මම ඇස් දෙක ම නො පෙනෙන කෙනෙක්. සමහර අවස්ථාවල දී සමහර අය ගොඩක් ආදරයෙන් මගේ ඔළුව අත ගාලා මෙහෙම කියනවා, ‘‘අනේ මේ පුතාගේ ඇස් දෙක පෙණුන නම් මොන තරම් වාසනාවන්ත කෙනෙක් වෙන්න තිබුණ ද?” ඔවුන් හද පත්ලෙන් ම සෙත් පතනවා ඇස් පෙනීම ලැබෙන්නටත්, ජාති ජාති මෙහෙම දෙයක් නො වීම පිණිසත්…

ඉතින්, මමත් ඇස් පෙනෙන අය වගේ ම රටේ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගත්තා. උසස් විභාග සමත් වුණා. කොටින් ම ඇස් පෙනෙන අය හිමිකර ගන්න සරසවි උපාධිය මාත් හිමිකර ගත්තා. උගත්, ඇස් පෙනෙන අයවරුන් වගේ ම විදේශ රටවල අධ්‍යාපනයත් ලැබුවා. අනේ, එ්ත් මං බලාපොරොත්තු වුණ සතුට මේ දේවල්වල නැති බව මට තදින් ම දැනෙන්නටත්, හැෙඟන්නටත් වුණා.

අනේ…! ඇත්තටම ඇස් පෙනෙන ඔයාලා සතුටින් ද ඉන්නේ? මට නම් දැනෙන්නේ ඇස් පෙණුනට බොහෝ දෙනා අසහනයෙන්, අතෘප්තියෙන් නිරර්ථක තරගයක පැටලිලා, පිටට වෙස් මූණක් දමා ගෙන ඇතුළතින් හූල්ලමින්, සෝ සුසුම් හෙළමින් ගින්නක් අවුළුවාගෙන පිච්චෙමින්, තමාව ම රවට්ටා ගනිමින් කල් ගෙවන බවකුයි… මං කියන මේ කතාව ඇත්ත ද කියලා ඔබ ඔබේ ම හෘද සාක්‍ෂියෙන් අහලා බලන්න. සමහරු ‘‘ඔයා කියන කතාව නම් ඇත්ත තමයි, එ්ත් ඉතින් අපි මොනවා කරන්න ද?” කියලා පරණ පීල්ලෙ ම ඔහේ ගමන් කරනවා. මේ විදිහට බොහෝ අය කලකිරීමෙන්, පසුතැවිලි වෙමින් ඔහේ ජීවිතය ගෙවා දමනවා. කවදාහරි ලැබෙන සතුටක් පතා තමන්ව රවටා ගනිමින්, උපරිම වෙර යොදමින්, තණ්හාවට දාසකම් කරමින් තම තමන්ගේ ලෝකවල ගාල් වෙනවා.

හිතවත් සහෘදයනි,….. ඉතින්, මට හිතුණා නො සතුටින් ඉන්න අය අතරේ සතුටින් ඉන්න මං හරිම වාසනාවන්තයි කියලා. මට මුණගැහුණා ඇත්තටම සතුටින් හිටපු, සැබෑ සතුට උපදවා ගත හැකි මග කියපු ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයාණන් වහන්සේගේ දහම. ඇත්තෙන්ම එය හරි ම සුන්දරයි. වචන විෂයාත‍්‍රිකාන්තයි, චමත්කාරජනකයි, ප‍්‍රීති ප‍්‍රමෝදය උතුරා යයි. ඔබත් කැමති ඇති නේ ද? එ් පරම රමණීය වූ දහමේ හිමිකරුවාව දැන හඳුනාගන්න. එ් වෙනත් කිසිවකු නොව, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.

අද අපට උන් වහන්සේව නෙතින් දැකිය නො හැකි වුවත්, උන් වහන්සේගේ ශ‍්‍රී මුඛයෙන් දෙසා වදාළ බුදු බණ පද තුළින් උන් වහන්සේව දැන හඳුනාගැනීමේ භාග්‍ය උදා වී තිබෙනවා. ඇස් නො පෙනෙන මා උන් වහන්සේ දුටුවේ නැණ ඇසින්. ඇස් පෙනෙන ඔබට ද එ් මුනිරජාණන් වහන්සේව දැන හඳුනාගැනීමට අවැසි නම් එය සිදු කළ හැක්කේ ද තම තමන් තුළ නැණ ඇස් තිබුණොත් පමණයි. මේ අතින් අපි දෙගොල්ලන් ම සමානයි නේ ද? කාම ලෝකයේ දී නම් ඇස් නො පෙනීම තීරණාත්මක සාධකයක් වන්නට පුළුවන්. එ් වුණත් සදහම් මග යෑමට නම් අප කා හටත් පිහිටිය යුත්තේ නැණ ඇස් ම යි…

ඔබත් අභ්‍යන්තරයේ නැණ ඇස් පිහිටා ඇත්තෙක් ද? එය එසේ නම් ඔයාලා හරිම වාසනාවන්තයි. ඇත්තටම පින කියන්නේ එ්කටයි. මගේ වාසනාව ගැන මං සතුටු වෙනවා වගේ ම ඔයාලගේ වාසනාව ගැන ඔයාලත් මුළු හදවතින් ම සතුටු වන්න. මේ සතුට අපි හැමෝගෙ ම සදාතනික සතුටු උල්පතේ ආරම්භය වනු ඇති. අරහත් සම්මා සම්බුදුරජුන්ව මුළු හදවතින් ම සරණ යන්න. කිසිවෙකුට වෙනස් කළ නො හැකි පරිද්දෙන් ම උන් වහන්සේගේ අවබෝධය සත්‍ය බව විශ්වාස කරන්න. දැන් ඔබට මතු දිනක සැබෑ සතුටේ හිමිකරුවකු වීමේ බලාපොරොත්තුව සැබැවින් ම ඇති කරගැනීමේ ඉඩකඩ සැලසෙනවා.

