]

එ්, උඩවලව ජලාශයට ඉහළින් කළු වලාකුළු එක දෙක එක් වෙමින් තිබුණ උදෑසනක්. වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටි අපට දකින්නට ලැබුණු සොඳුරු දසුනක් නිසාවෙන් මගේ මතකය අවුරුදු පහලොවකට පමණ පෙර අතීතයට ගමන් කළා. එසේ අතීත මතකාවර්ජනයක් ඇති කළ සිදුවීම වුණේ මාර්ගය දෙපස පියාඹා යමින් සිටි සුදු සමනලයන් විශාල ප‍්‍රමාණයක් දකින්නට ලැබීමයි…

මීට වසර පහලොවකට පමණ පෙර අතීතයේ සීතල උඳුවප් මාසය එළඹෙන විට අහසේ එක පෙළට රංචු සැදී ගමන් කරන සුදු සමනලයන් දකින්නට ලැබීම ළමා අපට සුලබ අත්දැකීමක් වුණා. එ් හැම සමනල රංචුවක් ම ගමන් කළේ එක ම දිශාවකට. මේ සමනල පිරිවර දකින අපේ වැඩිහිටියන් කියා දුන්නේ එ් සමනලූන් සිරිපා කරුණා කරන්න ශ්‍රී පාද කන්ද වෙත යන බවක්. සුදු ඇඳ ගත්ත උවසු උවැසියන් පිරිසක් වගේ මේ සමනල සේනා සිරීපාදේ යන වග අහපු පුංචි අපි එ් සමනල රංචුවලට අත දිගු කර කර ‘‘අපිවත් සිරීපාදේ එකතු කරන් යන්න” කියන්න පුරුදු වෙලා හිටියා.

එ්ත් පහුගිය අවුරුදු දහය පහලොව ඇතුළත සිරිපා කරුණා කරන්න පෙළ ගැහිලා යන සුදු සමනලයන් අපේ ගම් පළාත්වල දකින්න ලැබුණේ ම නැති තරම්. ස්වභාව ධර්මයේ ඇති වුණ විපර්යාස සමගින් එ් සමනල විශේෂය වඳ වෙලා යන්නට ඇති කියල හිතාගෙන හිටි මට උඩවලව දී ආයෙමත් සුදු සමනල්ලූ දකින කොට සිරිපා වන්දනා කාලයට අපි ළංවෙලා කියලා මතක් වුණා. සිරිපා වන්දනා සමයත් සමග දකින්න ලැබෙන ස්වභාව ධර්මයේ සිරිපා දැක්ම පෙන්වන සුදු සමනල චාරිකා තවමත් සිද්ධ වෙනවා නේ ද කියලා සතුටකුත් දැනුණා. සමහර විට මෑත කාලයේ අපේ ගම් ප‍්‍රදේශවල සුදු සමනලයන් වන්දනාවේ යන හැටි දකින්නට නො ලැබෙන්නේ අතීතයේ ගමන් කරපු පාරවල් වෙනස් කරලා දැන් ඔවුන් සිරිපා වන්දනාවට අලූත් මාර්ගයක් සකස් කරගෙන තිබෙන නිසා වන්නට ඇති…. එ් කොහොම වුණත් අදටත් සිරිපා වන්දනා සමය ආසන්නයේ සුදු පාට සමනල රංචු සිරිපාද කන්ද අඩවිය දෙසට පියඹා යන බව නම් නිසැකයි…

සීතල උඳුවප් මාසයේ පුන් පොහෝ දිනයෙන් තමයි සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ. එදවස පටන් ඊළඟ බුද්ධ වර්ෂයේ ආරම්භය සනිටුහන් කරන පින්බර වෙසක් පුන් පොහෝ දිනය දක්වා ම සිරිපා වාරය යි. අප සරණ ගිය එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී රහතන් වහන්සේලා පන්සියයක් පිරිවරාගෙන සුමන සමන් දේව අඩවියේ මස්තකය වන මේ සමනල කන්ද මුදුනට පා ගමනින් ම වැඩම කොට වම් ශ්‍රී පාද ලාංඡනය එහි වූ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත පිහිටුවා වදාළ බව සිංහලයේ ඉතිහාස කථාවෙන් පෙන්වා දෙනවා. වසර සිය දහස් ගණනක අනාගතයේත් දෙව් බඹ නරන්ගෙන් අපමණ පුද පූජා ලබන්නට එ් උතුම් සිරිපද ලකුණ සමනල මස්තකයේ පිහිටි මොහොතේ මිහිකත සතුටින් සැලී යන්නට ඇති. එ් උතුම් සිරිපා සටහන් වන්දනා කරන්නටයි සිරිපා වාරයට බොහෝ සැදැහැතියන් සිරිපා කරුණා කරන්නේ.

අවසන් සිරුර දරා ගනිමින් මහ බෝසතාණන් වහන්සේ මනුලොව උපන් මොහොතේ එකසිය අටක් වූ මඟුල් ලකුණින් ශෝභමාන වූ එ් සොඳුරු සිරිපතුල් පිළිගනු ලැබුවේ පොළොවෙන් මතු වූ නෙළුම් මල් සතකිනුයි. තිලොව සෙත සලසන වීර නරාණන් එසේ මිහිමත පා තබද්දී දරා ගත නො හැකි ආශ්චර්යවත් බවකින් පොළොව සැලී යන්නට ඇති. සක් ලකුණින් විසිතුරු වූ එ් සිරිපා කමල් ධ්‍යාන උපදවාගෙන වාසය කළ පරසිදු අසිත තවුසාණන්ගේ සිරසෙහි පිහිටියේ එ් පාවල හිමිකරුවා ලොව අග‍්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, තිලොවට නායක වූ උත්තම මනුෂ්‍ය රත්නය බවට පත්වන වග පෙන්වා දෙමිනුයි.

එ් සුන්දර පාවල හිමිකරුවා විසි නව අවුරුද්දක් පුරා කපිලවස්තුවේ ගත කළ ගිහි ජීවිතය තුළත් ලෝකයේ යථාර්ථය සොයා ගැනීමේ අභිලාෂයෙන් සිත මෙහෙයවූවා. රාහුල කුමරුවන් උපන් දවසේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස් වීමේ මාර්ගය සොයා කෙලෙස් ගිරි දුර්ග තරණය කිරීමේ අටියෙන් අබිනික්මන් කරන්නට යොවුන් සිද්ධාර්ථයන් ඇවිද ගිය මොහොතේ එ් පා සටහන් සිප ගත් පොළොව මහානුභාව සම්පන්න පුණ්‍ය තේජසින් සසල වන්නට ඇති.

සය වසරක් මුළුල්ලේ කටුක, ඝෝර දුක්ඛ වේදනාවන් විඳිමින් අත්තකිලමතානු යෝගයේ යෙදුණ කාලයේ එ් සොඳුරු සිරිපා තපසේ කටුක බවින් වැහැරී නහර වැල් ඉලිප්පී ගියා. දුක සේ වෙර වීරිය කරමින් සත්‍යය අවබෝධ කිරීමේ අටියෙන් බෝසතාණන් වහන්සේ සිරුරට අතිශයින් දුක් ගෙන දුන් එ් කාලයේ කටු පෑදී වැහැරී ගිය සිරුර දරා ගත් එ් සිරිපා තබා පොළොවේ ඇවිද යද්දී එ් මහා වීර්යයේ තේජසින් පොළොව සසල වන්නට ඇති.

ඇසතු බෝධි වෘක්ෂ මූලයේ පුරුෂ වීර්යයෙන් යුතු ව සමවතට සමවැදී දස මරුන් පරදවා, සියලූ කෙලෙස් මුල් උදුරා වනසා දමා තිලොව ශ්‍රේෂ්ඨත්වයෙන් පිදුම් ලබමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ දෙව් බඹුන් පැමිණ එ් සිරිපා දිව්‍ය මල් සුවඳින් පිදුම් දෙන්නට ඇති. සතියක් නො සැලී අම නිවන් සුව විඳිමින් වැඩ සිටි සම්බුදුරජාණන් වහන්සේ වජිරාසනයෙන් නැගී සිටි මොහොතේ මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයේ සුපූජනීය සිරිපා කමල් ස්පර්ශයෙන් ලද බුද්ධානුභාවයෙන් මිහිකත සැලී යන්නට ඇති.

