තාක්ෂණය කියන්නෙ අපේ වැඩ කටයුතු පහසුවෙන්, ඉක්මනින් කර ගන්න උපකාරී වෙන දෙයක් බවයි සමාජ පිළිගැනීම. තාක්ෂණය දියුණු වෙන්න, දියුණු වෙන්න කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය, සඵලදායීත්වය වගේ ආර්ථික න්‍යායන්වලින් අර්ථ දැක්වෙන කඩයිම් කරා සමාජය යොමු වුණා. මේ නොයෙකුත් අර්ථ දැක්වීම් අනුව නම් නූතන සමාජය අතිශයින් දියුණුයි, බොහොම සුව පහසුයි.

එ්ත්….
මීට වඩා නොදියුණු ව ලෝකය පැවතුණ කාලයේ තිබුණ තරම්වත් විවේකයක්, මානසික නිදහසක් නූතන මිනිසුන්ට නැහැ. එපමණක් නෙමෙයි; එ් නොදියුණු යුගයේ මිනිසුන් තරමට නූතන මිනිසුන් සෞඛ්‍ය සම්පන්නත් නැහැ. විවේකයත්, යහපත් සෞඛ්‍යයත් එකසේ ම අපට අහිමි කරපු සමාජයක් ගැන තමයි අපි දියුණුයි සහ සුවපහසුයි කියලා උදම් අනන්නේ. එහෙම බලනකොට අපි අරුත් දක්වන තත්ත්වයේ සහ අපි සැබෑවට ම අත්විඳින ස්වභාවයේ පරස්පර බවක් පෙනෙන්නට තිබෙනවා. එ් පරස්පර බව නැති කරන්නට පිළියමක් සකස් නො කෙරෙන තාක් අපි දියුණු හා ශක්තිමත් ලෝකයක හිඳින දුර්වල මිනිසුන් වීම වළක්වන්නට බැහැ.

අතීතයට යන්න කලින් වර්තමානය තුළ ඔබේ මගේ නිවස තුළ තිබෙන තත්ත්වය සලකා බලන්න වෙනවා. අපි බොහෝ දෙනෙකුට නිවසේ විදුලිය තිබෙනවා. විද්‍යුත් උපකරණත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදුලි බල සැපයුම සහිත ජනගහනය 95ක ඉහළ ප‍්‍රතිශතයක්. විදුලි සැපයුම තිබෙන නිසා ම එදිනෙදා ජීවිතයේ අපේ කාර්යයන් සමගින් විද්‍යුත් උපාංගයන් බොහොමයක් සම්බන්ධයි. මේ දේවල් අතරේ අපිට වැඩි වශයෙන් ම සමීප උපකරණයක් තමයි ජංගම දුරකථනය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20ට මඳක් වැඩියි. 2013 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ජංගම දුරකථන ප‍්‍රමාණය මිලියන 20යි….. අත දරුවන්ට ජංගම දුරකථන නොමැති නිසා මේ සංඛ්‍යා දත්තවලින් පෙනී යන කාරණය තමයි ඇතැම් අයට ජංගම දුරකථන එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා කියන එක.

ජංගම දුරකථනයෙන් අපිට ලැබුණ වාසි මොනවද කියල අපි ඔබෙන් ඇහුවොත් ඔබට උත්තර බොහොමයක් තිබෙනවා. අපිට වුවමනා වෙලාවට බොහෝ දුර ඈතක සිටින කෙනෙක් සමග වුණත් සන්නිවේදනයේ යෙදෙන්න නූතනයේ වැඩියෙන් ම උපකාර වෙන්නේ ජංගම දුරකථනයයි. දියුණු අති නවීන පහසුකම් සහිත ජංගම දුරකථනයක් ඔබ සතු නම් එහි තේරුම තමයි පරිගණකයක්, හොඳ කැමරාවක්, රූපවාහිනියක්, ආදි උපාංග ගණනාවක් ම ඔබ සතුයි කියන එක. මේ සියල්ල ම ඔබට නොයෙක් ආකාරයෙන් ඔබේ කටයුතු ඉක්මනින්, පහසුවෙන්, හොඳින් කර ගන්නට උපකාරී වෙනවා.

එතකොට ඔබට ජංගම දුරකථනය නිසා ඇති වුණ අයහපතක්, අපහසුවක් එහෙම තිබෙනවා ද? ඔන්න ඔය ප‍්‍රශ්නයට උත්තර දෙන්න නම් අපිට යම් වෙලාවක් වුවමනා වෙයි. එක එල්ලේ ඔව් කියන්නත් බැරි, එක් එල්ලේ නෑ කියන්නත් බැරි කාරණයක් තමයි ජංගම දුරකථනයක තිබෙන අහිතකර ඵල විපාක… ඔය දේ නිරවුල් නොකර ගන්නා අයෙකුට සිදු වෙන්නේ තාක්ෂණය නිසා ලෙඩ වූ අයෙක් බවට පත් වෙන්නයි.