අපගේ තිලෝගුරු වූ ශාන්ති නායකයාණන් වහන්සේ ලොව පවතින අකාලික සත්‍ය වූ යථාර්ථවාදී දහම විනිවිද දකින නුවණින් යුතුව මැනවින් මතුකොට වදාළා. එනම් සියල්ලක ම පවතින අනිත්‍ය ස්වභාවයයි. අනිත්‍ය වූ සියල්ල ම දුකයි. සියල්ල ම දුක මත පිහිටා තිබෙන්නේ. එය එසේ නම් මම මගේ යැයි කෙසේ නම් සලකා ගනිමු ද? කුමට නම් තර කොට අල්ලා ගනිමු ද? මෙය අත්පත් කර ගැනීම පිණිස බලූ පොරයක යෙදී සිටීම මායාවක් නො වේ ද? සැබැවින් ම මෙය මිනිස් බුද්ධියට පවා නිගා දෙන ඛේදනීය තත්ත්වයක්. ”අපි දියුණු” යැයි වහසි බස් ෙදාඩවන මානව ශිෂ්ටාචාරයේ ඇති ලද බොළඳ චින්තනමය පරිහානිය මෙයින් සුපැහැදිලිව පෙනී යනවා.

ඇත්තෙන්ම තම තමන්ගේ පසිඳුරන් උපරිම ලෙස පිනවා ගනිමින් සිත සතුටු කර ගැනීමට බොහෝ දෙනා දිවා රෑ නො තකමින් බොහෝ දේවල් කරනවා. නොයෙක් දැ නිර්මාණය කරනවා. මේ අතෘප්තිකර, තුච්ඡ, බොල් අසාර තරගය පවතින්නේ කාමදාහය සන්සිඳුවා ගැනීමට බව දැන් පැහැදිලියි. සියල්ල අනිත්‍ය දහමට යටත්ව පවතින තත්ත්වයක් තුළ මේ සියල්ල සිහින මායා මිරිඟුවක්. මේ බව නො සිතන, නැණ ඇස් නැති බුද්ධි අන්ධයන් නැවත නැවතත් කාම සන්තර්පණය ම පරම සතුට ලෙස සලකමින්, සිහින මායා මිරිඟුවකට රැවටී බොහෝ පව් රැස් කරගන්නවා. තමන් ම තමන්ට සතුරුව වාසය කරනවා. මෙබඳු වූ ලොව තුළ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව මෙම වැටහීම මා ලබා ගත්තේ නිර්මල සම්බුද්ධ දේශනා නුවණින් පරිශීලනය කිරීම තුළින් ම යි. එ්, මා පිනෙන් ලද මිනිස් දිවියෙන් සැලකිය යුතු කාලයක් බුද්ධ දේශනා ශ‍්‍රවණය කිරීම උදෙසා කැපකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන්. ඔබත් ඔබේ පිනෙන් ලැබූ මේ උත්තරීතර අවස්ථාවෙන් වැඩි වැඩියෙන් ප‍්‍රයෝජන ගැනීමට යුහුසුළු වෙන්න. නිසරු, දුවන්නන් වාලේ දුවන, කරන්නන් වාලේ කරන, කාම දිවිල්ල නවතා, නිවී සැනසිල්ලේ ඇත්ත දකින්නට මහන්සි ගන්න. සම්බුදුරජුන් අනු දැන වදාළ මඟ වැඞීමට කැපවී සැබෑ සතුට දිනෙන් දින අත්පත් කරගන්නෙකු බවට පත් වන්න. එවිට ඔබ නිරාමිස උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන්නෙකු බවට පත් වනු ඇති.

මට ඇස් නො පෙනෙන නිසා සම්බුද්ධ දේශනා කියවීමට නො හැකියි. නමුත් ඔබට එ් භාග්‍ය උදාවී තිබෙනවා. ඔබේ ම පිනෙන් ලද පින්බර දෙනෙත්වලින් හැකිතාක් නිර්මල බුද්ධ දේශනා කියවන්න. දෙනෙත් නැති අපට ද ඇසෙන සේ උතුම් සම්බුද්ධ දේශනා කියවා උතුම් ම දානය දීමේ පින ද ඔබට අත්පත් කර ගැනීමේ භාග්‍ය උදා වේවා! අඳුරු ලොව එළිය කළ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් නිවී සැනසී පැමිණ වදාළ එ් උතුම් නිවන් සුවයට, නැණ ඇස් පාදා ගැනීම තුළින් පත්වීමේ පරම දුර්ලභ භාග්‍ය අපට ද උදා වේවා! එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

නමෝ බුද්ධාය!

සටහන – හේමන්ත කුමාර