එතැන් පටන් සතලිස් පස් වසරක් මුළුල්ලේ සෑම දවසක ම පාහේ සම්බුදු සිරිපා පහසින් මිහිකත සැලී ගියා. එ් සිරිපා පද්මයන් යොමු වූයේ කවර දිශාවකට ද එ් දිශාවේ වාසය කළා වූ අප‍්‍රමාණ සංඛ්‍යාත සත්ව ප‍්‍රජාවක් සුවපත් භාවයට පත් වුණා. සම්බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය පුරා පා ගමනින් ම වැඩම කරමින් සදහම් අමා බෙරය වයමින් සත්ව වර්ගයාගේ සුව සෙත සැලසීම සිදු කරද්දී එ් සිරිපා පහසේ පරම පූජනීයත්වයෙන් මිහිකත කම්පා වන්නට ඇති.

අද මෙන් සුවපහසු මංමාවත් නො තිබුණු, ගල් බොරළු කටු ආදියෙන් යුතු වූ, මඩ හා දූවිල්ලෙන් වැකී ගත් ගම් දනව් සිසාරා සදහම් සන්දේශය පතුරුවමින් සම්බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළා. සාමාන්‍ය ලෝකය තුළ අවදි කළ අසම සම බුද්ධි ප‍්‍රභාවේ බල මහිමයෙන් ලොව අග‍්‍රත්වයට පත් වූ එ් සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කයත් සාමාන්‍ය ලෝකයාගේ ශරීරයන් ආකාරයෙන් ම ජරාවට පත් වුණා.

‘‘පින්වත් ආනන්ද, මම දැන් හොඳට ම ජරාවට පත් වෙලා. වැඩි මහලූ වෙලා. මට දැන් අවුරුදු අසූවක් වෙනවා. මම දැන් දිරා ගියපු කරත්තයක් වගේ. පිළිසකර කිරීම් කරලා, යන්තමින් අටව ගත්තු කරත්තයක් වගේ. ආනන්දය, මේ නිසා තථාගතයන් වහන්සේගේ කයට බොහෝ පීඩා ඇති වෙනවා.”
(මහා පරිනිබ්බාණ සූත‍්‍රය – දී. නි.)

ඉතින් සැතැපුම් සිය දහස් ගණනක් පුරා, රළු මාවත්වල චාරිකාවේ යෙදුණ සම්බුදු සිරිපාත් ගෙවී, රළු වී, මැදී යන්නට ඇති. මාගන්ධියගේ මව වූ බැමිණිය මනා ව පිහිටි සම්බුදුරජුන්ගේ පිය සටහන් දැක ‘‘මේ පා සටහනේ හිමිකරුවා නම් ගිහි ගෙයි නො රඳින නිකෙලෙස් උතුමෙකු ම ය.” කියා නිසැක භාවයට පත් වූ නමුත් අසූ වයස් වන විට එ් සිරිපා සටහන පැහැදිලිව කියවිය නො හැකි තරමට ම ජරාජීර්ණ වන්නට ඇති. රත් පැහැයෙන් දිළුන, සක් ලකුණින් – දික් විළුඹින් සැදුන, සෙමෙර ඡුත‍්‍ර සිරියෙන් ද බැබළුණ එ් රන්වන් රන් සිරිපා යුග්මයන් ධර්ම චාරිකාවේ යෙදීම නිසාවෙන් ගෙවී ජරාවට පත් වන විට දහම් සිසිලසින් සුවපත් වන ලෝකය දැක උපන් අමන්දානන්දයෙන් පොළොව සැලී යන්නට ඇති…

