සෙල්ලක්කාර මව

පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය භාර බන්ධනාගාර අධිකාරී මහතාගේ ආධාරයෙන් මේ සඳහා තොරතුරු ලබා ගන්නට මට හැකි විය. එහි දුකින් කාලය ගත කරන සුරංගගේ ගම් ප‍්‍රදේශය රත්නපුරය විය.
කලක් පෙමින් වෙළී සිට විවාහ ජීවිතයට ඇතුළු වූ සරත් සහ මාලාට ඉක්මනින් දරු සම්පතක් ද ලැබුණි. පවුලට එක් වූ සුරංග ළපැටියාට මව් සෙනෙහසේ උණුසුම බෙහෙවින් අවශ්‍ය විය. තුරුණු වියේ දී වුව ද පිරිසිදු බවක් නො තිබුණු මාලාගේ පැරණි පුරුදු, විවාහ වී වැඩි කලක් යන්නට මත්තෙන් ම නැවත නැවත ඉස්මතු වන්නට විය. ලද හැම අවස්ථාවක් ම ප‍්‍රයෝජනයට ගත් ඇය තම සැමියා ඉක්මවා යෑම සෙල්ලමක් කර ගත්තා ය. ගෙදර අඩදබර බොහෝ යි. සුරංග දරුවාට ද දැන් හය-හතර තේරෙයි. අම්මා ගැන තාත්තා නිතර ම සැකයෙන් බලයි. සරත් කෙරෙහි මාලාගේ කිසි ගරු සරුවක් නැත. ඒ නිසා ම ඇවිළී යන ගෙදර අවුල් වියවුල්, වැඩෙන දරුවාට මහත් පීඩාවක් ගෙන දුන්නේ ය. මේ අතර මාලාට තවත් පෙම්වතෙකු මුණ ගැසුණි. රහසින් බැඳුණු සම්බන්ධකම ප‍්‍රකට වී ගියේ සරත් ද සුරංග ද හැර දමා මාලා හොර සැමියා සමඟ පලා යාමෙනි.

අහිමි වූ මව් සෙනෙහස

අම්මා නැති පාලූව තදින් ම දැනුණේ සුරංගට ය. ඒ කවර වරදක් තිබුණත් සුරංග තම අම්මාට දැඩි ආදරයක් දැක්වූ නිසා ය. ඒ කෙසේ වෙතත් මාලාට නම් තම එක ම දරුවා ගැන වැඩි කැක්කුමක් තිබී නැත. ‘‘ගිය ගෑනි ගියදෙන්” කියා මුලින් හිත හදා ගත්තත් තැන තැන වැටි වැටී සුසුම් හෙළන තම දරුවාගේ ගින්දර දැනුණු සරත්, මාලා සොයා රටේ සෑම ප‍්‍රදේශයක් ම පීරුවේ ය. ඇය නිවසෙන් කිලෝමීටර් 50ක් පමණ දුර තම සොර සැමියා සමඟ දීග කයි. ඇය පිළිබඳ තොරතුරු සොයා බැලූ සරත් එහි ගොස් කවර වරදක් තිබුණත් ඒවාට තමා සමාව දෙන බව පවසා නැවත තමා සමඟ පැමිණෙන ලෙස ඇවිටිලි කර ඇත. ඇයගේ තීරණයේ වෙනසක් නො වී ය. කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මේසන් වැඩ බාර ගෙන හොඳ ආදායමක් ඉපැයූ සරත් තම පුතාට කිසිදු අඩුපාඩුවක් කළේ නැත. දරුවා පාසල් ගියත් අම්මාගේ රැකවරණයක් නො මැති නිසා පාඩම් වැඩ ගැන බලන්නට කිසිවෙකු නැත. ඔහුගේ අධ්‍යාපන වැඩ ද කෙමෙන් අඩාල විය.

පවුල ම අනතුරේ

කාලය මෙලෙස ගත වෙද්දී සරත්ට තම බිරිය නැති පාලූව වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ඇය අහිමිවීමේ සාංකාව දැන් දැන් දරුවාටත් වඩා වැඩි වේදනාවක් ගෙන දුන්නේ සරත්ට ය. ක‍්‍රමයෙන් සරත් රෝගියෙකු වුණේ මාලා නැති ශෝකය නිසා ය. ඔහුගේ රෝගය උත්සන්න වීමට වැඩි කලක් ගියේ නැත. සිතේ වේදනාව සරත් හෘද රෝගියෙකු බවට පත් කළේ ය. මාස කීපයක් ඇතුළත සරත් මිය ගියේ සුරංග තනි කරමිනි. සරත්ගේ සහෝදරයන් හා නෑදැයන් එකතු වී අවමංග්‍ය කටයුතු සිදු කළත්, ඒ මාලාට දෙස් දෙවොල් තබමිනි. වැඩි කලක් යන්නට මත්තෙන් සුරංග රැක බලා ගන්නට කෙනෙකු පවා නැති විය. අම්මා තම පියාගේ මළ සිරුර ඉල්ලන්නටවත් නො පැමිණියත් ඔහුට ඇය පිළිබඳ ආදරයේ අඩුවක් නො විණි.