අප මේ කථා කරන කාරණා ඍජුව සම්බන්ධ වෙන්නේ ජංගම දුරකථනයට නෙමෙයි. විද්‍යුත් උපකරණයක් වශයෙන් තිබෙන පොදු අහිතකර ස්වභාවයන් (එ් කිව්වේ ශරීරයට අහිතකර විකිරණ නිකුත් වීම ආදි දේවල්) හැරුණු කොට ජංගම දුරකථනය තුළ අප මේ කියන අයහපත් පැත්ත ගැබ් වෙලා නැහැ. ඇත්තටම ප‍්‍රශ්නය තිබෙන්නේ ජංගම දුරකථනය භාවිත කිරීමේ දී අප අනුගමනය කරන වැඩපිළිවෙළ තුළයි. සරලව ම කියනවා නම් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ඉතාමත් අල්ප විනයක්…

ඔබේ සමීපයේ ජංගම දුරකථනය නැති නම් ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද? නිතර නිතර බාහිරය සමග ගැටෙන්නට සිදු වීමෙන් යම් පමණකට නිදහස් වුණා කියා හුදෙකලා සුවයක් ඔබට දැනෙයි ද? එහෙම නැති නම් හැකි ඉක්මනින් ජංගම දුරකථනය සමීප කර ගැනීමේ වුවමනාවක්, සමීප මිතුරෙක් අහිමි වූවා වැනි හැඟීමක්, විපිළිසර බවක් ඔබට ඇති වෙයි ද? ඔය ප‍්‍රශ්නයට ඔබ දෙන උත්තරය මත තමයි ජංගම දුරකථනය ඔබට සුවපහසුවක් ඇති කරවනව ද නැති ද කියන එක තීරණය වෙන්නේ. ඔය ප‍්‍රශ්න දෙකෙන් මොන එකකට ඔව් කියන උත්තරය දුන්නත් එහි තේරුම ජංගම දුරකථනය ඔබේ සුවපහසු ජීවිතයට අනවශ්‍ය බලපෑමක් ඇති කර තිබෙනවා කියන එකයි…!

එ් කොහොමද එහෙම වෙන්නෙ?

ජංගම දුරකථනය නැති අවස්ථාවල ඔබට පහසුවක් දැනෙනවා නම් එ් කියන්නේ ජංගම දුරකථනය තිබුණ අවස්ථාවල එ් සුවපහසුව ඔබට අහිමි වෙලා තිබුණා කියන එකයි. එ් වගේ ම ජංගම දුරකථනය නැති අවස්ථාවල ඔබට අපහසුවක්, විපිළිසර බවක් දැනෙනවා කියන්නේ ඔබ දරුණු විදිහට ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා කියන එකයි. ඇබ්බැහි වීම ඔබට සුවපහසුවක් ඇති කරවන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ලොකු අර්බුදයක් දක්වා වර්ධනය වෙන දෙයක් තමයි ‘ඇබ්බැහිය’. එ් එ් අවස්ථාවල සිතට දැනෙන නොසන්සුන් බව ඔබට අපහසුව ඇති කරවනවා. ජංගම දුරකථනය සමග ගනුදෙනු කරන්නට නො හැකි වීම නිසා ඇතැම් විට නොඉවසිල්ල, කේන්තිය වැනි චිත්තාවේගයන් පවා ඔබ තුළ ඇති වන්නට පුළුවන්. එය යහපත් ප‍්‍රවණතාවයක් නොවෙයි.

කන බොන වෙලාවටත්, මඟ තොටේ යන එන වෙලාවටත්, සතුටු සාමීචියේ යෙදෙන වෙලාවටත් බොහෝ දෙනෙකුට ජංගම දුරකථනයට සම්බන්ධ නො වී සිටීම දුෂ්කර දෙයක් බවට පත් වෙලා. ඇතැම් වෙලාවට තමුන් කන්නෙ බොන්නෙ මොනවද, කියන්නෙ කරන්නෙ මොනවද, යන්නෙ එන්නෙ කොහෙද කියන කාරණා පවා අසිහියෙන් සිදු කෙරෙන තරමට ම මේ ජංගම දුරකථන නැඹුරුතාවය ප‍්‍රබලයි. ජංගම දුරකථන විප්ලවයේ ප‍්‍රතිඵලය බවට පත් වෙලා තියෙන්නේ අසිහියෙන් ජීවත් වන ලෝකයක්… නිදන ඇඳට, වැසිකිළියට පවා ජංගම දුරකථනයෙන් තොර මොහොතක් උදා නොවන තරමට එය ජීවිතයට බද්ධ වෙලා.

