බැලූ බැලූ සියලූ දෙනා අත ජංගම දුරකථනයකි. බැලූ බැලූ සියලූ දෙනා මහා කලබලයකින් මොනවදෝ කරමින්, කියමින් සිටිති. ඇතැමෙකුට තම නිවසේ ලිප මොලවාගන්නට වෙලාවක් නැත. එ් නිසා ම අවන්හල්වල දිගු පෝලිම් ය. ඇතැමෙකුට උපයාගත් දෙය කන්නට වෙලාවක් නැත. එතරම් වැඩ බහුල ය. තවකෙකුට බඩට දාගත් දෙය දිරවන තුරු සිටින්නට වෙලාවක් නැත. එතරම් රාජකාරී ය. බල්ලාට ඇති වැඩක් ද නැත. නමුත් බල්ලා සෙමින් ගමන් කළ දිනයක් ද නැත. අපට අත් වී ඇත්තේ ද එම ඉරණම ය. නමුත් කොතරම් හති දමමින් දිව්ව ද අවසානයේ අපට ඉතිරි වූ දෙයක් නැත. නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පළුවකුත් නැත්තේ ය.

මෙතරම් කලබලයක්……..? කුමක් උදෙසා ද? සුන්දර ඇඳුමක් ඇඟලා ගැනීම උදෙසා ය. ඉස්තරම් රස මසවුලක් කුසට දා ගැනීම සඳහා ය. සුඛෝපභෝගී වාහනයක ගමනක් යාම සඳහා ය. ඉහළ පන්නයේ හැඩැති නිවසක ජීවත්වීම සඳහා ය. විනෝද ගමනක්… පිට රට සංචාරයක්… මේ හැරෙන්නට වෙන කුමක් අරබයා අපගේ කලබලයක් තිබෙන්නේදැයි ඔබට කිව හැකි ද?

ඔබ ම හොඳින් සිතා බලන්න, පාරේ වාහන තදබදයක් ඇති වූ අවස්ථාවක, ඔබේ සිතේ ඇති කලබලකාරී බව කොතෙක් ද කියා. විනාඩියක් ඔබගේ වාහනය එක තැන නවතාගෙන සිටින්නට සිදු වුවහොත් ඔබ කී දෙනෙකුට බැණ වදිනවා ද? පළමුව ඉදිරියෙන් තිබෙන වාහනයේ රියැදුරාට…, දෙවනුව පාරේ වාහන හසුරුවන පොලිස් නිලධාරියාට…, තෙවනුව මහාමාර්ග අමාත්‍යවරයාට.., එයින් ද නො නැවතී ඔබට මතක් වන සියලූ දෙනාට ඔබ බැණ වදිනු ඇත. කුමක්ද මේ කලබලය…..? කුමක් සඳහා ද මේ වේගවත් බව….? මොහොතකටවත් ඔබ සිතුවා ද? ඔබගේ මේ සීඝ‍්‍රගාමී බව හේතුවෙන් ඔබේ ජීවිතයට ඉතිරි කරගත් දෙයක් තිබෙනවා ද?

තම දරු පැටවුන් ළඟට ගෙන හාදුවක් දෙන්නට ඉන් ඔබට වෙලාවක් ඉතිරි වුණි ද? වෙනදා අතින් සේදුව රෙදි ටික සෝදන කාර්යය රෙදි සෝදන යන්ත‍්‍රය භාරගත් පසු, ඉතිරි වූ වෙලාවෙන් ඔබ දරුවාට ගුණධර්මයක් කියා දුන්නේ ද? මිරිස් තුනපහ කොටන්නට මෝලට යන්නට වුවමනා නැත. එය විනාඩියෙන් කෙටී ඇඹරී අතට එන කල… ඔබට තෙරුවන් වන්දනාවට කාලයක් නැති වූයේ කෙසේ ද? ඔබ කලබල වූයේ නිදහස් විවේකී ජීවිතයක් වෙනුවෙන් නො වේ ද? නැත…. කොහෙත් ම නැත. ඔබේ කලබලය කාමයන් උදෙසා ම පමණි. එක ම විනාඩියකුදු අපතේ නො හැර වේගවත් වන ඔබ ඉන් ලද හැම මොහොතක් ද අපතේ නො හැර එය මුදලක් බවට පත් කර ගැනීමට වෙහෙසෙයි. දවස තුළ කාලය ඉතිරිව තිබේ නම්, ඔහු එම කාලය අමතර රැකියාවක් කිරීම සඳහා යොදා ගනු ඇත. මෙයට හේතුව විවේකයේ වටිනාකම නො දන්නා බව ය. ‘කාලය රන් හා වටී’ යන්නෙන් ඔබ අදහස් කරන්නේ කාලයෙහි ඇති මූල්‍යමය අගය නම්….. එය ඔබගේ අවාසනාව ය. නිදහස් ව නිවහල් ව සිතන්නට පතන්නට පවා විවේකයක් ඔබට අද නැති වී ගොස් ය.