එ් සිරිපා යුග්මය මේ මිහිමත තැබුණේ යළි කිසිදිනක මිනිසෙකුගේ තබා දෙව් බඹෙකුගේවත් පා ඇතිව හෝ ‘යළි උපතක් ලැබීම’ නම් වූ දුක්ඛදායක සංසාර කථාවෙන් සදහට ම නිදහස් වූ, එ් දුක්ඛිත සංසාර කථාවෙන් සදහට ම නිදහස් වීමට මඟ කියා දුන්නා වූ අනුත්තරීය භාවය දරා ගනිමිනුයි. සසර කෙලෙස් දාහයන් නිවා, අමා සුව සලසමින් එ් උත්තම සිරිපා පොළෝ ගැබ ස්පර්ශ කරද්දීත් අවසන් සිරුර දරා ගනිමින්, අවසන් උපත ලද ශ්‍රේෂ්ඨතමයාගේ පා පහස විඳ දරා ගැනීමේ අනුහසින් පොළොව මුදු ලෙස සැලී යන්නට ඇති….

මේ සිරිපා වාරයේ සමනල කන්ද ඉසව්වට පියාඹා යන සුදු සමනලයන් සිරිපා දැක බලා වන්දනා කිරීමේ වාසනාව ලබනවා ද නැද්ද යන්න ගැන නම් මම කිසිවක් ම අසා නැහැ. බොහෝ දුරකතර ගෙවාගෙන සමනල අඩවියට පිවිසෙන්නට උත්සාහ දරන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අතරමඟ දී ම විලෝපිකයන්ට ගොදුරු වනවා විය යුතුයි. කලාතුරකින් කිහිප දෙනෙකු පමණක් සීතල සමනල අඩවිය සිරිපා මස්තකය දැක බලා ගන්නවා විය හැකියි. හරියට අප වගේ ම යි. සම්බුදු පහසින් පොළෝ තලය මුදුව සැලී ගිය අයුර දැක බලා ගනිමින් එ් සම්බුදු ළය මඩලේ උපදින්නට අපට වාසනාව ලැබුණේ නෑ. එ් සිරිපා පාමුල නිකෙලෙස් මුනිවරු ලෙසින් සිංහනාද කරන්නට අපට පින් මඳ වුණා. එ් සිරිපා පාමුල නෙළුමක් ව විකසිත වන්නට අපට හැකි වුණේ නැහැ. තවමත් අපට එ් අවස්ථාව මඟ හැරී ගොස් නැත්තේ පිනකින්. මේ පින ගෙවී යන්නට මත්තෙන් නිකෙලෙස් හද මඬලක් ඇතිව එ් සම්බුදු සිරිපා පිනිපා කරන්නට අපට නො හැකි වුණහොත් සසරේ තව බොහෝ කාලයක් අපා, දෙපා, සිව්පා, බුහුපාවන් ලෙසින් අප ගමන් කරනු ඇති…

ලක්දිව විජය ශ්‍රී ජය ශ්‍රී බෝධීන් වහන්සේ පිහිටියා වූ, භික්ෂුණී සංඝයා බිහි වූ උතුම් උඳුවප් පොහොයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය තුළත් දහස් සංඛ්‍යාත සැදැහැතියන් එ් උත්තම සිරිපා වන්දනා කර ගනීවි. එ් අතරෙ අමා දම් සීත ගඟුලෙන් සැනසී පේ වෙලා, කෙලෙස් දඩයක්කරුවන්ට ගොදුරු වීමෙන් සදහට ම නිදහස් වෙලා, කෙලෙස් කද මළු සසර මහගිරි දඹෙන් විසි කරලා, අහස් ගව්ව පිය මැනගෙන අහසේ පියඹා යන හංස රාජයන් සේ තෙර තරණය කළා වූ එක ම එක බුදු පුතෙක් හෝ දියණියක් සිටිනවා නම් එය ම නේ ද සම්බුද්ධ ශ්‍රී පාදයට පිදෙන අග‍්‍ර ම පූජෝපහාරය වන්නේ….

නිකෙලෙස් සිත් ඇති ව, අප සරණ ගිය සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්නට අපට භාග්‍යය උදා වේවා!!!

සටහන
ඉඳුනිල් වික‍්‍රමසූරිය