අතීතයේ පණිවිඩයක් හුවමාරු වී එයට අදාළ ප‍්‍රතිචාරයන් දක්වන්නට ගත වූ කාලය පිළිබඳ සලකා බලනකොට ජංගම දුරකථන යුගය ඉතාමත් කාර්යක්ෂමයි. තප්පර කිහිපයක් තුළ පණිවිඩ හුවමාරු වෙලා අදහස් ගලා යාම සිදු වෙනවා. නමුත් එ් කාර්යක්ෂමතාවයෙන් ම ශික්ෂණය, සංවරය ඇති නොවන නිසා ඇතැම් පණිවිඩ හුවමාරු වීම් කෙළවර වන්නේ ඛේදවාචකයන්ගෙන්. එ් සිදුවීම් දකින විට මේ තාක්ෂණය හරහා ඇති කරවපු ඉක්මනට වඩා හෙමින් සීරුවේ කරුණු කාරණා ක‍්‍රියාවට නැගුණු යුගයේ ඇති වුණ නිවී සැනසිල්ල, විනය, සංවරභාවය මොන තරම් නම් වටිනව ද කියා සිතෙනවා.

තවත් පැත්තකින් දුරකථනය හරහා ලොකුම බලපෑමක් ඇති වී තිබෙන්නේ මානව ශ‍්‍රමය ඵලදායී ව භාවිත කළ යුතු තත්ත්වයන්ටයි. ආයතනික ව්‍යුහයන් තුළ අනවශ්‍ය දුරකථන සංවාද අධික වීම කාලය නිරපරාදේ නාස්ති කරන දැවැන්ත ප‍්‍රශ්නයක් බවට පත් වෙලා. ලක්ෂ සංඛ්‍යාත සේවා නියුක්තිකයන් එකිනෙකා අතින් දවසේ රාජකාරි වේලාවෙන් එක් විනාඩිය බැගින් අනවශ්‍ය දුරකථන සංවාද වෙනුවෙන් අපතේ ගියහොත් වැඩ කරන පැය දහස් ගණනක් නාස්ති කෙරෙනවා. ඊටත් වඩා වැඩි කාලයක් කාර්යාලීය වේලාව තුළ දුරකථනය විසින් අපෙන් උදුරා ගන්නවා නම් දියුණු වෙමින් පවතින රටකට එය මොන තරම් නම් දරුණු පහරක් ද කියන එක අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ.

මේ ඇති වෙලා තිබෙන අනිටු තත්ත්වයට තිබෙන හොඳම විසඳුම තමයි ස්වයං විනයකින්, සංවරයකින් යුතු ව තාක්ෂණික මෙවලම් සමග ගනුදෙනු කිරීම. එ් විනය ප‍්‍රතිපත්ති තම තමා විසින් ම තීරණය කර ගැනීම යහපත්. අපට පුළුවනි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න.

* දවසේ පැය කිහිපයක්වත් දුරකථනය විසන්ධි කර තබමු. ( සිහි නුවණින් යුතු සුවබර නින්දක් වෙනුවෙනුත්, විවේකය සලසා ගැනීම වෙනුවෙනුත් එය ඔබට උපකාරී වේවි.)
* ආහාර පාන ලබා ගන්නා අවස්ථාවන්වල දී දුරකථන සංවාදයන්ගෙන් වළකිමු. (ආහාර සිරවීම් ආදිය වළක්වන්නට පමණක් නොවෙයි, ප‍්‍රථ්‍යාවේක්ෂා කරමින් සිහි නුවණින් යුතු ව ආහාර ගන්නටත් එය ඔබට උපකාරයක්.)
* මඟ තොටේ දුරකථන සංවාද අවම කරමු. (අනතුරු වළකාලන්නටත්, අවට පරිසරය පිළිබඳ ව සංවේදී භාවයෙන් කටයුතු කරන්නටත් එය රුකුලක්.)
* පවුලේ සියල්ලන් හා එක්ව සිටීමට දුරකථන භාවිතයක් නැති කාලයක් වෙන් කර ගනිමු. (සුහදත්වය වර්ධනය වන්නට එය හේතුවක්. දවසේ යම් කාල වේලාවක් දුරකථනය භාවිතයෙන් වැළකී මෙය සිදු කරන්නට පුළුවනි නම් තමන් සමීපයේ සිටින්නන් කෙරෙහි අවබෝධයෙන් යුතු වන්නට, ඔවුන් සමග සබැඳියාවන් වර්ධනය කර ගන්නට වැඩි අවස්ථාවක් සැලසෙනවා. දුරකථනය සම්බන්ධතා පවත්වා ගන්නට උපකාරී වනවා කියා අප සිතුවාට බොහෝ වෙලාවට දුරකථනය නිසා සිදු වී තිබෙන්නේ සමීපතමයන් සමග ඇති සබඳතාවය දුරස් වීමක්.)

මේ විදිහට එදිනෙදා චර්යාවන්ගේ සුළු වෙනස්කම් කිහිපයක් කර ගැනීමෙන් ඔබට වඩාත් නිදහස්, වඩාත් විවේකී වගේ ම වඩාත් සාර්ථක මානව සම්බන්ධතා සහිත උසස් විනයකින් හෙබි පුද්ගලයෙක් බවට පත් වන්නට පුළුවන්. එවිට පමණයි ජංගම දුරකථනය ඔබේ කාර්යයන් වඩාත් සුවපහසු කළා වන්නේ.

සටහන
භාරත සූරියබණ්ඩාර