නමුදු …. මේ දිවිල්ලෙන්, මේ කලබලයෙන් ඔබට හති වැටෙන දවසක් එන බව ඔබ දන්නවා ද? කෙතරම් හැඩැති ඇඳුම් ඇන්දත් කිසිවෙක් ඔබ දෙස නො බලන දවසක් එනු ඇත. ඔබ අද රටෙහි ඇති ඉහළ ම පන්නයේ මෝටර් රථයේ හිමිකරුවා වුව ද ඔබේ වාහනය පරදවන අලූත් පන්නයේ මෝටර් රථ හෙට වන විට රටට එනු ඇත. ඔබ, දරුවන් උදෙසා යැයි සිතමින් දුක් මහන්සි වී ඉදි කරන නිවස පරණ විලාසිතාවේ නිවසක් යැයි පවසමින් ඔබේ දරුවන් විසින් ම ප‍්‍රතික්ෂේප කර ඔවුන් වෙනත් නිවෙස් ඉදි කර ගන්නා දවසක් එනු ඇත. ඔබ ඔබගේ ජංගම දුරකථනයේ ඉරි අඳිමින් සිටින විට, නවතම තාක්ෂණය භාවිතයේ නොදැනුවත්කමට ඔබේ ම දරු මුණුපුරන් ඔබට සිනාසෙන දවසක් එනු ඇත. එදිනට…. ඔබ මේ මහා කලබලයෙන් දුවන දිවිල්ලෙහි ඵලයක් ඉතිරි වන්නේදැයි සිතන්නට මේ හොඳ ම වෙලාවයි.

මේ අප බැසී සිටින අවිද්‍යාවෙහි බලවත්කම කොතෙක්ද යත් මේ සත්‍යය පසක් කරන්නට ගන්නා උත්සාහය ද නිරර්ථක වන්නට පුළුවන. අප සැමවිට ම සැප කියා අල්ලාගෙන සිටින්නේ මහා දුකක් බව අපට පසක් කර දුන්නේ බුදුරජාණන් වහන්සේ ය.

අප කහට කෝප්පයක් බීමට ගන්නේ හකුරු කෑල්ලක් ද සපමිනි. නැතිනම් සීනි ටිකක් හෝ සපමිනි. සීනි දැමූ තේ කෝප්පයකට වඩා බොහෝ දෙනෙක් කැමති වන්නේ කහට තේ කෝප්පයක් බීමට ය. අප ඇලී සිටින්නේ එහි ඇති තිත්ත රසයට නො වේ ද? එ් ඇලීම කොතෙක් ද යත් ඇතැමෙකුට කහට උගුරක් බොන්නේ නැතිව නින්ද යන්නේ නැත. අප දුකට ඇලී සිටින්නේ ද මේ ආකාරයට ම ය. ගිනියම් අව්වේ වැඩ කරන විට මහා හයියෙන් ගීයක් ඇසිය යුතු ය. එවිට විඩාව නො දැනේ. කහට බීමට හකුරු පාවිච්චි කළා සේ ය.

මත්පැන් පානය කරන අය ඔබ දැක තිබේ ද? එහි ඇත්තේ ද තිත්ත රස ම ය. මත්පැන් උගුරක් බී බයිට් කෑල්ලක් කටේ දා ගන්නේ එහි ඇති තිත්ත නො දැනී යන්නට ය. අපි කාමයන්ගේ පීඩාව සන්සිඳවා ගන්නට උත්සාහ ගන්නේ ද මේ ක‍්‍රමයට ය. උදේ පටන් සිතට, කයට දැනෙන පීඩාව සමනය කර ගන්නට දාගන්නේ රූපවාහිනියයි. අපගේ ජීවිතවල බයිට් එක වී ඇත්තේ එයයි.

මේ අපගේ අවාසනාවට අපට ඉතිරි වූ දෙයයි. නමුත් අපට ලැබුණ මිනිස් ජීවිතය අතිශය දුර්ලභ එකක් ම ය. සැබෑම කලබලය ඇති කර ගත යුත්තේ අපි ම ය. මන්ද, දුර්ලභ මිනිස් ජීවිතය සේ ම, අතිශය දුර්ලභ තථාගත ශ‍්‍රී සද්ධර්මය ද අපට මුණ ගැසී ඇත. ඉතින්…. අප මීටත් වඩා කලබලයක් ඇති කර ගත යුත්තේ කුමක් සඳහා ද? ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා ය. අප කෙසේ කලබල විය යුතු ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නම්…. ‘‘හිස ගිනි ගත්තෙක් එ් ගිනි නිවන ලෙසට ය, හීයෙන් පහර කන ලද්දෙක් ඉන් සුවපත් වීමට වෙහෙසෙන ලෙසට ය”.

එසේ නම් අප එ් කලබලය පටන් ගන්නේ කවදා ද? මේ දැන් ම ය. ඔබ කලබලයෙන් විවේකය සොයන්න. එවිට ඔබට විවේකය ලැබෙනු ඇත. පසුව ඔබ එ් විවේකය තුළ කළ හැකි දෙයක් මුනි දහම තුළින් සොයන්න. එවිට කලබලයෙන් කළ යුතු දේ සූත‍්‍ර දේශනා තුළින් ඔබට හමු වනවා නිසැක ය. හිස් ම හිස් වූ කාමයන් පසු පස ම දිව යන්නේ, මෙතරම් ම කළ යුතු දේ තිබිය දී බව ඔබට පසක් වනු ඇත. අප සරණ ගිය එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛකන්ධ සූත‍්‍රයේ දී අප මේ මහා කලබලයෙන් සොයන කාමයන් ගැන අතිශය සුන්දර විස්තරයක් කොට වදාළ සේක.

‘‘පින්වත් මහණෙනි, කාම ගුණ පහක් තියෙනවා. එ් පහ මොනවා ද? ඇසෙන් බලන රූප තියෙනවා, බොහොම ලස්සන, සිත් ඇද ගන්නා, කැමැත්ත ඇතිවෙන, රාගය ඇතිවෙන අරමුණු තියෙනවා. කනෙන් අහන ශබ්ද.., නාසයෙන් දැනෙන ගඳ සුවද…, දිවට දැනෙන රස…., රාගය ඇති වන පහස තියෙනවා. පින්වත් මහණෙනි, ඔය පහට කියන්නේ කාම ගුණ කියලා. ඉතින් පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් ඇති වුණා නම් එ්ක තමයි කාමයන්ගේ ආස්වාදය”.

මෙසේ දේශනා කළ උන් වහන්සේ කාමයන්ගේ ආදීනව ද දේශනා කොට වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, කාමයන්ගේ ආදීනව කුමක්ද? ගිහි ජීවිතය ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගන්න ඕන. දෑතේ වැඩ හරි, ආණ්ඩුවේ රැකියාවක් හරි, හමුදාවට ගිහින් හරි තව නොයෙක් රැකියාවලින් තමයි ජීවිතය ගෙවන්න තියෙන්නේ. ආයේ ඉතින් සීතලයි කියලවත්, රස්නෙයි කියලවත්, මදුරුවෝ මැස්සෝ ඉන්නවා කියලවත් අව් සුළං තියෙනවා – සර්පයෝ ඉන්නවා කියලා බෑ. බඩගින්නෙන් – පිපාසයෙන් මැරී මැරී හරි රස්සාවල් කරන්න වෙනවා. පින්වත් මහණෙනි, මේක මේ ජීවිතයේ දී ම අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවයයි. කාම අවුලෙන් ම යි, කාමයන් හේතුවෙන් ම යි ආදීනවය ඇතිවෙන්නේ.”

මේ සුන්දර දේශනාවේ දී අපගේ මහා කාරුණිකයන් වහන්සේ ඉන් නො නැවතී, කාමයන්ගෙන් නිදහස් වන ආකාරය ද දේශනා කොට වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, දැන් ඔය කියා දීපු විදියට කාමයන්ගේ ආස්වාදය, ආස්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් යථාර්ථයෙන් ම අවබෝධ කර ගත්තොත් ඇත්තෙන්ම ඔවුන් කාමයන් ගැන තමනුත් අවබෝධ කර ගන්නවා. අනුන්ටත් අවබෝධ කරවනවා…..”

ඉදින් කාමයන් උදෙසා වන මේ මහා කලබලයෙන් සැබෑම කලබලයට පත් වී දුකින් අත් මිදෙන්නට අප සැමට භාග්‍යය උදා වේවා !

සටහන – ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී
තේජා දිල්රුක්ෂි දයාරත්න