දුක දරාගත් හැටි

අවුරුදු 14 පමණ වයසේ මේ වන විට පසු වූ සුරංග පාසල් දිවිය අත්හැරියේ ය. පාසලේ 9 වෙනි වසරෙන් ඔබ්බට යාමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත.
තම පීඩාව නරකට හැරවීමට නො සිතූ සුරංග හැම විටක දී ම ආගමට නැඹුරු විය. ඔහු ගමේ විහාරස්ථානයට යොමු විය. සෑම දිනක ම තෙල්, මල්, පහන්, හඳුන්කූරු ආදිය රැගෙන හවස් වරුවේ පන්සලට යාම සුරංග සිරිතක්කර ගත්තේ ය. පෝයට සිල්සමාදන් වූ සුරංග හික්මුණ දරුවෙකු ද විය. තාත්තා නැවත නො එයි. තමා මේ පින්කම් අත්නොහැර සිදු කළේ කිසියම් ශක්තියක හෝ බලපෑමක් නිසා අම්මා තමා ළඟට ගෙන්වා ගත හැකිවේ යැයි තිබුණු තදබල විශ්වාසය නිසා ය. ආහාරපාන හරිහැටි නැතත්, පූජා භාණ්ඩ ගැනීමට ඔහුට මුදල් අවශ්‍ය විය.

බාප්පාගේ සැලකීම

එදා තෙල්, හඳුන්කූරු ආදිය මිලට ගන්නට සුරංග අත මුදල් තිබී නැත. ඔහු පියාගේ සහෝදරයා ළඟට ගියේ වන්දනා කිරීමට වුවමනා පොල් තෙල්, හඳුන්කූරු ආදිය මිලට ගන්නට මුදල් ඉල්ලා ගැනීමට ය. බාප්පා හමුවූ ඔහු තමාට ඒ සඳහා රුපියල් පනහක් දෙන ලෙස ඉල්ලා ඇත. පොඩි සිල්ලර කඩයක මුදලාලි වූ බාප්පා සුරංගට බැණ වැදී පලවා හැර ඇත. ‘‘අපි ළඟට සල්ලි ඉල්ලන්න එන්න එපා. උඹලගේ අම්මාගෙන් සල්ලි ඉල්ලා ගනින්” කියා බැණ වදින විට තරුණ සුරංගට මහත් තරහක් සහ සංවේගයක් ඇති විය. නිහඬ නො වූ සුරංග පෙරලා බාප්පාට ලූණු ඇඹුල් ඇතිව කියන්නට විය. බාප්පා පොල්ලක් අමෝරා සුරංගට ගැසීමට එළියට පැන්නේ ය. නමුත් සිදු වූ දෙයෙහි අසාධාරණකම දුටු කඩේට පැමිණි තැනැත්තෙකු ඔහුට එරෙහි වී ඇත. පොල්ල උදුරා දැමූ ඔහු සුරංගගේ බාප්පාට දොස් නගන්නට විය. එවිට සුරංග අත්හැර දැමූ බාප්පා එම තැනැත්තාට පහර දෙන්නට පැන්නේ ය. සුරංගගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය. බාප්පාගේ කඩයේ තැඹිලි කැපූ පිහිය දුටු ඔහු වහාම එය ගෙන පිහි පහරවල් කිහිපයක් දෙමින් බාප්පා බිම හෙළී ය.

ළමා සිරකරුවා

මේ අවස්ථාව වන විටත් අවුරුදු 15ක් වත් වුණේ නැති සුරංග අත්අඩංගුවට පත්විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාව මත සුරංගට විරුද්ධව නඩු පැවරුණි. සියල්ල මැනවින් විභාග කිරීමෙන් පසු ව අවුරුදු හයක සිරදඬුවමක් ඔහුට හිමි විය. තවමත් අවුරුදු 17ක් පමණ වන සුරංග ළමා අපරාධකරුවෙකු ලෙස සලකා පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධනය කරන සිර කඳවුරේ රඳවා සිටී. අරුමය නම් මේ සියල්ලට ම මුල්වූ අම්මා කෙරෙහි ඔහු තුළ අද ද ඇති දැඩි ආදරය යි. අද ද ඔහුට අවශ්‍ය වන්නේ අම්මාගේ උණුසුම ලබන්නට ය. අම්මා ලවා බත් කටක් කවා ගන්නට ය. සුරතල් කරවා ගන්නට ය. කුඩා කාලයේ ම තමාට අහිමි වූ මව් සෙනෙහෙසේ උණුසුම අත්විඳින්නට දැනුදු ඔහු පුල පුලා බලා සිටියි. අද බන්ධනාගාර නිලධාරීන්ගේ ආදරය දිනා සිටින සුරංග ගැන එම නිලධාරීන්ගේ පවතින්නේ යහපත් ආකල්පයකි. බාප්පා මරා දැමීමේ වරද නිසා සිරදඬුවමක් අත්වින්ද ද ඔහු ඉතා අහිංසක දරුවෙකු බව බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සෙසු ළමා රැඳවියන්ගේ අදහසයි.

පාඩමක්

උතුරා යන දරු සෙනෙහස ද? ඉහවහා ගිය රාගය ද? තමාට පණ මෙන් ආදරය කළ අහිංසක සැමියා අකාලයේ මිය ගියේත්, තම එක ම දරුවා මිනීමරුවෙකු බවට පත් කළේත් මවු පදවියේ උත්තරීතර බව කෙලෙසූ එ් අම්මාගේ ක‍්‍රියා කලාපය නො වේ ද? අම්මාත්, තාත්තාත් අසමගිි වන පවුල්වල දරුවන්ට මුහුණ පාන්නට සිදු වන මෙබඳු ව්‍යවසන සුළුපටු නො වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මවකගේ, පියෙකුගේ යුතුකම් සහ වගකීම් මොනවා දැයි මනාව දේශනා කර ඇත. පවුල නම් කුටුම්භයේ මුරදේවතාවිය අම්මා ය. තම සැමියාට හා දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පසෙක දමා රාගයෙන් ඇවිළී ගිය සිතින් තම පවුල් ජීවිතය සහමුලින් ම කණපිට හරවා ගන්නට සිතන කාන්තාවන්ට මෙය මහා පාඩමකි.

මෙහි එන නම්, ගම් හා ඇතැම් සිද්ධිමය කරුණු මනඃකල්පිත ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල